අල් කුරානයේ ආගම් හතරක් ගැන සඳහන් වේ. එනම් මුසා නබිතුමාට පහළ වූ තව්රාත් (Torah), දාවුද් නබිතුමාට පහළ වූ Zසබුර් (Zabur), ඉසා නබිතුමා නොහොත් ජේසු තුමාට පහළ වූ ඉන්ජිල් (Gospel) සහ මුහම්මද් නබිතුමාට පහළ වූ අල් කුරානය (Quran) වේ. මේ ආගම් හතරෙන් අවසානයට පහළ වුයේ අල් කුරානයයි. එසේනම් කුරානය හැර අනෙක් ආගම් විශ්වාස කිරීම වැරදිද? නැත, මෙහි සඳහන් සෑම ආගමක්ම විශ්වාස කිරීම මුස්ලිම්වරුන්ට අනිවාර්ය වේ.ඉහතින් සඳහන් කල ආගම්වල සහ අල් කුරානයේ හරය එකම වේ. ඒවා සෑම එකකින්ම පවසන්නේ එකම අල්ලාහ් ගැනත් එකම දේවදුතයින් ගැනත් එකම විනිශ්චය දිනයක් ගැනත් එකම නබිවරුන් ගැනත් ය. එහෙත් එම ආගම්වල ඇති ආගමික නීති අල්ලාහ්ගේ කැමැත්ත පරිදි කාලයෙන් කාලයට වෙනස් කොට තිබේ. උදාහරණයක් ලෙස මුහම්මද් නබි තුමාට උපවාස කිරීමට නියම කොට ඇත්තේ වසරක් තුලදී එක් මාසයක කාලයක් වුවත් දාවුද් නබි තුමා වසරක් තුල මාස හයක් උපවාස කොට තිබේ. ඉස්ලාම් දහමේ සකාත් බද්ද 2.5% වුවත් ඇතැම් ආගම්වල ඊට වඩා වෙනස් ප්‍රමාණයන් නියම කොට ඇත.

අල් කුරානය හැර අනෙක් ආගම් පුස්තක පහළ කොට තිබෙන්නේ යම් කිසි භූගෝලීය කලාපයන්ට හෝ යම් ජන වර්ගයන්ටය. එහෙත් මුහම්මද් නබිතුමා පැමිණ ඇත්තේ සකල ලෝකවාසී ජනතාවටමය.

“(ඕ:නබි!) නුඹව අපි සකල ලොවැසියන් සඳහාම අශින්ෂණයක් වශයෙන් මිස යැව්වේ නැත” (කුරානය 21:107).

අල් කුරානය මගින් මිට පෙර පහළ වූ සියළුම දහම් සමාප්ත කොට තිබේ. තවද අල් කුරානයේ සඳහන් වන පරිදි කුරානයට පෙර පහළ වූ සෑම දහම් පුස්තකයකම මුහම්මද් නබිතුමාගේ පැමිණීම ගැන සඳහන් කොට ඇත. ඒ අනුව මුහම්මද් නබිතුමාගේ පැමිණීමෙන් පසු එතුමාගේ නබිත්වය පිළිගැනීම සියළු දෙනාටම අනිවාර්ය වන්නේය. එසේ තිබියදීත් යම් කෙනෙක් මුහම්මද් නබිතුමා පැමිණි පසු එතුමාගේ නබිත්වය විශ්වාස නොකරන්නේ නම් ඔහු තම දහම් පුස්තකයට පටහැනිව ක්‍රියා කරන කෙනෙක් වන්නේය.

දෙවියන්ගෙන් පහළ වූ දහම් පුස්තක අතුරින් කිසිම වෙනසකට බඳුන් නොවී එය පහළ වූ අකාරයටම ඇති එකම ග්‍රන්ථය අල් කුරානයයි. එම ග්‍රන්ථය අවසාන දිනය දක්වා ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන් භාර ගෙන තිබේ. එහෙත් අල් කුරානය හැර දහම පහළ වූ මුල් භාෂාවෙන්ම තිබෙන අංග සම්පුර්න වෙනත් කිසිම දහම් පුස්තකයක් ලෝකයේ කොතනකවත් නොමැත. එබැවින් ඉස්ලාම් දහම තෝරාගැනීම නිවැරදි තීරණයකි.

මෙහිදී අවධාරණය කල යුතු ඉතා වැදගත් කරුණක් නම් ඒ ඒ නබිවරුන් ජිවතුන් අතර සිටින විට පිළිපැදිය යුත්තේ එම නබිවරුන්ට පහළ වූ දහම බවයි. ඒ අනුව මුසා නබිතුමා ජිවතුන් අතර සිටින සමයේදී ඊළඟ නබිවරයා පැමිණෙන තුරු තව්රාත් ආගම පිලි පැදීම අනිවාර්ය වේ. එසේම ජේසු තුමාගේ නබිත්වය තුල ඉන්ජිල් හෙවත් බයිබලය පිළිපැදීම අනිවාර්ය වේ. ඒ අනුව එම යුගයේ ජීවත්වූ යුදෙව්වන් ජේසු තුමාව නබිවරයෙකු ලෙස පිළිගත යුතුය. තවද ඔවුන් තව්රාත් දහම වෙනුවට ඉන්ජිල් දහම හෙවත් බයිබලය ඔවුන්ගේ දහම් පුස්තකය ලෙස පිළිපැදිය යුතුය. එසේම මුහම්මද් නබිතුමාගේ පැමිණීමෙන් පසු යුදෙව්වන්, කිතුනුවන් සහ අනෙක් සෑම ජන කොටසක්ම ඉස්ලාම් දහම පිළිපැදීම දෙවියන්ගේ නියෝගය වේ. ඇයිද යත් අල්ලාහ් වෙත පිළිගැනෙන එකම දහම ඉස්ලාම් බව අල් කුරානයේ සඳහන් වන නිසාය.

නියතවශයෙන්ම අල්ලාහ් වෙත පිළිගැනෙන දහම ඉස්ලාම් ය. පුස්තකය දෙනු ලැබුවන් තමන්ට දැනුම ලැබුණ පසුවද තමන් අතර තිබු ඊර්ෂ්‍යාව හේතුවෙන්ම හැර භේදබින්න වුයේ නැත” (කුරානය 3:19).

මෙම වැකියේ ‘පුස්තකය දෙනු ලැබුවන්’ යන්නෙන් අදහස් කරනු ලබන්නේ කිතුනුවන් සහ යුදෙව්වන් ය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.Pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *