සුපතළ ලේඛක ඩේල් කා(ර්)නගී විසින් ඉංග්‍රීසි බස හසුරුවන පාඨකයින් උදෙසා රචිත “How to Stop Worrying and Start Living” නමැති ග්‍රන්ථය මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා අතර ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත්වු ග්‍රන්ථයකි. මෙවන් ග්‍රන්ථ හේතුවෙන් ජීවිත අභියෝග දෙස විමසීමට බටහිර චින්තනය දෙසට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දක්නට තිබුණි. නමුත් ජීවිතයේ සැබෑ හරය අවබෝධ කර ගැනීමට මෙන්ම ඒවායින් නිරතුරුව මතුවන ගැටළු හා අභියෝග ජයගැනීමට ඇති සුදුසුම ඉගැන්වීම් ඉස්ලාමීය මුලාශ්‍රයන් හි අන්තර්ගත වී ඇත. එහෙයින් මෙම මාතෘකාව පදනම් කර ගනිමින් සුප්‍රකට ඉස්ලාමීය විද්වතුන්ගේ ලේඛනයන්හි අන්තර්ගත කරුණු මෙම ලිපි සකස් කිරීමේදී ප්‍රයෝජනයට ගෙන ඇත්තෙමු. මෙම ලිපි මාර්ගයෙන් ඉස්ලාමීය පදනමකින් ජීවිතය දෙස බැලීමට දිරි ගැන්වීම අරමුණයි. සිංහල අනුවාදය සකස් කිරීමට සහාය වුයේ එස්. එම්. නෞෆර් මහතායි.

කනස්සල්ල නවත්වන්න. සැහැල්ලු වී සතුටුවන්න

ජීවිතය අලුත්වැඩියා කර ගන්න

තම තමන්ගේ ජීවිතය අලුත්ම මුහුණුවරකින් යළි පටන් ගැනීමේ අභිලාෂය මිනිසුන්ට නිතර නිතර ඇති වේ. කාලයක් පුරා පෙරුම් පිරූ මෙම අලුත්වැඩියා කටයුත්තෙ හි සමාරම්භක දවස ඔවුහු කිසියම් සුවිශේෂී සිද්ධියකට සම්බන්ධ කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එය තම ජීවිතයේ යම්කිසි දියුණුවක් ප්‍රගතියක් සිදු වන අවස්ථාවක් එසේත් නොමැතිනම් තම තත්ත්වයේ වෙනසක් සංවත්සරයක් හෝ නව වසරක් උදාවන දවසක් වන්නට පුළුවන. ඔවුන්ගේ කනස්සල්ලට ආශා නැති ජීවිතයන් තුළට මෙනයින් තීන්දු කර ගන්නා දවසෙ හි සක්‍රියතාව හා බලාපොරොත්තු ගලා බස්නා වූ විස්මය ජනක බලවේගයක් රිංගා ගත්තැයි ඔවුහු තරයේ විශ්වාස කරති. මෙය හුදෙක්ම මායාකාරී සිතුවිල්ලකි.

ජීවිත ප්‍රතිසංස්කරණය ජනිත වන්නේ ප්‍රධාන වශයෙන් තම තමන්ගේ අභ්‍යන්තරය තුළිනි. ආත්ම ශක්තිය හා ස්ථාවරත්වය සහිතව ලෝකයට මුහුණ දෙන පුද්ගලයා හාත්පස පවත්නා මොනම තත්ත්වයකට වුව ද ගොදුරු නොවේ. අනෙක් අතට ඒවා අබියස උපේක්ෂාවෙන් පසු වෙමින් ඉන් ඵල ප්‍රයෝජන අත් කර ගනියි.

කුණුරොඩු වලින් වට වූ මල් බීජයක් සේ ඔවුහු නැවුම් සුවඳක් සහිත ව හිරු එළිය දකින්නට සැරසෙති. මේ අයුරින් දුගඳ හමන මඩ ගොහොරුව සුවඳවත් සුන්දරත්වයකට පත් කර ගනිති. තමුන්ගේ ජීවිත කාලය තුළ  හමු වන්නා වූ සීමිත අවස්ථා වලින් ප්‍රයෝජන ගනිමින් මිනිසා සිය අභ්‍යන්තර බලය හා ශක්තිය මෙහෙය ගන්නේ නම් ඔහුට සිය ජීවිතය පිළිසකර කර ගැනීමේ හැකියාව තිබිය යුත්තේ මය.

“කවුරු කවුරුත් අපේක්ෂා කරන සතුට ජනිත වන්නේ ඔවුන්ගේම මනස් හා හදවත් තුළිණි. එසේම ඔවුන් කඩිමුඩියේ බේරී පලායන්නට වෑයම් කරන්නා වූ හාත්පස දුක්ඛ දෝමනස්සයන් ඔවුන් වෙත කඩා පාත් වනුයේ ඔවුන්ගේම සිත්සතන් තුළිණි” යනුවෙන් ඉස්ලාමීය විද්වතෙකු වරෙක පළ කළ අදහස නිවැරදිය.

මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උත්තරීතර අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය අත්වේවා) වරෙක පවසා සිටියේ “මිනිසුනි, නොදත් දේවල් මත බලාපොරොත්තු ඇති කර ගෙන ජීවිතය ගොඩ නගා ගන්නට නොපෙලෙඹෙන්න. මන්ද, එමගින් ඔබට කිසිම යහපතක් සිදු නොවන්නේය.” (මුස්ලිම් හා තබරානි නබි වදන් ග්‍රන්ථය ඇසුරෙනි).

ඔබගේ නුදුරු අනාගතයේ සිද්ධීන් සියල්ල කල්තියා ඔබ හමුවට ඉදිරිපත් කළා නම් ඔබ වටා පිහිටන සෑම සියලු හොඳ හෝ නරක තත්ත්වයන් දිස්වනු ඇත. මේ නිසා පසුබට වීමට හෝ ප්‍රමාද වීමට කාරියක් නැත. මෙහිලා  මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උත්තරීතර අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය අත්වේවා) කළ ප්‍රකාශය මෙසේය: “හිරු උදාවේ සිට හිරු බැස යන තාක්කල් මිනිසුන් සිදු කළ වැරදි වලට පශ්චාත්තාප වී පාපක්ෂමාව අයදින්නට හැකි වන සේ අති උත්තරීතර හා අති පාරිශුද්ධ අල්ලාහ් රාත්‍රී කාලය පුරාවට දොහොත් විදහා ගෙන සිටීය. එමෙන්ම හිරු බැස ගිය වෙලේ සිට හිරු උදාව දක්වා කාලය තුළ ඔවුන් සිදු කළ වැරදි වලට පශ්චාත්තාප වී පාපක්ෂමාව අයදින්නට හැකි වන සේ දිවා කාලය පුරාවට ඔහු දොහොත් විදහා ගෙන සිටියි. අවරගිරෙන් හිරු උදාවට (පරමාන්ත දිනයට) පෙර (පාපක්ෂමා ආයාචනයන් පිළි ගැනෙනු ඇත.)” (මුස්ලිම්).

ජීවිත අලුත්වැඩියාව පටන් ගෙන වැඩ කටයුතු වැඩි දියුණු කර ගැනීමෙහිලා ප්‍රමාදය නුසුදුසු වෙයි. එලෙස ප්‍රමාද වීම කොටින්ම බැහැර කළ යුතු යැයි ඔබ අදහස් කරන නීරස අඳුරු කාල පරිච්ඡේදය තව තවත් දීර්ඝ කර ගැනීමයි. නොඑසේ නම් කල් දැමීමයි. මේ හේතුවෙන් ඔබ ඔබගේ ම ආශා වලින් හා අතපසු කිරීම් වලින් පරාජයට පත් කෙරෙන්නෙහිය. එය බිහිසුණු කඩාකප්පල් වීමකට මඟ පාදනවා වන්නට පුළුවන. එය හුදෙක් ම සිදු වනු ඇතැයි තැති ගත් ව්‍යසනයම වෙයි. මේ සම්බන්ධයෙන් මුහම්මද් ධර්ම දුතයාණන් (එතුමා කෙරෙහි අති උත්තරීතර අල්ලාහ්ගේ ශාන්තිය හා සාමය අත්වේවා) සඳහන් කෙළේ මෙසේය. “පශ්චාත්තාප වී (පාප ක්‍ෂමාව) අයදින්නා අල්ලාහ්ගේ කරුණාව හා මෛත්‍රියට පාත්‍ර වන්නේය. එනමුත් මුළා වූ පුද්ගලයා එය මඟ හරින්නට තැත් කරයි. අල්ලාහ්ගේ ගැත්තනි, ඔබ සියලු දෙනාට ම තම තමන්ගේ ක්‍රියාවන් දැක ගන්නට ලැබෙන්නේය. ඔවුනොවුන් සිදු කළ ක්‍රියාවන් හි හොඳ නරක දැක ගන්නා තාක් මෙලොවින් බැහැර නොවන්නේය. හෙතෙම සිය ජීවිතයේ අන්තිම කාලයේ සිදු කරමින් පසු වූ ක්‍රියාවන් මත බව අවධාරණය වන්නේය.” (මුස්ලිම්)

“ඔබගේ ජීවිත කාලය තුළ රෑ දවල් දෙකම වාසිදායක වෙයි. ඒ නිසා මතු ලොව ජීවිතය ගැන සලකා එකී කාල වලට සුපරීක්ෂාකාරීව අවතීර්ණ වන්න.” (මුස්ලිම්)

“තවද අප්‍රමාද වන්න. මන්ද, මරණය අනපේක්ෂිත ලෙස කඩිමුඩියේ එළඹෙන්නේය.” (මුස්ලිම්)

“ඔබ අතුරින් කිසිම පුද්ගලයෙකු අල්ලාහ්ගේ උදාරත්වය පිළිබඳව මුළාව (තවද ඒ මතම රැඳී) නොසිටිය යුතුය. මන්ද, දුගතිය හා සුගතිය ඔවුන්ගේ පාවහන් නුලට වඩා සමීපව පිහිටා ඇත.” (මුස්ලිම්)

ඉන් පසු නබි තුමාණෝ පහත සඳහන් අල් කුර්ආන් පාඨය පාරායනය කර දැක්වුහ.

“අල්ප මාත්‍ර යහපතක් සිදු කළ පුද්ගලයා එය දැක ගන්නේය. එසේම අල්ප මාත්‍ර අයහපතක් සිදු කළ පුද්ගලයා ද එය දැක ගන්නේය.” (අල් කුර්ආන් 99:7-8).

සමාජයට අහිතකර ඇතැම් උපද්‍රවයන් තුරන් කරනු පිණිස දීර්ඝ හා කෙටි කාලීන ප්‍රතිපත්ති ස්ථාපිත කරමින් මානව වර්ගයා උනුන් පිළිසකර වීම යහපත් වෙයි. කාර්යාලයේ සෑම මුල්ලකම විසිරුණු පත්‍ර කැබලි සහ පැරණි සටහන් යනාදිය බැහැර කරනු පිණිස මගේ කාර්යාල කාමරයේ සෑම අස්සක් මුල්ලක් දෙසම නෙත් හෙළීම මගේ පුරුද්දයි. ඉන් පසු ඒ ඒ තැන ඒ ඒ දෙය තබමින් සහ ප්‍රයෝජනයක් නැති යමක් වේ නම් ඒවා බැහැර කරමින් සෑම අංශයක් ම පිළිවෙළකට පත් කිරීම අවශ්‍ය වෙයි. දිනපතාම මේ හා සමාන වෑයමක් දරනු ලැබේ. දවසේ වෙහෙසකර වැඩ කටයුතු වලට පසු දුවිලි තැන්පත් ගෘහ භාණ්ඩ පිරිසිදු කරමින් ඒවා හැකි පමණින් නිසි පිළිවෙළට තබනු පිණිස දිනපතාම මේ හා සමාන වෑයමක් දරනු ලැබේ.

එනමුදු මිනිස් මනසක සදාචාර සම්පන්න තත්ත්වයට මීට වඩා ගරුත්වයක් හිමි විය යුතුය. මිනිසුන් තුළ කිසිදු විලසක අපිළිවෙළක් හෝ අකුශලයක් පවතීදැයි පිරික්සා ඒවා බැහැර කිරීම අවශ්‍ය වෙයි. මොනම කැඩී බිඳී යාමක් හෝ සිදු නොවී තමාගේ පෞද්ගලික හා පොදු ජීවිතය ආරක්ෂා කර ගැන්මට සිය අභ්‍යන්තරය පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍ය වෙයි. මන්ද, සෑම ආකාරයකම ආශාවන් හා පෙලඹවීම් වලට කෙළින්ම යොමු වී තිබීම හේතුවෙන් ඔහුගේ භාවාත්මක හා බුද්ධිමය ස්වභාවයන් ක්‍රම ක්‍රමයෙන් හීන වී යන්නට පුළුවන.

“තමන්ගේ කටයුතු අතපසු කර තෘෂ්ණාවන්ට වහල් වූ පුද්ගලයින්ගේ සිත්සතන් අප (අල්ලාහ්) පිළිබඳ මතකයෙන් දුරස්ථ කළෙමු. ඔවුන්ගේ කටයුතු සදහටම භංග වීය”. (අල් කුර්ආන් 18:28)

ඉහතින් සඳහන් කළ අල් කුර්ආන් වැකියෙහි අවසන් පදය ගැන විමසා බලමු. සාමාන්‍යයෙන් “ෆුරුතා” යන අරාබි පදයෙන් අර්ථවත් වනුයේ බිම පතිත වූ ඇතැම් මිදි වලටය. වල්ලෙන් (මුලාශ්‍රයෙන්) ඉවත් කොට නරක් වන්නට ඉඩ හළ විට ඒවා නිෂ්ඵල වී යයි. ඒ ආකාරයෙන් මිනිසාගේ පැවැත්ම හසුරුවන හා ශක්තිමත් කරන සැබෑ පද්ධතියෙන් ඔහු කැඩී යන කළ එහි හැඟීම් සහ සිතුවිලි බිම පතිත වූ බීජ වලට සමාන වෙයි. මෙපරිද්දෙන් තමන් පිළිසකර කර ගැනීමේ හා ඒ මත බලය පවත්වා ගැනීමේ අවශ්‍යතාව දිගටම පවතී. හිමිදිරි පාන්දරින් ම තමුන්ගේ ජීවිතය අලුත්වැඩියා කර ගන්නා ලෙස අති උත්තරීතර අල්ලාහ් මිනිසාට උපදෙස් දෙයි.

දිවා භාගයේ වෙහෙස මහන්සියෙන් වැඩපළ කොට නින්දට ගොස් අලුත් දවසකට මුහුණ දීමට පිබිදෙන විට – මෙම නිශ්චිත මොහොතේ – කෙනෙකුට තමන්ගෙන් ම මෙසේ විමසා ගන්නට පුළුවන. “මගේ ජීවිත කාලය පුරාවට මා පරාජයන් කීයකට මුහුණ දී තිබෙනවාද? නරක මිනිසුන්ගේ පෙලෙඹවීම් වලට කී වතාවක් මා ලක් වුණාද? මගේ අවුල් වියවුල් ස්වභාවය අනුන්ගේ අනුකම්පාව හා ආදර සෙනෙහස පතා සිටින තත්ත්වයකට පත් කර තිබේද?

මෙකී සුවිශේෂ අවස්ථාවේ කෙනෙකුට තම ජීවිතය අලුත්වැඩියා කර ගැනීමේ හැකියාව පවතියි. බලාපොරොත්තු ජයග්‍රහණ සහ සිහි නුවණ නම් ආලෝකයෙන් ජීවිතය යළි ගොඩ නගා ගන්නට ඔහුට පුළුවන. පාපක්ෂමාව අයදින්නට සුදානම් වූ පුද්ගලයින් සඳහා යහ මඟ දක්වන්නා වූ සත්‍යයේ හඬ සෑම තැනකම රැව් නැඟේ. මෙහිලා නබි තුමාණෝ මෙසේ පැවසුහ: “රාත්‍රියේ තුන්වැනි යාමයේ දී අති උත්තරීතර අල්ලාහ් අහසට බැස මෙසේ විමසයි. ‘හිමිදිරි පාන්දර දක්වා (මවිසින් පිරිනැමෙන්නට) යම් කිසිවක් ආයාචනය කරන්නෙක් සිටී ද? පාන්දර දක්වා (මවිසින් කමා කෙරෙන්නට) පව් කමාව අයදින්නෙක් සිටී ද?’” (බුහාරී නබි වදන් ග්‍රන්ථයෙනි). තවත් වාර්තාවක “රාත්‍රියේ මැද කොටසෙහි අල්ලාහ් සිය ගැත්තාට ඉතා සමීපයෙන් සිටියි. එම හෝරාවෙ හි අල්ලාහ් ගැන සිහිපත් කරන උදවිය අතර ඔබ සිටියා නම් ඔබ එසේ කරන්නැයි නබි තුමාණෝ පවසා ඇත.” (අත්තිර්මිදී)

මෙය නව උදාවකි. නින්දෙන් පිබිද දුරු හෝ නුදුරු හෝ අතීතයේ ශේෂයන් මත පිහිටා ඔබගේ අනාගතය ගොඩ නගා ගන්නට පුළුවන් වනු ඇත. මේතාක් සිදු කළ අනන්ත අප්‍රමාණ පාප ක්‍රියාවන් හේතුවෙන් පසුබට නොවන්න. කෙනෙකු අවංක වශයෙන්ම අල්ලාහ් වෙත හැරෙනවා නම් එකී පාප ක්‍රියා සියල්ල සමස්ත සාගර වල පෙණ පිඬු සේ සලකා අති උත්තරීතර අල්ලාහ් ඒ සියල්ල කමා කරයි. අල්ලාහ් සම්බන්ධයෙන් කෙනෙකු දැක් වූ අතීත ගුණමකුකම ඔහුගේ විශ්වාසදායක ප්‍රත්‍යාගමනයට අවහිරයක් නොවිය යුතුය.

“(නබි වරය) මෙසේ පවසන්න. ‘පාපයන් කරමින් එකිනෙකා සීමාව ඉක්මවා ගමන් කළා වූ මගේ ගැත්තනි, අල්ලාහ්ගේ කරුණා මෛත්‍රියය  කෙරෙහි බලාපොරොත්තු සුන් නොකර ගන්න. නියත වශයෙන්ම අල්ලාහ් සියලුම පාපයන් කමා කරන්නේය, නියත වශයෙන්ම ඔහ ක්‍ෂමාශීලීය, පරම දයාන්විතයාය. ඔබගේ පරමාධිපතියා පිළිබඳ සැබෑ බියභක්තියෙන් ළතැවිල්ලෙන් හා අවනත භාවයෙන් ඔහුට අවනත වන්න’ යනුවෙන් අල්ලාහ් පවසයි.” (අල් කුර්ආන් 39: 53-54)

තවද අති උත්තරීතර අල්ලාහ් හදීස් කුද්ස් හි මෙසේ සඳහන් කරයි. “ආදම්ගේ පුත්‍රය, ඔබ මට ආයාචනය කරමින් පාප කමාව අයදින විට ඔබගේ වැරදි හා පාප ක්‍රියා කුමක් වුව ද ඒවා ගැන නොසලකා ඔබට දිගටම සමාව දෙන්නෙමි. ආදම්ගේ පුත්‍රය මා හට කිසිවක් සම නොකොට (ආදේශ නොකොට) මහ පොළොව තරම් වැරදි සහිතව ඔබ මා මුණගැසුනා නම් මම මහ පොළොව තරම් සමාව සහිතව ඔබ වෙතට එන්නෙමි.” (අත්තිර්මිදී)

බලාපොරොත්තු සුන් කර ගනිමින් හා නිරාශාවෙන් පසුවන කලෙක මෙවැනි නබි වදන් (හදීස්) හදවතට ටිකෙන් ටික බලාපොරොත්තු ඇති කරවයි. පිටුපෑම් හා දුෂිත අතීතයට පසු පුද්ගලයෙකුට අති උත්තරීතර අල්ලාහ් පිළිබඳ බිය චකිතයකින් තල්ලු වෙනවා වෙනුවට ජනයා ඔහු වෙතට ප්‍රිය ලෝලත්වයකින් පියාඹා නොයන්නේ මන්දැයි වටහා ගැනීම අසීරුය.

අති උත්තරීතර අල්ලාහ්ට වඩා පරම කරුණාන්විත අන් කිසිවෙකු සොයා ගත නොහැකිව තිබිය දී වුව ද මිනිසාගේ මෙම දරදඬු හැඟීම් වලට හේතු පාදක වනුයේ අල්ලාහ්ගේ සහ ඔහුගේ මාර්ගය පිළිබඳව පවත්නා නොදැනුවත්කමයි. උත්තරීතර අල්ලාහ්ගේ කරුණාව හා මෛත්‍රිය කිසිදු අරමුණක් හා සම්බන්ධ වුවක් නොවේ. ඒවා අල්ලාහ්ගේ පරිසමාප්තිය හා නොවරදින සුළු බව නියෝජනය කරයි.

මානව වෘත්තාන්තයෙහිලා අපට දැන ගන්නට ලැබෙන පාඩම නම් අති උත්තරීතර අල්ලාහ් මිනිසාව නිර්මාණය කරන අවස්ථාවේ ම මොහුව ගෞරවයට පාත්‍ර කොට ඇති බවයි. මිනිසාව සමච්චලයට ලක් කොට නැති බවයි.

“සැබැවින්ම මිහිතලය මත අපි නුඹලාව ස්ථාපිත කළෙමු. තවද, අපි නුඹලාට එහි යැපීම් සම්පත් ඇති කළෙමු. අල්ප ප්‍රමාණයකි නුඹලා කෘතවේදී වනුයේ. සැබැවින්ම අපි නුඹලාව මවා පසුව නුඹලා (ඉස්තරම් හැඩයෙන්) හැඩ ගස්වා පසුව ආදම්ට සජදා (ශරීරයේ අංග හතක් – සතඟ – පොළොවෙහි පිහිටා කරන ගෞරවය-නළල හා නාසය, දෑතෙහි අත්ලයන්, දණහිස්, පයේ මාපටැඟිල්ල හා අනෙකුත් ඇඟිලි වල යට කොටස්) කරනුයි මලක්වරුන්ට (සුරදුතයන්ට) පැවසුවෙමු” (අල් කුර්ආන් 7:10-11).

පීඩාවෙන් හා මෝහඳුරෙන් තොරව මිනිසා මිහිතලය මත ජීවත් කරවිය හැකි පරිද්දෙන් වූ ආගමික පැවැත්ම වනුයේ සත්‍යය හා සමානාත්මතාව මත පදනම් වූ ක්‍රමවේද හා සම්බන්ධතාවන් සැපයීමයි. අති උත්තරීතර අල්ලාහ්ගේ ෂරියා පිළිවෙත අනුව ඔහු දරුවන්ගේ අකීකරුකම් වලට එරෙහිව දෙමව්පියන් සහ පීඩකයාගේ ආධිපත්‍යයට එරෙහිව පීඩිතයින්ගේ පැත්ත ගනියි. තවද පුද්ගලයෙකුගේ ගරුත්වය දේපළ වස්තුව හා රුධිරයේ සුරක්ෂිත භාවය වෙනුවෙන් අල්ලාහ් සිටී. ආදම්ගේ දරුවන්ට පිරිනැමූ ආශීර්වාදයන් වෙනුවෙන් යම් යම් ආගමික වත්පිළිවෙත් මඟින් අල්ලාහ්ට තුති පුදන මෙන් ද ඔවුන් කෙරෙහි තමාට ඇති අයිතිවාසිකම් ගැන සිහිපත් කරන මෙන් ද අල්ලාහ් විධානය කරයි. අනිවාර්යය වන මෙම වතාවත් ක්‍රියාවන් ඉටු කිරීම මිනිසුන්ට එතරම් අපහසුතාවක් ගෙන දෙන ක්‍රියාවන් නොවේ. ඇත්ත තත්ත්වය නම් අති උත්තරීතර අල්ලාහ්ට මානව වර්ගයාගෙන් අවශ්‍ය වනුයේ ඔවුන්ගේ නිර්ලෝභීත්වය සහ උදාරවන්ත භාවයයි. එතෙකුදු වුව ද ජනයා මීට සවන් දෙන අතරතුර ඔවුන්ගේ යහපත සඳහාම සකස් කරන ලද්දා වූ මෙම මාර්ගය ඔස්සේ ගමන් කිරීම ප්‍රතික්ෂේප කරති. මේ නිසාම ඔවුහු තමන්ගේ ආශාවන්ට වහල් වී සිටිති. මොවුන් සිය කැමැත්තෙන්ම අනියම් මඟ වැලඳ ගෙන සිටිය ද ඊමානය (ඉස්ලාමීය විශ්වාසය) වෙත කැඳවන උදවිය ස්වර්ගය අත්කර ගනු පිණිස ආපසු තම නිර්මාතෘවරයා වෙත හැරෙන ලෙස ඇරයුම් කරති.

ඔබ ආපසු අති උතුම් අල්ලාහ් වෙතට හැරුණු විට අල්ලාහ් පත් වන සතුට ගැන මුහම්මද් ධර්ම දුතයාණන් සඳහන් කරන්නේ මෙසේය:

“ඔබගේ යම් කෙනෙකුගේ ඔටුවා කාන්තාරයේ අතුරුදන්ව ආපසු ලැබුණු විට පත් වන සතුටට වඩා සතුටකට අල්ලාහ් ස්වකීය ගැත්තා ආපසු තමන් වෙතට හැරුණු විට පත් වෙයි.” (බුහාරි)

මෙම කරුණාභරිත ප්‍රකාශය ගැන ඔබ විස්මයට පත් නොවන්නෙහි ද? මීට වඩා ශ්‍රේෂ්ඨ සතුටක් ඔබට දකින්නට ලැබේවි ද? අතිශය  ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට පවා තමුන් හමුවීමට බෙහෙවින් ආශාවෙන් හා ආදරයෙන් පුල පුලා බලා සිටින කෙනෙකු හමුවන්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එහෙව් කළ තමාට ම හෝ  අනුන්ට එරෙහිව සීමාව ඉක්මවා ගිය පව්කාරයෙකු ගැන කිව මනා ද? අතීතය වසන් කරනු පිණිස ඔහුට මෙබඳු පිළිගැනීමක් අත් වේ නම් ඒ වෙනුවෙන් කෘතවේදී වීම අවශ්‍ය වෙයි.

අල්ලාහ් ජනයින්ට බෙහෙවින් කරුණාව හා දයාව දක්වයි. එම ජනයින් ආපසු තමන් වෙතට හැරෙන කළ ඔවුන් සිතනවාටත් වඩා උත්තරීතර අල්ලාහ් සතුටට පත් වෙයි. මෙම ප්‍රත්‍යාගමනය එක ජීවන රටාවකින් තවත් ජීවන රටාවකට සපුරා මාරු වීමක් වෙයි. ඒ වූ කලී නව උදාවක් එළඹෙන්නාක් මෙනි. මෙය මිනිසා විසින් සිදු කරනු ලබන හුදෙක් සාමාන්‍ය ප්‍රත්‍යාගමනයක් ම නොවෙයි. ඇයගේ හෝ ඔහුගේ ව්‍යාකුල ජීවිතයට ආපසු පැමිණීමක් ද නොවෙයි. මෙය අති උත්තරීතර අල්ලාහ් අමන්දානන්දයට පත් වන ජයග්‍රාහක ප්‍රත්‍යාගමනයකි. දුබලකම හා අලසකම අබිබවා ලබන්නා වූ මනුෂ්‍ය විජයග්‍රහණයකි. ස්වකීය තෘෂ්ණා දාමයකින් ස්වාධීනත්වය අත්කර ගැනීමකි. ඊමානය ආශීර්වාදය පරිණතභාවය හා නිසි මාර්ගෝපදේශකත්වයේ නව මං පෙතකට තමුන් පත් කර ගැනීමකි. මෙම ප්‍රත්‍යාගමනය පිළිබඳව අති උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

“කවරෙකු පශ්චාත්තාප වී විශ්වාස කොට යහකම් කර පසුව යහ මඟ ගියේ ද සැබැවින්ම මම ඔහුට අති ක්ෂමාශීලීය.” (අල කුර්ආන් 20 : 82)

මෙය ජරාජීර්ණයට පත් වීමෙන් පසු පිළිසකර කර ගත් ජීවිතයකි. සුලභ වශයෙන් ජලය සහ පොහොර ලැබීමෙන් පසු ගොවි බිමක සිදු විය හැකි වෙනස මෙන් ගුණ දහම් වෙනස් කරන්නා වූ තීරණාත්මක පියවරකි. පිළිකුල් සහගත ගති සිරිත් හා නරක සදාචාරයන් මැද ක්‍රියාවන් හෝ අදහස් කිහිපයක් හඳුන්වා ගත් පමණින් ජීවිතය අලුත්වැඩියා කර ගත්තේ යැයි අදහස් නොවෙයි. කෙනෙකුට යහපත් ප්‍රශංසනීය අනාගතයක් ස්ථාපිත කර ගැනීමට හැකියාවක් මෙ මගින් අත් නොවෙයි. අති උත්තරීතර අල්ලාහ් විසින් සිය අනුග්‍රහයන් පිරිනැමීම වළක්වනු ලැබූ ඇතැම් පුද්ගලයන් පිළිබඳව මෙසේ විස්තර කරයි:

“කවරෙකු පිටුපාන්නේ ද (නබි වරය) ඔහුව නුඹ දුටුවෙහි ද? ඔහු ස්වල්පයකි (දන්) දුන්නේ. පසුව වැළකුණේය.” (අල් කුර්ආන් 53 : 33 – 34)

ස්වකීය ග්‍රන්ථය (අල් කුර්ආනය) විඛණ්ඩනය කිරීමට තැත් කරන්නන් පිළිබඳව අති උත්තරීතර අල්ලාහ් මෙසේ සඳහන් කරයි.

“තවද එය කවියෙකුගේ වදනක් ද නොවේ. අල්පයකි නුඹලා විශ්වාස කරනුයේ. (එය) ශාස්ත්‍රකරුවෙකුගේ වදනක් ද නොවේ. අල්ප ප්‍රමාණයකි නුඹලා මෙනෙහි කරනුයේ. (එය) ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් පහළ කරන ලද්දකි” (අල් කුර්ආන් 69 : 41 – 43)

ඇතැම් අවස්තාවන් හි දී සුළු තරමේ පිබිදීමක් දැනේවී. අනතුරුව ඔවුහු සුපුරුදු කුසීත තත්ත්වයට පත් වෙති. එය නිවැරදි මාර්ගෝපදේශය හෝ නිවැරදි අනුගමනය කිරීමක් ලෙස සැලකිය නොහැක. මන්ද, නිසි මාර්ගෝපදේශය යනු අවංක පශ්චාත්තාපයෙහි අවසාන භාගය වන බැවිනි. අති උත්තරීතර අල්ලාහ්ගෙන් ඈත් වීම මහත් දොම්නසකට හා චිත්ත පීඩාවකට හේතු පාදක වෙයි. අල්ලාහ්ගේ ආශීර්වාදය අහිමි වූ බලය සහ බුද්ධිය, රූමත්කම සහ දැනුම යනාදී සියලුම ආයතන අවාසනාවක් හා ව්‍යසනයක් බවට පත් වෙයි. මෙම හේතුව නිසාම උනුන් එකිනෙකා භේද වී යාම හා අල්ලාහ්ගේ අවධානයන් ඉවත් වී යාම සම්බන්ධයෙන් අල්ලාහ් මිනිසුන්ට අනතුරු අඟවයි.

ඇවිද යමින් සිටිය දී ඔබ කිසියම් සිද්ධියකට ලක් වන්නට පුළුවන. ඔබගේ ජීවිතයට තර්ජනයක් ගෙන දිය හැකි වේගයෙන් ගමන් කරන මොටෝ රියක් නිසා ඔබ විමතියට පත් වන්නට පුළුවන. පණ බේරා ගන්නට ඔබ දුවනවා දැනෙන්නට පුළුවන. ජීවිතයට අනතුරක් ගෙන දිය හැකි එවැනි සිද්ධීන් වලට විවෘතව සිටින ඔබ සිය ගැත්තන් දැනුවත් ව සිටීමයි අති උත්තරීතර අල්ලාහ්ට අවශ්‍ය වනුයේ. මේ නිසා ආරක්ෂාව පතා තමන් වෙතට කඩිනමින් එන්නැයි ඔහු මිනිසුන්ට උපදෙස් දෙයි.

එම නිසා අල්ලාහ් වෙතට කඩිනම් කරන්න. මම ඔහු වෙතින් පැහැදිලි අනතුරු ඇඟවිල්ලක් ගෙනෙමි. අල්ලාහ්ට වෙනත් දෙවියෙකු ආදේශ නොකරන්න. මෙය පහත සඳහන් දුආ (ප්‍රාර්ථනය) සමග සිය පරමාධිපතියාණන් සමග යහපත් සම්බන්ධතාවක් ඇති කර ගැන්මට පෙරාතුව මිනිසා ජීවිතය අලුත්වැඩියා කර ගැන්ම සඳහා අවශ්‍ය වන ප්‍රත්‍යාගමනයකි.

“යා අල්ලාහ්, ඔබ මාගේ පරමාධිපත්යානන් ය. ඔබ හැරුණු කොට වෙනත් දෙවියෙකු නැත. මා නිර්මාණය කරනු ලැබුවේ ඔබ විසිනි. එම නිසා මම ඔබේ ගැත්තා වෙමි. තවද, මම මගේ ප්‍රතිඥාවෙන් ඔබට හා මගේ හැකියාව වෙනුවෙන් වන ඔබේ පොරොන්දුවෙන් බැඳී සිටිමි. මා සිදු කළ නරක ක්‍රියාවන් හේතුවෙන් ඔබගේ ආරක්ෂාව පතමි. මට කමා කරනු මැනව! මන්ද, පව් කමා කිරීමට ඔබ හැර අන් කිසිවෙකුට නුපුළුවන” (බුහාරී).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *