ප්‍රවේණී උරුමයෙන් ලැබෙන දේපල අයිතිය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ඇති අල් කුර්ආන් වැකි කිහිපයක් දැකගත හැක. එයින් කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.
අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 180 වැනි වැකිය
අල් කුර්ආන් 2 වන පරිච්ඡේදය 240 වැනි වැකිය
අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 7-9 වැනි වැකි
අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 19 වැනි වැකිය
අල් කුර්ආන් 4 වන පරිච්ඡේදය 33 වැනි වැකිය
අල් කුර්ආන් 5 වන පරිච්ඡේදය 106 – 108 වැනි වැකි
මෙයට අමතරව අල් කුර්ආනයේ තවත් වැකි තුනක් මගින් සමීප ඥාතීන් අතරේ ප්‍රවේණී උරුමය අනුව දේපල බෙදෙන්නේ කෙසේද යන්න දක්වා ඇත. ඒවා නම් අල් කුර්ආන් 4:11-12 හා 4:176 වෙයි. ඒවායෙහි සිංහල අර්ථ දැක්වීම් පහතින් දක්වා ඇත්තෙමු.

“නුඹලාගේ දරුවන් විෂයයෙහි අල්ලාහ් නුඹලාට උපදෙස් (වසිය්යත්) ලබා දෙන්නේය. (එනම්) ස්ත්‍රීන් දෙදෙනෙකුගේ පංගුව මෙන් (පංගුවක්) පිරිමියා සතුය. නමුත් දෙදෙනෙකුට වඩා ස්ත්‍රීහු පමණක් සිටින්නේ නම් අතහැර දමා යන දැයින් තුනෙන් දෙකක් ඔවුනට සතුය. එක් ස්ත්‍රියක් පමණක් සිටියා නම් ඇයට භාගයක් සත්‍ය. තමන්ට දරුවෙකු සිටියේ නම් ඔහු අතහැර දමා යන දැයින් හයෙන් කොටසක් බැගින් මාපියන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම සතුය. ඔහුට දරුවෙකු නොසිටියේ නම් තමන්ගේ දෙමාපියන් එයට උරුමකම් පාති. එවිට තම මවට තුනෙන් පංගුවක් සතුය. ඔහුට සහෝදරයන් (හෝ සහෝදරියන්) සිටියේ නම් තමන් කුමන දෙයක් වසිය්යත් කළේ ද එයට පසුව හෝ තම නය (පියවීමෙන්) පසුව තම මවට හයෙන් පංගුවක් සතුය. නුඹලාගේ පියවරුන් හා නුඹලාගේ දරුවන් ඔවුන් අතුරින් කවරෙකු නුඹලාට ප්‍රයෝජනයක් ගෙන දීමෙහි සමීප යැයි නුඹලා නොදන්නෙහුය. (මේ සියල්ල) අල්ලාහ්ගෙන් වූ අනිවාර්ය කරන ලද්දක් වශයෙනි. සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. සර්ව ප්‍රාඥය. නුඹලාගේ භාර්යාවන් අතහැර දමා යන දැයින් ඔවුනට දරුවෙකු නොසිටියා නම් නුඹලාට භාගයක් සතුය. ඔවුනට දරුවෙකු සිටියා නම් ඔවුන් අතහැර දමා යන දැයින් තමන් කුමන දෙයක් වසිය්යත් කළේ ද එයට පසුව හෝ තම නය (පියවීමෙන්) පසුව නුඹලාට හතරෙන් එකක් සතුය. නුඹලාට දරුවෙකු නොවී නම් නුඹලා අතහැර දමා යන දැයින් හතරෙන් එකක් (භාර්යාවන් වන) ඔවුනට සතුය. නමුත් නුඹලාට දරුවෙකු වී නම් නුඹලා අතහැර දමා යන දැයින් තමන් කුමන දෙයක් වසිය්යත් කළේ ද එයට පසුව හෝ තම නය (පියවීමෙන්) පසුව අටෙන් එකක් ඔවුනට සතුය. සෘජු ආරෝහී (දෙමව්පියන්) හෝ අවරෝහී (දරුවන්) ඥාතීන් නොමැත්තෙකු වශයෙන් උරුමකම් පාන පිරිමියෙකු හෝ ස්ත්‍රියෙකු හෝ වී නම් ඔහුට (හෝ ඇයට) සහෝදරයෙකු හෝ සහෝදරියෙකු වී නම් ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුටම හයෙන් පංගුව බැගින් සතුය. මෙයට වඩා වැඩියෙන් සිටියේ නම් එවිට ඔවුන් කුමන දෙයක් වසිය්යත් කළේ ද එයට පසුව හෝ තම නය (පියවීමෙන්) පසුව හිංසනයකින් තොරව අල්ලාහ්ගෙන් වූ උපදෙසක් වශයෙන් තුනෙන් එකක පංගුවේ හවුල් කරුවෝ වෙති. තවද අල්ලාහ් සර්වඥය සර්ව ශාන්තය” (අල් කුර්ආන් 4:11-12).

“ඔවුහු නුඹෙන් තීන්දු අසති. (නබිවරය,) සෘජු ආරෝහී (දෙමව්පියන් වැනි) හෝ අවරෝහී (දරුවන් වැනි) ඥාතීන් නොමැත්තන් පිළිබඳ ව නුඹලාට අල්ලාහ් තීන්දු දෙන්නේ යැයි පවසවූ. පුද්ගලයෙකු ඔහුට පුතෙකු නොමැතිව සහෝදරියක් පමණක් ඇති ව මරණයට පත්වන්නේ නම් එවිට ඇයට ඔහු අතහැර යන දැයින් අඩක් සතුය. (අනිත් අතින්) ඇයට දරුවෙකු නොසිටියේ නම් ඇය (අතහැර යන දෑ)ට ඔහු උරුමකම් පාන්නේය. (සහෝදරියන්) දෙදෙනෙකු වී නම් ඔවුන් දෙදෙනාට ඔහු අතහැර ගිය දැයින් තුනෙන් දෙකක් සතුය. පිරිමි හා ස්ත්‍රී සහෝදර සහෝදරියන් වී නම් එවිට ස්ත්‍රීන් දෙදෙනාගේ පංගුව මෙන් (පංගුවක්) පිරිමියා සතුය. නුඹලා වැරදි මඟ නොයනු පිණිස අල්ලාහ් නුඹලාට (මෙසේ) පැහැදිලි කරන්නේය. අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්වඥය.” (අල් කුර්ආන් 4:176).

බොහොමයක් අවස්ථාවන් හි ස්ත්‍රිය පිරිමියාගේ පංගුවෙන් අඩක් උරුම කර ගන්නා බව මෙයින් පැහැදිලි වෙයි. කෙසේ වෙතත් සෑම අවස්ථාවකදීම වලංගු පිළිවෙතක් ලෙස නොගැනේ. තමන්ට ආරෝහණ (පියාමෙන්) හෝ අවරෝහණ (පුතෙකු මෙන්) ඥාතීන් නොමැති අවස්ථාවක දී තම එක කුස උපන් සහෝදරියට හා සහෝදරයාට එකිනෙකාට හයෙන් කොටසක් උරුම වෙයි. මියගිය අය දරුවන් ඇතිව මව හා පියා අතහැර ගියේ නම් මවට හා පියාට හයෙන් පංගුවක් එකිනෙකාට සමසේ බෙදී යයි. ඇතැම් අවස්ථාවන් හි ස්ත්‍රියකට පිරිමියෙකුට මෙන් දෙගුණයක් උරුම කර ගැනීමට ද අවස්ථාව ඇත. ස්ත්‍රියක් දරුවන්, සහෝදරයින් හා සහෝදරියන් නොමැතිව මියගිය විට තම පුරුෂයාට අඩක් උරුම වන අතර මවට තුනෙන් පංගුවක් ද පියාට හයෙන් කොටසක් ද උරුම වෙයි. මෙම අවස්ථාවේ දී මව විසින් පියාගේ කොටස මෙන් දෙගුණයක් උරුමකර ගනී. කෙසේ නමුත් පහත සඳහන් ලෙසින් ස්ත්‍රිය මෙන් දෙගුණයක් පිරිමියාට උරුම වෙයි.

1. දුව මෙන් දෙගුණයක කොටසක් පුතා උරුම කර ගනී.
2. මියගිය අයට දරුවන් නොමැති නම් බිරිඳ අටෙන් පංගුවක් ද පුරුෂයා හතරෙන් පංගුවක් ද උරුම කර ගනී.
3. දරුවන් ඇති විට බිරිඳ හතරෙන් පංගුවක් ද පුරුෂයා භාගයක් ද උරුම කර ගනී.
4. මියගිය අයට ආරෝහණ හෝ අවරෝහණ ඥාතීන් නොමැති විට සහෝදරිය විසින් සහෝදරයාට අයිති කොටසින් අඩක් උරුම කර ගනී.

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව ස්ත්‍රියකට මුල්‍යමය වගකීම් පැවරී නොමැති අතර ආර්ථික වගකීම් පැවරී ඇත්තේ පුරුෂයා වෙතය. විවාහයට පෙර පියාගේ සියළු ආර්ථික වගකීම් පියා හෝ සහෝදරයා විසින් දැරිය යුතු වෙයි. විවාහයෙන් පසු තම පුරුෂයා හෝ පුතා විසින් මෙම වගකීම් දැරිය යුතු වෙයි. තම පවුලේ ආර්ථික වගකීම පුරුෂයා වෙත පැවරී ඇත. තම පවුලේ ආර්ථික වගකීම් දරන්නා ලෙස පිරිමියාගේ ප්‍රවේණී උරුමය ස්ත්‍රියකගේ මෙන් දෙගුණයක් බවට පත් කොට ඇත. විවාහක කාන්තාවක් රැකියාවක් කළත් හෝ වෙනත් ආදායම් මාර්ගයකට උරුමකම් පැවත් ඇගේ ඉපයීම පවුලේ වියහියදම් සඳහා බලෙන් ගත නොහැක. සෑම වියදමක් ම පුරුෂයා විසින් දැරිය යුතු වෙයි. ස්ත්‍රිය තම කැමැත්තෙන් කිසිදු බලපෑමකින් තොරව පවුලේ වියහියදම් සඳහා දායක වන්නේ නම් එහි කිසිදු වැරැද්දක් නොමැත. මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කිරීමේ දී පිරිමියාගේ ප්‍රවේණී උරුමය කාන්තාවකගේ මෙන් දෙගුණයක් බවට බොහෝ අවස්ථාවන් හි පත් කොට තිබීම සාධාරණ පිළිවෙතක් බව පැහැදිලි වෙයි.

By: Ibnu Mansoor

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *