මෙම ලිපිය තුළින් අපි අපේක්‍ෂා කරන්නේ ශුද්ධවූ අල්කුර්ආනය අපට උගන්වන අගනා ප‍්‍රාර්ථනාවන් නිසි අයුරින් අවබෝධ කර, එය කට පාඩම් කරමින් නිරතුරුව එම ප‍්‍රාර්ථනාවන් කිරීමේ පුරුද්ද ඇති කරගැනීමයි.

සියල්ල පිළිබඳ ඥානය සතු සර්ව බල සම්පන්න අල්ලාහ් අපට උගන්වාදෙන ප‍්‍රාර්ථනාවන් සුළු පටු නොවේ. එහි අන්තර්ගත අදහස් සම්භාරය අති විශාලය. ඒ තුළ අපගේ දෙලොව ජීවිතයේ සාර්ථකත්වය හා ජයග‍්‍රහණය රඳා පැවතීම නොඅනුමානය.


ශුද්ධවූ අල්කුර්ආනයේ මුල්ම පරිච්ඡේදය වන අල්ෆාතිහා පරිච්ඡේදයෙන්ම මෙම ලිපිය අපි ආරම්භ කිරීමට අදහස් කරමු. සෑම පරිච්ඡේදයකම සඳහන් වන ප‍්‍රාර්ථනාවන් කෙරෙහි අනුපිළිවෙලට මෙතැන් සිට  අපි අවධානය යොමු කරමු.

අල්ෆාතිහා පරිච්ඡේදය උගන්වන ප‍්‍රාර්ථනාවන් සලාතයෙහි සෑම රක්අතයක් පාසාම පාරායනය කිරීම අප වෙත අනිවාර්්‍යය. ඒ තුළින්ම එය අපේ ජීවිතයට කොතරම් වැදගත්ද? යනු අවබෝධ කරගත හැක.

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ  اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ  صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ

“හිමියනි! අපි ඔබම නමදිමු ඔබගෙන්ම පිහිට පතමු. අපට සෘජු මග පෙන්වනු මැනව! එය ඔබේ ආශිර්වාදයට ලක්වූවන්ගේ මග වේ, එය ඔබේ කෝපයට පත්වූවන්ගේ හා නොමග ගියවුන්නේ මග නොවේ.” (1: 5-7).

අල්බකරා දෙවැනි පරිච්ඡේදය අපට
උගන්වන ප‍්‍රාර්ථනාවන් මුල සිට:

මානව සංහතියේ දෙලොව උන්නතිය සඳහා මඟ පෙන්වීමට පත්කරනු ලැබූ දූතවරුන් කළ ප‍්‍රාර්ථනාවන් විවිධ අවස්ථාවල අල්කුර්ආනය සිහිපත් කරයි. එම ප‍්‍රාර්ථනාවන් වෙත අපි නිසි අවධානය යොමු කරන විට ඔවුන් තුළ අල්ලාහ් කෙරෙහි පැවතුනු තිරසාර විශ්වාසය, සැබවින්ම සර්ව බලසම්පන්න අල්ලාහ් මෙය මට ඉටුකර දේවී යන තද බල විශ්වාසය, කිසිම අවස්ථාවක අල්ලාහ්ගේ බල පරාක‍්‍රමය කෙරෙහි අබ මල් රේණුවක තරම් හෝ අවිශ්වාසයක් නොපවත්වා ගැනීම යන සුවිශේෂිවූ ලක්‍ෂණයන් දැකගත හැක. මෙය අපි ආදර්ශයට ගෙන කි‍්‍රයා කිරීම පිණිසයි ශුද්ධවූ අල්කුර්ආනය අපට අනාවරණය කරන්නේ.

ඉබ‍්‍රාහීම් (අලෙයි) තුමන් හා එතුමන්ගේ පුතු නුවන් වන ඉස්මාඊල් (අලෙයි) තුමන් දෙදෙනා එක්ව පරිශුද්ධවූ කඃබාව ඉදිකිරීමෙන් පසු කළ ප‍්‍රාර්ථනාවන් ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සිහිපත් කරයි:

رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ
رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً لَكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ
رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولًا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ

“අප හිමියනි! මෙය (සත් කි‍්‍රයාව) අපෙන් පිළිගනු මැනව! සැබවින්ම ඔබ සියල්ල ශ‍්‍රවණය කරන්නා හා ඉතා ඥානාන්විතයා වේ”.

“අප දෙවිඳුනි, අප දෙදෙනා සහ අපගෙන් පැවැත එන්නන්ද ඔබට ඉඳුරාම කීකරු වූ මුස්ලිම් (ජාතියක්) ලෙස කරනු මැනව. අපට අපගේ ඇදහිලි විධි පෙන්වා දෙනු මැනව. අපට (කරුණාකර අපගේ පව) සමා කරනු මැනව. ඇත්තෙන්ම ඔබ සමාශීලීය, අතිදයාලූය.”

“අපගේ දෙවිඳුනි, ඔවුන් අතර ඔබගේ ආයාවන් පාරායනය කර පෙන්වා පුස්තකය ද අනපනත් ද හදාරා දී, ඔවුන් පරිශුද්ධ කරන්නාවූද දූතරවරයෙකු  ඔවුන් අතුරින් පත් කරනු මැනව. ඇත්තෙන්ම ඔබ බල සම්පන්නය නුවණැතිය- (යනුවෙන් පැවසූහ).” (අල්බකරා 2: 127 – 129).

رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

“අප හිමියනි! මෙලොව හා මතු ලොව දිවිය තුළ අපට යහපත පිරිනමනු මැනව! අප නිරයෙහි ගින්නේ දඬුවමින් ද ආරක්‍ෂා කරනු මැනව!” (අල්බකරා 2: 201).

ඉහත සඳහන් මෙම ප‍්‍රාර්ථනාව නබි (සල්) තුමන් තම ජීවිතය තුළ අධිකව කළ ප‍්‍රාර්ථනාවක් විය. යනුවෙන් අනස් (රලි) තුමන් විස්තර කරන පුවතක් බුහාරි, මුස්ලිම් වැනි මූලාශ‍්‍රයන්හි සඳහන් වේ.

තවද ඉහත සඳහන් ප‍්‍රාර්ථනාව කෙනෙකු තවාෆ් කරන විට රුක්නුල් යමානි හා හජරුල් අස්වද් අතර තුර කළ යුතු වේ. මෙයට සාධක වශයෙන් අබ්දුල්ලාහ් ඉබ්නුස් සායිබ් (රලි) තුමන් විස්තර කරන පුවතක් අබුදාවූද් වැනි මූලාශ‍්‍රයන්හි සඳහන් වේ.

වරක් නබි (සල්) තුමන් රෝගියෙකු බැහැ දැකීම සඳහා ගිය විට ඔහු කුරුළු පැටවෙකු සේ ඉතා දුර්වලව සිටියේය. ඔබ මෙය පහව යෑම සඳහා යමක් ප‍්‍රාර්ථනා කරන්නේ ද? යනුවෙන් එතුමන් ප‍්‍රශ්න කළ විට එසේය යනුවෙන් පවසා ”හිමියනි! මට මතු දිවියේ යම් දඬුවමක් ඔබ පනවනවා නම් එය මෙලොවෙහිම ඉක්මනින් ලාබ දෙනු මැනව” මෙයයි මා කරන ප‍්‍රාර්ථනාව. එවිට ශාස්තෘවරයානන් ”සුබ්හානල්ලාහ්” (අල්ලාහ් ඉතා පරිශුද්ධය) ඔබට මෙය දරාගැනීමට අසීරුය යනුවෙන් පවසා ඔබ

اللَّهُمَّ آتِنَا فِى الدُّنْيَا حَسَنَةً وَفِى الآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

“අප හිමියනි! මෙලොව හා මතු ලොව දිවිය තුළ අපට යහපත පිරිනමනු මැනව! අප නිරයෙහි ගින්නේ දඬුවමින් ද ආරක්‍ෂා කරනු මැනව!”
යනුවෙන් මන්ද ප‍්‍රාර්ථනා නොකළේ? ඔහු එම ප‍්‍රාර්ථනාව කරන්නට පටන්ගැනීමත් සමග ඔහුට සුවය ලැබිනි”  (විස්තර කරන්නේ: අනස් (රලි) තුමන්, මූලාශ‍්‍රය: මුස්ලිම්).

තාලූත්ගේ සේනාව ජාලූත්ගේ සතුරු සේනාව හමුවීම සඳහා ගිය අවස්ථාවේ කළ ප‍්‍රාර්ථනාව ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සිහිපත්කරයි:

رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

”අප හිමියනි! අපට ඉවසීම දෙනු මැනව! අපේ දෙපා ස්ථිරකරනු මැනව! මිථ්‍යා දෘෂ්ටිකයින්වූ මෙම ජනතාවට එරෙහිව (අපි ජයග‍්‍රහණය කිරීමට) පිහිටවනු මැනව යනුවෙන් (ප‍්‍රාර්ථනා කළහ).” (අල්බකරා 2: 250).

رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ

“අප දෙවිඳුනි, අප වැරදීමකින් හෝ අමතක වීමකින් හෝ (සිදුකළ දේවලට) අප (වරදට) හසු නොකරව. අපගේ දෙවිඳුනි, අපට පෙර උන් අය කෙරෙහි පටවූ බර මෙන් අප මත (වගකීම) නොපටවව. අපගේ දෙවිඳුනි, අපගේ ශක්තියෙන් එපිට (අපට ඉසිලිය නොහැකි) බරක් අප මත නොපටවව. අප පවෙන් අප ඉවත් කරනු මැනව. අපට සමා කරනු මැනව. අපට දයාලූ වනු මැනව, මිථ්‍යා දෘෂ්ටිකයින්ට එරෙහිව අපට උදවු  කරනු මැනව.” (අල්බකරා 2: 286).

මතු සම්බන්ධයි……

සකස් කිරීම: ඉබ්නු යූසුෆ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *