උපවාසයෙන් පසුවන කෙනෙකු දත්මැඳිය හැකිද?

යොසුරියකු යොමු කළ ප්‍රශ්නයකි

මෙය උපවාසය ඉටු කරන බොහෝ අය අතර පවතින ගැටළුවකි. දත්මැඳීම නිසා උපවාසයට යම් හානියක් සිදුවෙයිද?

“උපවාසය හැර ආදම්ගේ පුත්‍රයාගේ සියළු යාඥාවන් ඔහුට හිමිය, උපවාසය මට හිමි දෙයකි. එයට ප්‍රසාදයන් පිරිනමන්නේ මා විසින්මය යනුවෙන් අල්ලාහ් පැවසුවේය. උපවාසය (පාපයෙන් ආරක්ෂා කරන) පළිහකි. එබැවින් ඔබලා අතුරින් කෙනෙකු උපවාසයෙනු පසුවන විට පරුෂ වචන කතා කිරීමෙන් වැළකිය යුතුයි, කෑ කෝගසා සණ්ඩු සරුවල් නොකළ යුතුය. කවුරුන් හෝ ඔහුට බැන වැදුනු විට, ඔහු සමග සණ්ඩු සරුවල් කළ විට මා උපවාසයෙන් පසුවෙමි යනුවෙන් පැවසිය යුතුය. මුහම්මද්ගේ ප්‍රාණය කා සතුව පවතීද ඔහු මත දිවුරා ප්‍රකාශ කරමි: උපවාසයෙන් පසුවන්නාගේ මුවින් පිටවන දුගඳ කස්තූරියට වඩා අල්ලාහ් ඉදිරියේ මනරම්ය. උපවාසයෙන් පසුවන්නා සතුටට පත්වන අවස්ථා දෙකක් ඇත; ඔහු උපවාසයෙන් මිදෙන අවස්ථාව, (මතු දිනයෙහි) තම හිමියන් බැහැදකින අවස්ථාව” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි 1904).

උපවාසයෙන් පසුවන්නාගේ මුවින් පිටවන දුගඳ අල්ලාහ් ඉදිරියේ කස්තූරියට වඩා මනරම්ය. යන ප්‍රකාශය පදනම් කොට, දත් මැඳීම නිසා කෙනෙකුට එම උතුම්වූ භාග්‍යය අහිමිවී යන බව සමහර උගතුන්ගේ නිගමනයවූවද, තවත් බොහෝ උගතුන් ඉහත සඳහන් පුවතින් අදහස් කරන්නේ කෙනෙකු දිගු වේලාවක් නිරාහාරව, පිපාසයෙන් පසුවන බැවින් අභ්‍යන්තරයෙහි ඇතිවන වෙනසක් නිසා මේ තත්ත්වය ඇති වන බවයි. නබි (සල්) තුමන්ගේ මේ සම්බන්ධ වෙනත් ප්‍රකාශ වෙත අපගේ අවදානය යොමු කරන විට තවත් මෙය අපට පැහැදිළ වනු ඇත.

“මාගේ සමාජයට අපහසුතාවක් නොවන්නට තිබුනා නම් සෑම සලාතයකදීම දත්මැඳීම ඔවුන්ට මා නියෝග කරමි” (විස්තර කර්නනේ: අබූහුරෙයිරා (රලි) තුමන්, මූලාශ්‍රය: මුස්ලිම් 612). වෙනත් වාර්තාවක සෑම දෝවනයක් සමගම යනුවෙන් සඳහන්වෙයි.

දෝවනය හා සලාතය යනු රමළාන් කාලයටද අදාළ යාඥාවකි, නබි (සල්) තුමන් හා එතුමන්ගේ මිතුරන් රමළාන් හැර අනෙකුත් මාසවලද වෛකල්පිත උපවවාසයන් අධිකව ඉටු කළහ. නබි (සල්) තුමන් සඳුදා හා බ්‍රහස්පතින්දා උපවාසයන් ඉටු කළහ. දෝවනය හා සලාතය අවස්ථාවේදී නබි (සල්) තුමන් හා එතුමන්ගේ මිතුරන් දත් මැඳීම නිරතුරුව කළහ යන්නට ඉහත සඳහන් ප්‍රකාශය කදිම සාධකයකි. එබැවින් දත්මැඳීම උපවාසය, උපවාසය නොවන අවස්ථා කියා වෙනසකින් තොරව ඉටු කළ බවයි මෙයින් පැහැදිළි වන්නේ.

“ආයිෂා (රලි) තුමියගෙන්, නබි (සල්) තුමන් නිවසට පැමීණී විට මුලින්ම කරන්නේ කුමක්ද? යනුවෙන් විමසූ විට, එතුමන් මුලින්ම දත් මඳීන්නේය” යනු ඇයගේ පිළිතුර විය. (මූලාශ්‍රය: මුස්ලිම් 613).

ආයිෂා (රලි) තුමිය උපවාසයෙන් පසුවන අවස්ථා හා නොවන අවස්ථා කියා මෙහි වෙන්කර දැක්වූයේ නැත. එතුමන් නිවසට පැමීණෙන සෑම අවස්ථාවකම මුලින්ම කරන දේ පිළිබඳ එතුමිය මෙහි පැහැදිළි කරයි.

ආමිර් ඉබ්නු රබීආ (රලි) තුමන් විස්තර කරන පුවතක “නබි (සල්) තුමන් උපවාසයෙන් පසුවන අවස්ථාවන්හි අනේක වාරයක් දත්මැඳීම මා දුටුවෙමි” යන පුවත අහ්මද් වැනි මූලාශ්‍රවල සඳහන්වූවද, එහි වාර්තාකරුවන් පෙළේ “ආසිම් ඉබ්නු උබෙයිදුල්ලාහ්” යන වාර්තා කරු පිළිබඳ හදීස් කලාවේ ප්‍රවීන විද්වතුන් විවේචනය කරති. එබැවින් මෙය සාධකයට ගත නොහැකි දුර්වලවූ පුවතකි.

“උපවාසයෙන් පසුවන්නාගේ සුවිශේෂි කාර්්‍යය දත්මැඳීම” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළ බව ආයිෂා (රලි) තුමිය විස්තර කරන පුවත ඉබ්නා මාජාහ් වැනි ග්‍රන්ථවල සඳහන්වෙයි. නමුත් එම පුවතෙහි වාර්තා කරුවන් පෙළේ “මුජාලිද් ඉබ්නු සඊද්” යන වාර්තා කරු පිළිබඳ හදීස් කලාවේ ප්‍රවීන විද්වතුන් විවේචනය කරති. මෙම පුවතද සාධකයට ගත නොහැකි දුර්වල පුවතකි.

“උපවාසයෙන් පසුවෙන්නා දත්මැඳීම වරදක් කොට අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන් සැළකුවේ නැත” යනුවෙන් නාෆිඋ (රහ්) තුමන් පවසයි (මූලාශ්‍රය: මුසන්නෆ් ඉබ්නු අබී ෂෙයිබා).

බොහෝ ආගමික විද්වතුන්ගේ තීරණය වන්නේ උපාවසයෙන් පසුවෙන්නා දත් මැඳීම තුළින් ඔහුගේ උපවාසයට කිසිදු හානියක් නොවෙයි. දත් බෙහෙත් වර්ග භාවිතා කරන විට ඉතා සැළකිලිමත් විය යුතුය හේතුව එය ගිලුනු විට ඔහුගේ උපවාසය නිෂ්ඵල වෙයි. එය නොගිල ඔහු දත්මැඳීමට වග බලා ගත යුතුය.

 උපවාසයෙන් පසුවන කෙනෙකු දත්මැඳීමට අවසර තිබේ යනු බහුතර ආගමික විද්වතුන්ගේ මතයයි.

අල්ලාහ් ඉතා ඥානාන්විතය.

පිළිතුර සපයන්නේ: මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ් සීලානි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *