අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්
විශ්වය නිර්මාණය කල දා පටන් අල්ලාහ් විසින් මිනිස් වර්ගයා යහමඟ යැවීම සඳහා උසස්වූ මඟපෙන්වීම් ඉස්ලාම්හි හදුන්වා දී ඇත. එය පහසුවෙන් වටහා ගැනීම සඳහා විවිධ ප්‍රදේශවලට අල්ලාහ් විසින් දූතවරු යවා ඇත. ඉන් අවසන් නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා විසින් ලොව වාසි ජනයාට පරපූර්ණ ජීවන ක්‍රමයක් අල්ලාහ් විසින් දායාදය කරන ලදි. එම පරිපූර්ණවූ ජීවන ක්‍රමය තුළ කාන්තාවකගේ ඇඳුම කෙසේ තිබිය යුතුදැයි ඉතා පැහැදිළිව විස්තර කර ඇත.

  අල්ලාහ් විසින් අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත. “ නබිතුමාණෙනි, ඔබගේ භාර්යාවන් ඔබගේ දියණියන් තවද විශ්වාසවන්තයින්ගේ භාර්යාවන් ආදීනට කියන්න. ඔවුන් තමන්ගේ කබාය (ශරීරය සම්පුර්ණයෙන් ආවරණය වන අයුරින් අඳින ඇඳුම) ඇදගත යුතු බව. මෙය ඔවුන් හැදින ගැනීමටත් ඔවුන් හිංසා පීඩා වලින් සුරක්ෂි ත වීමටත් ඉතාමත් යෝග්‍යය (පහසු) වන්නේය.” {33:59}.
“ආදම්ගේ දරුවනි, නියත වශයෙන්ම අප ඔබට ඔබගේ රහසඟ වසා ගැනීමටත් අලංකාර වීමටත් සළුපිළි දුන්නෙමු. තක්වා (දෙවියන් කෙරෙහි බිය හා ආදරය) නම් වූ සළුපිළි (එයට වඩා) උතුම්ය.” {7:26}.
අද අප සමාජයේ විවිධාකාර විලාසිතාවලින් යුක්ත වූ ඇඳුම් ඇඳ සිටින කාන්තාවන් දැක ගැනීමට හැක. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු තම ශරීරයේ ආවරණය කළයුතු කොටස් අන් අයට පෙනෙනා සේ නිරාවරණය කරගෙන සිටින්නෝය. මින් ඔවුන්ගේ ආරක්ෂාව, ලැජ්ජාව, බිය, නිහතමානී කම, මුදු මොලොක් බව මැකී යන්නේය.ඔවුන් එසේ සිටීම තමන්, තමන්ටම කර ගන්නා විනාශයකි. නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා මෙසේ පවසා ඇත. “කිසියම් කාන්තාවක් තම නිවසේ හැර (තවත් ස්ථානයක නොමන කාර්යක් සඳහා පෙනී සිටින අදහස් ඇතිව) තම ඇඳුම් ගලවන්නේ නම් ඇය අල්ලාහ්ගේ අාරක්ෂාව නැතිකර ගනී.” (අබූ දාවුද්)
කාන්තාවගේ අඩ නිර්වස්ත්‍ර ඇඳුම් නිසා ළමා අපචාර හා ස්ත්‍රි දුෂණ විශාල වශයෙන් නොයෙකුත් රටවල දක්නට ලැබෙන අතර මිනී මැරුම් පවා දක්නට ලැබේ. නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා මෙසේ පවසා ඇත. “ළොවෙහි තම සැමියා හැර (අන් කෙනෙක් වෙනුවෙන්) අලංකාර වී ඇවිදින කාන්තාවගේ තත්වය මරණින් පසු ජීවිතයෙහි අන්ධකාරය මෙන්ය. එහි කිසිම ආලෝකයක් නොතිබෙයි.” (තිර්මිදී)
නමුත් විශ්වාසවන්ත මුස්ලිම් කාන්තාවක් තම ශරීරයේ ආවරණය කළයුතු කොටස් නියමාකාරව වසා ගනී. එනම් ඇය අල්ලාහ්ට බියබැතිව කටයුතු කරන්නියක් හා නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමාගේ මාර්ගෝපදේශය පිළිපදින නියම මුස්ලිම් කාන්තාවකි. මුස්ලිම් කාන්තාවක් තම ඇඳුම් අඳින විට තමාගේ ශරීර අවයව පිටතට නොපෙනෙනා සේ ඇඳිය යුතු අතර එය යම් කෙනෙකුගේ ආකර්ෂණය සඳහා හෝ ප්‍රසිද්ධිය හා ප්‍රදර්ශණය කිරීමේ අපේක්ෂාවෙන් ඇඳිය යුතු නොවේ. තවද එම ඇඳුම විනිවිදව හෝ ඇඟට තදට සිටින සේ නොඇදිය යුතුය. තවද මුස්ලිම් කාන්තාවන් පිටස්තර පිරිමින්ට සුවඳ විහිදෙන සේ, පිටත ඇඳුම්වල සුවඳ විළවුන් ආලේප කිරීම ඉස්ලාම් තහනම් කර ඇත. ඒ බව නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා මෙසේ පවසයි. “කාන්තාවක් සුවඳ විළවුන් ආලේප කරගෙන එය මිනිසුන් පොළඹවන අයුරින් ඔවුන් පසුකර යන්නේ නම් ඇය ෂානියා (ගණිකා) වකි.” (අහ්මද්).
තවද එම ඇඳුම මුස්ලිම් නොවන්නන්ගේ ඇඳුම් විලාසිතාවන්ට සමානව නොතිබිය යුතුයි. අද අප සමාජයේ විවිධ අඩනිර්වස්ත්‍ර ඇඳුම් විශාල ලෙස අලෙවි වේ. මෙම ඇඳුම් මුස්ලිම් කාන්තාවන්ට සුදුසු නොවේ. ඉන් තමාගේ අාරක්ෂාව නැති වී යයි. නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා මෙසේ පවසයි. “කිනම් කාන්තාවක් තම නිවසේ හැර (තවත් ස්ථානයක නොමනා කාර්යක් සඳහා පෙනී සිටින අදහස් ඇතිව) තම ඇඳුම් ගලවන්නේ නම් ඇය අල්ලාහ්ගේ අාරක්ෂාව නැති කර ගනී.” (අබූ දාවුද්, තිර්මිදි)
මුස්ලිම් කාන්තාවන් තම ඇඳුම් පිරිමින්ගේ ඇඳුම් හා සමානව නොතිබිය යුතු අතර ඔවුන්ගේ ඇඳුම්ද ඇදීම ඉස්ලාම්හි තහනම් කර ඇති සේම, පිරිමින් සේ හැසිරීමද ඉස්ලාම් තහනම් කර ඇත. නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා මෙසේ පවසයි. “පිරිමින් මෙන් ඇඳුම් අදින කාන්තාවන්, කාන්තාවන් මෙන් ඇඳුම් අදින පිරිමින් අප හට අයත් නොවූවන් වෙයි.” (අහ්මද්) “නබි (සල්) තුමා, කාන්තාවන්ගේ ඇඳුම් අදින පිරිමින්ටද, පිරිමින්ගේ ඇඳුම් අදින කාන්තාවන්ටද ශාප කළහ.” (අහ්මද්)
නමුත් මුස්ලිම් කාන්තාවන් තමාට විවාහයට තහනම් පුද්ගලයන් වන පියා, සහෝදරයා, පුතා, ඇතුළුව නම් වශයෙන් සඳහන් නොකළ විවාහයට තහනම් තම නෑදෑයන් ඉදිරියේදී සාමාන්‍යය ඇඳුමින් සැරසී සිටිය හැකි අතර ඔවුන් ඉදිරියේද ශරීරයේ ආවරණය කළයුතු කොටස් වැසිය යුතුය. තවද තම ස්වාමි පුරුෂයා ඉදිරියේ ඔහුට තම අලංකාරය පෙන්වීම සඳහා තමාව සරසා ගැනීම කල හැක. උදාහරණයක් ලෙස, කොණ්ඩා මෝස්‌තර දැමීම, මුහුණට විවිධ ආලේපන වර්ග භාවිතය, ශරීරයේ සුවඳ විළවුන් තැවරීම හා තමා කැමති ඇඳුමි මෝස්‌තර දැමීම හා ඉන් සැරසීමද ඉස්ලාම්හි කිසිම තහනමක් පනවා නැත. නමුත් අන් පිටස්තර පිරිමින් ඉදිරියේ එසේ කිරීම සපුරා තහනම් වේ. නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා මෙසේ පවසයි. “ලොවෙහි තම සැමියා හැර (අන් කෙනෙක් වෙනුවෙන්) අලංකාරවත් වී ඇවිදින කාන්තාවගේ තත්වය මරණින් පසු ජීවිතයෙහි අන්ධකාරය මෙන්ය. එහි කිසිම ආලෝකයක් නොතිබෙයි.” (තිර්මිදී)
ඉහත සඳහන් කළාවූ කරුණු අනුව අපට ඉතා පැහැදිළිව පෙනී යන්නේ මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම් කෙසේ තිබිය යුතුද යන්නයි. යම් කාන්තාවක් එයට විරුද්ධව කටයුතු කරන්නේ නම්, ඇයට මෙළොව හා පරළොව අල්ලාහ්ගේ කරුණාව නොලැබී යන බවයි. නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා මෙසේ පවසයි. “කවරෙකු ලෞකික ආශාව ඇති කරණ ඇඳුම් අඳින්නේද, ඔහුට අල්ලාහ් මරණින් මතු ජීවිතයෙහි නින්දා සහගත ඇඳුම් අන්දවන්නේය පසුව, ඔහු ගින්නෙහි දමනු ලැබේ.” (අබූ දාවුද්, ඉබ්නු මාජා) මෙම කරුණු වටහාගෙන සියළුම මුස්ලිම් කාන්තාවන් තම ශරීරය මනා ලෙස වසා ගැනීමෙන් අල්ලාහ්ගේ දායාදයන් මෙළොව හා පරළොවදී නොඅඩුව ලබා ගත හැක. මේ සියල්ල දයද කල අල්ලාහ්ට සියළු ප්රහසංසා හිමි වේවා!!!
සකස් කිරීම: සෙයිනබ් හේවා හකුරු
www.yayuthumaga.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *