දයාබර අම්මේ!
කතෘ: හේම් කුමාර් අගර්වාල් (නසීම් කාජි)
පරිවර්තනය: කේ. එම්. නාපාවල
සකස් කිරීම: එස්. එම්. මන්සූර්
”දස මසක් කුස හොවා
මා බිහි කළ
මගේ පනටත් වඩා
ආදරය කරන
මගේ අම්මා ව,
මගේ ම
දැස් ඉදිරිපිට දී
බුර බරා නැගෙන
අපා ගින්නෙන්
දැවෙනු දැකීමට
මම කිසිසේත් ප‍්‍රිය නොකරමි.
එයින්
අම්මා ව බේරා ගැනීම
මගේ
එක ම අභිලාෂයයි!”
විවෘතවූ සිත තුළට ———
අබූ හුරෙයිරා (රලි) තුමාණෝ ඉස්ලාමය කෙරේ පැහැදුණු කෙනෙකි. තමා ලද සත්‍ය දැනුම අන් සියලූ දෙනාත්, විශේෂයෙන් තම මවත් ලද යුතු යැයි පැතු හ: ඒ සඳහා එතුමෝ දැරූ උත්සාහයන් අපමණ ය: අල්ලාහ්ගෙන් ද සදා අයැද සිටීයහ.
එහෙත් එතුමාගේ මව, ඔහුගේ කීම නොපිළිගත්තා ය. එතුමා ද තම උත්සාහයන් නැවැත්වූයේ නැත.
වරක් තම මවට ඉස්ලාමයේ සත්‍යභාවය කියා දෙමින් සිටිය දී කෝපයට පත් මව, නබි (සල්) තුමාට බැණ වැදීමට පටන් ගත්තාය. අබූහුරෙයිරා (රලි) තුමාණෝ මින් ඉමහත් වේදනාවට පත්වූහ. නබි (සල්) තුමා හමු වී එතුමාට කාරණය සැලකර, තම මව වෙනුවෙන් අල්ලාහ්ගෙන් ආයාචනා කරන මෙන් එතුමාගෙන් ඉල්ලා සිටීය හ.
”යා අල්ලාහ්! අබූහුරෙයිරාගේ මව ට යහ මග පෙන්වා දෙත් වා!” යි නබි (සල්) තුමා ආයාචනා කළ හ.
නබි (සල්) තුමාගේ මෙම ආයාචනාව සඵල වන බව අබූහුරෙයිරා (රලි) තුමා තරයේ විශ්වාස කළ හ. මෙම විශ්වාසයෙන් යුතු ව එතුමා තම නිවහන වෙත පිය නැගුහ. නිවස අගුළු ලා තිබිණ. එතුමාගේ පා හඬ ඇසුණු එතුමාගේ මව තමා ස්නානය කරමින් සිටින නිසා ගෙයින් පිට මදකට නවතින ලෙස ඉල්ලා සිටියා ය. ඊට සුළු වේලාවකින් දොර විවෘත විය. ඇය කලිමා කියා ඉස්ලාමය වැළඳ ගත්තාය.
අබූහුරෙයිරා (රලි) තුමා අන් අයගේත් මව්වරුන් වෙනුවෙන් ද අල්ලාහ් වෙත විටින් විට ප‍්‍රාර්ථාන කරන්නෙක් වූහ.
නබි තුමාගේ චරිතයෙන්
වචනයක් —————–
හේම් කුමාර් අගර්වාල් පාසැල් ශිෂ්‍යයෙකි. ඔහු නොයෙක් ආගම් හා දර්ශන ගැන විමර්ශන කළ කෙනෙක් නිසා ම ඉස්ලාම් ධර්මය සත්‍ය යැයි තීරණයකට එළඹ එය අනුගමනය කිරීමට පටන් ගත්තේය. එය පසුගිය අවුරුදු දහයක් දොළහක කාලයක් තිස්සේ නිසියාකාරව පිළිපදිමින් සිටි.
අසම්කාර් ප‍්‍රාන්තයේ “ජාමියතුල් ෆලාහ්” නම් වූ අධ්‍යාපනික ආයතනයේ ඉස්ලාමීය අධ්‍යාපනය ලැබූ හෙතෙම හින්දි භාෂාවෙන් ඉස්ලාම් දහම පිළිබඳ ග‍්‍රන්ථ ද ලියා ඇත.
ඔහුගේ එක ම අභිලාෂය වූයේ තමා ලත් දැනුම හා යහමග අන් අය ද, විශේෂයෙන් තම නෑදෑ හිත මිතුරන්ද ලබා ගත යුතු යැයි යන්න ය. එහෙයින්. ඔහු තම නෑදෑ හිත මිතුරන් හා නොයෙක් විට තර්ක කළේ ය, ඔවුන්ට ලිපි ලිව්වේය. මෙවන් උත්සාහයන් තුළින් ලියවුනකි, මෙම ලිපිය.
සහෝදර නසීම් කාජිගේ මෙම උත්සාහය දෙවිදිහකින් සාර්ථක වන අයුරින් මෙය සකස් වී ඇත.
1- ඉස්ලාමීය ප‍්‍රතිපත්ති නොකඩවා පිළිපැදීමෙන්, එහි ඇති සත්‍ය තාවය ජනයා වටහා ගන්නා අතර, එහි යහපත් ප‍්‍රතිඵල ද ඇති බව හැඟීමක් ඇති කිරීම.
2- දෙමාපියන් පිළිබඳ ඉස්ලාමීය නීති රීති එක ම බැල්මකින් තේරුම් ගෙන කිය විය හැකි අයුරින් අදාළ කරුණු එක් රැස්කොට මෙහි සකස් කර තිබීම.
මෙම උසස් නිර්මාණයේ මුල් ස්වරූපය වෙනස් නොවන ආකාරයෙන් දක්ෂ ලෙසින් ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කළේ, ඉස්ලාමය ගැන පැහැදී එය පිළිගත් තවත් කෙනෙකු වන සිරාජුල් හසන්ය; ඔහුගේ මුල් නම රාජ් ගෝපාලන්ය; එම කෘතිය සිංහල බසට පරිවර්තනය කරදුන්නේ සහෝදර කේ. එම්. නාපාවල මහතාය; නිවැරදි කරදීමට සහාය වූයේ සහෝදර ඒ. කේ. එම්. ෆවුස් මහතාය. මෙම සහෝදරයින් සියලූ දෙනාට ම අපගේ අවංක කෘතඥතාවය පළ කරනු කැමැත්තෙමු.
මෙය ඔබ අතට පත් කිරීමෙන් අපහට ඇතිවන්නේ ඉමහත් සතුටක්ය. අල්ලාහ් මානව සංහතියට යන මග පෙන්වත්වා!
මෞලවි ඒ. එල්. එම්. ඉබ්රාහීම්
(අමීර්, ශ‍්‍රී ලංකා ජමාඅත් ඉස්ලාම්).
නසීම් කාජිගෙන් —————–
මෙම ලිපිය වසර 10 කට පමණ පෙර ලියන ලද්දකි. මා එවකට පලේරියා, කංජි ජාමියතුල් ෆලාහ් (උත්තර ප‍්‍රදේශයේ අජම්කේල් දිස්ත‍්‍රික්කය) ආයතනයෙ හි ධර්මය ඉගෙන ගැනීමෙ හි යෙදී සිටියෙමි. එවිට මා ගෙදර ගියේ ඉඳ හිට ය. මම ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර හින්දු ධාර්මිකයන් වූ අගර්වාල් නම් පවුලේ සාමාජිකයෙක් වූයෙමි. කලින් මා පියා අපෙන් වියෝවීම නිසා වැඩිමල් සොහොයුරා භාරයේ මගේ කුඩා අවධිය ගත විය.
ඉස්ලාමය පිළිබඳව මා හා වැඩිමල් සොහොයුරා ද එක ම ආකල්පයක් දැරුවෙමු. එහෙයින් ඔහු මට විරුද්ධ නොවූයේය; හැකි පමණින් උදව් කළේය. එනමුත්, මගේ මවට නම් මා ඉස්ලාමය වැළඳ ගැනීම නුරුස්සන්නක් විය. ඒ සියල්ලට ම වඩා මා ඇය හැරදා බොහෝ ඈත පළාතක පිහිටී අධ්‍යාපන ආයතනයකට යෑම ඇයට මහත් සේ වේදනා ගෙන දුන්නේය.
මා ඉගෙනීම ලබමින් සිටියේ ඉතා ඈත ප‍්‍රදේශයකය. නමුත්, ඉඳ හිටවත් ගෙදර යෑම පුරුද්දක් කොට ගත්තෙමි මගේ දයාබර අම්මාද මා ලද මේ ඉස්ලාමීය දැනුම ලබාගත යුතු යැයි මම ආශා කළෙමි. එහෙත්, මෙම වැරදි මගින් මාව ගලවා ගතයුතු යැයි ඇය පැතුවා ය. ඇය මා කෙරෙහි දැක් වූ අසීමිත දරු සෙනෙහස නිසාම මගේ මේ කි‍්‍රයාව හෙළා දුටුවාය. ඇය වේදනාවෙන් සිටින බව ඇත්තකි; එය ස්වභාවිකයි. එසේ වූව ද ඇයට ඉස්ලාමය කෙරෙහි පැහැදිළි දැනුමක් නොවීය.
මුස්ලිම්වරුනගේ ජීවිතයේ යම් යම් කොටස් ඉස්ලාමයට පටහැනිව තිබීමත්, ඉස්ලාමය පිළිබඳව වැරදි අදහස් ඇතිව අන්‍යයන් කළකිරෙන අයුරින් ඔවුන්ගේ හැසිරීම් තිබීමත් නිසා, ඇගේ සිතෙහි මුස්ලිම්වරුන් ගැන වැරදි හැඟීම් තැන්පත් වන්නට ඇත. සමහර විට අන් අය විසින් මෙවන් වැරදි හැඟීම් ඇගේ සිතට ඇතුල් කෙරුවා විය හැකිය. ඒ පිළිබඳව ඔබ මෙම ලිපියෙන් මනාව අවබෝධ කරගනු ඇතැයි මම සිතමි.
මම හැකි පමණින් ඇගේ මෙම හැඟීම් වැරදි බව වටහා දීමට උත්සහ කළෙමි; ඉස්ලාමීය ඉගැන්වීම් සම්බන්ධව කෙළිනුත්, සමහර අවස්ථාවන්හි ලිපි මගිනුත් වටහා දෙන්නට වෑයම් කළෙමි.
අප පවුලේ සම්ප‍්‍රදාය අනූව, මා ඉපදුනු විට පවුලේ පඬ්වරයා මාගේ අල්ල දෙස බලා මාගේ අනාගතය පිළිබඳ නොයෙක් අනාවැකි මව හට පවසා ඇත.
එයින් එකක් නම්, ”ඔබේ මේ පුතා පසුකලෙක ඔබෙන් ඈත් වන්නේය!” යන්නයි. මෙයින් කැළඹීමට පත් වූ මව, මා ඉස්ලාමය වැළඳ ගැනීමෙන් එම අනාවැකිය ඇත්ත වූ බව විශ්වසා කළාය.
”පඬ්තුමා කී දේ වල ඇත්තක් ඇති බව උඹට පෙනෙනවා නේදැ? ”යි ඇය විටින් විට මා ඉදිරියේ ම පැවසුවාය, ලිපි මගිනුත් ලියා එව්වාය.
”ඉස්ලාමයෙ හි කිසිම විශේෂත්වයක් හෝ සාර්ථකත්වයක් නැහැ. යම් විශේෂත්වයක් හෝ සාර්ථකත්වයක් කෙරේ මගේ පුතා පැහැදුනු නිසා ඉස්ලාමය වැළඳ ගත්තේත් නැහැ. අර, මෞලානා සෙයියද් හාමිද් මොහුව නොමග යැව්වා” යන හැඟීම් මගේ මවගේ සිතේ මුල් බැසගෙන තිබිණ. මම මේ ලිපියෙන් ඇගේ මෙවන් වැරදි අදහස් තුරන් කිරීමට උත්සාහ කළ අතර, ඇයට ඉස්ලාමය වැළඳ ගන්නා ලෙස ආරධනා කර ඇත්තෙමි.
ඇගේ වැරදි අදහස් තුරන්කොට ඇයත්. ඉස්ලාමයේ හොඳ නමත් ආරක්‍ෂා කර ගැනීම මගේ එකම චේතනාවයි. ඒ සමග අන් අයත් මෙම සත්‍ය වූ මාර්ගය පිළිගෙන, දෙවියන්ගේ තෘප්තියත් ස්වර්ගයත් ලබාගැනීමට තරම් භාග්‍යවන්ත විය යුතුය යන්නද, අපායේ වේදනාවලින් ඔවුන් මිදිය යුතුයි යන්නද මගේ එක ම අභිලාශයත්, උත්සාහයත් වෙයි.
මෙම ලිපිය කියවීමෙන් පසු ඇගේ විරෝධය ලිහිල් වූ බව ඇත්තය. එහෙත්, තම මුල් ආගම අත්හැරීමට තරම් ධෛර්යයක් ඈ තුළ පහළ නොවීය.
මම ද මගේ උත්සාහය අත් නොහළෙමි. ඇගේ හදවත සත්‍යය සඳහා විවෘතකොට, සත්‍යය පිළිගැනීමේ සිතැඟි බවක් ලබාදෙන මෙන් දෙවියන්ට යාඥා කළෙමි.
මේ ලිපිය ලියා වසර තුනකට පමණ පසු අල්ලාහ්ගේ අනුග‍්‍රහයෙන් එවන් සිතක් ඇයට ඇති විය. ඇය ද සත්‍යයේ හඬට සිතට එකඟව පිළිතුරු දී ඉස්ලාමය ඇගේ ආගම කරගත්තා ය, ඇය මුස්ලිම් කාන්තාවක් වූවාය.
කලින් ඇය ගෙනගිය මුරණ්ඩු කි‍්‍රයා කලාපය ගැන අල්ලාහ්ගෙන් සමාව අයැද සිටියාය. අද ඇය සම්පූර්ණයෙන්ම ඉස්ලාමයට බැඳී සිටියි, ඒ පිළිබඳව සම්පූර්ණ හැඟීමකට ද පත් වී සිටියි. ඇය අල්කුර්ආනයේ හින්දි පරිවර්තනය තෙවරක් ම සම්පූර්ණයෙන් කියවුවා ය. ඒ වෙනුවෙන් අල්ලාහ්ට දහස් වාරයක් ස්තුති වන්තවෙමි.
පොදු ජන අවබෝධය මුල්කොට ගෙන සත්‍ය වූ මාර්ගය පිළිබඳ මෙම ලිපිය, පොත් පිංචයක් ලෙස පළකිරීමට අදහස් කළෙමි. සත්‍යයට ලැදි ජනතාව මෙය කියවා ඵල නෙලාගනීයි යනු මගේ හැඟීමයි.
අල්ලාහ් මගේ මෙම හැඟීම පිළිගනිත්වා!
නසීම් කාජි
මුල දී – හේම්කුමාර් අගර්වාල්
සෘජු මග ගත්තවුන් කෙරේ අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා!
දයාබර අම්මේ !
අල්ලාහ්ගේ අනුග‍්‍රහයෙන් හා ආරක්‍ෂාවෙන් ඔබ හොඳ සුවෙන් පසුවනු ඇතැයි සිතමි. ඔබ එවූ ලිපිය ලදිමි. නමුත්, නොවැළැක්විය හැකි යම් යම් හේතු නිසා පිළිතුරු ලිවීමට පමා වූවෙමි. ඒ වෙනුවෙන් ප‍්‍රථමයෙන්ම ඔබගෙන් සමාව අයැද සිටිමි.
ඔබේ හද තුළ මා පිළිබඳ ඇති කරුණාවෙන් පිරුණු සිතිවිල්ලත්, මගේ යහපත පිළිබඳ ඇති උනන්දුවත් අති මහත්ය. එසේ ම, මා හද පත්ලේ ද ඔබ කෙරේ ඇති ආදරය හා දයාවත් අසීමිතය.
ඔබේ දයාබර මුහුණ දැකීමට ඔබ වෙත දිව ඒමට මගේ හද කියයි. එහෙත්, මා ලබමින් සිටින ආගමික අධ්‍යාපනය මා එයින් වළක්වයි. මෙම බාධකය නොවුවා නම් මම ඔබේ සෙවන හැර මොහොතක්වත් වෙන් නොවෙමි. නමුත්, ආගම ඉගැනීමේ අවශ්‍යතාවයත් එහි ඇති වැදගත්කමත් මා නිසිලෙස වටහාගෙන සිටින නිසා ඔබෙන් වෙන් වීම මහත් ආයාසයෙන් වූවද දරාගෙන සිටින්නෙමි. මෙයින්, මා තුළ ඔබ ගැන වූ හැඟීම් නැති වූවා නොවේ. ගත වන සෑම තත්පරයක් ම ඔබේ අසීමිත ආදරය ගැන වූ සිතුවිල්ලෙන් ම පසුවෙයි. ඔබ මා කෙරෙහි දක්වන දයාවටත්, මා වෙනුවෙන් කර ඇති ඉමහත් පරිත්‍යාගයන්ටත් මම කෙසේ කළගුණ සලකමි ද? එම උතුම් පරිත්‍යාගයෙන් මගේ මේ දිවෙන් කෙසේ ප‍්‍රශංසා කර අවසන් කරමි ද? ඔබේ නොනිමි ආදරයටත් සේවයටත් කෙසේ ප‍්‍රති උපකාර දක්වමි ද?
දයාබර අම්මේ!
ඔබ නිතරම වාගේ ශෝකයෙන් හා හැඬූ කඳුලෙන් පවසන සමහර වදන්, මගේ හදවතෙ හි නිතරම රැව්දෙයි.
”මගේ රත්තරං පුතා මා හැර ගියා. වැරදි මගකට ඔහු යොමු වූවා. පඬිතුමා කියූ විදිහට ම මගේ පුතා මට නැති ව ගියා”යයි ඔබ පවසන වදන් නිතර ම මගේ සිහියට එයි.
ඇයි අම්මේ ඔබ මා ගැන මෙතරම් දුක්වන්නේ? මගේ කුමන කි‍්‍රයාවක් නිසා ද ඔබ මෙසේ සිත් තැවුලට පත්වන්නේද? බියවන්නේද? යනු මා දන්නේ නැහැ.
අම්මේ! මට කියන්න, මා කළ වැරදි මොනවා ද? මගේ පණටත් වඩා මම මගේ අම්මට ආදරේ බව දන්නව නේ ද? ඉතින් කියන්නකෝ මම කළ වරද මේකයි කියා!
මෙහි ඇති සයල්ල ම මැවූ සත්‍ය දෙවියන් ලෙස අල්ලාහ් ව පිළිගැනීම ද මා කළ වර ද? අවසන් වක්තෘවරයාණන් වූ මුහම්මද් (සල්) තුමා කෙරෙහි අචල විශ්වාසයක් තැබීමද මා කළ වර ද? ජීවිත කාලය පුරා ම දේව නීතියට අනූව මගේ ජීවිතය හැඩගස්වා ගැනීමට කි‍්‍රයා කිරීම ද මා කරන වර ද?
”අල්ලාහ්ට ප‍්‍රශංසා කරමි; ඔහුට කිසිවක් හෝ කිසිවෙක් හෝ සමාන නොකරමි”යි යනු ඇදහීම ද මා කළ වරද? එසේත් නැතිනම්, ”අපට ආහාර සපයන්නේ ද එම ලෝක පාලකයා වූ අල්ලාහ්මය” යනු පිළිගෙන එයට අවනත වී ජීවත්වීම ද මා කළ වරද?
අම්මේ! අපගේ මේ ජීවිතයත්, මෙහි ඇති පහසුකම් හා සුළඟ, ජලය, ආහාර, ඇඳුම් යනාදී සියල්ලත් ඒ අල්ලාහ් විසින්ම පිරිනමනු ලැබූ ඒවා වේ. මේ ජීවිතයත් මේ ලෝකයේ ස්ථීර වශයෙන්ම කවදා හෝ දිනක විනාශ වී යයි; සුනු විසුනු වී යයි. අපේ මෙම ජීවිතය අවසන් වූ පසු අල්ලාහ් අපට නැවත ජීවිතය ලබා දෙනු ඇත. අපට ජීවත් වීමේ වරම් දුන් අල්ලාහ්ට අපි කෙසේ ජීවත්වූයේ දැයි ඇසීමට අයිතියක් ඇති බව මම තරයේ විශ්වාසකරමි.
ඔහු පෙන්වා දුන් මාර්ගය අනූව ජීවත් නොවූ අය අපාගතව දරුණු වද වේදනාවලට ලක් වන්නාහ. එමෙන්ම, යහ මග ගියවුන් ස්වර්ග සම්පත් ලබා සතුටු වන්නාහ.
මෙම සත්‍යයන් සියල්ල නොපැකිලි ව මුළු හදින් ම පිළිගැනීමද මගේ වරද?
අපා ගින්නට බිලි නොවී ඉස්ලාමීය නීතියට අනූව ජීවත් වී ස්වර්ගස්ථ වන්නෙමි” යි යන ස්ථීර අධිෂ්ඨානයෙන් යුතු ව සිටිමි. මෙය වරදක්ද?
සියල්ල මැවූ අල්ලාහ්, නබි මුහම්මද් (සල්) තුමා මාර්ගයෙන් අප වෙත එවන ලද නීතිරීති සියල්ල පිළිපදිමි; ඔහු විසින් නොමැනවයි පෙන්වා දුන් පාපී කි‍්‍රයාවන්ගෙන් සම්පූර්ණයෙන් ඈත් වන්නෙමි” යන තීරණයට බැසීම මා කළ වරදක් ද?
ඔව් අම්මේ! ඔබේ සිතීම අනූව මේ තමා මා කල වැරදි! ඔබේ බියටත්, වේදනාවටත් හේතු වී ඇත්තේ මෙවැනි වැරදියි!
කෙටියෙන් කියන්නම්..
සත්‍යවූ අල්ලාහ්ට සම්පූර්ණයෙන් අවනත ව ජීවත් වන මම මුස්ලිමෙක් මි. මගේ ජීවන මාර්ගය ඉස්ලාමයයි; මා කි‍්‍රයාත්මක වන්නේ ඒ අනූවයි.
අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනතව, කීකරුව හා යටහත්ව තම ජීවිතයේ සෑම අවස්ථාවකම ජීවත්වන්නාට ”මුස්ලිම්” කියනු ලැබේ. ඔහු අල්ලාහ් විසින් අනුමත කළ දේ කරයි; අල්ලාහ් විසින් ප‍්‍රතික්‍ෂේප කරන ලද පාපී කි‍්‍රයාවලින් ඈත් වී සිටියි. මා ජීවත් වන්නේ ද ඒ ආකාරයටය.
අම්මේ! මා ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර, ඉස්ලාමීය මාර්ගයේ ගමන ආරම්භ කිරීමට පෙර, කෙතරම් දුර්ගුණාංගයන්ගෙන් පිරි පුද්ගලයෙකු ව සිටියේ දැයි ඔබ නොදන්නවා නොවේ. එවකට හොරකම හා බොරු කීම ඉතා සුළු දෙයක් කොට තැකුවෙමි. කොයි මොහොතේ වූවද ධෛර්්‍යයෙන්ම එම වැරදි කිරීමට නොපසුබට වූයෙමි. අසභ්‍ය සිතුම් පැතුම්වලින් මගේ සිත පිරී තිබුණි. මගේ උසුලූ විසුලූ හා අපහාස නිසා ම සමහරුන්ගේ දෙනෙත් කඳුලින් තෙත් වූ වාර බොහෝය.
නමුත්, මම බුද්ධියෙන් යුතුව, යම් ස්ථීර තීරණයකට එළඹ, ඉස්ලාමය මගේ ආගම බවට වැළඳගත් පසු, දේවාලෝකයෙන් මගේ හදවත ආලෝකමත් වී, එම පාපී අඳුර මගෙන් සදහටම තුරන් වී ගියේය.
මා මැවූ අල්ලාහ් යම් යම් කි‍්‍රයා නරක යයි පවසා තිබිය දී, එයට විරුද්ධව, ඔහුගේ නීති රීතීන්ට පිටුපා මා කෙසේ නම් ධෛර්්‍යයෙන් යුතුව ඒ කි‍්‍රයාවන් හි යෙදෙමිද?
දයාබර අම්මේ! මා පිළිපදින ජීවන රටාව, ඉස්ලාමීය ජීවන ක‍්‍රමය මුළු සංහතියටමයි අල්ලාහ් විසින් පිරිනමා ඇත්තේ. කිසිම අඩුපාඩුවක් නොමැතිව පරිපූර්ණවූත්, සම්පූර්ණ ජීවිතයකට අදාළවුත් නීතිරීති එහි අඩංගු වී ඇත.
මිනිසෙකු කෙසේ ජීවත් විය යුතු ද? ඔහුගේ වැඳුම් පිඳුම් හා යාඥාවන් සකස් විය යුත්තේ කෙසේද? මිනිසුන් අතර අන්‍යෝන්‍යව ඇසුරු කිරීමේ දී ඔවු නොවුන්ගේ ප‍්‍රශ්න විසඳා ගතයුත්තේ කෙසේද? රජයක පාලනය ගෙන යා යුත්තේ කෙසේද? දෛනික ජීවිතයේ අනුගමනය කළ යුතු සිරිත් විරිත් මොනවාද?
ආහාර ගැනීම, ඉපයීම, විවාහ වීම යනාදී නොයෙකුත් කාර්්‍යයන් හි හැසිරෙන්නේ කෙසේද?
මෙවැනි, සෑම අංගයකට ම අයත් කි‍්‍රයාවන් සියල්ලක්ම ඉටුකිරීම සඳහා ඉතාමත් යෝග්‍යතම මාර්ගයක් අල්ලාහ් විසින් අපට පෙන්වා දී ඇත. නබි (සල්) තුමා මෙම මාර්ගය කි‍්‍රයාවට නගා ඒ අනූව ජීවත් වන්නේ කෙසේද යනු තම ආදර්ශමත් ජීවිතයෙන් පෙන්වා දුන්නාහ.
මෙම කි‍්‍රයාවලිය හඳුන්වන්නේ ”ඉස්ලාම්” යන නමින්ය.
ඉස්ලාමය දෙමාපියන්, සහෝදර සහෝදරියන්, අඹුසැමි දෙදෙනා, අසල් වැසියන්, නෑදෑ හිත මිතුරන් හා අන්‍යයන් සමග හැසිරිය යුතු අන්දම සවිස්තරව පහදා දෙයි. දැන් මම සර්වඥ වූ, දයාබර හා කාරුණික වූ අල්ලාහ් ගේ මග පෙන්වීම අනූවත්, ඔහුගේ තෘප්තියට අනුකුලවත් ජීවත්වීමට අධිෂ්ඨාන කරගෙන ඇති නිසා, දෙමාපියන් හා කෙසේ හැසිරිය යුතු ද යනු සම්බන්ධව අල්ලාහ්ගේ ඉගැන්වීම් මොනවාදැයි සොයන්නට වීමි.
එම සෙවීම් තුළින් ලබාගත් දේ අනූව ක‍්‍රියා කරන්න පටන් ගෙන ඇති මා, අල්ලාහ් ද ඔහුගේ අවසන් ශාස්තෘවරයා වන මුහම්මද් (සල්) තුමා ද අණකර ඇති කරුණුවලින් සමහරක් මෙහි ඔබ ඉදිරියේ තබනු කැමැත්තෙමි.
සර්ව බලධාරී අල්ලාහ් තම ශුද්ධ වූ කුර්ආනයෙහි බොහෝ තැන්වල දෙමාපියන් පිළිබඳව අවධාරණයෙන් පවසා ඇත.
දෙමාපියන් හා විනීත ලෙස හැසිරෙන්න. ඔවුන්ට හිරිහැර නොකරන්න. ඔවුන්ගේ වදන්වලට ඉතා යටහත් සිතින් සවන් දෙන්න. ඔවුන් කළ උදව් වෙනුවෙන් කෘතඥ වන්න!” අල්ලාහ් පවසා ඇත. මුහම්මද් (සල්) තුමාත් පවසා ඇත්තේ මෙලෙසමය.
වරක්, ”අල්ලාහ්ට ඉතාමත් ප‍්‍රියතම ක‍්‍රියාව කුමක් ද?” යි නබි (සල්) තුමාගෙන් කෙනෙක් විමසීය.
”නියමිත වේලාවට යාඥා කිරීම” යයි එතුමෝ පිළිතුරු දුන්හ.
ඊළඟට අල්ලාහ් ප‍්‍රිය කරන කි‍්‍රයාව කුමක්ද?” යි එම පුද්ගලයා නැවතත් විචාළේය.
දෙමාපියන් සමග විනීත ලෙස හැසිරීම යැයි නබි (සල්) තුමාණෝ පිළිතුරු දුන්හ.
මෙලෙසම තවත් කෙනෙකු නබි (සල්) තුමා හමු වී කියන්නට විය.
”ශාස්තෘවරයානනි! මව් රටත් උපන් ගෙයත් හැර මා අල්ලාහ් වෙනුවෙන් යුද වැදීමට අධිෂ්ඨාන කරගෙන ඇති හෙයින්, ඒ ගැන ඔබතුමාගේ දෑත අල්ලාහ් දිවුරුම් දෙමි.
මෙම කි‍්‍රයාව වෙනුවෙන් වූ තිළිණ අල්ලාහ්ගෙන් පමණක් බලාපොරොත්තු වන්නෙමි” යි පැවසීය.
මේ ඇසූ නබි (සල්) තුමෝ ”ඔබට දෙමාපියන් සිටීද? යනු විචාළහ.
අල්ලාහ්ගේ පිහිටෙන් ඔවුන් දෙදෙනා ම සිටිති යි ඔහු පිළිතුරු දුන්නේය. “එසේ නම් ඔවුන්ට ඇප උපස්ථාන කරන්න. එම උපස්ථානය අල්ලාහ්ගෙන් හිජ්රත් හා ජිහාද් වෙනුවෙන් වූ තිළිණවලට සමාන තිළිණයක් ලබා දෙනවා ඇත යනු නබි (සල්) තුමා පැවසූහ.
වරක් නබි (සල්) තුමා මෙසේ පැවසූහ: “ඔබේ ස්වර්ගයත් අපායත් ඇත්තේ ඔබේ දෙමාපියන් පාමුලය”
මෙහි අරුත නම්, දෙමාපියන්ට කීකරුව සේවය කර, ඔවුන් කළ ආධාර උපකාරවලට කළගුණ සැලකීම වශයෙන් ඔවුන් හට උපස්ථාන කළහොත් ඔහුට ස්වර්ග සම්පත් අත්වන්නේය; එසේ නැතිව ඔවුන් හට හිංසා පීඩා කරමින්ද කරදර දෙමින් ද ඉතා දරුණු ලෙස කි‍්‍රයා කළහොත් බුර බුරා නැගෙන අපා ගින්නට බිලි වන්නේය යන්නය.
නබි (සල්) තුමා කීප අවස්ථාවකම අවධාරණයෙන් පවසා ඇති වදනක් මෙසේය:
“දරුවන් තම දෙමාපියන් සමග හොඳින් හැසිරිය යුතුයි!”
අල්ලාහ් ශුද්ධවූ කුර්ආනයේ මෙසේ සඳහන් කරයි:
“ඔබේ දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම හෝ වයස්ගත වී ඔබෙන් යැපෙන්නේ වී නම් ඔවුන් පිළිකුල් සිතෙන අයුරින් ”චී” යනුවෙන්වත් නොකියනු” (ශු අල්කුර්ආනය 17: 23).
එනම්, දෙමාපියන්ට පහර දීම හා දරුණු අන්දමින් කථා කෙසේ වෙතත්, ඔවුන්ට පිළිකුල් වන සේ වචනය කුදු නොපැවසිය යුතුය. ඔබට අප‍්‍රසන්න වනදක් වූවද දෙමාපියන්ගේ මුවින් පිටවූයේ නම් ඔබ ඉවසිය යුතු වේ: ඒ හේතුවෙන් ඔබ ඔවුන් කුපිත නොකරන්න; සෑම විට ම ඔවුන් තෘප්තිමත් කරන්න, යනු අල්ලාහ්ගේ ආඥාවයි.
“දෙවියන්ගේ සතුට පියාගේ තෘප්තියෙහි රැුඳී ඇත; එසේම, දෙවියන්ගේ කෝපය පියාගේ පිළිකුලෙහි රැඳී ඇත”. යනු නබි (සල්) තුමානන් පැවසූහ.
ආදර පියාට කීකරු ව ඔහුගේ උපදෙස් පරිදි කි‍්‍රයාකර ඔහුට තෘප්තියක් ලබාදුනහොත් අල්ලාහ්ද තෘප්තිමත් වෙයි. පියාට අකීකරුව ඔහුගේ උපදෙස් නොතකා හිතුමතේ කි‍්‍රයාකර ඔහුව අසහනයට පත්කළේ නම් හෝ ඔහුගේ කෝපයට ලක්වෙයි. මව්පිය දෙදෙනා ගෞරවනීය අන්දමින් හා සතුටින් තබාගන්නා ලෙස නබි (සල්) තුමා අණකර ඇත. එසේම දෙමාපියන්ට මුළු හදවතින්ම ඇප උපස්ථාන කළ යුතු බවද නබි (සල්) තුමා අවධාරණය කළහ.
නබි (සල්) තුමාගේ වනදක් මෙසේ වෙයි: “යම් පුද්ගලයෙක් දෙමාපියන්ට උපස්ථාන කරන්නේ නම් ඔහුට දෙලොව ජය ලබාගත හැකිය. දෙමාපියන්ට උදව් කිරීමෙන් ආයුෂ ද වැඩිවේ. ආහාර පාන අතින් දියුණුවක් ද ඇති වේ”.
තවත් නබි වදනක් මෙසේය: “දෙමාපියන්ට කීකරු වන්න; කුමක් හෝ වැඩක් අරඹන විට එය කෙතරම් වැදගත් එකක් හෝ වේවා එයට දෙමාපියන්ගේ අනුමැතිය ලබා ගන්න. ඔවුන් සමග බැඳීමකින් සිටින්නේ නම් එය ඔබ වෙනුවෙන් ස්වර්ගයේ දොර විවෘත වීමක් වේ”.
තවද, එතුමාගේ වදනක්: “හිතට එකඟව දෙමාපියන්ට යටත්ව සිටින කෙනෙකුට ස්වර්ගයේ දොර විවෘත ව පවතිනු ඇතැයිද දෙමාපියන්ගේ වදන් නොතකා යටත් නොවී අකීකරු වේ නම් ඔහු අපායට යෑමට සූදානම් විය යුතුයි” යනු ඇත.
අල්ලාහ් තම ශුද්ධ කුර්ආනයේ : “දෙමාපියන් සමග යහපත් ලෙස හැසිරෙන්න. ඔවුන්ට අගෞරවනීය අන්දමින් හෝ දැඩි ලෙසින් හෝ කථා නොකරන්න. ඔවුන් ඉදිරියේ තැන්පත් ව හා යටහත් පහත් ව ද ගෞරවාන්විත වද හැසිරෙන්න, ඔවුනතර ඔබ ලොකු මිනිසකු නොවන්න” යැයි සඳහන් කරයි.
නබි (සල්) තුමාගේ මිත‍්‍රයකු වන කීර්තිමත් හසරත් උමර් (රලි) තුමාණෝ තම මිත‍්‍රයන් අමතා මෙසේ කීවේය: “ඔබේ මව සමග තැන්පත් ස්වරයෙන් කථා කිරීම හා ඇගේ ආහාරපාන ආදිය සම්බන්ධයෙන් කටයුතු කිරීම ස්වර්ගයට හිමිකරුවෙක් කරන්නේය. නමුත්, ඒ සඳහා ඔබ පාපී කි‍්‍රයා නොකර සිටිය යුතුයි.”
නබි (සල්) තුමාගේ තවත් වැදගත් මිතුරකු වන හසරත් අබූහුරෙයිරා (රලි) තුමාණෝ පුද්ගලයෙකු අමතා “ඔබ ඔබේ පියාගේ නම සඳහන් කර ඔහු අමතන්න එපා. ඔහුට ඉදිරියෙන් ගමන් කරනු එපා. එසේම ඔහු අසුන් ගැනීමට පෙර ඔබ අසුන් ගන්න එපා” යනුවෙන් පැවසූහ.
මෙලෙස කීප අවස්ථාවකම දෙමාපියන් සමඟ ගරු සරු ලෙස හැසිරෙන ලෙස පවසා ඇත. නබි (සල්) තුමා දෙමාපියන්ට දයාව දැක්වීමේ වැදගත්කම පෙන්වා දී ඇත. දෙමාපියන්ට දයාව දැක්වීම වෙනුවෙන් කෙනෙකුට මහත් පිනක් ලැබෙන බව ගෙනහැර දක්වා ඇත.
“හොඳ දරුවන් තම දෙමාපියන් දෙස සෙනහසින් පිරි සිතෙන් යුතුව බැලීම පවා පූර්ණවූ එක් හජ් වන්දනාවක් වෙනුවෙන් ලැබෙන පින් ඔහුට අල්ලාහ්ගෙන් ලැබීමට හේතු වේ.” තවද මිනිසකුගේ සම්පත් ධනය යනාදියේ මුල් උරුම කරුවෝ ඔහුගේ දෙමාපියන්ය. යනාදි ඉගැන්වීම් ශුද්ධ කුර්ආනයේ දැකිය හැකිය.
මිනිසා තම ධන සම්පත් නොයෙකුත් මාර්ගයෙන් වියදම් කරයි. එම සම්පත් වලට මුල් උරුම කරු වන ලෙස මතු දක්වා ඇත්තේ දෙමාපියන්ය. එනම් එම සම්පත් වලින් මුලින්ම ඔහු තම දෙමාපියන්ගේ අවශ්‍යතාවන් පිරිමැසිය යුතුයි. ඉන් පසුවය, අනිකුත් වැඩ සඳහා වියදම් කළ යුත්තේ. දෙමාපියන් වෙනුවෙන් විවෘත හදවතකින් වියදම් කිරීමේදී ලෝභකමක් දැක්වීම නොමනාය.
නබි (සල්) තුමාගේ කාලයේ සිදුවූ එක්තරා ශෝකානුකුල සිදුවීමක් වාර්තා ගත ව ඇත. නබි (සල්) තුමා වෙත පැමිණි මිනිසෙක්, “නබි තුමණි! මාගේ පියා ඔහුට හිතෙන සෑම විටම මගේ මුදල් ලබා ගන්නේය.”යි තම පියා ගැන පැමිණිල්ලක් කළේය. මේ ඇසූ නබි (සල්) තුමා ඔහුට පියා කැඳවා ගෙන එන ලෙස නියම කළහ. ඔහු තම පියා කැඳවා ගෙන ආවේය. හැරමිටියක ආධාරයෙන් පැමිණි ඔහුගේ පියා ඉතාමත් වයස් ගත පුද්ගලයෙක් විය. නබි (සල්) තුමා පැමිණිල්ල ගැන එම මහලූ පියාගෙන් විමසූ කල,
”ශාස්තෘවරයානනි! එක් කලෙක මගේ මේ පුත‍්‍රයා ඉතාමත් දුබලව කිසි පිළිසරණක් නැතිව සිටියේය. මම හොඳ ශරීර ශක්තියෙන් හා මිල මුදල් වලින් පිරි අයෙකු වීමි. එහෙත් මා සතු සම්පත් වලින් ඔහුට උදව් උපකාර කිරීමෙන් මොහුව බැහැර නොකළෙමි. නමුත්, අද මොහු ධනවතෙක්. එසේ වූවත් මොහු තම සම්පත් වලින් මා බැහැර කරයි.” යනුවෙන් ඉතාමත් දුක් මුසු ලීලාවෙන් පැවසීය. නබි (සල්) තුමාගේ දෑස් කඳුලින් තෙත්වුණි.
එම මහල්ලාගේ පුත‍්‍රයා අමතා,
”ඔබත් ඔබ ලබා ඇති ධනයත් යන සියල්ල ඔබේ පියාට අයත්ය” යනුවෙන් පැවසූහ. මේ අයුරින් නබි (සල්) තුමාගේ වදන්වලින් නොයෙකුත් කරුණු අපට පැහැදිලි වේ. මනුෂ්‍යාගේ ධනය, සම්පත්, අනිකුත් දක්‍ෂතාවන් හා හැකියාවන් දෙමාපියන්ගේ ත්‍යාගශීලීවන්ත භාවයේ මහඟු ප‍්‍රතිඵලයකි.
එනිසාම ඔහුත් ඔහුගේ වස්තුන් ඔහුගේ පියාට අයත්ය. පියාගේ කීම පරිදිය ඔහු කි‍්‍රයා කළ යුත්තේ. තමා ලබා ඇති සම්පත් බුක්ති විඳීමෙන් තම පියා වැලැක්වීම නොකළ යුතුය. තම දෙමාපියන් වෙනුවෙන් දෙවියන්ගෙන් ප‍්‍රාර්ථනා කරන ලෙස ශුද්ධ කුර්ආනය කියයි.
”හිමියනි! කුඩා වියෙහි මා වෙත කරුණාව දැක්වූවා මෙන් එම දෙදෙනාට කරුණාව දක්වනු මැනව” (ශු කුර්ආන් 17: 34).
පියෙකුට වඩා මවක් දුක් ගැහැට විඳින්නීය. අප වෙනුවෙන් සෑම විටම කැප වන්නීය. ඒ නිසා ඉතා ගරු කටයුත්තන්ගෙන් මුල් තැන ඇයට හිමි විය යුතු නොවේද?
මෙය ශුද්ධ කුර්ආනයෙනුත් නබි වදන් වලිනුත් ඉතාමත් හොඳින් පැහැදිල වන කරුණකි.
”පියා වෙනුවෙන් කරන සේවයට වඩා මව වෙනුවෙන් කරන ඇප උපස්ථානය අගනේය”. යි වරක් නබි (සල්) තුමා පැවසූහ. කෙනෙකු නබි (සල්) තුමාගෙන් ”ශාස්තෘවරයානනි මා ඉතාමත් යටහත් ව කීකරුව සිටිය යුතු වූවද එමෙන් අන් අයට වඩා වැදගත්වන්නා වූද පුද්ගලයා කව්රුන් දැයි?” විමසූ කල නබි (සල්) තුමා ”ඔබේ මව” යැයි පිළිතුරු දුන්හ. ”ඊළඟට කව්රුන් දැ?” යි ඔහු නැවතත් ප‍්‍රශ්න කළේය. එවිටත් ”ඔබේ මව” යැයි නබි (සල්) තුමා පිළිතුරු දුන්හ. ඊළඟට කව්රුන් දැයි ඔහු නැවතත් විමසූ කල ”ඔබේ මව” යැයි පිළිවදන් දුන්හ. සිව් වැනි වතාවටත් ඊළඟ කෙනා කව්රුන් දැයි විමසූ කල ”පියා” යැයි කීහ.
තවත් අවස්ථාවක නබි (සල්) තුමාණෝ ”මවගේ දෙපා මුළ ස්වර්ගය ඇත” යි කීහ. හදා වඩා ගත් මවට ඇප උපස්ථාන කර ඇයට හොඳින් සැලකුවේ නම් ඔබට ස්වර්ග භාග්‍ය හිමිවන්නේය යනු එහි අදහස් වේ. එසේ නැත්නම් මවට ඇප උපස්ථාන කිරීමෙන් ස්වර්ගය ලබා ගත හැකිය යනුවෙන් එය අපට තේරුම් ගත හැකිය. මෙලෙස නොයෙකුත් ඉගැන්වීම් වල මව වෙනුවෙන් කළ යුතු ඇප උපස්ථාන හුවා දක්වා ඇත.
දෙමාපියන්ගෙන් කෙනෙකු හෝ දෙදෙනාම අභාවප‍්‍රාප්ත වූවහොත් ඔවුන් වෙනුවෙන් දෙවියන්ගෙන් ප‍්‍රාර්ථනා කළ යුතුය. ඔවුන්ගේ පව් කමා කරනු ලැබීමටත් ඔවුන්ට පරලෝ සැපත ලැබීමටත් දෙවියන්ගෙන් ප‍්‍රාර්ථනා කළ යුතු යැයි නබි (සල්) තුමාණෝ අණ කළහ. දෙමාපියන් හට ගරු සරුව කීකරුව හා ඔවුන්ට යටත්ව ද ඔවුන් මහලූ වියට පත්වූ විට ඔවුන් සැනසෙන අයුරු ඇප උපස්ථාන කරන ලෙස ද අල්ලාහ් විසින් අවධාරනයෙන් පවසා ඇත. එසේ වූවත් යම් දෙයක් අල්ලාහ් වළක්වා තිබේද, වැළකී සිටීමට අණකර තිබේද, එය තම දයාබර දෙමාපියන් කරන ඉල්ලා සිටියත් එයින් වැළකී සිටිය යුතුයයි අල්ලාහ් නියම කර ඇත. වැරදි කි‍්‍රයාවක් කිරීමට තම දෙමාපියන් ඉල්ලා සිටින විට එය කෙසේ පිළිගනිමුද? නමුත් ඔවුන්ගේ යුක්ති සහගත ඉල්ලීම් නොවලහා ඉටු කළ යුතුය යන්න අපට අවබෝධ විය යුතුය.
ආදරණීය අම්මේ!
අපව මැවූ දෙවියන් හා ඔහු විසින් එවන ලද අවසන් ශාස්තෘවරයා කුමක් කිරීමට අණකර තිබේද? මා එය පිළිපදින්නට අධිෂ්ඨාන කරගෙන ඇති බව මා මුලින් ම පවසා ඇත්තෙමි. දෙමාපියන් පිළිබඳ දේවාඥාව කෙසේ වෙත් ද ඒ අයුරු මම දෙමාපියන් ඇසුරු කරමි. එම දේවඥාව කුමක් දැයි මම ඔබට පවසා ඇත්තෙමි. ඒ අනූව ම ජීවිතය ගෙන යමිය, ස්ථීරව පවසමි.
මෙම කරුණු කියවා හොඳින් කල්පනා කර බලන්න. ”මගේ පුතා කියන දෙය සත්‍යයි” යැයි ඔබට හැඟුණොත් නිසැකින් ම පහත එන තීරණයට ඔබ එළඹෙනු ඇත.
”මගේ පුත‍්‍රයාව මෞලානා තුමා නොමග යැව්වා යැයි සිතු එක වැරදියි; ඔහු මගේ පුත‍්‍රයකු නොවේ යැයි කී එකත් වැරදියි, අනික් අතට මෞලානා තුමා මගේ පුතා නියම පුත‍්‍රයෙකු කළා. එතුමා, මගේ පුත‍්‍රයා නොමග යැව්වේ නැහැ. ඒ වෙනුවට එතුමා ජීවත්වීමේ නියම මග ඔහුට පෙන්වුවා. මොහු ඔබේ පුත‍්‍රයකු සේ නොසිටිනු ඇත්තිය” එදා බ‍්‍රාහ්මනයා පැවසු දේ සත්‍ය යැයි වැටහුනොත් ඉහත කී තීරණයටයි ඔබ එළඹිය යුත්තේ. එය ස්ථීරයි.
දයාබර අම්මේ!
ඔබ ස්ථීර සිතින් විශ්වාස කරන්න. මා කවදත් ඔබේ පුතාවෙමි, කවදත් ඔබට අයිති වෙමි. ඔබේ හදවතේ මුල් බැස ගත් දුක හා බිය මුලිනුපුටා දමන්න. මිනිස් සමාජයට සෘජු මග පෙන්වන නියම මාර්ගය ඉස්ලාම් පමණි. මෙම දහම අල්ලාහ් විසින් පිරිනමන ලද්දකි. මිනිස් ජීවිතයේ සෑම අංශයකටම අදාල නීති රීතීන් මෙහි ඇත. ධර්මයක් සත්‍යද, අසත්‍යද, යන්න දැනගැනීමට එම ධර්මයේ එක් අංගයක් පමණක් නිදර්ශනයක් වශයෙන් ගෙන පරීක්‍ෂා කිරීම සෑහේ.
මෙහි දෙමාපියන් පිළිබඳ ඉස්ලාම් ධර්මය ඉගැන්වීම් පිළිබඳ කෙටි විස්තරයක් ඔබ ඉදිරියේ තැබුවෙමි. මෙදෙස හොඳින් සිත යොමු කිරීමෙන් ඉස්ලාමය කෙබඳු දහමක්ද, කෙබඳු මඟ පෙන්වීමක් ද යන්න ඔබටම තේරුම් ගත හැකිය. මෙවන් පරිපූර්ණවූ ද පැහැදිළි වූද වෙනත් කිසිම දහමක් ඇත්ද?” එසේය. මෙවන් පැහැදිළි පිරිසිදු නීති පද්ධතියක වෙනත්, කිසිම දහමක් නැතැයි” යන තීරණයට ඔබ එළඹෙනු ඇතැයි මට විශ්වාසය. මේ අයුරුම ජීවිතයේ එක් එක් අංශයට අදාල නීතිරීතින් ඇත. ඒවා මිනිසාට සෑම අවස්ථාවකදීම සෘජු මග පෙන්වාලයි.
මා ආදරණීය අම්මේ!
ඔබ මා දුකසේ හදා වඩාගත්තා. මා වෙනුවෙන් නොවින්ද දුකක් නැහැ; ඔබ කුසයේ මාව මාස ගණනක් දරාගෙන; දිගුකාලීන දුක් ඔබ දරාගත්තා. මෙලොව එළිය දකින විට මා එක් මස් කැටියක් පමණයි. එවිට මා ශක්තියෙන් තොර බෙලහීනව දුබලව සිටියා. එහෙත් ඔබ මේ මස් කැටිය ඔබේ ශරීරයේ ලේ ශ‍්‍රමය හා ශක්තිය කැප කොට මා ආරක්‍ෂා කළා. කිරි පොවා මා නලවා මට අවශ්‍ය සියළු දේ කළා. මා තරමක් හැදී වැඩි එන විට ඉගෙනීමට අවශ්‍ය දෑ කළා. දැනුම දීමට ආශා කළා. මා හොඳ මිනිසෙකු ලෙස ජීවත් කරවීමට සැලකිලිමත් වුණා; මා අසනීප වූ විට ඔබ නොඉවසිලිමත් වුණා. මගේ දෑසින් කඳුළු ගැලූවිට ඔබේ සෙනහසින් පිරි හදවතින් ලේ ගලන්නාක් සේ ඔබට සිතුනා. නොකා නොබී, නොනිදා ඔබේ කාලය ශ‍්‍රමය මා වෙනුවෙන් පිදුවා; මෙලෙසින් ආදරයෙන් කවා පොවා මා හදා වඩා ගත්තා; ඔබේ ආහාර කොටස මට දී ඔබ නිරාහාරව සිටී අවස්ථා අනන්තය. විසිතුරු ඇඳුම් මට අන්දවා ඔබ කිළිටි පරණ ඇඳුම් ඇන්දා;
ඇත්තෙන්ම ඔබ මා වෙනුවෙන් කැප කළ කාලය හා ශ‍්‍රමය අප‍්‍රමාණයි. ඒ සියල්ල මට මේ මුවෙන් පමණක් කියා නිම කළ නොහැකිය.
මා වෙනුවෙන් ඔබ කළ මේ උදව් උපකාර සඳහාත්, වැය කළ ශ‍්‍රමය හා කාලය සඳහාත්, කෙසේ නම් කළ ගුණ සළකමිද? ඇත්තෙන්ම කොපමණ සැලකුවත් එය නොසෑහේ යැයි මට හැෙඟ්.
වැදූ මවට සලකන ලෙසත් ඇප උපස්ථාන කරන ලෙසත් අල්ලාහ් අණකර ඇත. ඔබ මට මෙලොව ශාන්තිය උදාකර දුන්නා. ඔබ හට සේවය කිරීමත් ඇප උපස්ථාන කිරීමත් මගේත් යුතුකමක්. එසේ වූවත් මගේ ඉමහත් කැමැත්ත නම් සදාකාලික වූ එලෝ ජීවිතයේ අපට නිදහස ලැබිය යුතුය යන්නයි. කුමන මාර්ගයේ ගියතොත් ඒ නිදහස ඔබට ලැබෙනුයේද එම මාර්ගය ඔබට පෙන්වීම මගේ යුතුකමයි. ඒ මාර්ගය ඉස්ලාමයයි. අපට මෙලොවත්, එලොවත්, ජය ලබාගත හැකිවනුයේ ඒ අනූව ජීවත් වූවහොත් පමණි. ඔබ මෙම ධර්මය පිළිගෙන ඒ අනූව ජීවත් වනවා දැකීම මගේ ලොකුම කැමැත්තයි.
නිවසේ දීත් කීප වතාවක්ම මෙය ඔබට තේරුම් කර දීමට උත්සාහ දැරුවෙමි. ඉස්ලාම් ධර්මය වැළඳ ගන්නා ලෙස ඔබෙන් මම ඉල්ලා සිටියෙමි. නමුත් ඔබ කිසිම තැකීමක් කළේ නැහැ. මේ වෙනුවෙන් මා ඔබෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙමි. එමෙන්ම මට කිසිම ලෞකීක බලාපොරොත්තුවක් හෝ ආශාවක් හෝ ඉටු කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව දන්නා දෙයකි.
දස මසක් කුස හොවා මා ඇතිදැඩි කළ මගේ ආදරණීය අම්මාව, මගේ පණටත් වඩා ආදරය කරන මගේ අම්මාව, මගේ දෑස් ඉදිරිපිට දීම බුර බුරා නැගෙන අපා ගින්නෙන් දැවෙනු දැකීමට මා පි‍්‍රය නොකරමි. එයින් අම්මා ආරක්‍ෂා කර ගැනීම මගේ පරමාභිලාශයයි.
ඔබ දැන් පිළිපදින ධර්මය, ඔබව ඇදගෙන යන්නේ අපාය දෙසටය. ඔබ එය තවම තේරුම් නොගැනීම ඇත්තෙන්ම අවාසනාවන්තය.
ඔබ දුම්රියක ගමන් කරමින් සිටිනවා යැයි නිදසුනක් වශයෙන් මොහොතකට සිතන්න. දුම්රිය ගමන් මාර්ග ඉදිරියෙහි එන පාලම පීල්ලක් ඉවතට පැන ඇති බව මා දැන සිටිමි. එහි ගමන් ගන්නා මගීන් ඇත. සියල්ලෝම ඔවුන්ට අවශ්‍යය ස්ථානයට යා නොහැකිව පමණක් නොව එය අතර මගදී විපතට පත්වේ යන්නත් එහි මගින් සියළු දෙනාම මරණයට ගොදුරුවේය යන්නත් මා හොඳින් දැන සිටිමි. ඒ එක්කම මා සතුව හොඳ මෝටර් රථයක් තිබේ. එයින් නිරුපද්‍රිතව නියමිත ස්ථානයට ගෙනයා හැකිය. ඒ නිසා එම දුම්රියෙන් බැස එන්න, එහි ගමන් කරන මග විනාශකාරී එකක්. මගේ මෝටර් රථයට එන්න; එහි අසුන් ගන්න; අප හැම යහපත් මගක ගමන් කරමු; දුම්රිය නවතන සෑම දුම්රිය පලකම මා ඔබෙන් ආයාචනා කරමි. මාරක දුම්රියෙන් බැස ඔබ ඔබව බේරා ගන්නැයි මා ඔබෙන් ඉල්ලා සිටින්නෙමි. නමුත් ඔබ තවම මගේ ආරාධනාව නොපිළිගත් බවකි කිවයුත්තේ. මම ද ඇරයුම් කිරීමෙන් පසුබව නොවෙමි.
ඒ විනාශ මුඛයට යෑමට පෙර දුම්රියෙන් බැස මගේ මෝටර් රථයට නැග ගතහොත් ඔබ පතන ස්ථානයට ඔබට යා හැකිය. නැතහොත් ඔබට අනෙකුත් මගීන් සමග විනාශය මුඛයට පත්විය හැකිය. ඒ අවසන් මොහොතේ දී ඔබ අහෝ! මගේ පුතා කී දේට ඇහුම් කන් දුන්නා නම්? ඔහුගේ මෝටර් රථයට නැග ගත්තේ නම්? යි ඔබ පසු තැවිල්ලෙන් හඬා වැලපෙනු ඇත.
ඔබ මා අසුන් ගෙන සිටින වාහනය වන ඉස්ලාමයට පැමිණිය හොත් ඔබ පතන ඉලක්කයට ඔබව සුවසේ ගෙන හැරීම ඒකාන්තයි.
අම්මේ!
මගේ හදවතේ නැගුණු මෙම හැඟීම් ඔබට ඉදිරිපත් කර සිටිමි.
මේ වදන් ඔබේ සිතේ තබාගන්න. අල්ලාහ් ඔබව නියම මගෙහි ගමන් කරත්වා!
”ඔබ මෙලොව හැර ගිය පසු අල්ලාහ් ඔබ ගැන සෑහිමට පත්විය යුතුයි. ඔහුගේ ස්වර්ග සම්පත්වලට හිමිකරුවකු විය යුතුයි. යනුවෙන් දෑත් නගා අල්ලාහ් යදිමි. මා කියූ කරුණු පිළිබඳ ගැඹුරු ලෙස සිතා බලා පිළිතුරු දෙනු ඇතැයි ස්ථීරවම විශ්වාස කරමි.
ඔබ මාගේ වැරදිවලට සමාවනු ඇතැයි සිතමි.
මෙයට,
කීකරු පුතා
නසීම් කාජි