අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්.
දස මසක් කුස දරාගෙන ලේ කිරි කර පොවා අපිව ලොකු මහත් කිරීමට අපමණ වෙහෙසක් දැරූ අපගේ මෑණියන් දිවා රෑ නොබලා මහන්සි වී අපට අවශ්‍ය සියල්ලම ඇගේ අතින්ම නොපිරිහෙලා ඉටු කරේ ඇය ගැනවත් නොසිතාය. ඒ වගේම අපේ ආදරණිය පියාණන් අපි මෙලොවට පැමිණීමටම පෙර සිටම අපෙගේ අනාගතය වෙනුවෙන් අපට හොද අධ්‍යපනයක් ලබා දී හොද පුද්ගලයෙක් කිරීමේ අදහසින් අපමණ වෙහෙස මහන්සිවී විවේකයක්වත් නොගෙන අපව පෝෂණය කල අපගේ පියාණන්ට දහස් වාරයක් ස්තුතියි. ඔවුන් දෙදෙනා කුසට ආහාර නොගෙන අපගේ කුස පුරවා රෑ දවල් නොබලා ඔවුන්ගේ කාලය, ශ්‍රමය අප වෙනුවෙන් කැප කර අපිව උස් මහත් කරපු ඔවුන් දෙදෙනාට කෙසේනම් නොසලකා හරින්නද?
දවසක ඔබ දෙදෙනාමෙන් අපත් වැඩිහිටියන් බවට පත්වෙනවා එදාට ඔබ දෙදෙනා හට අපගෙන් විය යුතු යුතුකම් හරි විදිහට ඉටු නොකර අපගේ දුවාදරුවන්ට තම දෙමව්පියන්ට සලකන්නැයි කියා වචනෙන් පමකන් කියන්නෙමු ද?
නගරයෙන් නගරෙට පිහිටා තිබෙන වැඩිහිටි නිවාස වල සිටින දෙමාව්පියන්ට කෙසේනම් මුහුණ දෙන්නද?
ඔවුන්ගේ අසරණ මුහුණු දිහා කෙසේනම් බලන්නද?
තම ජිවිතයේ අන්තිම කාලයේදී කතා කවුරුත් නැති නිවාසයක කෙසේනම් මාගේ දෙමාපියන්ව තනි කරන්නේමුද?
දරු මුණුබුරු, මිණිපිරියන් සමග කාලය ගත කිරීමට ඔවුන්ට කෙතරම් ආසාවක් ඇතිද. අද අපි අපේ දෙමාව්පියන්ට නොසලකා හැරියොත් දවසක අපේ දරුවනුත් අපට එලෙසම සිදු නොකරයි කියා සිතන්නේ කෙසේද?
අපගේ දෙමාපියන්ට අපගෙන් විය යුතු යුතුකම් බොහොමයක් ඇත. කුඩා අවදියේ සිටම ආගමානුකුලව හැදුනු වැදුණු කෙනෙකුට මෙය අමුතුවෙන් කියා දීමට අවශ්‍ය වන්නේ නැත.
හැදු වැඩු දෙමාපියන්ට සලකන මෙන් අල්ලාහ් මිනිසාට තරයේ අවවාද කර ඇත.
මේ පිළිබඳව අල්ලාහ් මෙසේ පවසයි:
“තමන්ගේ දෙමව්පියන්ට (කෘතඥ වීම) ගැන මිනිසාට අපි හොඳ ඔවදන් දුන්නෙමු. ඔහුගේ මව දුක් කරදර මත දුක් ගැහැට විඳිමන් (ගර්භයෙහි) ඔහුව ඉසිලූවාය. (ඔහු ඉපදුණු) පසුද, අවුරුදු දෙකකට පසුවම ඔහුට කිරි දීම නතර කළාය. (එබැවින් මිනිසුනේ!) ඔබ මටත් ඔබගේ දෙමව්පියන්ටත් කෘතඥ වෙමින් සිටිනු. (අවසානයේදී ඔබ) මා වෙතම පැමිණ සේන්දු වීමට ඇත්තේය. එහෙත් (දෙවියන් යයි) ඔබ නොදන්නා දැය මා හට සමානයන් වශයෙන් තබන මෙන් ඔවුන් ඔබට බල කළහොත් (එම කාරණාවෙහි) ඔබ ඒ දෙදෙනාට අවනත නොවනු. එහෙත් මෙලොවෙහි (දැහැමි කාරණාවන්හි) ඔබ ඒ දෙදෙනා සමග ඉතාමත් ආදරයෙන් යුතුව කටයුතු කරනු. (සෑම කාරණාවකදීම) මා දෙසම බලා සිටින්නන්ගේ මාර්ගයෙහි ඔබ අනුගමනය කර කටයුතු කරමින් සිටිනු. පසුව ඔබ (සියල්ලන්ම) මා වෙතම පැමිණ සේන්දු විය යුතුව ඇත්තේය. ඔබ කරමින් සිටි දැය ගැන (ඒ අතර) මා ඔබට උපදෙස් දෙන්නෙමි” (ශු කුර්ආනය 31: 14, 15).
“නුඹලා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොඅදහනු තවද දෙමාපියන්ට දයාබර වනු. ඔවුන් දෙදෙනාගෙන් කෙනකු හෝ දෙදෙනාම නුඹ ළඟ මහලු වියට පත්වුවහොත් ඔවුන් දෙදෙනාට උෆ්ෆින් (චි) යනුවෙන් නොකියනු. ඔවුන් දෙදෙනාට දුර්මුඛ නොවනු. ඔවුන් දෙදෙනාට ගෞරව වචනයෙන් ආමන්ත්‍රණය කරනුයි (නබි මුහම්මද්) නුඹගේ රබ්(පරමාධිපති) නුඹට නියෝග කරයි. තවද ඔවුන් දෙදෙනාට දයාලුභාවයෙන් යටහත් පහත්ව සලකනු. තවද මාගේ රබ්(පරමාධිපතියාණනි) බාලවියේ ඔවුන් දෙදෙනා මා(කාරුණිකව සහ ආදරයෙන්) හදා වඩාගත් ආකාරයෙන්ම ඔවුන් දෙදෙනාට දයාන්විත වනු මැනවයි (නබි මුහම්මද් දුආ ප්‍රාර්ථනා කරමින්) කියනු” (ශු කුර්ආනය 17: 23, 24).
” දෙමාපියන්ට යහපත කරන මෙන් අපි මිනිසාට හොද ඔවදන් දී ඇත්තෙමු.” (ශු කුර්ආනය 29 : 8)
සමහර දෙමාව්පියන්ගේ ගුණාංග විවිදාකාරයි. දෙමාව්පියන්ගේ කුමන ගති ගුණාංග තිබුනත් දරුවන් වශයෙන් අප එය ඉවසිය යුතු නොවේද?
දෙමව්පියන් මුස්ලිම් නොවුනද ඔවුන්ගේ යුතුකම් නිසි අයුරින් ඉටු කරන ලෙස ඉස්ලාම් නියෝග කරයි:
“මුෂ්රික්වරියක් වූ (මුස්ලිම් නොවන) මාගේ මව මා වෙත ආවාය. මම නබි තුමාගෙන් ‘ අල්ලාහ්ගේ දුතයාණෙනි, මාගේ මව ආශාවෙන් මා වෙත පැමිණ සිටින්නීය. එම නිසා මම ඇයව ලංකර ගන්න දැයි ‘ ඇසුවෙමි. එයට නබි තුමාණෝ ‘ එසේය, ඔබගේ මව සමග හොදින් කටයුත කරන්න. යනුවෙන් පැවසුහ.” (ග්‍රන්ථය: බුහාරි – 2620)
මෙයින් පවසන්නේ දෙමව්පියන්ගේ කුමන ගතිගුණයන තිබුනත් ඔවුන්ට සැලකීම ඔවුන්ට අවශ්‍ය දේ ලබාදීම දරුවන්ගේ යුතුකම කියා නොවේද? ඉවසීම මු:මින් වරයෙකුගේ ලක්ෂණයක් බව ඉස්ලාම්හි සෑම අවස්ථාවකම පවසනවා. ඒ නිසා තම දෙමව්පියන්ගේ කුමන ගති ලක්ෂනයක වුනත් දරුවන් වශයෙන් අපි ඉවසිය යුතු නොවේද?
තම දෙමව්පියන්ට සැලකීම සම්බන්ධව තවත් නබිමුහම්මද්( සල් ) තුමාණන්ගේ නබිවදන් කීපයක්ම ඇත. මේ එයින් කීපයකි…
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හුතුමාදන්වයි…
” මම රසුලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන්ගේන් අල්ලාහ් වඩාත් කැමති යහක්‍රියාව කුමක්දැයි’ ඇසුවෙමි. එයට නබිතුමානෝ ” සලාත්ය නියමිත වෙලාවේ ඉටුකිරීම “යැයි පැවසුවාය. ඉන් පසු කුමක්දැයි ඇසුවිට. ” දෙමාපියන් සමග හොදාකාරව හැසිරීම “යැයි පැවසුහ. ඉන්පසු කුමක්දැයි මා ඇසුවිට ” අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම “යැයි පැවසුහ ” ( ග්‍රන්ථය: බුහාරි, මුස්ලිම් )
අබිදුල්ලාහ් ඉබ්නු අමීර් රලියල්ලාහු අන්හුතුමා දන්වයි…
” මිනිසෙක් රසුලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් වෙත පැමිණ. ” මම අල්ලාහු තආලාගේන් පිං ලබාගැනීම සදහා ජිහාද් කිරීමටත්, හිජ්රත් යෑමටත්, ඔබතුමා වෙත පොරොන්දු වෙමි” යැයි කිවේය. එයට නබිතුමාණෝ ” ඔබගේ දෙමාව්පියන්ගෙන් කවරෙකු හෝ ජිවතුන් අතර සිටින්නේ දැයි ඇසුවිට.’ එසේය ඔවුන් දෙදෙනාම ජිවත් වෙති ‘ යැයි කීවෙමි. ” අල්ලාහු තආලා වෙතින් පිං ලබා ගැනීමට ආශා කරන්නේ දැයි ‘ ඇසුවිට. ඔහු ” එසේය “යැයි කිවේය. නබිතුමාණෝ ” එසේනම් දෙමාව්පියන් වෙත ගොස් ඔවුන් සමග ආදරයෙන් හැසිරෙන්න. ( එම දෙදෙනාට සත්කාර කිරීමෙහි කැපවීමෙන් කටයුතු කරන්න ” යැයි පැවසුහ. ( ග්‍රන්ථය: බුහාරි, මුස්ලිම් )
මෙම අල් හදිස් එකෙන් අදහස් වන්නේ දෙමව්පියන්ට සැලකීම ඔවුන්ට සත්කාර කිරීම ආදරය කිරීම අල්ලාහු තආලා වඩාත් ප්‍රිය කරන ක්‍රියාවක් හා අල්ලාහ් ත ආලාගෙන් පිං ලබා ගැනීමේ උතුම් ක්‍රියාවක් බවයි.
අබු හුරෙයිරා රලියල්ලාහු අන්හුතුමා දන්වයි…
” මිනිසෙක් රසුලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණන් වෙත පැමිණ. ” යා රසුලල්ලාහ්! මා හොදාකරව කටයිතු කිරීමට වඩාත් සුදුසු වන්නේ කවරෙකු දැයි” ඇසුවේය. නබිතුමාණෝ ” නුඹගේ මව ” යැයි පැවසුහ. ඔහු නැවතත් ” ඉන්පසු කවරෙක්දැයි ” ඇසුවේය. එයටද නබිතුමාණෝ ” නුඹගේ මව ” යැයි පැවසුහ. එම මිනිසා නැවතත් ” ඉන්පසු කවරෙක්දැයි ” ඇසුවේය. එයටද නබිතුමාණෝ ” නුඹේ මව ” යනුවෙන් පැවසුහ. ඉන් පසු කවරෙක්දැයි ඇසුවිට ” නුඹේ පියා ” යනුවෙන්. පිලිරුතු දුන්හ.” ( ග්‍රන්ථය: බුහාරි, මුස්ලිම් )
ඉහත සදහන් හදිස් එකේ සදහන් වන්නේ මව සියලුම දෙනාට වඩා ලගින් ඉන්න, ලගින්ම ඇසුරු කිරීමට සුදුසුම කෙනා බවයි.
ආදරණිය සොයුරු සොයුරියනේ! තම දෙමාව්පියන් දෙදෙනාට ඔවුන් දෙදෙනාගේ අවසන් මොහොත දක්වා ඔබට පුළුවන් උපරිමයෙන් සලකන්න. ආදරය දෙන්න. ඔවුන්ට අවශ්‍ය රජ සැප නොවේ තම දරුවන්ගේ ආදරයයි ඔවුන්ට එය රජ සැපවලටත් වඩා වටිනා වස්තුවකි. තම දරුවන්ගේ දරුවන් (මුණුබුරු, මිනිබිරියන්) සමග ගෙවන ජීවිතය ඔවුන්ට ඔබ කුඩා අවදියේ ඔබත් එක්ක ගෙවපු කාලය නැවත මතකයට ගෙන එනවා නොඅනුමානය..
www.yayuthumaga.com