සකස් කිරීම: උම්මු රජාන්

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

“මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා නිර්මාණය කළේ මා හට යාඥා කිරීම පිණිසයි” (ශු අල්කුර්ආනය 51: 56).

ඉහත වාක්‍යයෙන් ඉතා ගැඹුරු සහ වැදගත් අර්ථයන් ඇත. අපගේ ජීවිතය රඳා පවතින අපගේ ජීවිතයම තීරණය කරන ඉතා වැදගත් කාරණාවන් මෙහි ගැබ් වී ඇත.
මෙම වාක්‍ය දෙස බැලු බැල්මට කෙනෙකුට මෙය ආත්මාර්ථකාමි වාක්‍යයක් යැයි සිතේ. මා ඉස්ලාම් ආගමට පැමිණ වසර ගණනකින් පසුවද මා හට මෙම වාක්‍යය විශාල කුතුහලයක් ගෙන දෙන්නට විය.

මා නිතර මගෙන්ම ප‍්‍රශ්ණ කළ දෙයක් නම් අල්ලාහ් කුමන හේතුවක් මත මේ පාඨයෙන් තමන්ට නැමදීමට පමණක් මිනිසා නිර්මාණය කර ඇතැයි පවසා සිටින්නේ. එම ප‍්‍රශ්නයට මට නිසි පිළිතුරු මාගේ ජීවිතයෙන්ම සාක්ෂීත් සමග මට ලැබීමෙන් පසු මා ඉස්ලාම් දහම පිළබඳ තව තවත් සෑහීමට පත්වූයෙමි. ඒ පමණක් නොව මාගේ ජීවිතයේ සිදුවූ කණගාටුදායක සිදුවීම් පවා මාගේ වරදින් සිදුවූවක් මිස අල්ලාහ්ගේ නිර්මාණයන්ගෙන් සිදුවූවක් නොවන බවත් මා හොඳින් තේරුම් ගත්තෙමි.

අපගේ හදවත් අල්ලාහ් නිර්මාණය කර ඇත්තේ නිර්මාතෘවරයා වන අල්ලාහ් හට මපණක් යොමු කිරීමටයි. නමුත් අවාසනාවකට අප පුරුදු වී සිටින්නේ අපගේ හදවත් අල්ලාහ්ගේ නිර්මාණයන් කෙරෙහි යොමු කිරීම හා ලෝකයේ තිබෙන විසිතුරු දේ ග‍්‍රහණය කිරීමටයි. මෙය ඉතා භයානක තත්ත්වයක්. මන්ද අල්ලාහ් හැර මේ ලෝකේ අල්ලාහ්ගේ නිර්මාණ වෙනස් වෙනස් නිර්මාණයන් අප ග‍්‍රහණය කර ගන්නා තරමට අපට එම නිර්මාණය නැතිව බැරි දෙයක් වේ. මෙය යම් පුද්ගලයෙක්, දේපලක්, අපගේ රැකියාව හෝ අපගේ අධ්‍යාපනය විය හැක.

අපගේ හදවත යොමු කරන ආකාරය අනූව අපගේ ජීවිතය මෙය වටා කැරකේ. එදිනෙදා ජීවිතයේ අප කුමන වැඩක යෙදී සිටියත් අපගේ හදවත යොමු කර තිබෙන දේ පිළිබඳ සිතුවිලි නිතර නිතර අපගේ හදවතට ගලා එයි. නමුත් යම් මොහොතක අපගේ යොමු කළා වූ නිර්මාණය වෙනස් වූවහොත්, අපගේ දේපල ස්වභාවික විපතකින් වෙනස් වීමත්, අධ්‍යාපනය මග නතරවීමත්, රැකියාව අහිමිවීම අප ඉතා දැඩි ලෙස ආදරය කළ කෙනෙකුගේ වෙනස් වීමක් හෝ අහිමි වීම යන මොනයම් දෙයක් හෝ අපට සිදුවූවහොත් දරාගත නොහැකි දුකක්, ජීවිතය එපාවීමක්, ජීවිතයේ හිස් බවක්, ශරීරයෙන් කොටසක් අහිමිවුනා වැනි හැඟීමක් ඉහත මෙම ශෝචනීය තත්වයන් නිසා ජීවිතය හානි කර ගැනීම වැනි ඉතා පහත් තත්ත්වයට මිනිසා ඇද වැටීමද සිදුවේ.

ජීවිතය හානි කරගත් පුද්ගලයකුගේ ජීවිතය පිළිබඳ සොයා බැලුවොත් මෙම කාරණය ඉතා පැහැදි ලි වේ.

(නමුත් මෙවැනි තීරණයකට එළඹීම කොහෙත්ම ඉස්ලාම් අනුමත නොකරයි. මෙය මහත් පාපයක් ද වේ).

මෙයට හොඳ උදාහරණයක් නම් කි: 100 බර මිනිසෙකුට සහ කි: 10 බර ළයෙකුට සරිලන ආකාරයට පුටු දෙකක් සාදා කි: 100 බර ඇති මිනිසා, කි: 10 බර ඇති ළමයාට සෑදු පුටුවේ අසුන් ගැනීමට සැලැස්සුවහොත් කුමක් වේද එම පුටුව අනිවාර්්‍යයෙන්ම බිඳ වැටේ. මන්ද එම පුටුව සාදා ඇත්තේ එම මිනිසාගේ බරට සරිලන ලෙස නොවෙයි. අපගේ හදවත නිර්මාණය කර ඇත්තේද අල්ලාහ් හට යොමු කර නැමදීමට මිස, මෙම ලෝකය වෙත හෝ සැප සම්පත් වලට යොමු කිරීමට නොවේ.

අප එසේ කළහොත් අපගේ හදවත්ද කඩා වැටේ. අප ලෝකයට පමණක් යොමුවූවහොත් ජීවිතයේ වැඩි කාලයක් කණගාටුවෙන් ජීවත් වීමට සිදු වේ. නිතරම අපගේ මනසේ කණගාටු දායක සිදුවීම් පමණක් ඉතිරිවී තිබේ. අප නිර්මාණය කර ඇත්තේ අල්ලාහ්ගේ නිර්මාණයන් හෝ ලෝකය පසු පස හඹා යාමට නොව. අප අපගේ හදවත ලෝකයට හෝ නිර්මණයන්ට පාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි. මෙය අපි හොඳින් තේරුම් ගෙන අපගේ හදවත අල්ලාහ් වෙත යොමු කර සලාතය ස්ථාපිත කරජීවත්වූවහොත් අපගේ එදිනෙදා කටයුතු වලදීත් අල්ලාහ් නිතර අපට සිහිවේ. මේ හේතුවෙන් අප ජීවිතයේ ප‍්‍රශ්න වලට මුහුණ පාන අවස්ථාවල දි අප නොදැනුවත්ම අපේ හදවත් අල්ලාහ්ගෙන් උදව් පතයි. ඉතා ආශ්චර්්‍යයමත් ලෙස අප සිතා ගැනීමට නොහැකි ආකාරයෙන් අපගේ ප‍්‍රශ්ණ වලට අල්ලාහ්ගෙන් විසඳුම් ලැබේ.

අල්ලාහ්ගේ මතකය අපගේ හදවත තුළ තබා අල්ලාහ්ගේ නිර්මාණයන් අපගේ අත්ල මත තබා ගත යුතුය. මන්ද යත් මෙම නිර්මාණයන් වෙනස් වන හෙයින් එය අත්හැරීමට සිදුවූවහොත් එය අත්හැරිමට ඉතා පහසුය. අපගේ හදවත් කඩා බිඳ වැටීමක් සිදු නොවේ’

මේ ආකාරයෙන් ජීවත් වන විට ජීවිතයේ සිදුවන ලාභ, අලාභ වාසි, අවාසි, කීර්තිය අපකීර්තිය දරාගෙන නොසැලී සිටින්න අපහසු නැත.

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *