කාලය යනු අයකිරීමකින් තොරව මිනිසාට ලැබී ඇති වටිනා සම්පතකි. කෙසේ වෙතත් එය මොහොතක් පාසා අපගෙන් ගිලිහී යන්නේය. එසේ ගිලිහී යන කාලය කිසිසේත්ම නැවත ලබා ගැනීමට හොහැකිය. එම නිසා අපට ලැබී ඇති කාලය ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට වග බලා ගත යුතුය. යම් කෙනෙක් කාලය විනාශ කරන්නේ නම් කාලය විසින් ඔහුව විනාශයට පත් කරනු ඇත.
බොහෝ අය දුක් වන්නේ තමන්ට ලැබී ඇති කාලය අපගෙන් ගිලිහී ගිය පසුව ය. එහෙත් මෙලොව ජීවිතයේදී සිදු වන ඕනෑම දෙයක් යම් තාක් දුරකට පිරිමසා ගත හැකිය. අපට පිරිමැසිය නොහැක්කේ මරණයෙන් පසුව ඇති දේවල් සඳහා ය. එම පාඩුව වචනයෙන් විස්තර කල නොහැකි තරම් ය. කෙනෙකුගේ මරණය ලඟා වූ පසු මොහොතක් හෝ එය ප්‍රමාද කරන්නේ නැත. ඒ බව කුරානයේ මෙසේ විස්තර කොට ඇත.
“නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණීමට පෙර නුඹලාට අප ලබා ලබා දී ඇති දේවල් වලින් නුඹලා (යහකම්හි) වියදම් කරනු. (නැති නම් මැරෙන මොහොතේදී) ‘මාගේ සමිඳුනි! නුඹ මට සුළු මොහොතකට අවස්ථාව ලබා දෙන්නේ නම් මා මාගේ ධනයෙන් සදකා දී ධර්මිෂ්ටයක් වන්නෙමි’යි (පවසනු ඇත). (එහෙත්) කිසිවෙකුගේ නිශ්චිත කාලය පැමිණියේ නම්, අල්ලාහ් එය ප්‍රමාද කරන්නේ නැත. තවද, නුඹලා කරන දේවල් ගැන අල්ලාහ් හොඳින් දන්නේය” (කුරානය 63:10-11).
මිනිස් ජිවිතයේ සෑම දෙයක්ම කාලයත් සමග බද්ද වී ඇත. එය එක් එක් පුද්ගලයා මුහුණ දෙන තත්වයන් අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ඔලිම්පික් තරඟයකට සහභාගී වූ කෙනෙකුට මිලි තත්පරයක වටිනාකම ගැන කිව යුතු නැත. ඔවුන්ගේ පදක්කම තීරණය වන්නේ එම කාලය මතය. අනතුරක් සිදු වීමට ගොස් නුලෙන් බේරුණු කෙනෙකුට ඔහු බේරුණු එම මොහොතේ වටිනාකම ගැන කිව යුතු නැත. එසේම අප සියලු දෙනාටම කාලය සම්බන්දයෙන් යම් කිසි මතකයන් තිබිය හැකිය. ඒ කෙසේ වෙතත් කෙනෙක් මරණයට පත්වූ පසු ලෞකික ජිවිතයේ දී නාස්තිකල සෑම මොහොතක් ගැනම සිතා සුසුම් හෙලනු ඇත. එහෙත් මරණයට පත්වූ පසු තමන් කල වරද ගැන සිතා දුක් වීමෙන් කිසිම පලක් සිදු වන්නේ නැත. එම නිසා නබිතුමා මෙසේ පවසා ඇත: “කාරණා පහකට පෙර කාරණා පහකින් ප්‍රයෝජන ගන්න: ඔබ වයසට යාමට පෙර ඔබේ තරුණ කාලය; ඔබ අසනීප වීමට පෙර ඔබේ සෞඛ්‍යය; ඔබ දුප්පත් වීමට පෙර ඔබේ ධනය; ඔබ වෙනත් දෙයකට යෙදීමට පෙර ඔබේ නිදහස් කාලය සහ ඔබේ මරණයට පෙර ඔබේ ජීවිතය” (මුස්නද් අහමද්).
මරණයෙන් පසු අපගේ තරුණ කාලය සහ වැඩිහිටි කාලය ගැන වෙන වෙනම ප්‍රශ්න කිරීමට නියමිතය. එපමණක් නොව අපට දෙනු ලැබූ සියලුම දායාදයන් ගැන ප්‍රශ්න කිරීමට නියමිතය. “නියතව නුඹලාට දෙනු ලැබූ දායාදයන් ගැන එම දිනයේදී ප්‍රශ්න කරනු ඇත” (කුරානය 102:8). එම අවස්ථාවට මුහුණ දුන් පසු දුක් වීමට වඩා දැන්ම ඊට සුදානම් වීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේද?
තවද කාලයේ ඇති වටිනාකම නිසාම අල්ලාහ් කාලය මත දිව්රා මෙසේ පවසන්නේය.
“කාලය කෙරෙහි දිවුරා පවසමි! නියතව මිනිසා පාඩුවෙහිම සිටියි. (නමුත්) කවරහු (අල්ලාහ්ව) විශ්වාස කරන්නෝද, යහකම් කරන්නෝද, සත්‍යය මගින් එකිනෙකාට උපදෙස් කර ගන්නෝද, එකිනෙකා අතර ඉවසීම කෙරෙහි උපදෙස් කරගන්නෝද යන අය හැරය”.
මෙම කුර්ආන් පරිජ්ජේදය අනුව කාණ්ඩ සතරක් හැර අන් සියලුම දෙනා පාඩුවක්ම ලබන්නේය. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීමයි. අල්ලාහ් කෙරෙහි විශ්වාස කිරීම යනු තම මැවුම්කරු ගැන විශ්වාස කිරීමයි. එය වඩා හොඳින් පැහැදිලි කර දීම සඳහා දෙවියන් ඔහුගේ නියෝජිතයින් වන නබිවරුන්ව මෙළොවට යවා තිබේ. ඔවුන් දෙවියන්ගේ නියෝජිතයින් බව සනාථ කිරීම සඳහා බොහෝ ප්‍රතිහාරයන් පා තිබේ. ඊට අමතරව එම නබිවරුන්ට ආගම් පුස්තක පහළ කොට තිබේ. එලෙස පැමිණි අවසාන දහම් පුස්තකය වන්නේ අල් කුරානයයි. එය අදටත් ප්‍රාතිහාරයකි. තවද එය මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් පහල කරන ලද්දකි.
මෙම පරිජ්ජෙදයට අනුව දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් පසු සඳහන් කොට තිබෙන්නේ යහකම් කිරීම ගැනය. යහ කම් ගැන නබිතුමාගේ ජිවිතාදර්ශයෙන් පෙන්වා දී තිබේ. එම නිසා නබිතුමාව අනුගමනය කිරීම තුලින් යහ කම් සිදු කල හැකිය. ඉන් නොනැවතී එකිකෙකා අතර සත්‍යය දහම බෙදා හදා ගත යුතුය. මෙම භාර දුර කටයුත්ත කිරීමේදී මුහුණ දීමට සිදුවන ප්‍රශ්න වලදී ඉවසීමෙන් කටයුතු කරන්නේ නම් ඉහත කුර්ආන් පරිජ්ජේදයේ සඳහන් වන ආකාරයට ඔහු ජීවිතය ජය ගන්නේය.
අල් කුරානය පහළ වීමට පෙර වෙනත් බොහෝ ආගම් පුස්තක පහළ කොට තිබේ. ඒ අනුව ඒ ඒ කාලවල ජිවත් වූ ජනයා එමගින් නිවැරදි මාර්ගය අත්කර ගත්තෝය. එහෙත් අල් කුරානය පහළ වීමෙන් පසු ඊට පෙර පහළ වූ දහම් පණිවිඩ සියල්ලම අවසන් කොට තිබේ. එම නිසා විමුක්තිය අත්කර ගැනීම සඳහා කුරානය අනුව ජිවත් විය යුතුය. උදාහරනයක් වශයෙන් අ.පො.ස විභාගයේ විෂය නිර්දේශයන් වෙනස් කල පසු ඊට පෙනී සිටින ඕනෑම කෙනෙක් අලුත් නිර්දේශයට අනුව පවත්වනු ලබන විභාගයට පෙනී සිටිය යුතුය. එසේම දෙවියන් අලුත් දහම් පුස්තකයක් පහළ කල පසු අප සියලු දෙනාම එම පුස්තකය පෙන්වා දෙන දහම් මාර්ගය පිළිපැදිය යුතුය. එය මිනිසාගේ විමුක්තියට හේතුවක් වන්නේය.
By Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.