ඉස්ලාම් දහම ආදම් නබි තුමාගෙන් පටන්ගෙන මුහම්මද් නබි තුමාගෙන් නිමා කොට ඇත. මෙම නබිවරුන් දෙදෙනාට අමතරව සිය දහසකට වඩා වෙනත් නබිවරු මෙලොවට පැමිණ ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුගේ නම් පමණක් අල්-කුරානයේ සඳහන් වන්නේය. නබිවරුන්ට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ දෙවියන් පහල කරන දහම් පණිවිඩය නිවැරදිව ජනතාව අතරට ගෙන යාමය. ඒ අනුව ඔවුන් සියළු දෙනාම ඔවුන්ට පැවරුණු වගකීම බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉටුකර තිබේ. මුහම්මද් නබිතුමා වසර 23ක් තරම් කෙටි කාලයක් තුලදී ඔහුට පැවරුණු වගකීම ඉතා සාර්ථකව නිමා කොට ඇත. අල්-කුරානය ලෝකය අවසාන වන තෙක් පවතිනු ඇත.සෑම නබි කෙනෙක්ම දේශනා කොට ඇත්තේ ඉස්ලාම් දහමයි. එහෙත් කාලයෙන් කාලයට දහම් නීති වෙනස් කොට ඇත.

මුහම්මද් නබිතුමාගෙන් පසු නබි වරුන්ගේ පැමිණීමට මුද්‍රා තබා ඇති බව අල්-කුරානයේ ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. එසේ තිබියදී මුහම්මද් නබිතුමාගෙන් පසු තවත් ව්‍යාජ නබිවරුන් 30 දෙනෙකු පමණ පැමිණෙන බව නබිතුමා පවසා තිබේ. මෙම ව්‍යාජ නබිවරුන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් පැමිණ හමාරය. කාදියනි නායක ගුලාම් අහමඩ් ද ඉන් එක් කෙනෙකි.

මුහම්මද් නබිතුමාගේ විශේෂත්වය වන්නේ ඔහුගේ දහම මුළු ලොවටම බල පැවැත්වීමය. එහෙත් ඔහුට පෙර පැමිණි නබිවරුන්ට පැවරී තිබුනේ යම් ජන කොට්ඨාසයක් හෝ යම් භූගෝලීය කලාපයක් පමණි. මේ අනුව මුහම්මද් නබිතුමාගේ පැමිණීමෙන් පසු කෙනෙකුට ස්වර්ගය අත්කර ගැනීමට නම් එතුමාගේ නබිත්වය පිළිගෙන එය අනුගමනය කල යුතු වන්නේය. ඒ අනුව ජේසු තුමා නැවත පැමිණි පසු මුහම්මද් නබිතුමාගේ දහම ප්‍රචාරය කරනු ඇත.

සෑම මුස්ලිම්වරයෙකුම මුහම්මද් නබිතුමා පෙන්වා දුන් මාර්ගය නිවැරදිව පිළිපැදිය යුතුය. එසේ කිරීමෙන් පමණක් සොහොනේදී නබිතුමාව පෙන්වා ඔහු කව්රුදැයි අසන අවස්ථාවේදී ඔහුව හඳුනා ගැනීමට හැකිවනු ඇත. නබිතුමාගේ සුන්නාවන් අනුගමනය නොකළ අය එම අවස්ථාවේදී මහත්සේ අපහසුතාවයට පත්වනු ඇත.

මුස්ලිම්වරුන් කරුණු හයක් ගැන විශ්වාසය තැබිය යුතුය. මින් පළමුවන කරුණ වන්නේ අල්ලාහ් දෙවියන් ගැන විශ්වාස කිරීමයි. ඒ අනුව අල්ලාහ්ට මිස වෙන කිසිවෙකුට නමදුම් නොකළ යුතුය. තවද ඔහුගෙන් පමණක් ප්‍රාර්ථනා කළ යුතුය. එසේම අපගේ සෑම උවමනාවක්ම අල්ලාහ්ගෙන් පමණක් ඉල්ලා සිටිය යුතුය. මින් අදහස් කරනු ලබන්නේ මිනිසාගේ ශක්තියෙන් ඔබ්බට ඇති දෙයක් දෙවියන්ගෙන් මිස වෙන කිසිවෙකුගෙන් ඉල්ලා නොසිටිය යුතු බවයි. උදාහරණයක් ලෙස විවාහ වී කාලයක් ගතවූ පසුත් දරුවෙක් නොමැති නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වෙනුවට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සිදු කිරීම බලවත් වරදක් ලෙස සලකනු ලබේ. එසේ කිරීම දෙවියන්ට සමානයන් තැබීමක් හෙවත් ශිර්ක් ක්‍රියාවක් වනු ඇත.

තවද සෑම මුස්ලිම්වරයෙකුම මුහම්මද් නබිතුමා අල්ලාහ්ගේ අවසාන වක්තෘ වරයා බවත් ඔහුගේ ගැත්තා බවත් විශ්වාස කල යුතුය. තවද මුහම්මද් නබිතුමාට ජේසු තුමාට කළා සේ දේවත්වය ලබා නොදිය යුතුය. එනම් නබිතුමාට දෙවියන්ට පමණක් ඇති කිසිම ලක්ෂණයක් ඇති බවට විශ්වාස නොකල යුතුය. උදාහරණයක් වශයෙන් ඔහුට ගුප්ත දේවල් දන්නා බව හෝ අනාගතය දන්නා බව විශ්වාස නොකළ යුතුය. ඒ අනුව නබිතුමාට දෙවියන් දැනුම් දුන් දේවල්වලට වඩා දෙයක් නොදන්නා බව පිළිගත යුතුය.

දෙවනුව සෑම මුස්ලිම්වරයෙකුම දේවදුතයින් ගැන විශ්වාස කල යුතුය. මෙම දේවදුතයින්ට ස්වයං තීන්දු තීරණ ගැනීමට නොහැකිය. එහෙත් ඔවුන් දෙවියන්ගේ නියෝග අකුරටම ඉටු කරනු ලබති. නබිතුමාට දේව පණිවිඩය ගෙන් එනු ලැබුවේද ජිබ්‍රිල් නම් දෙවදුතයාය. තවද ස්වර්ගයට සහ නිරයට අධිපති ලෙස දේවදුතයින් පත්කොට ඇත. එසේම මිනිසුන්ගේ ආත්මය අත්පත්කර ගැනීම සඳහාද දේවදුතයෙක් පත්කොට ඇත. මේ ආකාරයට දස දෙනෙකුට ප්‍රධාන කාර්යයන් පවරා ඇති බව සඳහන් වේ. ඊට අමතරව තවත් අනන්ත සංඛාවක් දේව දුතයින් සිටිති. ඔවුන් සියළු දෙනාම දෙවියන්ගේ අණ ඉටුකරමින් සිටින්නෝය.

තුන්වන කරුණ වන්නේ අල්-කුරානයට පෙර අල්ලාහ් දෙවියන් විසින් පහළ කරනු ලැබූ දහම් ගැන විශ්වාස කිරීමය. එහෙත් අල්-කුරානයෙන් ඉස්ලාම් දහම සම්පුර්ණ කොට ඇති බැවින් පිළිපැදිය යුත්තේ අල්-කුරණයය පමණි. ඒ අනුව මිට පෙර ජීවත්වූ නබිවරුන්ගේ අනුගාමිකයින් සියළු දෙනාටම නබිතුමා දෙවියන්ගේ අවසාන දුතයා බව පිළිගත යුතුය. ඉන් අදහස් කරනු ලබන්නේ නබිතුමාගේ දහම් පණිවිඩය අනුව ජිවත් වීමය.

සිව්වන කරුණ වන්නේ මුහම්මද් නබිතුමාට පෙර දහම් දෙසීම සඳහා මෙලොවට පැමිණි නබිවරුන් සියළු දෙනාම විශ්වාස කිරීමය. ඒ අනුව ඉබ්‍රාහිම්, මුසා, නුහ්, ඊසා ඇතුළු සියළුම නබිවරුන් (ඔවුන් සියළු දෙනාටම අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) ගැන විශ්වාස කළ යුතුය.

පස්වන කරුණ වන්නේ ලෝක අවසානය සහ ඉන් පසුව ඇති විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීමය. එම දිනයේදී මිනිසා කළ සැම දෙයක්ම ලියා තබන ලද ලියවිල්ලක් එක් එක් මිනිසාට ලබා දීමට නියමිතය. එහි මෙලොවදී මිනිසා කල සෑම දෙයක්ම සටහන් කොට තිබෙනු ඇත.

හයවන කරුණ වන්නේ අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව හොඳ සහ නරක යන සියළුම දේවල් සිදුවන බව විශ්වාස කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ දෙවියන් ත්‍රිත්ව කාලයම දන්නා බැවිනි. මේ නිසා කිසිම කෙනෙකුට අසාධාරණයක් සිදුවන්නේ නැත.

ඉහත සඳහන් කලේ විශ්වාසය හා සම්බන්ද කරුණු ය. ඊට අමතරව සෑම මුස්ලිම්වරයෙකුම අනිවාර්යයෙන්ම දිනකට පස්වතාවක් සලාතය ඊට නියමිත වෙලාවේදී ඉටු කල යුතුය. කිසිම වැඩිහිටියෙකුට එය අතපසු කල නොහැකිය. එසේ කිරීම විශාල පාපයකි. ඒ අනුව අසනීපයක් හේතුවෙන් සිටගෙන සලාතය ඉටුකිරීමට නොහැකි කෙනෙක් වාඩිවී සලාතය ඉටුකළ යුතුය. එයත් කල නොහැකි නම් හාන්සිවී එය ඉටුකළ යුතුය. එයත් කල නොහැකි නම් සිතින් හෝ සලාතය ඉටුකළ යුතුය.

සෑම ධනවත් මුස්ලිම්වරයෙකුම ඉස්ලාම් දහමින් නියම කොට ඇති අවම ප්‍රමාණයට (නිසාබ් ප්‍රමාණයට) වඩා ඇති වස්තුව සඳහා වසරක් පාසා සzකාත් ගෙවිය යුතුය. එය මුදල් ඇති අය පමණක් නොව සිව්පා සතුන් සඳහාද ධාන්‍යවර්ග සඳහා ද ඉටුකල යුතුය.

තවද මුස්ලිම්වරුන් රමළාන් මාසයේදී පුරා මසක් උපවාසයේ යෙදිය යුතුය. අවසාන වශයෙන් හැකියාව ඇති අය ජිවිතයේ එක් වතාවක් හෝ මක්කමට ගොස් හජ් වන්දනය ඉටු කල යුතුය. හැකියාව ඇති අය මෙහි සඳහන් නියෝග ඉටු නොකර සිටීම මහා පාපයකි.

සෑම මුස්ලිම්වරයෙකුම අල්-කුරානය අධ්‍යයනය කිරීම මගින් සම්පුර්ණ ඉස්ලාම් දහම ජීවිතය සමග බද්ද කරගත හැකි වන්නේය. එසේ නොකිරීමෙන් සිදු වන්නේ නාමික මුස්ලිම්වරයෙකු බවට පත්වීමටය. නබිතුමාගේ අනුගාමිකයින්ගේ ජීවිතය සමග කුර්ආන් ඉගැන්වීම ඉතා තදින් බැඳී පැවතුනේය. ඒ අනුව ඔවුන් දෙවියන්ට ඉතා සමීප වුහ.

By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura.

Ex: Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *