තම පිළිවෙත පමණක් සත්‍යයැයි විශ්වාස කිරීමට, පිළිගැනීමට හෝ ක්‍රියාත්මක කිරීමට කෙනෙකුට අයිතියක් ඇත. එය එසේ වුවද එම සමාජ අවකාශය තුළ ම අනෙකුත් සංස්කෘතීන්, සම්ප්‍රදායන්, පිළිවෙත් හා විශ්වාසයන්ට ද කිසිදු ගැටුමකින් හෝ කිසිවෙකුගේ අයිතීන් උල්ලංඝනය කිරීමකින් තොරව එවැනිම මතයක් දැරීමේ හා ක්‍රියාත්මක වීමේ අයිතියක් ඇති බව පිළිගැනීම වාර්ගික – ආගමික බහුවිධතාවයේ (pluralism) යථාර්ථය බවත් සමාජ සංහිඳියාවේ නොබිඳිය හැකි පදනම බවත් අර්ථ දැක්විය හැක. මෙය ලෝකව්‍යාප්ත යථාර්ථයකි. ආගමික, වාර්ගික හා සංස්කෘතික බහුවිධතාව ලොව සැමතැන දැකිය හැකි යථාර්ථයක් බවට පත් ව ඇත. එහෙයින් සමාජ සංහිඳියාව ඇති කිරීමට නම් බහුවිධතාව පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වෙයි.
- බහුවිධතාව යනු හුදෙක් විවිධත්වය පමණක් නොවේ. පවතින සමාජ විවිධත්වය තුළ අර්ථවත් හා උද්‍යෝගිමත් අයුරින් අන්තර් ක්‍රියාකාරකම් හි යෙදීම බහුවිධතාවයේ ප්‍රධාන ලක්ෂණයකි. විවිධත්වය යනුවෙන් බොහෝ විට අදහස් කෙරෙන්නේ කිසිදු අන්තර් හෝ අන්තඃ ක්‍රියාකාරකමකින් තොරවූ ආගමික හෝ වාර්ගික පදනමකින් යුත් සමාජ ස්ථරයන්හි පැවැත්මය. වර්තමාන සමාජ සන්දර්භය තුළ ආගමික හා වාර්ගික විවිධත්වය නිරායාසයෙන් ම පවතින්නකි. නමුත් බහුවිධතාව අප විසින් ප්‍රයත්නයක යෙදීමෙන් යථාර්ථයක් බවට පත්කර ගන්නකි. සැබෑ අන්තර් ක්‍රියාකාරකමකින් හා සම්බන්ධතාවකින් තොර විවිධත්වය පමණක් පවතින අවස්ථාවන් හි සමාජ ඝර්ෂණයන් ඇතිවීමේ ප්‍රවණතාවන් අධික විය හැක.
- බහුවිධතාව යනු හුදෙක් රිස්සීම (tolerance) ද නොවේ. සමාජ බෙදුම් රේඛා අතර ක්‍රියාකාරී අයුරින් අන්‍යෝන්‍ය අවබෝධය ඇති කර ගැනීම බහුවිධතාවයේ වැදගත් ලක්ෂණයකි. රිස්සීම අත්‍යාවශ්‍ය යහපත් සමාජ ගුණාංගයකි. එහෙත් රිස්සීම සඳහා කිසිදු ආගමික හෝ අනාගමික පුද්ගලයෙකුට එකිනෙකා පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයක් අවශ්‍ය නොවේ. ලෝක ආගමික වෙනස්කම් හා සමීපකම් අතරේ රිස්සීම යනු ඉතා තුනී පදනමක් පමණි. රිස්සීම මගින් එකිනෙකා අතර ඇති අනවබෝධය ඉවත් කිරීමට කිසිවක් සිදු නොවේ. ඒ වෙනුවට එකාකෘතික ප්‍රත්‍යක්ෂයන්, අර්ධ සත්‍යයන් මෙන්ම බෙදුම් රේඛා හේතුවෙන් සාම්ප්‍රදායිකව මතුවන සැකය, අවිශ්වාසය, බිය, ප්‍රචණ්ඩත්වය යනාදියට මංපෙත් විවෘත කරයි. අප ජීවත්වන සමාජ පරිසරය තුළ අන්‍යෝන්‍ය අවබෝධය නොමැති වීම බරපතල තත්ත්වයක් බවට පත්ව ඇත. අනෙකුත් සම්ප්‍රදායන් අනුගමනය කරන්නන් බොහෝවිට හෝ සම්පුර්ණයෙන් ම නොමග ගොස් ඇතැයි යන පුර්වකල්පනයක් රිස්සීමේ යෙදෙන්නාගේ මනසේ ඇතිවන අතර ඒ නිසාම ඔවුන් කෙරෙහි දයාව, කරුණාව, අනුකම්පාව දැක්විය යුතුය යන හැඟීමක් ඇති වේ. මෙවැනි මානසික තත්ත්වයන් තුළින් සැබෑ සමාජ සංහිඳියාවක් ඇති කිරීම කළ නොහැක්කකි. බහුවිධත්ව සංකල්පය නිහතමානිත්වය හා බැඳී ඇති අතර අන්‍යෝන්‍ය අවබෝධය තුළින් අනිකාගේ පිළිවෙත් පිළිබඳ ව විවේචනයට හෝ විනිශ්චයට ලක් කිරීමක් සිදු නොවේ.
- බහුවිධත්වය තුළ තම අනන්‍යතාව අතහරින්නට හෝ තම පිළිවෙත් පිළිබඳ ක්ෂමායාචක තත්ත්වයකට පත් වීමට හෝ අවශ්‍යතාවක් නොමැත. එකිනෙකාගේ පිළිවෙත් කිසිදු බාධාවකින් හෝ හිංසනයකින් තොරව පිළිපැදීමට අයිතිය සහතික කිරීමක් ඇත. අනිකාගේ පිළිවෙත් හා එකඟතාවක් නොමැති වූවද සැමට සැමගේ පිළිවෙත් මෙලෙස පිළිපැදීමට සමාජ අවකාශය විවෘත ව ඇත.
- බහුවිධත්වය පදනම් වී ඇත්තේ විවෘත සංවාද මතය. මෙම සංවාද මගින් පොදුතාවන් පිළිබඳ එකඟත්වය ද විරුද්ධතාවන් පිළිබඳ අනිකාගේ අයිතියට ගරු කිරීමට ද හුරුපුරුදු බවක් ඇතිකර ගැනීම සිදුවේ.
බහුවිධත්වය මුහුණපාන අභියෝග
- තම ආගමික-වාර්ගික අගයන් සමග පරස්පරතාවක් හෝ ගැටීමක් ඇති අනිකාගේ අගයන් පිළිබඳ අවබෝධයක් මෙන්ම එම අගයන් දැරීමට හා පිළිපදින්නට අනිකාට ඇති අයිතියට ගරු කිරීමට ඉගෙනීමේ අවශ්‍යතාව
- ඇතැම් විට අනිකාගේ පිළිවෙත් හා අගයන් සමාජයේ බහුතරයකගේ මතයට පටහැනිවන අවස්ථාවන් හි එමගින් උද්වේගකාරී ක්‍රියාදාමයන් වෙත යොමු වීමේ ප්‍රවනතාව වළක්වාලීම
බහුවිධත්වය හා සංස්කෘතිය
අප සමාජය බහු සංස්කෘතික එකක් බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන්නන් ඉදිරිපත් කරන මතය වී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ තිබිය යුත්තේ ඒකීය ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ පමණක් බව ය. අනෙකුත් වාර්ගිකයින් මෙම ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ තුළ සිට කටයුතු කළ යුතු බව ඔවුන් එක්තරා ප්‍රමාණයක දැඩි ස්ථාවරයක් පෙන්නුම් කරති. මෙම අධිපතිවාදී මත වාදය පිළිබඳ ව විමසීමක් සිදුකිරීමෙන් පසු ‘සංස්කෘතිය’ පිළිබඳ ව පොදුවේ හා ‘සිංහල බෞද්ධ සංස්කෘතිය’ පිළිබඳ ව විශේෂයෙන් ම හා අනෙකුත් වාර්ගිකයින්ගේ සංස්කෘතීන් පිළිබඳ ව ද කරුණු විමසා බැලීමක යෙදීම සුදුසු බව අපි දකින්නෙමු.
ගෝලීය සංස්කෘතික ගැටුම්
1993 දී හාවඩ් විශ්ව විද්‍යාලයීය මහාචාර්ය සැමුවෙල් පී. හන්ටින්ටන් විසින් “The Clash of Civilizations” (ශිෂ්ටාරයන් අතර ගැටුම) නමින් ග්‍රන්ථයක් එළිදක්වමින් අනාගතයේ දී රාජ්‍යයන් අතර ගැටුම් වෙනුවට ශිෂ්ටාචාරයන් අතර බෙදුම් රේඛාවන් ගැටුම් රේඛාවන් බවට පත් විය හැකි බව යන මත වාදය ඉදිරිපත් කරන ලදී. ඈත ඉතිහාසයේ යටත්විජිත වාදය මුල් කර ගත් රාජ්‍ය ව්‍යාප්තිය හා ජාත්‍යන්තර විශේෂයෙන් ම නාවික වෙළඳ කටයුතු මුල් කර ගෙන යුද්ධ හා ගැටුම් ඇති විය. පසු කාලීන ව ගැටුම් වලට මුල් වුයේ දේශපාලන හා ආර්ථික හෙතුන් ය. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග බටහිර බලවතුන් සමග තිබු සීතල යුද්ධයේ නිමාව ඇති විය. මහාචාර්ය හන්ටින්ටන් අනාවැකි පළ කළේ මාක්ස්වාදී කඳවුර හා විවෘත ආර්ථික හා නිදහස් චින්තන ප්‍රවාහය නියෝජනය කරනව යැයි පවසන බටහිර ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර අතර තිබු මෙම සීතල යුද්ධයේ නිමාව සමග රටවල් අතරේ ගැටුම් ඇතිවෙනවා ට වඩා වැඩි ප්‍රවණතාවක් ඇත්තේ ශිෂ්ටාචාරයන් අතරේ ගැටුම් ඇතිවීමට බවය. ශිෂ්ටාචාරය පදනම් වී ඇත්තේ එය ට ආවේණික වූ සංස්කෘතිය මතය. එහෙයින් ඉදිරි කාල වකවානුව සංස්කෘතීන් අතරේ ගැටුමක් ලෙස හුවා දක්වන්න ට ප්‍රයත්නයක් මෙමගින් දරා ඇත.
සංස්කෘතිය හා සමාජානුයෝජනය
පහත සඳහන් කොටස “සමාජ විද්‍යාත්මක දැනුම – න්‍යාය සහ ව්‍යවහාරය – Sociology Matters by Richard T. Schaefer” යන ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී.
“සමාජානුයෝජනය (Socialization) ලෙස හඳුන්වන ක්‍රියාදාමයක් මගින් දරුවන් දැන ගන්නා ප්‍රධාන ආකල්පයන්ට ඇගයුම් වලට සහ චර්යාවන්ට ද සංස්කෘතිය බලපායි. දරුවෙකුගේ පෞරුෂත්වයට ද එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගෙන් වෙනස් කෙරෙන පුද්ගල ගතිලක්ෂණ ආකල්ප අවශ්‍යතා සහ චර්යාවන් කෙරෙහි ද එය බලපෑ හැකිය. ජීවිත කාලය පුරා මිනිසුන් ගන්නා භූමිකාවන් සහ ඔවුන් එක් ජීවිත අවධියකින් තවත් අවධියක ට යාමේ දී සහභාගී වන උත්සවයන් සංස්කෘතිය නියම කරයි. එය පවුලේ පාසලේ සහ සම මත කණ්ඩායම් වල සිට ජනමාධ්‍යය සේවා ස්ථානය සහ රාජ්‍යය තෙක් ඉතාම මුලික සමාජ ස්ථාපනයන් හැඩගස්වයි. වෙනත් ලෙසකින් පවසන්නේ නම් සංස්කෘතිය ‘සියල්ල වසා පැතිරේ”.
සංස්කෘතිය සහ සමාජය
සංස්කෘතිය යනු සමාජමය ලෙස විකාශනය වී ඇති චාරිත්‍ර වල, දැනුමේ, භෞතික වස්තු වල, සහ චර්යාවේ සමස්තයයි. ජන කණ්ඩායම් වල සංකල්පයන් ඇගයුම් චාරිත්‍ර සහ මානව කෘති එයට අයත් වේ. සෑම ජන කොට්ඨාසයකටම ආහාර එක් රැස් කිරීමේ සහ පිළියෙල කිරීමේ නිවාස ඉදි කිරීමේ පවුල නිර්මිත කිරීමේ සහ හරි වැරැද්දේ ප්‍රමාණිකයන් ට අනුබල දීමේ ස්වකීය ආකාරයන් සහිත ආවේණික සංස්කෘතියක් තිබේ. එකම සංස්කෘතියක් අනෙක් අය සමග බෙදා ගැනීමේ සාධකය මත ඔබ අයත් වන කණ්ඩායම හෝ සමාජය නිශ්චය කිරීමට ආධාරකයක් වෙයි. සමාජයක් යනු මානව කණ්ඩායමේ විශාලතම ස්වරූපයයි. පොදු උරුමයක් සහ සංස්කෘතියක් බෙදා ගන්නා මිනිසුන්ගෙන් එය සමන්චිත වෙයි. සමාජයේ සාමාජිකයන් මෙම සංස්කෘතිය දැන ගන්නා අතර එය එක් පරම්පරාවකින් තවත් පරම්පරාවක ට විකාශනය කෙරෙයි.
සංස්කෘතික පොදුතාවන්
සියලු සමාජයන් ඒවායේ වෙනස්කම් නොතකමින් සංස්කෘතික පොදුතාවන් යනුවෙන් ප්‍රකට නිශ්චිත පොදු භාවිතයන් වර්ධනය කර ගෙන තිබේ. බොහෝ සංස්කෘතික පොදුතාවන් මිනිසුන්ගේ ආහාර, ඇඳුම් සහ නිවාස වැනි පොදු මුලික මිනිස් අවශ්‍යතාවන් සපුරා ගැනීමෙහිලා අනුවර්තනය වී ඇත. ජාතික දිනය, ජාතික ගීතය, ජාතික වීරයින්ගේ දිනය, නිදහස් දිනය ආදී පොදු කර්තව්‍යයන් මෙන් ම එයට බැඳුනු උත්සවයන් ද පොදු සංස්කෘතියේ අංග ලෙස දැක්විය හැක.
ගෝලීය සංස්කෘතික යුද්ධය
“ෂාලම් ෂ්වාට්ස් නමැති මනෝ විද්‍යාඥයා විසින් රටවල් 60 කට වැඩි සංඛ්‍යාවක ඇගයුම් තක්සේරු කර තිබේ. “සමාව දීම සහ රිස්සීම” වැනි යහ ලක්ෂණ ‘කෘත්‍යවාදී’ සංස්කෘතියේ අංග ලෙස සැලකේ. ඊට ප්‍රතිවිරුද්ධ ව මිනිසුන් සහ සම්පත් මත පාලනය හෝ අධිපතිභාවය සංඝට්ටනවාදී නොහොත් අධිපතිවාදී සංස්කෘතියේ ලක්ෂණ ලෙස දැක්වේ”. (“සමාජ විද්‍යාත්මක දැනුම – න්‍යාය සහ ව්‍යවහාරය – Sociology Matters by Richard T. Schaefer”
සංස්කෘතිය සහ අධිපතිවාදී මතවාදය
සංස්කෘතිය සහ සමාජය අන්‍යෝන්‍ය ලෙස ආධාරක බවට කෘත්‍යවාදී හා සංඝට්ටනවාදී න්‍යායිකයන් එකඟ වෙති. සමාජ ස්ථාවරත්වය ට සමාහිතයක් සහ සමාජයේ සාමාජිකයින්ගේ සහය අවශ්‍ය වන බව කෘත්‍යවාදීන්ගේ මතය වේ. ප්‍රබල කේන්ද්‍රීය ඇගයුම් සහ පොදු ප්‍රතිමානයන් එම සහය සපයයි. එය සංස්කෘතියක ගති ලක්ෂණ සංස්කෘතියක් තුළ ස්ථායී කරන මුලාංගයක් වෙයි. කෘත්‍යවාදී පර්යාලෝකය ට අනුව සමස්ත සමාජ ස්ථාවරත්වය ට සහ සමාහිතය ට අවශ්‍ය හෝ දායක වන බවට සමාජය ට පෙනී යන කෘත්‍යයන් එය ඉටු කරන්නේ නම් සංස්කෘතික ගති ලක්ෂණයන් හා භාවිතයන් දිගට ම පවතිනු ඇත.
පොදු සංස්කෘතියක් පැවතිය හැකි බවට සංඝට්ටනවාදීන් එකඟ වෙති. එහෙත් එය නිශ්චිත කණ්ඩායම් වල වරප්‍රසාද පවත්වා ගෙන යාමට මෙහෙයක් කළ යුතු බවට ඔවුහු තර්ක කරති. එපමණක් නොව ඔවුන්ගේ ස්ව අභිමතාර්ථය ආරක්ෂා කර ගැනීම තුළ බලගතු කණ්ඩායම් අනෙකුත් සුළු හා දුබල කණ්ඩායම් තමා ට යටහත් තත්ත්වයක තබා ගැනීමේ අරමුණ මේ තුළ අන්තර්ගතය. සංඝට්ටන පර්යාලෝකය ට අනුව අධිපතිවාදී මතවාදය ට සමාජ වැදගත්කමක් තිබේ. සමාජයක ඉතාම බලගතු කණ්ඩායම් සහ ස්ථාපනයන් ධනය සහ දේපළ පාලනය කරන අතර ඊටත් වඩා වැදගත් වන්නේ ඒවා ආගම් අධ්‍යාපනය සහ ජනමාධ්‍ය මගින් සාධාරණීය කරන මතයන් ඇති කිරීමේ ක්‍රමයන් ද පාලනය කිරීම ය. ශ්‍රී ලාංකේය අන්තවාදී ආගමික සංවිධාන ඉදිරිපත් කරනුයේ මෙවන් මතවාදයක් ය. රටේ පැවතිය හැක්කේ එක් සංස්කෘතියක් පමණක් වන අතර එය සිංහල බෞද්ධ සංස්කෘතිය විය යුතු බව ඔවුන්ගේ මතයයි. අනෙකුත් වාර්ගිකයින්ගේ හා ආගමිකයින්ගේ අයිතිවාසිකම් මෙන් ම වත් පිළිවෙත් වලට මෙමගින් සිදු වනුයේ අති විශාල අනර්ථකාරී බලපෑමකි. මෙම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය සමාජ යහ පැවැත්ම ට කිසිසේත්ම සුදුසු පිළිවෙතක් නොවන හෙයින් මෙම විනාශකාරී ව්‍යායාම ය පරාජය ට පත් කිරීම ශ්‍රී ලංකා වාසී සැමගේ වගකීමක් ලෙස අපි දකින්නෙමු. බෞද්ධ භික්ෂුණ් පිරිසකගේ මූලිකත්වයෙන් සමාජගත කරන්න ට වෙර දරන මෙම පිළිවෙත බුදුන් වහන්සේගේ පිළිවෙත ට හා ඉගැන්වීම් වලට සහමුලින්ම පටහැණි එකකි.
බුදු දහම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය අනුමත කරන්නේද?
සාමයික සහජීවනය යනු අන්තර් ආගමිකයින් හා අන්තර් ජනවාර්ගිකයින් අතර පවත්වා ගෙන යා යුතු යහ සම්බන්ධතාවයි. බුදු දහම බිහි වූ යුගයේ භාරත දේශයේ පැවතියේ බහු ආගමික හා බහු ජනවාර්ගික සමාජයකි. විවිධ ආගමික ඇදහිලි හා විශ්වාස එහි විය. ඒ අවස්ථාව වන විට භාරත දේශයේ මහා පරිමාණ ලෙස ව්‍යාප්ත වී තිබුණේ බ්‍රාහ්මණ දහමයි. ඒ අතර විවිධ ආගමික දෘෂ්ටි ගරු කළ ශ්‍රමණ කණ්ඩායම්, ආජීවකයන්, පරිබ්‍රාජකයන්, ජටිලයන්, සහ වෙනත් තාපස යෝගී නිකායයන් එහි ක්‍රියාත්මක විය. මේ අතර ෂට් ශාස්තෘ දර්ශනයන් ද විය. මේ හැම ආගමික සම්ප්‍රදායක් ම විවිධ මතිමතාන්තර ඉදිරිපත් කළහ.
මේ කාලයේ බුදුන් වහන්සේ සමග ද වාද කිරීමට ඇතැම් බ්‍රාහ්මණ පඬිවරු පැමිණියහ. එවැනි මහා තාර්කිකයෙකි සච්චක බ්‍රාහ්මණයා. බුදුන් වහන්සේ මෙම සංකීර්ණ ආගමික රටාවේ දී ක්‍රියා කළේ සාමයික සහජීවනය තහවුරු කරන ආකාරයට ය. බුදුන් වහන්සේ මෙහි දී ප්‍රකාශ කර සිටියේ සෑම දෙයක ම යථා භුතය හෙවත් යථාර්ථය මැනවින් ප්‍රත්‍යක්‍ෂ කර ගත යුතු බව ය. බ්‍රහ්මජාල සුත්‍රයෙහි සඳහන් වන පරිදි බුද්ධ කාලීන භාරත දේශයේ දෘෂ්ටීන් දෙසැටක් පැවත ඇත. බුදුන් වහන්සේ අන්‍යාගමික පැවිද්දන් හා ඔවුන්ගේ ඉගැන්වීම් හෙළා දැකීමට ඉදිරිපත් නොවුහ. එසේ ම ඕනෑම ආගමික ගුරුවරයෙකුගේ ඉගැන්වීම් වල ඇති යහපත් ගුණාංග බුදුන් වහන්සේ අගය කළහ. උන්වහන්සේ නොයෙක් ආගමික ගුරුවරුන් වෙත ගියහ. ඔවුන් සමග සතුටු සාමීචියෙහි යෙදී සිටියහ. ඇතැම් ආරාම වලට බුදු රදුන් වැඩම කර වූ අවස්ථාවේ ඒ ආගමික ගුරුවරු තම ශිෂ්‍යයන් නිහඬ කරවා උන්වහන්සේ ව ගෞරවයෙන් පිළිගත්හ.
චුල සකුළුදායි පරිබ්‍රාජක ගුරුවරයා බුදුන් වහන්සේ තම ආරාමය ට වැඩම කරනවා දැක සිය ශිෂ්‍ය පිරිස නිශ්ශබ්ද කරවීය. එසේ ම බුදුන් වහන්සේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයාගේ ආරාමයට ද වරින් වර වැඩම කළහ. කලක ට පසුව තම ආරාමය ට බුදුන් වඩිනු දුටු වච්ඡගොත්ත පරිබ්‍රාජකයා ඉදිරියට ගොස් උන්වහන්සේ ව පිළිගෙන ‘එන්න ස්වාමීනි, බොහෝ කාලයකින් මෙහි වැඩියේ, මෙන්න ආසනය, ඉදිගන්නැ’යි ගෞරවාන්චිත ව ප්‍රකාශ කර සිටියේය (තේවිජ්ජ වච්ඡගොත්ත සුත්ත – මජ්ජිම නිකාය). ආගමික මත භේද මත විරසක වී සිටි මේ යුගයේ බුදුරදුන් අනුගමනය කළ ආගමික සහනශීලිතාව කුමක්ද යන්න මෙයින් පැහැදිලි කර ගැනීම අපහසු කාර්යයක් නොවේ. එයින් පැහැදිලි වන්නේ බුදුරදුන් කිසිම ආගමික සම්ප්‍රදායක් හෙළා නොදුටු බවය.
ආගමික නිකායයන් අතර බොහෝ විට මත ගැටුම් ඇති වන්නේ එක් ආගමක් අත හැර අනිත් ආගම වැලඳ ගැනීමේදී ය. බුදුන් වහන්සේ වෙත පැමිණ ධර්මය අසා ප්‍රසාදයට පත් ප්‍රධාන පෙළේ ජෛන ශ්‍රාවකයන් දෙදෙනෙකු වූ උපාලි ගෘහපතියා සහ සීහ සේනාපතියා බුදුන් සරණ යාමට ඉල්ලා සිටි විට උන්වහන්සේ ප්‍රකාශ කළේ ඉක්මන් නොවන ලෙසය. එහෙත් බුදුන් සරණ යාමට අවශ්‍ය බව ඔවුහු දැඩි ලෙස කියා සිටියහ. මෙහි දී බුදුන් වහන්සේ ඒ දෙදෙනා ට කොන්දේසියක් ඉදිරිපත් කළහ. එම කොන්දේසිය නම් තමන් බුදුන් සරණ ගියත් ජෛන ශාස්තෘවරයා ට කළ සැලකිලි සංග්‍රහ ආදිය එසේ ම පවත්වා ගෙන යාමට ක්‍රියා කළ යුතු බව ය. ඔවුහු එය පිළිගත්හ. දහම් කෙරෙහි අපහාසාත්මක අයුරින් කටයුතු කිරීම පොදුවේ වර්තමාන සමාජයේ දක්නට ඇති ලක්ෂණයකි. මේ පිළිබඳ ව බුදුන් වහන්සේගේ ඉගැන්වීම් කුමක්දැ’යි විමසා බලමු.
දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත.
“බුදුරජහු: මහණෙනි, පිටස්තර අය මට හෝ ධර්මයට හෝ භික්ෂු සංඝයාට හෝ දොස් කියතොත් නුගුණ කතා කරතොත් තොප ඒ ගැන කෝප විය යුතු නැත. අසතුටු නොවිය යුතුය. සිත අමනාප නොකර ගත යුතුය. අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියන විට නුගුණ කතා කරන විට තොප කෝප වෙතොත් අසතුටු වෙතොත් අමනාප වෙතොත් එයින් අනතුරක්, අලාභයක්, හානියක් වන්නේ තොපටමය. එසේ දොස් කියන විට තොප අමනාපකම් දක්වතොත් ඔවුන් ඒ කියන දෙය ඇත්තද නැත්තද කියා තොපට තේරුම් ගත හැකිද? වටහා ගත හැකිද?
භික්ෂුහු: වටහා ගත නොහැක ස්වාමීනි. කෝපවූ අමනාපවූ නොසතුටු සිතකින් යමක ඇත්ත නැත්ත තේරුම් ගත නොහැකිය.
බුදුරජහු: මහණෙනි, අනුන් මට හෝ දහමට හෝ සඟනට හෝ දොස් කියතොත් එහිදී තොප කෝප නොවී අමනාප නොවී, මේ කාරනා නිසා ඔබ කියන දෙය අසත්‍යයකි, නැති දොස් කීමකි. ඔබ කියන දෝසය අප තුල නැතැයි කරුණු කිව යුතුය. එසේම මහණෙනි, අන් අය මගේ හෝ දහමෙහි හෝ සඟනගේ හෝ ගුණ කියත්නම් එහිදී තොප ඒවායින් උදම් විය යුතුද නොවේ. උඩඟු විය යුතුද නොවේ”
ඕනෑම කෙනෙකු ට ඕනෑම ආගමිකයෙකු ට කවර වූ හෝ කාරණයක් උන්වහන්සේ පැහැදිලි කර දුන්නේ කාරුණිකත්වයෙන් හා මුදු මොලොක්භාවයෙන් යුක්තව ය. උන්වහන්සේ කිසි විටෙකත් තම දේශනයෙන් අන්‍යයන් ප්‍රකෝපය ට පත් නොකළහ. බුදුන් වහන්සේගේ ආගමික සහනශීලිතාවන් පැහැදිලි වන්නේ සියලුම ආගමික දෘෂ්ටීන් කෙරෙහි දැක්වුයේ මිත්‍රශීලී සුහද ආකල්පයක් බවයි.
බුදුන් වහන්සේ ධම්ම පදයෙහි දේශනා කර වදාළ අයුරු ක්‍රෝධය, වෛරය පැරදවීම සඳහා කළයුතු ක්‍රියා මාර්ගයද පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
අක්කොධෙන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානෙන
සච්චෙන අලිකවාදිනං
අර්ථය: ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.
න හි වෙරෙන වේරානි
සම්මන්තීධ කුදාචනං
අවෙරෙන ව සම්මන්ති
එස ධම්මො සනන්තනො
අර්ථය: මේ ලෝකයෙහි කිසි කලෙකත් වෛර කිරීමෙන් වෛරයෝ නොසන්සිඳෙත්. වෛර නොකිරීමෙන් වෛරයෝ සන්සිඳෙත්. මෙය පෙර සිට පැවතෙන ධර්මයෙකි. නැතහොත් සැමදා පවතින ස්වභාවයකි.
දීර්ඝ වශයෙන් බුදු දහමේ සාමයික සහජීවනය පිළිබඳ ව කරුණු සාකච්ඡා කරන්න ට අදහස් කරනු ලැබුවේ බුදුන් වහන්සේ හා උන්වහන්සේ විසින් පන් සාලිස් වසරක් තිස්සේ දෙසු දහම විකෘති කරමින් සමාජයේ වෛරය හා ද්වේෂය වපුරන්න ට වර්තමානයේ පිරිසක් ඉදිරිපත් වී ඇති හෙයිනි. අපට කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ට යුද කරන්න ට සිදු වුයේ ද්‍රවිඩ ජනයා සමග තිබු වෛරයක් නිසා නොවන බව සැවොම ඉතා හොඳින් දන්නා සත්‍යයකි. එහෙයින් මෙම කරුණු මගින් සනාථ වන්නේ බුදු දහම අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය අනුමත නොකරන බව ය.
ඉස්ලාමය අධිපතිවාදී සංඝට්ටන සංස්කෘතිය අනුමත කරන්නේ ද?
ඉස්ලාමීය ඉගැන්වීම් මිනිසාගේ ජාතික, ගෝත්‍රික, භාෂාමය හා ශාරීරික වර්ණමය විවිධත්වයන් මෙන්ම ආගමික බහුත්වය ද යථාර්ථයක් ලෙස පිළිගනී. නමුත් තම වාර්ගිකත්වය හෝ අනෙකුත් සාධකයක් හෝ ශ්‍රේෂ්ඨය යන මතයේ පිහිටා අන් වාර්ගිකයින් ව මෙන්ම ආගමිකයින් ව හෙළා දකින්නටත් හිරිහැර කරන්නටත් කිසිවෙකුට අයිතියක් නොමැති බව ඉස්ලාමය උගන්වයි.
කුලවාදය, වර්ණවාදය, ජාතිවාදය, ආගම්වාදය වැනි මිනිසා එකිනෙකාගෙන් දුරස්ථ කරවන මත වාදයන් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ කිසිසේත්ම අන්තර්ගත වී නොමැත. මුස්ලිම් යනු වාර්ගික අනන්‍යතාවක් නොවේ. එය ආගමික අනන්‍යතාවක් පමණකි. මේ අනුව යුක්තිය, සාධාරණත්වය, නීති ගරුක බව මිනිසත්කම හා දේව භක්තිය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් හැඳින්වෙන විශ්ව මිනිස් සහෝදරත්වයේ එක් සාමාජිකයෙකු බවට සෑම ඉස්ලාමිකයෙකුම පත් වෙයි. එහෙයින් ඉස්ලාමිකයෙකුට වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක කොටස් කරුවෙකු විය නොහැක. වාර්ගිකත්වය යථාර්ථයක් බව ඉස්ලාමය පිළිගත්තත් ඉස්ලාමිකයින් අතරේ වාර්ගිකත්වය පදනම් කර ගත් බෙදීමක් හෝ භේදයක් තිබිය නොහැක.
ඔබට අයහපත කරන්නාට ඔබ යහපත කළ යුතු බව අල් කුර්ආනය උගන්වයි. අසල්වැසියන් ඉස්ලාමිකයින්ද නැද්ද යන්න පිළිබඳ තැකීමකින් තොරව මනුෂ්‍යත්වයේ සහෝදර පිරිසක් ලෙස සලකා ඔවුන්ගේ ප්‍රශ්න හා අවශ්‍යතාවන් තමන්ගේ ද වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙස අපට උගන්වයි. මිනිසාට ඇති එකම ජාතිය මනුෂ්‍ය ජාතිය බවත් අනෙකුත් වාර්ගිකත්වයන් එකිනෙකා හඳුනා ගැනීමේ සාධකයන් පමණක් බවත් ඉස්ලාමය උගන්වයි.
මුහම්මද් තුමාණන් දේශනා කර ඇත්තේ තම අසල්වැසියා කුසගින්නේ සිටිය දී අප කුස පිරෙන්නට අනුභව නොකළ යුතු බවය. අසල්වැසියා මුස්ලිම් ද මුස්ලිම් නොවන්නෙක් ද යන්න වැදගත් කරුණක් නොවේ.
තවත් වරෙක මෘත දේහයක් රැගෙන යන පිරිසක් දුටු විට මුහම්මද් තුමාණන් වහාම එයට ගෞරව පිණිස නැගී සිටි විට අසල සිටි මිතුරෙකු පවසා සිටියේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් බවයි. මෙයින් එම මිතුරා අදහස් කළේ එය යුදෙව්වෙකුගේ මෘත දේහයක් නිසා නැගී සිටීමට අවශ්‍ය නොවන බවයි. නමුත් මුහම්මද් තුමාණන් වහාම පවසා සිටියේ ඔහුත් මනුෂ්‍යයෙකු බවයි.
සාමයික සහජීවනය ස්ථාපිත කිරීම උදෙසා මග පෙන්වන මුලික ප්‍රතිපත්ති හතරක් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ ඇති බව අපි දකින්නෙමු. එම වැදගත් කරුණු කෙරෙහි අපගේ අවධානය පළමු ව යොමු කරමු.
දහම පිළිබඳව බලපෑමක් නොමැත
ආගමික බැඳියාවක් ඇති සමාජයක ආගමික විශ්වාසය ඉතා සංවේදී සාධකයකි. ඉස්ලාමය ආගමික ප්‍රචාරණය අනුමත කරන අතර තමන් දේශනා කරන හෝ පහදා දෙන කරුණු අන් අය විසින් පිළි ගත යුතු යැයි බලපෑම් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. මෙ මගින් චින්තන නිදහස සහතික කිරීමක් ඉස්ලාමීය ඉගැන්වීම් මගින් ඉදිරිපත් කරයි. ඉස්ලාමය පිළිබඳ කරුණු පහදා දීමේදී ඉතා ගෞරවනීය අයුරින් අන් අයගේ සිත් නොරිදවා සුහදත්වය පදනම් වූ සංවාදයන් හි නියැළෙන ලෙස අල් කුර්ආනය උපදෙස් ලබා දෙයි.
“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ.” (අල් කුර්ආන් 16 – 125)
“දහම සම්බන්ධ ව බල කිරීමක් නොමැත. අයහමඟින් යහමඟ පැහැදිලි ව ඇත.” (අල්-කුර්ආන් 2 : 256)
“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් යැයි (නබිවරය නුඹ) පවසවු. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමැති අයෙකු ප‍්‍රතික්ෂේප කරත්වා!” (අල්-කුර්ආන් 18 : 29)
ඉහතින් උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකි ඉතාමත් ම පැහැදිලි ව අපට දන්වා සිටින්නේ දහම පිළිබඳ ව බලය හෝ අන් කිසිම ආකාරයක පීඩනයක් කිසිවෙකු වෙත නොයොදවන ලෙසය. දහම පිළිබඳ ව ප්‍රචාරණ කටයුතු වල නියැළීම අල් කුර්ආනය අනුමත කරන අතර එය අන් අය ව පෙළීමකට ලක් නොකොට කළ යුතු කාර්යයක් වෙයි.
අන් දහම් අපහාසයට ලක් කිරීම
අන්තර් ආගමික සම්බන්ධතාවන් හි දී දහම් අපහාසයට ලක් වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම හා හැසිරීම බරපතළ කරුණක් බවට පත් ව ඇත. මෙවන් තත්ත්වයන් තුළින් අන්‍යෝන්‍ය සුහදත්වයට වඩා වෛරය හා ක්‍රෝධය වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇති වීම නොවැළැක්විය විය හැකි කරුණකි. මෙලෙස අන් දහම් වලට අපහාස කිරීමේ තත්ත්වයක් කිසිසේත්ම ඉස්ලාමිකයෙකුගෙන් සිදු නොවිය යුතු බව අල් කුර් ආනය පැහැදිලි උපදෙස් ලබා දෙයි.
“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (6:108)
විවිධත්වය යථාර්ථයක් බව පිළිගැනීම
සාමයික සහජීවනය පිළිබඳව වූ තුන්වැනි ඉස්ලාමිය ප්‍රතිපත්තිය කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. එය විවිධත්වය යථාර්ථයක් ලෙස පිළිගෙන එතුළින් සාමුහිකත්වයේ අලංකාරය ස්ථාපිත කිරීමයි.
“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව සිටින්නේය.” (අල් කුර්ආන් 49:13)
මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම එක පවුලක් බව ඉස්ලාමය උගන්වයි. මිනිස් පරපුරේ වාර්ගිකත්වය යථාර්ථයක් ලෙස පිළිගන්නා ඉස්ලාමය වාර්ගිකත්වය එකිනෙකා පිළිකුල් කරගැනීමට හෝ එකිනෙකාගෙන් දුරස්ථ වීමට සාධකයක් කර නොගත යුතු බවද උගන්වයි. මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ නිර්ණායකය ලෙස දක්වා ඇත්තේ අල්ලාහ් පිළිබඳව ඇති බිය බැතිමත්භාවය හැර අන් කිසිවක් නොවන බව ද මෙම අල් කුර්ආන් වැකිය පැහැදිලි කර දෙයි.
“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම් හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (බුහාරී හදීස් ග්‍රන්ථය හදීස් අංක 1623, 1626 හා 6361)
ඉහතින් උපුටා දැක්වුයේ මුහම්මද් නබි තුමාණන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා ආශිර්වාදය අත්වේවා) තම අවසාන හජ් නැමදුම ඉටු කරමින් සියලු මුස්ලිම් වරුන් අමතා කළ ඓතිහාසික දේශනයෙන් කොටසකි.
නීතිය යුක්තිය හා සාධාරණය
සාමයික සහජීවනය පිළිබඳ ව ඇති හතර වන ඉස්ලාමීය ප්‍රතිපත්තිය වන්නේ නීතිය යුක්තිය හා සාධාරණය සැමට සමසේ ඉටු වන සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමය.
අල් කුර්ආනය නීතිය යුක්තිය හා සාධාරණය පිළිබඳව මනුෂ්‍යය වර්ගයාට ඉදිරිපත් කළ ඉගැන්වීම් කුමක් ද කියා විමසා බලමු.
“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල් කුර්ආන් 16 : 90)
“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5 : 8)
“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5 : 32)
“දහම හේතුවෙන් නුඹලා සමග සටන් නොකළවුන් හට ද නුඹලාව නුඹලාගේ නිවෙස් වලින් පලවා නොහරියවුන් හට ද යහපත කිරීම හා යුක්ති ගරුක ව කටයුතු කිරීම (පිළිබඳව) අල්ලාහ් නුඹලා ව වළක්වන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් යුක්ති ගරුක ව කටයුතු කරන්නන් ව ප්‍රිය කරන්නේය.” (අල් කුර්ආනය 60 : 8)
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41 : 33)
සාමයික සහජීවනය සඳහා වූ අලංකාර පුර්වාදර්ශයන්
වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව මුහම්මද් තුමාණන්ට හා මුස්ලිම් වරුන්ට මදීනා නගරයට දෙශාන්තරණය කිරීමට සිදුවිය. මදීනා නගරය මක්කාවේ සිට කි.මී. 450 ක් පමණ දුරකින් පිහිටි අතර පරම්පරා ගණනාවක් තිස්සේ ගෝත්‍ර අතර පැවති ගැටුම් හේතුවෙන් විසිරී හා භේද වී ගිය ජන කොටස් ජීවත් වූ ප්‍රදේශයකි. මුහම්මද් නබි තුමාණන් මදීනා නගරයට ප්‍රවිෂ්ට වීමෙන් පසු වහාම කළ ක්‍රියාවන් කිහිපය අතුරින් වැදගත් ක්‍රියාවක් වුයේ දශක කිහිපයක් තිස්සේ විනාශකාරී ගෝත්‍රික ගැටුමකට මැදිහත් වී සිටි ‘අව්ස්’ හා ‘කස්රජ්’ නම් වූ ප්‍රධාන ගෝත්‍රික දෙපිරිසක් අතර සමගිය ස්ථාපිත කොට ඒ තුළින් සමාජ සහෝදරත්වය ගොඩ නැගීමය.
මදීනා නගරය මුල්කර ගනිමින් බිහි වූ ඉස්ලාමීය ජන රජයේ ජනාධිපතිත්වය දැරුවේ ද මුහම්මද් තුමාණන් ය. මිනිස් ඉතිහාසයේ ලේඛන ගත පළමු ලිඛිත රාජ්‍ය ව්‍යවස්ථාව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව වූ ලේඛනය, එනම් “මදීනා ප්‍රඥාප්තිය” සකස් කොට එ මගින් එම නගරයේ ජීවත් වූ යුදෙව්, කිතුනු, ඉස්ලාමීය, හා අනෙකුත් ජනකොටස් වල ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලනික, හා සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට එතුමාණන් වගකීම භාර ගත්තේය. එම ජනයා එතුමාගේ සෘජු මැදිහත්වීම හා නායකත්වය යටතේ මෙම වටිනා නීති රීති ක්‍රියාවට නැංවුහ.
පැරණි ගෝත්‍රිය උස් පහත්කම්, ප්‍රබල දුබල වෙනස්කම්, කුල වාදය, වර්ණ වාදය, ප්‍රදේශ වාදය යනාදී මිනිසා දුරස්ථ කළ සියලු සාධක සහමුලින්ම පාහේ ඉවත් කොට මිනිස්කම බිය බැතිමත්භාවය හා සහෝදරත්වය පදනම් කර ගත් ‘උම්මතය’ නමින් වූ මෙම සදාචාර සම්පන්න එක්සත් මිනිස් පරපුර බිහි වීම ඉස්ලාමීය ඉගැන්වීම් පිළිගැනීමත් සමගම නබි තුමාණන්ගේ නායකත්වයෙන් සිදු වූ තවත් අති වැදගත් සමාජ පෙරැළියකි.
අබ්දුල්ලාහ් බින් උබයි ඉස්ලාමයට සතුරු කම් කරමින් ඉස්ලාමිකයෙකු ලෙස වංචනික අයුරින් රඟ පාමින් කටයුතු කළ අයෙකි. ‘උහ්ද්’ නම් ස්ථානයේ දී ඉස්ලාමයට විරුද්ධ මක්කාවාසී ජනයා සන්නද්ධ ගැටුමකට මදීනා නගරයට පැමිණි විට අබ්දුල්ලාහ් බින් උබයි යටතේ සිටි 300 ක් පමණ වූ පිරිස ආරම්භයේ මුස්ලිම් පාර්ශවයට උපකාර කිරීමට පොරොන්දු වී සටන් බිමට පිවිස ගැටුමේ අතරමගදී සටන් බිමින් ඉවත් ව යමින් මුස්ලිම් වරුන්ව මහත් දුෂ්කරතාවකට පත් කිරීමට කටයුතු කළ පුද්ගලයෙකි. එයට අමතරව මුහම්මද් තුමාණන්ගේ බිරියක් වූ ආයිෂා තුමිය පිළිබඳව අසත්‍ය කරුණු පදනම් කරගෙන චරිත ඝාතන කටකතා පතුරුවමින් ඉතා විශාල හානියක් කිරීමට ඉදිරිපත් වූවෙකි. මෙලෙස නබිතුමාණන්ට ඉස්ලාමයට හා මුස්ලිම් වරුන්ට විශාල හානියක් සිදු කළ ඔහු මියගිය විට ඔහුගේ මෘතදේහය සඳහා වූ සලාතය ඉටු කිරීමට තරම් මෘදු හා කාරුණික හදවතක් මුහම්මද් නබිතුමාණන් හට තිබිණි. තමන්ට කළ හැකි පහත් ම හානිය සිදු කළ වංචනික පුද්ගලයාට පවා කාරුණික ලෙස කටයුතු කරන්නට තරම් කාරුණිකත්වයේ ශ්‍රේෂ්ඨතම සංකේතය ලෙස මුහම්මද් තුමාණන් සිටි බව මෙම සිද්ධියෙන් මනාව පැහැදිලි වෙයි.
මුහම්මද් නබි තුමාණන් ගමන් ගන්නා මාර්ගයේ රැක සිට එතුමා වෙත කසළ වීසි කළ යුදෙව් කාන්තාවක් සිටියාය. මුහම්මද් තුමාණන් මෙම නොමනා ක්‍රියාව පිළිබඳව ඇය වෙත තම නොසතුට හෝ කෝපය දැක්වීමට කිසි දිනක කටයතු නොකළහ. දිනක් තමා වෙත කසළ වීසි කිරීම සිදු නොවූ හෙයින් මුහම්මද් තුමාණන් තම මිතුරන්ගෙන් කරුණු විමසු විට දැනගන්නට ලැබුණේ ඇය රෝගාතුරව සිටින බවය. මෙම තොරතුරු දැන ගත් විගස මුහම්මද් තුමාණන් තම මිතුරන් සමග සුවදුක් විමසීම පිණිස ඇගේ නිවසට ගිය අවස්ථාවේ දී මුහම්මද් තුමාණන් දුටු විගස මෙම කාන්තාව දැඩි ලෙස පශ්චාත්තාප වී තමා විසින් මෙතෙක් හිරිහැර කර ඇත්තේ මෙවන් උත්තමයෙකුටදැයි සිතා කඳුළු සලන්නට පටන් ගෙන ඇත.
ආගමික ස්ථානයක් තුළ එම ස්ථානයට අපහාස වන අයුරින් යමෙක් කටයුතු කළේ නම් අති මහත් නොසන්සුන්තාවක් ඇති වීම වැළක්වීම අති මහත් දුෂ්කර කටයුත්තක් බවට පත් වනු ඇත. එම ආගමික ස්ථානයේ දහමට පිටස්තර අයෙකුගෙන් එවැන්නක් සිදු වුවහොත් තත්ත්වය තවත් වඩාත් බරපතළ විය හැක. ආගමික ස්ථානයේ ශ්‍රේෂ්ඨත්වය කෙලෙසන පරිදි පිටස්තර ආගමිකයෙකු එම ස්ථානය මුත්‍රා කිරීම මලපහ කිරීම වැනි කටයුත්තකට යොදා ගත් විට සිදු විය හැකි අති භයානක තත්ත්වය අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නොවන තරමට ඉතාම පැහැදිලිය. දිනක් මුහම්මද් තුමාණන් හා මිත්‍රයින් මස්ජිදයේ සිටින අවස්ථාවක ඉස්ලාමිකයෙකු නොවන අයෙකු මස්ජිදයට ඇතුළු වී මුත්‍රා කරන්නට පටන් ගෙන ඇත. මෙය දුටු නබිතුමාණන්ගේ මිත්‍රයින් දැඩි කෝපයට පත් වී මෙම පුද්ගලයාට පහර දී පලවා හැරීමට ඉදිරිපත් වූ අවස්ථාවේ නබි තුමාණන් ඔවුන් ව වළක්වා මෙම පුද්ගලයාට නිදහසේ මුත්‍රා කිරීමට ඉඩ හරින ලෙස දන්වා සිටියහ. එම පුද්ගලයා මුත්‍රා කොට පිට ව ගියාට පසු එම ස්ථානය ජලය යොදා පිරිසිදු කරන ලෙස උපදෙස් දුන් නබි තුමාණන් මුස්ලිම් නොවන සමාජයෙන් ඇති වූ මෙවන් නොමනා ක්‍රියාවන් ඉවසීමෙන් හා බුද්ධිමත් අයුරින් පාලනය කර ගන්නට කටයුතු කළහ.
නබි තුමාණන්ගේ උපන් බිම මෙන්ම එතුමාණන් වඩාත් ප්‍රිය කළ මක්කාහ් නගරයේ වැසියන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට විවිධ ආකාරයේ හිංසනයන් සිදු කළ අතර අවසානයේ එතුමාණන් ව ඝාතනය කරන්නට ද කුමන්ත්‍රණය කළහ. මෙවන් හිංසනය හා භීෂණය හේතුවෙන් එතුමාණන්ට හා අනුගාමිකයින්ට මක්කාහ් නගරය අත හැර මදීනා නගරයට දෙශාන්තරණය කරන්නට සිදු විය. මෙම සිදු වීමෙන් වසර අටකට පසු කිසිම ගැටුමකින් තොරව ඉතා සාමකාමී අයුරින් මක්කාහ් නගරය මුස්ලිම් වරුන්ගේ පාලනය යටතට පත් විය. මෙසේ මක්කාහ් නගරය නිදහස් කර ගත් දින එහි සිටි වැසියන් තමන් විසින් මුස්ලිම් වරුන්ට පෙර කළ අපරාධයන් හේතුවෙන් බරපතළ දඬුවම් වලට මුහුණ දෙන්නට සිදු වේ යැයි මර බියෙන් පසු වුහ. නමුත් මුහම්මද් තුමාණන් ඔවුන් වෙත ප්‍රසිද්ධියේ පවසා සිටියේ “නුඹලා සැවොම අද දින නිදහස්” යනුවෙනි. මෙය මක්කාහ් වාසීන්හට කිසිසේත්ම අදහා ගත නොහැකි තත්ත්වයක් විය.
නබිතුමාණන්ට හා මුස්ලිම්වරුන්ට සතුරුකම් කළ මක්කාහ්වාසී කුරෛෂ් නායකයින්ගේ ප්‍රධානියෙකු වූ අබු සුෆ්යාන්ගේ බිරිය හින්දා නම් වුවාය. නබි තුමාණන්හට විශාල ශක්තියක් ව සිටි එතුමාණන්ගේ බාප්පා කෙනෙකු වූ හම්සා තුමාව උහ්ද් ප්‍රදේශයේ ඇති වූ සටනේ දී ඝාතනය කරන්නට සියලු සැලසුම් සකස් කොට එය ක්‍රියාත්මක කරන ලද්දේ හින්දා විසිනි. එතුමා ව ඝාතනය කළා පමණක් නොව මුස්ලිම්වරුන් කෙරෙහි ඇති වෛරය හා ක්‍රෝධය ප්‍රදර්ශනය කරමින් හින්දා විසින් හම්සා තුමාගේ ළය පෙදෙස පළා අක්මාව සපා කන්නට වුවාය. මිනිසත්කමට නිගාදෙන කිසිසේත්ම නොහොබිනා අයුරින් මුස්ලිම්වරුන්ගෙන් පළි ගැනීමට ඉදිරිපත් වූ හින්දාට ද මක්කාහ් නගරය සාමකාමී අයුරින් අත්පත් කර ගැනීමෙන් පසු නබිතුමාණන් විසින් සමාව ලබා දෙන ලදී.
“(නබිවරය) සමාව දීම නුඹ ගනිවු. යහපත විධානය කරවූ. අඥානයින් ව පිටුපා දමවූ.” (අල් කුර්ආනය 7 : 199)
නබි තුමාණන්ගේ සාමයික සහජීවනය විදහා දක්වන තවත් අලංකාර උදාහරණයක් වන්නේ නජ්රාන් ප්‍රදේශයෙන් එතුමාණන් හමුවීමට පැමිණි කිතුනු පුජකවරුන්ගේ නියෝජිත පිරිස සමග එතුමා කටයුතු කළ ආකාරයයි. හැට දෙනෙකුගෙන් පමණ සමන්චිත වූ මෙම නියෝජිත පිරිස නවාතැන් ගත්තේ නබි තුමාණන්ගේ මස්ජිදයෙහි ය. දින කිහිපයක සාකච්ඡාවකින් පසු මුහම්මද් තුමාණන් හා නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණ කිතුනු නියෝජිත පිරිස අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ගිවිසුම අනුව නජ්රාන් ප්‍රදේශයේ කිතුනුවන් හට පුර්ණ ආගමික ආර්ථික හා අනෙකුත් සියලු සමාජයීය නිදහස හා අයිතිවාසිකම් සහතික කර දෙන ලදී.
වර්තමාන සමාජය
නීතිය අබිබවා කටයුතු කරන්නන් රඟ පාන්නේ අප කුඩා කළ කියැවූ ‘වෘකයා හා බැටළු පැටියා’ නම් වෘතාන්තයේ වෘකයාගේ චරිතය යැයි අපට සිතේ. දිනක් දිය කඩක ජලය බොමින් සිටි බැටළු පැටියෙකු දුටු වෘකයෙකුට මෙම බැටළු පැටියාව තම භෝජනය බවට පත්කර ගන්නට සිත් විය. මෙසේ සිතු වෘකයා බැටළු පැටියා සමග ගැටුමක් ඇති කර ගැනීමේ අදහසින් කටයුතු කරන්නට විය.
වෘකයා: මා පානය කරන්නා වූ ජලය ඔබ කෙසේ නම් බොර කරන්නේද?
බැටළු පැටියා: ස්වාමීනි, ඔබ පානය කරන්නා වූ ජලය බොර වන්නේ නම් එයට හේතුව මා විය නොහැක. මා ජලය පානය කරන්නේ ඔබ වහන්සේ ට පහළින් ය, ස්වාමීනි.
වෘකයා: එසේ නම් වසරකට පෙර ඔබ ඇයි මට නරක නාමයන්ගෙන් ආමන්ත්‍රණය කළේ?
බැටළු පැටියා: එය එසේ විය නොහැක ස්වාමීනි. මාගේ වයස මාස හයක් පමණි, ස්වාමීනි.
වෘකයා: මට ඒ කිසිවක් පිළිබඳ තැකීමක් කිරීමට අවශ්‍ය නැත. එසේ කළේ ඔබ නොවුයේ නම් එය ඔබගේ පියා විය හැක.
යනුවෙන් පවසා අහිංසක බැටළු පැටියා ව තමාගේ භෝජනය බවට පත් කර ගත්තේය.
“සාහසිකයෙකුට ඕනෑම කරුණක් තමන්ගේ සාහසිකත්වය සාධාරණීය කර ගන්නට යොදා ගත හැක” යැයි අහිංසක බැටළු පැටියා උගේ අවසන් හුස්ම හෙළන්නට පෙර පවසා සිටියේය.
වර්තමාන සමාජයේත් සාමයික සහජීවනය බිඳ දමන්නට කටයුතු කරන්නන් රඟ පාන්නේ මෙම වෘතාන්තයේ වෘකයාගේ භූමිකාව බව අමුතුවෙන් විග්‍රහ කිරීමට අවශ්‍ය නොවන්නේයැයි සිතන්නෙමු. එහෙයින් සාමයික සහජීවනයට හානිකර අයුරින් කටයුතු කරන සියලු චරිත තරාතිරම නොබලා නීතියේ ආධිපත්‍යය යටතට ගෙන ඒමේ අවශ්‍යතාව වර්තමානයේ ඉතා දැඩි ලෙස මතු වී ඇත. මෙම ප්‍රයත්නය සාර්ථක කර ගැනීම පිණිස නීතිය යුක්තිය සාධාරණය අගයන සැමගේ හඬ ප්‍රබල ලෙස ඉස්මතු කිරීම ඉතා වැදගත් වෙයි.
යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදීයන්නේ යුද්ධයකට විය හැක. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්නට වෙර දරන සතුරන් හඳුනා ගනිමු. පශ්චාත් යුද සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්නට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතු ව ඇත.
එහෙයින් වෛරය ක්‍රෝධය ඉවත ලා සැමට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්නට වහාම අවශ්‍ය පියවර ගන්නට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීමට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්නට ලක් මවගේ සියලු දරුවන් එකට අත්වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් සපිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු.