අපරිමිත දයාන්විත අසමසම කරුණාවන්ත අල්ලාහ්ගේ නාමයෙන්
           විශ්වය නිර්මාණය කලාවූ විශ්වයේ අධිපති වන අල්ලාහ් විසින් මිනිසාගේ සිත, කය, වචන සංවර කර ගැනීමෙන් මෙළොව ඉතා යහපත් ජීවිතයක් ගත කිරීමට සහ මරණින් මතු ජීවිතයේ ඉතාමත් සුන්දර වූ කිසිම දුකක් කරදරයක් ඇති නොවන්නා වූ ඒ මනරම් ස්වර්ගයට හිමිකම් ලබා ගැනීමට සලාතය නම් දේව නැමදුමෙන් සියළු මුස්ලිම්වරුන්ට යහමඟ පෙන්වා දී ඇත.
   මෙම සලාතය ඉස්ලාම්හි අනිවාර්ය්‍ය ක්‍රියාවන්ගෙන් දෙවන ස්ථානය ගනී. අල්ලාහ්ගේ දූතයා වන නබි මුහම්මද් සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා විසින් එය කෙසේ ඉටුකළ යුතුද යන්න මනාව වටහා දී ඇත. මෙම සලාතය දිනකට පස් වතාවක් අනිවාර්්‍යයෙන් ඉටුකරණු ලැබේ. තවද දිනකට අනිවාර්්‍යය සලාතයට අමතරව සුන්නත් (අතිරේක) සලාතයන්ද වේ. ඒවාද ඉටු කිරීමෙන් තමාගේ ජීවිතයේ සාර්ථකත්වය ලබා ගැනීමට උපකාරී වේ. අල්ලාහ් විසින් අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත.
” නියත වශයෙන්ම සලාතය පිළිකුල් සහගත ක්‍රියාවන්ගෙන් හා අනෙකුත් අප්‍රසන්න ක්‍රියාවලින් ආරක්ෂා කරන්නේය ” [ 29: 45 ].
අබූහුරෛරා රළියල්ලාහු අන්හු තුමා විසින් දැනුම් දෙන ලදී. ‘ පස් වේල සලාතයන් (අතර) හා ජුම්ආ (සලාත) දින සිට අනෙක් ජුම්ආ දින කාළය අතර කරන මහා පාපයන් හැර සුළු පාපයන් සියල්ල ඒවා ප්‍රතිකර්ම වන්නේ යැයි ‘ අල්ලාහ්ගේ දූතයාණෝ සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා පැවසූහ. { මුස්ලිම් ග්‍රන්ථය }.
‘ කවරෙකු හෝ දිනකට සුන්නත් සලාතයන් රකඅත් (වටයන්) දොළහක් ඉටු කරන්නේද ඔහුට ස්වර්ගයෙහි නිවසක් තනනු ලැබේ යැයි ‘ නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා පැවසූහ. { මුස්ලිම් ග්‍රන්ථය }.
   මෙම සලාතයන් පිළිබඳව සියළු මුස්ලිම් පිරිමි හා කාන්තාවන් නිවැරදිව අවබෝධ කර නිසියාකාරව එදිනෙදා ජීවිතයේදී අත් නොහැර අනිවාර්ය්‍යන්ම ඉටුකළ යුතුම වේ. එය අත් හැරීම නිදහසට කාරණාවක්ද නොවේ. තවද නොදැනුවත්කමද එය නොසලකා හැරීමටද බාදාවක් නොවේ. මන්ද, මෙළොව අවසන් දිනයෙන් පසු මිනිසාගේ යාඥාවන්ප අතුරින් පළමු ප්‍රශ්ණය වනුයේ සලාතයයි. එය නිසියාකාරව තිබුණේ නම් අන් සියල්ල ඔහුට හෝ ඇයට ඉතා යහපත් වේ.
   නමුත් අද අප සමාජයේ බොහෝ මුස්ලිම්වරු තම දෙවියාගේ අණ නොතකා සිතුමතේ තම ජීවිතය ගෙන යන්නෝය. ඔවුන් එදිනෙදා ජීවිතයේ ඉතා කාර්ය්‍ය බහුලතාවය නිසා මෙම සලාතය මඟහැර සිටින්නෝය. ධනය ඉපැයීම, ගේදොර වැඩ කටයුතු, මිතුරන් ඇසුර සහ වෙනත් නොයෙකුත් බර තම ජීවිතයට ඕනෑවටත් වඩා පටවාගෙන දවස ගෙවී තම ජීවිතය පවා දවසින් දවස මරණයට ලංවන බව මෙවැන්නන් දන්නේ වත් නැත. නැතිනම්, දැන දැන නොසලකා සිටින්නේද?.
   තවද අප මුස්ලිම්වරු අතර සූදුව, මත්පැන් භාවිතය, ගණිකා ඇසුර, සොරකම, නරක මිතුරු ඇසුර, සංගීතය, විවිධ අසභ්‍ය දේවල් නැරබීම සහ වෙනත්, ඉස්ලාම්හි තහනම් කළ මෙවැනි දේවල් නිසා ඔවුන් මෙම සලාතය මඟහරවා ගන්නෝය. මෙවැන්නන්ගේ ජීවිතය අවසානය කෙසේ වේද?.
   අල්ලාහ් විසින් අල් කුර්ආනයේ මෙසේ පවසන්නේය. ” ඔබව සකර් නම් නිරයට ඇතුල් කළේ මන්ද? (එවිට) ඔවුන් අප සලාතය ඉටු කරන්නන් ලෙස නොසිටියෙමු යනුවෙන්ද පවසන්නෝය. තවද අප දුප්පතුන් හට ආහාර ලබා දෙන්නන් ලෙසද නොසිටියෙමු. (අනවශ්‍ය කාර්ය්‍යන්වල) නිරතව සිටිය වුන් සමඟ අපද නිරතව සිටියෙමු. අප අපට (මරණය නැමති) ස්ථිර භාවය ඇතිවන තෙක් විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු යි (පවසන්නෝය). [ 74: 42-47 ].
   තවද මෙම සලාතය ප්‍රතික්ෂේප කරන්නා අල්ලාහ් ප්‍රතික්ෂේප කිරීමට සමාන වේ. නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා පැවසූහ.
‘ යම් පුද්ගලයෙක් අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීම අතර සලාතය අත් හැරීම පිහිටා තිබේ ‘. { මුස්ලිම් ග්‍රන්ථය }.
” …..ඔවුහු සලාතය පාලුකර, මනෝ ඉච්චාවන් පිළිපැද්දාහ. එහෙයින් ඔවුහු නින්දාවම මුණ ගැසෙන්නේය “.[ අල් කුර්ආනය 19: 59 ].
‘ අප හා අල්ලාහ් ව ප්‍රතික්ෂේප කරන්නන් අතර ඇති වෙනස සලාතයයි. එමනිසා එය අත් හැරිය පුද්ගලයා ප්‍රතික්ෂේප කළේය ‘ { හාකිම් ග්‍රන්ථය }.
   අප මුස්ලිම්වරු සියළු දෙනා මෙම සලාතයට වඩා වෙන කිසිවක් තම ජීවිතයට වැදගත් නොවන බව සිතා කටයුතු කළ යුතුය. අල්ලාහ් විසින් අල් කුර්ආනයේ මෙසේ පවසයි.
” විශ්වාස කලවුනි, ඔබේ ධනය හා දුවා දරුවන් අල්ලාහ්ගේ මතකයෙන් ඔබව (වෙනතකට හරවා) නාස්ති නොකරන්න. තවද යම් කෙනෙක් එලෙස ක්‍රියා කරන්නේද පරාජයට පත්වූ පුද්ගලයා ඔහුමය ” [ 63: 9 ].
අල්ලාහ් පැවසූ බව නබි සල්ලල්ලාහු අලෛහිව සල්ලම් තුමා මෙසේ පැවසූහ. ‘ මා ඔබේ උම්මතයට පස් වේලේ සලාතය අනිවාර්ය්‍ය කර ඇත්තෙමි. එය එහි නියමිත වේළාවට රැකගත් අය මා ස්වර්ගයට ඇතුල් කරන්නෙමි. එය ආරක්ෂා නොකළ අයට මා සමඟ කිසිදු ගිවිසුමක් නොමැති බව මා සමඟම මා ගිවිස ගෙන ඇත්තෙමි ‘. { ඉබ්නු මාජා }.
    මෙම සලාතයේ වැදගත් කම කෙතරම්ද යත් දැනුම ඥානය ඇත්තාවූ සියළු මුස්ලිම්වරු හට වැටහෙනවා සේම, සලාතය නොසලකා හරින්නන් එය නිසියාකාරව අවබෝධ කර ඉටුකර තම ජීවිතය මෙළොවට හා මරණින් මතු ජීවිතයට උපකාරී වන ලෙස හැඩගස්වා ගනිත්වා ආමීන් !!!. සියළු ප්‍රසංසා අල්ලාහ් හට හිමි වේවා !!!!!.
         සෙයිනබ් හේවා හකුරු,
          කරන්දෙනිය.
www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *