කිසිම නිෂ්පාදකයෙන් තමන්ගේ නිෂ්පාදන හොඳ තත්වයේ තිබේ නම් ඒවා විනාශ කරන්නේ නැත. එසේ තිබියදී දෙවියන් ඔහුගේ ශ්‍රේෂ්ඨ මැවීමක් වන මිනිසාව අහේතුකව නිරයේ දමන්නේද නැත. එවැනි අසාධාරණයක් සිදු කිරීම දෙවියන්ගේ ගුණාංගයක් ද නොවේ. කෙසේ වෙතත් දෙවියන් මිනිසාව ඉතා අලංකාරව මවා ඔහුට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දී තිබියදීත් ඔහු වෙනත් දෙයක් සඳහා දේවත්වය ලබා දෙන්නේ නම් එය විශාල වරදකි. එම වරදට පවා දෙවියන් ක්ෂණිකව දඬුවම් ලබා නොදෙන්නේ මිනිසාගේ මරණයට පෙර යම් දවසක දෙවියන්ව තේරුම් ගැනීමට ඉඩ දීමක් වශයෙනි. කෙසේ වෙතත් දෙවියන් මිනිසාට මෙලොවදී පෙන්වන අසීමිත කරුණාව නිසා බොහෝ අය සත්‍යය දැනගැනීම වෙනුවට මුලාවට පත් වන්නෝය. ඔවුන් සිතන්නේ තමන් නිවැරදි මාර්ගයේ සිටින බවත් දෙවියන්ව විශ්වාස කරන අය මිත්‍යා දෘෂ්ටිකයින් බවත් ය.

මිනිසාට වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය වෙන්කොට පෙන්වීම සඳහා සිය ලක්ෂයකට වඩා නබිවරුන් පැමිණ තිබේ. ඔවුන් පවසන්නේ දෙවියන්ගේ වදන් බව සනාථ කිරීම සඳහා බොහෝ ප්‍රාතිහාරයන් සිදු කොට ඇත. ඒවා සියැසින් දුටු ඇතැම් අය නිවැරදි මාර්ගය පිළිගෙන ඇත. ඇතැම් අය ඒවා ප්‍රතික්ෂේප කොට ඇත. කෙසේ වෙතත් අද අපි සිටින්නේ විද්‍යා හා තාක්ෂනය ඉතාමත්ම දියුණු යුගයකය. ඒ අනුව දහමට අමතරව දෙවියන්ගේ මැවීම් ගැන අධ්‍යයනය කිරීමෙන් විශ්වයට ආරම්භයක් තිබෙන බවත් එම ආරම්භය ඇතිකළ එක් දෙවි කෙනෙක් පමණක් සිටිය යුතු බවත් තේරුම් ගැනීමට හැකිව තිබේ. මෙම සත්‍යය බොහෝ අය දැක දැකත් එය පිලි නොගෙන සිටීම ඔවුන්ගේ අවාසනාවකි.

මිනිසාට ලෞකික ජීවිතය පරික්ෂාවකි. එම නිසා මිනිසා වැරදි කලත් ඒවා නිවැරදි කරගැනීමට අවස්ථාව ලබා දී තිබේ. මෙහි දැක්වෙන්නේ එවැනි කුර්ආන් වැකියකි. “නියත වශයෙන්ම අල්ලාහ්ට සමානයන් ඇති කිරීම වෙනුවෙන් ඔහු සමාව නොදෙන්නේය, එහෙත් ඔහු එය හැර වෙනත් දේවල් සඳහා තමන් කැමති අයට සමාව දෙන්නේය: කවරෙක් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු මහා පාපයක් ඇති කල කෙනෙකි” (කුරානය 4:48). මෙය හොඳින් තේරුම් ගන්නේ නම් මරණයට පෙර තම මවුම්කරුව විශ්වාස කිරීමෙන් නිමක් නැති ස්වර්ගය ලබා ගැනීමට අවස්තාව උදාකර ගත හැකි වන්නේය. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් එය විස්තර කොට ඇත.

“පවසනු: තමන් විසින්ම තමන්ගේ සීමාව ඉක්මවා (වැරදි කරගත්) මාගේ ගැත්තනි! නුඹලා අල්ලාහ්ගේ දයාව කෙරෙහි විශ්වාසය අත් නොහරිනු! නියතව අල්ලාහ් සියළුම පව් සමා කරන්නාය. ඇත්ත වශයෙන්ම ඔහු අධිකව ක්‍ෂමා කරන්නාද, අසම දයාවන්තයාද වේ” (කුරානය 39:53).

මිනිසා ජිවිත කාලය පුරාම දෙවියන්ව ප්‍රතික්ෂේප කරමින් සිට මරණයට පෙර විශ්වාසවන්තයෙකු බවට පත්වන්නේ නම් ඔහු එතෙක් කල් කල සියළුම පව් සමාකරණ බව නබිතුමා පැවසුවේය. තවද ඔහුගේ එම ක්‍රියාව දැක දෙවියන් අතිශයෙන්ම සතුටට පත්වන බවත් පැවසේ. කෙසේ වෙතත් මිනිසා කොපමණ කාලයක්  ජිවත් වනවාදැයි කාට නම් කිව හැකිද?

මිනිසා සත්‍යයෙන් බැහැර වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ පාරම්පරික විශ්වාසයන්හි මුල් බැසගෙන සිටීමය. එසේම මිනිසාගේ මමත්වය සහ සාතන්ගේ බලපෑමද ඊට හේතුන් වන්නේය. මේවා හොඳින් තේරුම් ගන්නේ නම් මිනිසාට සත්‍යය තේරුම් ගැනීම එතරම් අපහසු කාර්යයක් වන්නේ නැත.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *