මිනිසා විවිධ හේතුන් සඳහා වස්ත්‍රයක් ඇන්දත් මුස්ලිම් වරුන්ගේ ඇඳුමෙහි විශේෂත්වයක් ඇත. එම අරමුණ මුස්ලිම් නොවන අයගේ අරමුණුවලට ඉඳුරාම වෙනස්වන බැවින් වර්තමාන ලෝකයේ මුස්ලිම්වරුන්ගේ ඇඳුම විශාල ආන්දෝලනයට තුඩු දී ඇත. කෙසේවෙතත් ශිෂ්ට සම්පන්න සමාජයකට ඉස්ලාමිය ඇඳුම ඉතා යෝග්‍ය බව ඒ පිලිබඳ අධ්‍යයනය කලේ නම් පැහැදිලි වනු ඇත. එම ඇඳුම් ක්‍රමයයේ ඇති විශේෂත්වය වන්නේ කිසිවෙකුගේ කාමුක හැඟීම් ඇවිස්සීමට එම ඇඳුම හේතුවක් නොවීමය.
මුස්ලිම්වරුන් ඇඳුම් අඳින්නේ දෙවියන් දී ඇති කොන්දේසි වලට අනුකුලවය. එබැවින් ඒවා මිනිසාගේ උවමනාව පරිදි වෙනස් කළ නොහැකිය. එම කොන්දේසි උල්ලංගනය කිරම දහමට පටහැනි වීමක් වන්නේය. අල්-කුරානයේ පහත දැක්වෙන වැකියෙන් මෙය පැහැදිලි වනු ඇත.

“ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, (නබි) නුඹ විශ්වාසවන්ත වූ පිරිමින්ට පවසනු! මෙය ඔවුන්ට වඩාත් පිරිසිදු වේ. නියතව ඔවුන් කරන දේ ගැන අල්ලාහ් හොඳින් දන්නේය. (ඕ : නබි!) නුඹ විශ්වාසවන්ත වූ ගැහැනුන් හමුවෙහි, ඔවුන් තම බැල්ම පහත හෙළිය යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ ඔවුන් වෙනත් කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න!…” (කුරානය 24:30,31).

මුස්ලිම් නොවන සමාජවල ඇඳුම් අඳින්නේ තමන්ගේ අලංකාරය වැඩි වැඩියෙන් පිටට පෙනෙන අන්දමටය. එම ඇඳුම්වල ප්‍රධාන අරමුණද එයයි. මේ නිසාම අද වෙළඳ ප්‍රචාරණ සඳහා අඩනිරුවත් කාන්තා රුප වැඩි වැඩියෙන් යොදා ගන්නා තත්වයක් උදා වී ඇත. එහෙත් ඉන් සමාජයට ඇතිවෙන හානිය අතිවිශාලය. කෙසේ වෙතත් කිසිවෙකු ඒ පිළිබඳව හඬ නගන්නේ නැත.

මුස්ලිම් කාන්තාවන් තම අලංකාරය පෙන්වන්නේ විශේෂයෙන්ම තම ස්වාමිපුරුෂයාටය. එසේම ඔවුන්ට කුරානයෙන් අවසර දී තිබෙන ඥාතින් ඉදිරියේ සාමාන්‍ය ඇඳුමෙන් සිටිය හැකිය. එබැවින් ඔවුන් ෆර්දාව අඳින්නේ අමුත්තන් ඉදිරියේදී පමණි. තවද මුස්ලිම් කාන්තාවන් සිය ශරීරය ආවරණය වන පරිදි ඇඳුම් අඳින්නේ සිය කැමැත්තෙන්ම මිස වෙනත් කිසිවෙකුගේ බලපෑමකට යටත් වීම නිසා නොවේ. එබැවින් ඉස්ලාමීය ක්‍රමයට ඇඳුම් පැළඳීම නිසා කාන්තා නිදහසට හානියක් වන්නේ නැත.

ෆර්දාව අඳින මුස්ලිම් කාන්තාවට සාපේක්‍ෂව අඩනිරුවතින් මහමග යන කාන්තාවන්ට සිදුවන අඩත්තේටම් ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එළිපිට හෝ රහසිගතව සිදුවන ලිංගික අතවරවලින් බොහොමයකට වගකිව යුත්තේ කාන්තාවන් තම ශරීරය සෑම කෙනෙකුටම ප්‍රදර්ශනය කරමින් පිරිමින්ගේ සිත්වල රාගය ඇවිස්සීම බව ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.

අඩනිරුවතින් මහ මග සැරිසරන කාන්තාවන්ගේ රූපය නිතර නිතර දැකීමෙන් ඇතිව්වන අසහනය හේතුවෙන් බොහෝ පවුල් ප්‍රශ්න ඇති වන්නේය. ඒවායේ ප්‍රතිපල ලෙස පියා විසින් දියණිය කෙලසන තත්වයක් මේ වන විට උදා වී ඇත. ඇතැම් අවස්ථාවන්ගිදී තමන්ගේම නැගණියට ලිංගික අඩත්තෙට්ම් සිදුවූ අවස්ථා ඕනෑතරම් තිබේ. ඉන් නොනැවතී පාසල් ශිෂ්‍යාවන් තමන්ගේම ගුරුවරයා අතින් ද හිරිහැරයන්ට ගොදුරු වන අවස්ථා තිබේ. මේ අනුව බලන කළ දෙයක් සිදුවීමට කලින් ඒවා වැළැක්වීමට ඉස්ලාම් දහමින් පියවර ගෙන තිබීම ගැන අගය කළ යුතුය. 

ඉස්ලාම් දහම අනුව කාන්තාවට සුදුසු ඇඳුමෙන් සැරසී රැකියාවක නිරත වීම හෝ ගමනක් බිමනක් යාමට හෝ තහනමක් නැත. තවද ඉස්ලාම් දහමින් කාන්තාවකට අවශ්‍ය නයිතික තීන්දු තීරණ ගැනීමේ නිදහස ලබා දී ඇත. තවද කාන්තාවන්ට දේපල අයිතිය නැති යුගයක පවා එම අයිතිය මුලින්ම ලබා දී ඇත්තේ අල්-කුරානය පහල වූ පසුවය. ඉස්ලාම් දහම අනුව කාන්තාවන් සතු ධනය කළමනාකරණය කිරීමේ අයිතිය ඔවුන් සතුය. විවාහ වන අවස්ථාවේදී දෙමව්පියන්ගේ යෝජනාව පිළිගැනීමට හෝ ප්‍රතික්‍ෂේප ක්රිමට කාන්තාවන්ට අයිතිය ලබා දී ඇත. එපමණක් නොව තමන්ට නොපෑහෙන විවාහයක් දිකසාද කිරීම සඳහා ඉල්ලුම් කිරීම සඳහා මුස්ලිම් කාන්තාවට අයිතිය තිබේ. මේ අනුව බලන කළ ඉස්ලාම් දහමින් කාන්තාවට සෑම ආරක්ෂාවක්ම සහ නිදහසක්ම ලබා දී ඇති බව පැහැදිලිය.

අල්-කුරානයට අනුව කාන්තාවකට තම සාමාන්‍ය ඇඳුමෙන් පෙනී සිටිය හැක්කේ තම ලේ ඥාතින් ඉදිරියේ පමණි. ඔවුන් කව්රුන්ද යන්න කුරානයේ සඳහන් කර තිබේ. මෙවුන් හැර අන් සියලුදෙනා ඉදිරියේ තම අලංකාරය පෙන්විය නොහැකිය.

(නබියේ!) විස්වාසකරන ගැහැනුන්ට ඔබ මෙසේ කියනු. ඔවුන්ද තම බැල්ම පහත හෙලා තමන්ගේ පතිවතද ආරක්‍ෂා කරනු. (තවද තමන්ගේ දේහය සාමාන්‍යයෙන්) පිටතට පෙනෙන තැන් මිස තමන්ගේ අලංකාරයද (ඇඳුම්, ආභරණ වැනි) අලංකාරයද පිටතට නොපෙන්වා සඟවා ගනු. තමන්ගේ හිස්-වැස්මෙන් ලපැත්තද වසා ගනු. ගැහැණු තමන්ගේ ස්වාමිපුරුෂයන්, තමන්ගේ පියවරු, තමන්ගේ ස්වාමිපුරුෂයන්ගේ පියවරුන්, තමන්ගේ පුතුන්, තමන්ගේ ස්වාමි පුරුෂයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරයන්, තමන්ගේ සහෝදරයන්ගේ පුතුන්, තමන්ගේ සහෝදරියන්ගේ පුතුන්, නැතහොත් (මුස්ලිම්වරුන් වන) තමන් සමග (සම්බන්ධකම්) ඇති ගැහැණු, තමන්ගේ දකුනු අත් හිමිකරගත් අය, නැතහොත් ගැහැණුන්ගෙන් අකමැති තමන්ගෙන් ජිවත්වන පිරිමින්ගේ හා ගැහැණුන්ගේ රහස් අවයව නොදන්නා බිලිඳු (පිරිමි) දරුවන් ආදී මොවුන් හැර (අන්කිසිවෙකුට) තමන් ඇඳ සිටින (ඇඳුම් හා ආබරණ වැනි) තමන්ගේ අලංකාරයද නොපෙන්වනු. තවද තමන්ගේ අලංකාරයෙහි සඟවා ඇති දැය දැනුම් දීමට (බුමියෙහි) තමන්ගේ පාදයන් හප්පමින් ගමන් නොකරනු. විශ්වාසවන්තයිනි! (මෙයින් යම්කිසි වැරැද්දක් සිදුවුවහොත්) ඔබ සියලුදෙනාම ජයග්‍රහණය කිරීම පිණිස අල්ලාහ්ගෙන්ම සමාව ඉල්ලා (ඔබගේ සිත්) අල්ලාහ් දෙසට හරවනු. (කුරානය 24:31) 

ෆර්දාව අද ඊයේ ඇති වුවක් නොවන අතර එය අල්-කුරානය පහළවීමත් සමග නියම කළ වස්ත්‍රයකි. එහෙත් එය ලංකාවේ සිටින ඇතැමුන්ට අලුත් දෙයක් මෙන් දිස් වන්නේ එය පළදින අයගේ වැඩිවීමත් සිදු වී ඇති නිසාය.

ෆර්දාව නිසා මුස්ලිම් කාන්තාවට ගෞරවයක් සහ ආරක්‍ෂාවක් ලැබෙන්නේය. ඒ අනුව ඇය නිවසින් බැහැර දිගු ගමනක් යාමේදී තම ශරීරය හොඳින් ආවරණය කළ යුතු අතර මහ්රම් කෙනෙකු සමග (ඉතත කුර්ආන් වැකියේ සඳහන් පිරිමි අය) එම ගමන යා යුතුය. තම නිවසින් බැහැර ගමන් යන කාන්තාවන් සුවඳ විලවුන් භාවිතයෙන් වැලකී සිටිය යුතුය. ඇයිද යත් එය වෙනත් අයගේ ආකර්ෂණයට හේතුවක් විය හැකි බැවිනි.

 ෆර්දාවක් අඳින අය පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. එනම් ෆර්දාවක් මිනිසුන්ගේ ආකර්ශණයට ලක් නොවන පරිදි වූ එකක් විය යුතුය. එය ඇඳීමෙන් පසු තම ශරීරය කැපී පෙනෙන අයුරින් නොතිබෙනසේ  බුරුලෙන් තිබිය යුතුය. මුහුණ සහ අත් ආවරණය කිරීම පිලිබඳව විද්වතුන්ගේ විවිධ මත ප්‍රකාශ කර තිබෙන බැවින් එය ස්වකීය කැමැත්ත පරිදි සුදුසු විද්වතෙකුගේ තීරණය අනුව සිදු කල හැකිය.

By Fasy Ajward.B.Sc (Special) Hons.

http://truepath1.blogspot.com/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *