රමළාන් සමයෙහි ඔසප්වීම වැළැක්වීම සඳහා බෙහෙත් පෙති ගැනීමට අවසර තිබේද?
සොයුරියෙකු යොමු කළ ප්රශ්නයකි
රමළාන් සමයෙහි උපවාසය මගහැරීමෙන් වළක්වා ගැනීම සඳහා, වෙනත් යාඥා කටයුතු වල අඛණ්ඩව නියැලීම සඳහා බොහෝ සහෝදරියන් මෙම උපක්‍රමය භාවිතා කරති. මෙයට අවසර පවතීද යනු සොයුරියගේ ගැටළුවයි.
මෙවැනි යහපත් චේතනාවන් මත ඔසප්වීම වළක්වා ගැනීම සඳහා බෙහෙත් පෙති පානය කිරීමට කාන්තාවන්ට අවසර ඇති බව ඉස්ලාමීය විද්වතුන් පවසති. නමුත් එය ස්වභාවික ලෙසම පවතින්නට හැරීමයි ඇයගේ ශරීර සෞඛ්‍යට ඉතා යෝග්‍ය වන්නේ. එසේ කළයුතුමයි කියා ඇය සිතන විට වෛද්‍ය උපදෙස් මත කිරීමයි ඇයට යහපත්වන්නේ. නැතහොත් ඇයට සෞඛ්‍යමය වශයෙන් අනවශ්‍ය අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකිය.
රමළාන් සමයෙහි මගහැරෙන උපවාසයන්, වෙනත් යාඥාවන් පිළිබඳ ඇය පසුතැවිලිවී මෙසේ කිරීමට පෙළඹෙයි නම්, ඔසප්වීම යනු ඇය සිය කැමැත්තෙන් තෝරගත් දෙයක් නොව අල්ලාහ් කාන්තාවන්ට නියම කළ දෙයකි, එබැවින් එම කාලයෙහි මගහැරෙන යාඥාවන් වෙනුවෙන් ඇයට ප්රසාදයන් පිරිනැමීමට තරම් අල්ලාහ් අසීමිත දයාළුවන්තය.
වරක් නබි (සල්) තුමන් මෙසේ ප්‍රකාශ කළහ: “දාසයා යහපත් ශරීර සුවයෙන්, සිය ගමෙහි සිටින විට ඉටු කරන යහපත් ක්‍රියාවන් හා සමානව ඔහු රෝගාතුරවු විට නැතහොත් ගමනෙහි සිටින විට කුසල් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලබයි”. මෙය විස්තර කළ අබූ බුර්දා (රහ්) තුමන්, මා මෙම පුවත කිහිප වතාවක්ම මාගේ පියාගෙන් ශ්‍රවණය කළෙමි, යනුවෙන් තමන් සමග උපාවසයෙන් පසුවෙමින් ගමනට එක්වී සිටී යසීද් ඉබ්නු අබී කබ්ෂා (රහ්) තුමන් වෙත පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි 2996).
මෙම පුවත තුළින් සැමට ලැබෙන සුභාරංචිය නම් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්, සිය ගමෙහි සිටින විට ඉටු කරන යහපත් ක්‍රියාවන් හා සමාන කුසල් ඔහු රෝගියෙකුවූ විට, නැතහොත් ගමෙන් බැහැරව මගියෙකු වශයෙන් සිටින විට ඔහුට ලැබෙයි. යහපත් සුවයෙන් පසුවන විට කෙනෙකු ඉටු කළ සියළු යහපත් ක්‍රියාවන් රෝගාතුරවූ විට ඔහු විසින් ඉටු කළ නොහැක, බොහෝ යහපත් දේ ඔහුට අතපසුවී යයි. නමුත් අල්ලාහ්ගේ අසීමිත දයාව නිසා ඔහුගේ සටහන් පොතේ යහපත කිසිදු අඩුවකින් තොරව ඔහු වෙනුවෙන් සටහන් වෙයි. මගියෙකුගේ තත්ත්වයද එසේමය, ඔහු සිය ගමෙහි සිටි විට ඉටු කළ බොහෝ යහපත් ක්‍රියාවන් ගමෙන් බැහැරව ඔහු මගියෙකු වශයෙන් සිටින විට ඔහුට කිරීමට අපොහොසත් වෙයි. නමුත් ඔහුගේ සටහන් පොතේ යහපත කිසිදු අඩුවකි තොරව සටහන් වෙයි.
එබැවින් ඔසප්වීමේ දවස් කිහිපය තුළ කාන්තාවන්ට මගහැරෙන යහපත් ක්‍රියාවන් වෙනුවෙන් අල්ලාහ් යහපත පිරිනැමීමට තරම් අසීමිත දයාළුවන්තයාය යනු ඉහත නබි වදනින් මොනවට තහවුරු වෙයි. එම දවස් කිහිපයේ මගහැරුනු උපවාසයන් වෙනත් මාසවල ඉටු කිරීමට අවශ්‍ය නැත යනුවෙන් මෙයින් අදහස් නොකෙරේ. ආයිෂා (රලි) තුමිය වරක් මෙසේ පැවසූහ: “ඔසප් කාලයෙහි මගහැරුනු උපවාසයන් (වෙනත් දවස්වල) ඉටු කිරීමට නබි (සල්) තුමන් අපට නියෝග කළහ, නමුත් ඒ දවස්වල මගහැරුනු සලාතයන් වෙනත් දවස්වල ඉටු කිරීමට නියෝග කළේ නැත” (මූලාශ්‍රය මුස්ලිම්: 789).
අල්ලාහ් ඉතා ඥානාන්විතය
පිළිතුරු සපයන්නේ: මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ් සීලානි