පැනය : අකීකා පිළිබඳ පවතින නීතිය කුමක්ද?
පිළිතුර: අකීකා යනු දරුවෙකු උපත ලැබ හත් වැනි දින එම දරුවා වෙනුවෙන් එළුවෙකු කැප කිරීමයි. මේ පිළිබඳ නබි (සල්) තුමන්ගේ ප්‍රකාශ තුළින් ලැබෙන ආදර්ශයන් වෙත අපේ අවදානය යොමු කරමු.
“පිරිමි දරුවා වෙනුවෙන් අකීකා දිය යුතුය. එබැවින් ඔහු වෙනුවෙන් කැප කරන්න” යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (වාර්තා කරන්නේඃ සල්මාන් ඉබ්නු ආමිර් (රලි) තුමන්, මූලාශ්‍රයඃ බුහාරි 5472).
“සෑම පිරිමි දරුවෙකුම අකීකාවට ඇප කර ඇත. ඒ වෙනුවෙන් හත් වැනි දින කැප කරනු ලබයි, හිස කෙස් බූ ගසනු ලබයි, නාමයක් තබනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (වාර්තා කරන්නේඃ සමුරා (රලි) තුමන්, මූලාශ්‍රයඃ අබූදාවුද් 2840).
ඉහත සඳහන් නබි වදන් තුළ අකීකා යනු පිරිමි දරුවා වෙනුවෙන් පමණක් සීමාවුනද වෙනත් නබි වදන් තුළින් ගැහැණු දරුවාටද දිය යුතු බව තහවුරු වෙයි.
“පිරිමි දරුවාට එළුවන් දෙදෙනෙකු හා ගැහැණු දරුවාට එළුවෙකු (අකීකා දිය යුතුයි)” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (වාර්තා කරන්නේඃ ආයිෂා (රලි) තුමිය මූලාශ්‍රය: තිර්මිදි 1513).
කව්ද දිය යුත්තේ?
“හසන් හා හුසෙයින් (රලියල්ලාහු අන්හුමා) වෙනුවෙන් එළුවෙකු බැගින් නබි (සල්) තුමන් (එළුවන් දෙදෙනෙකු) අකීකා දූන්හ”. (වාර්තා කරන්නේඃ අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් (රලි) තුමන්, මූලාශ්‍රය: අබූදාවුද් 2843).
මුත්තාවන නබි (සල්) තුමන්, තම මුනුබුරන් වෙනුවෙන් අකීකා දී ඇත. එබැවින් දෙමාපියන් පමණක් නොව පවුලේ සෙසු ඥාතීන්ටද කැමති නම් දිය හැක යනු මෙයින් තහවුරු වෙයි. පිරිමි දරුවාට එක් එළුවෙකු දීමටද මෙම පුවතෙහි සාධක පවති.
දිය යුතු සංඛ්‍යාව?
“පිරිමි දරුවාට එළුවන් දෙදෙනෙකු හා ගැහැණු දරුවාට එක් එළුවෙක් (අකීකා දිය යුතුයි) යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (වාර්තා කරන්නේඃ ආයිෂා (රලි) තුමිය මූලාශ්‍රය: තිර්මිදි 1513).
පිරිමි දරුවාට එළුවෙක් පමණක් දීමට පහත සඳහන් වාර්තාව මගින් සාධක ලැබේ:
“අඥාන යුගයෙහි (ඉස්ලාමයට පෙර) අපට පිරිමි දරුවෙකු ලැබුනු විට එළුවෙකු කැප කර, දරුවාගේ හිස කෙස් ඉවත් කර, එළුවාගේ රුධිරය හිසෙහි ගෑම අපේ සිරිත විය. ඉස්ලාම් (නම් ජීවන ක්‍රමය) ලැබීමෙන් පසු එක් එළුවෙකු කැප කර, දරුවාගේ හිස කෙස් ඉවත් කර ඒ මත කුංකුම ආලේප කළෙමු. (වාර්තාකරන්නේඃ අබූ බුරෙයිදා (රලි) තුමන්, මූලාශ්‍රය: තිර්මිදි 2845).
දිය යුතු දිනය?
“සෑම පිරිමි දරුවෙකුම අකීකාවට ඇප කර ඇත. ඒ වෙනුවෙන් හත් වැනි දින කැප කරනු ලබයි, හිස කෙස් බූ ගසනු ලබයි, නාමයක් තබනු ලබයි” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (වාර්තා කරන්නේඃ සමුරා (රලි) තුමන්, මූලාශ්‍රයඃ අබූදාවුද් 2840).
නබි (සල්) තුමන්, තමන් වෙනුවෙන් දූතත්වය ලැබීමෙන් පසු අකීකා දූන් බව පුවතක් බයිහකී නම් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. නමුත් මෙම පුවතෙහි වාර්තා කරුවන් පෙළේ සදහන් “ඉබ්නු මුහර්රා” පිළිබඳව විවේචන පවතින බැවින් මෙය දූර්වල පුවතකි, යනුවෙන් ඉමාම් ඉබ්නු හජර් හා ඉමාම් නවවි (රහිමහුමල්ලාහ්) සඳහන් කරයි.
7 වැනි දින අකීකා දීමයි සුන්නාව වන්නේ, සුවිශේෂි ක්‍රියාව වන්නේ, නමුත් ඉන් පසු දිය නොහැක යන තහනමක් නොපවති. එසේ දුන් විට එය අල්ලාහ් ඉදිරියේ පිළිගනු නොලැබෙයි යනු පැවසීමටද සාධක නොපවති. නබි (සල්) තුමන්ගේ ප්‍රකාශයෙහි සදහන්:
(مَعَ الْغُلاَمِ عَقِيقَةٌ) (عَنِ الْغُلاَمِ شَاتَانِ ) ( تُذْبَحُ عَنْهُ يَوْمَ السَّابِعِ )
දරුවාට අකීකා දිය යුතුය, පිරිමි දරුවාට එළුවන් දෙදෙනෙකු, හත් වැනි දින දරුවා වෙනුවෙන් කැප කරනු ලබයි ආදි කරුණු, තවද උල්හියා පිළබඳ නබි (සල්) තුමන් පවසන විට හජ් උත්සව සලාතයට පෙර කැප කළ කෙනා තමන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් කැප කරගත් කෙනෙකු වන්නේය ඔහු යළි උත්සව සලාතයෙන් පසු ඒ වෙනුවට කැප කළ යුතුය යනු නියෝග කළා සේ, අකීකා පිළිබඳව එවැනි නියෝගයක් සඳහන් නොකිරීම වැනි කරුණු මැනවින් විග්‍රහ කළ ආගමික විද්වතුන් හත් වැනි දිනෙන් පසුවද අකීකා දීමට තහනමක් නොපවතින බව සඳහන් කරයි.
සමහරු දිළිඳූ භාවයෙන් පෙලුනද කෙසේ හෝ අකීකා දිය යුතුයි යනු සිතා ණයට හෝ මුදල් ලබාගෙන එය ඉටු කරති. නමුත් අකීකාව යනු ඉස්ලාම් අනිවාර්්‍ය කළ කරුණක් නොවේ. මෙයට පහත සඳහන් නබි වදන සාධක වේ.
අම්රිබ්නු ෂුඅයිබ් තම පියා හෝ මුත්තාගේ මාර්ගයෙන් විස්තර කරන පුවතක “ඔබලාගෙන් කෙනෙකුට දරුවෙකු ලැබ, ඔහු තම දරුවා වෙනුවෙන් කැප කිරීමට (අකීකා දීමට) ප්‍රිය කළේ නම් කැප කරත්වා. පිරිමි දරුවාට එළුවන් දෙදෙනෙකු හා ගැහැණු දරුවාට එළුවෙකු” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: අබූදාවුද් 2842).
ප්‍රිය කළේ නම් යන ප්‍රකාශය තුළින් අනිවාර්්‍ය නොවන බව පැහැදිළි වෙයි.
තවද ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි : “කිසිඳු කෙනකුට ඔහුට දැරිය හැකි බරක් විනා වගකීමක් අල්ලාහ් නොදෙයි” (2:186).
වත්කමක් නොමැති අයට මෙය ඉටු කිරීම අවශ්‍ය නොවන්නා සේම. අකීකා දීමට වත්කම් පවතින අය එය නොසළකා හැරීමෙන්ද වැළකිය යුතුය. දරුවෙකු ලැබුනු හත් වැනි දින කෙනෙකුට අකීකා දීම සඳහා වත්කමක් නොමැතිව පසුව එවැනි තත්ත්වයක් උදාවූ විට ඔහු කැමති නම් දිය හැක.
කැප කරනු ලබන එළුවන්ගේ වයස අවුරුද්දක් අවසන් වී දෙවැනි අවුරුද්දට ඇතුල් වී තිබිය යුතුය, බැටළුවන් නම් මාස හය නිම වී අවුරුද්දකට සමීපවී තිබිය යුතුය. අංග විකල, ආබාධ, අන්ධ, නොන්ඩි, රෝගි තත්වයෙන් දුබලවූ, කැපුම් වලට ලක්වූ මෙවැනි කිසිදු අඩුවකින් තොර විය යුතුය. මෙම කොන්දේසි හජ් සමයෙහි කැප කරන සතුන්ට පැනවුනද මෙය අකීකාවටද පොදුය. වරක් නබි (සල්) තුමන් මෙසේ පැවසූහ: “අල්ලාහ් ඉතා පරිශුද්ධය ඔහු ඉදිරියෙහි පරිශුද්ධ දේ මිස පිළිගනු නොලබයි” (මුස්ලිම් 2393). එබැවින් අල්ලාහ් වෙනුවෙන් යමක් කැප කරන විට එහි කිසිදු අඩුවකින් තොරව පරිශුද්ධ විය යුතුයි.
කැප කළ එළුවා බෙදිය යුතු අකාරය:
කැප කරන එළුවා නිවෙසියන් පමණක් ආහාරයට ගැනීමටද හැක. අවශ්‍ය කරන අයට පිරිනමමින් නිවෙසියන්ගේ ආහාරය සඳහා කොටසක් තබාගැනීමටද හැක. පිරිනමට විට ලේ ඥාතීන්, අසල්වැසියන්, දිළින්දන් වැනි අයට මුල් තැන දිය යුතුය. එය ආහාර වශයෙන් පිළියෙල කර සංග්‍රහ කිරීමටද හැක. එය කොටස් තුනකට බෙදිය යුතුයි යන්නට සාධක නොමැත. එළුවාගේ වටිනා කමට සමානව අකීකා වෙනුවට මුදල් දන් දිය නොහැක.
අපේ සමාජය බොහෝ අයට නබි (සල්) තුමන්ගේ මේ උතුම්වූ ආදර්ශය අමතක වී ඇත. ඒ වෙනුවට එතුමන්ගේ කිසිදු ආදර්ශයක් නොමැති නොමග යවන බිද්අත් ක්‍රියාවක් වන දරුවා උපත ලද 40 වැනි දින උත්සවයක් සමරති. මෙයට ඉස්ලාම් තුළ කිසිදු අවසරයක් නැත. මෙවැනි අඥාන ක්‍රියාවන්ගෙන් අපි මිදිය යුතු අතර අපේ සමාජයද මුදවා ගත යුතුය.
පිළිතුරු සපයන්නේ : මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ්