ඉස්ලාමීය ඉගැන්වීම් අනුව සත්යය වූ එකම දෙවිඳුන් (අරාබි භාෂාවෙන් ‘අල්ලාහ්’) පමණක් විශ්වාස කිරීම හා මහාකාරුණික එම දෙවිඳුන්ගේ අවසාන ධර්මදුතයාණන් වූ මුහම්මද් තුමාණන් ව විශවාස කිරීම වේ. මෙම විශ්වාසය පදනම් වූ ඉගැන්වීම් හි සාරාංශය පහතින් දක්වා ඇත්තෙමු.
සත්යය දෙවිඳුන් වූ අල්ලාහ් ඒකීය ය
ඔහුගේ ශක්තියෙහි, බලයෙහි හෝ ගුණාංගයන් හි අන් කිසිදු සහකරුවෙකු හෝ කොටස් කරුවෙකු හෝ නොමැත
ඔහුට සමාන කිසිවක් හෝ කිසිවෙකු නොමැත
නැමදුමට ඔහු හැර අන් කිසිවෙකු නොමැත
මෙලොව මතුලොව ජයග්රහණය උදෙසා සත්යය දෙවිඳුන් ව විශ්වාස කොට ඔහු විසින් මිනිසුන් අතුරින් තෝරාගත් ඔහුගේ ධර්ම දූතයන් මඟින් දෙනු ලැබූ මඟ පෙන්වීම අනුව මිනිස් ජීවිතය සකස් කර ගත යුතුය.
ඉහත පණිවිඩය අනුව ජීවිතය සකස් කර ගැනීම ‘ඉස්ලාමය’ නොහොත් දෙවිඳුන්ට අවනත වී සාමය අත්කර ගැනීම ලෙස දක්වනු ලැබේ. මෙම පණිවිඩය හා අනෙකුත් මඟ පෙන්වීම් ජනයාට ලබාදීම පිණිස සත්යය දෙවිඳුන් විසින් කලින් කලට ජනයා අතුරින් තෝරාගත් ධර්ම දුතයින් ව පත් කරන ලදී. එම ධර්ම දුතයින්ගෙන් අපේක්ෂිත වගකීම් කිහිපයක් පහතින් සංක්ෂිප්තව දක්වා ඇත්තෙමු.
1) සත්යය දෙවිඳුන් විසින් ලබා දෙන්නාවූ මඟ පෙන්වීම් ජනයා වෙත ලබා දී ඒවා පිළිපැදීමට දිරි ගැන්වීම
2) දෙවිඳුන්ගේ ඒකීයත්වය පිළිබඳ ජනයා වෙත කරුණු පහදා දීම
3) තම ජනයා වෙත පරමාදර්ශී චරිතයක් වීම
4) දෙවිඳුන් පිළිබඳ ව බියබැතිමත්කමින් යුක්තව දෙවිඳුන් ලබා දී ඇති මඟ පෙන්වීම් අනුව ජීවිතය සකස් කර ගැනීමට ජනයාට උපදෙස් දීම
5) තම ජනයා ව ඉස්ලාමීය වත්පිළිවෙත් හා ඉස්ලාමීය සාරධර්ම පිළිබඳ දැනුවත් කිරීම
6) දෙවිඳුන් ලබා දී ඇති නිවැරදි මඟ පෙන්වීමෙන් බැහැරව කටයුතු කරන්නන්, විශ්වයේ අධිපති ඒකීය සත්යය දෙවිඳුන් හැර අනෙකුත් මිත්යා දෙවිවරු හා ප්රතිමා වෘක්ෂ වැනි භෞතික දැයට නැමදුම් කරන්නන් වෙත සත්යය පහදා දී නිවැරදි මඟට ආරාධනා කිරීම
7) මිනිසාගේ මරණින් මතු ජීවිතය, විනිශ්චය දිනය, අපාය හා ස්වර්ගය වැනි කරුණු පිළිබඳ සත්යය පහදා දීම
ඉස්ලාමීය ඉගැන්වීම් විශ්වාස කොට ඒ අනුව කටයුතු කරන්නන් හඳුන්වන්නේ ‘මුස්ලිම්’ යනුවෙනි. ලෝක ජනගහනයෙන් හතරදෙනෙකුගෙන් එක් අයෙකු පමණ එනම් මුළු ජනගහනයෙන් 25% ක් පමණ මුස්ලිම්වරුන් (බිලියන 1.8) ලොව වර්තමානයේ සිටිති. මුස්ලිම්වරුන් විවිධ ජාතීන් හා වාර්ගිකත්වයකින් යුක්ත විය හැක. නමුත් මුළුමහත් ලෝක මුස්ලිම් ප්රජාවම ‘උම්මතය’ නම්වූ යහකම හා දැහැමිකම පදනම් වූ සහෝදරත්ව බැඳියාවකින් බැඳී සිටිති. ඔවුන් අතර උස්පහත්, ධනවත් දුගී හෝ කුලභේදයක් නොමැත.
සත්යය වූ ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති යථාර්ථවාදී සාධක කිහිපයක් වෙත අවධානය යොමු කරමු.
පළමු සාධකය – විශ්වයේ ආරම්භය
දෙවිඳුන් විශ්වාස කිරීම සඳහා අවධානය යොමු කලයුතු පළමු යථාර්ථවාදී සාධකය ලෙස විශ්වයේ ආරම්භය දකින්නෙමු.
විශ්වය බිහිවුයේ කෙලෙස ද?
o X විශ්වය කිසිවකින් තොරව අහඹු ලෙස ඇති වුයේ ද? කිසිවකින් තොරව කිසිවක් ඇතිවන්නේ නැත.
o X විශ්වය විසින් එය බිහිකර ගත්තේ ද? මෙය අතාර්කික අදහසකි. මව විසින් ඇයව බිහිකර ගත්තා යැයි පැවසීම වැන්නකි මෙම අදහස.
o X විශ්වය සදාකාලිකව පැවතියේ ද? නුතන විද්යාව මෙම අදහස ප්රතික්ෂේප කරයි. විශ්වයට ආරම්භයක් ඇති බව නුතන විද්යාව සාධක සහිතව සනාථ කරයි.
o √ විශ්වය නිර්මාණය කරනු ලැබුවේ ද? විශ්වයට පරිබාහිර වූ අසමසම ශක්තියකින් එය නිර්මාණය කරනු ලැබූ බව ඉස්ලාමිකයින් විශ්වාස කරති. එම අසමසම ශක්තිය නිර්මාතෘ හෙවත් මහා කාරුණික සත්යය වූ ඒකීය දෙවිඳුන්ය.
නමුත් දෙවිඳුන් ව නිර්මාණය කළේ කවුරුන් ද?
මහා කාරුණික දෙවිඳුන් සදාතනිකය. විශ්වයට (කාලය,ශක්තිය හා අවකාශය ඇතුළු ව) නියත වශයෙන් ම ආරම්භයක් ඇති බව විද්යාත්මක සිද්ධාන්තයන් පදනම් කර ගෙන සනාථ වන කරුණකි.
ආරම්භයක් ඇති සෑම දෙයකටම අනිවාර්යයෙන් ම හේතුවක් තිබිය යුතුය. ආරම්භයක් ඇති කිසිවක් හේතුවකින් තොරව පවතින්නේ යැයි පැවසීම විද්යාත්මක හා යථාර්ථවාදි සංකල්පයක් නොවේ.
එහෙයින් විශ්වයට ආරම්භයක් ඇති බව විද්යානුකුලව ඔප්පු වි ඇති හෙයින් නියත වශයෙන්ම විශ්වයේ ආරම්භයට හේතුවක් තිබිය යුතුය. කාලය ආරම්භ වන්නේ අවකාශය හා භෞතික පදාර්ථ ආරම්භ වීමත් සමගය. විශ්වය ආරම්භ විමට පෙර අවකාශය හා භෞතික පදාර්ථ නොමැති තත්ත්වයක් තුළ තිබිය හැක්කේ විශ්වය උත්පාදනය කළ හේතුව පමණි. එහෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) කාලයෙන් පරිබාහිර වූවක් හෙයින් විශ්වයේ උත්පාදන ශක්තිය (නිර්මාතෘ) ට ආරම්භයක් නොමැත. ආරම්භයක් නොමැති දෙයකට අවසානයක් තිබිය නොහැක. එහෙයින් විශ්වයේ නිර්මාතෘ සදාතනික ය.
දෙවන සාධකය – විශ්වයේ ඇති අපරිමිත සැලසුම
විශ්වය අහඹු ලෙස ඇති වූවක් නම් එය අවිධිමත් හා කිසිදු නියාමයන් එනම් සිද්ධාන්තයන් අනුව ක්රියාත්මක නොවන පිළිවෙලකින් තොර එකක් විය යුතුය. විශ්වය දෙස අවධානය යොමු කරන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි වැදගත් සත්යයක් නම් මුළු මහත් විශ්වයම නිශ්චිත නියාමයන් හා සිද්ධාන්තයන් අනුව ඉතා විධිමත් සැලසුමක් අනුව ක්රියාත්මක වන බවය.
භෞතික විද්යාවේ සිද්ධාන්තයක් යනු ස්වභාවික පරිසරය කිසිදු බැහැරලීමකින් හෝ අතහැර දැමීමකින් තොරව අනුගමනය කරන්නා වූ සම්මතයක් ලෙස විශ්වවේදී (Cosmologist) සෝන් කැරොල් පවසයි (Sean Carroll, a cosmologist at the California Institute of Technology, quoted by the New York Times, nytimes.com; 2007). විශ්වීය නියාමයන් සංඛ්‍යාත්මක පදනමකින් යුක්ත ව සටහන් කර ගත හැකිය. තාර්කික පදනමකින් බලන විට නියාමයන්ට අනුකූල ව පැවතෙන විශ්වයක අවශ්‍යතාවක් නොමැත. එම නියාමයන් ගණිතමය සිද්ධාන්තයන්ට සම්පුර්ණ අනුකුලත්වයකින් යුතු ව පැවතීම සැමගේ විස්මයට හේතු වී ඇත. ආලෝකය පැමිණෙන්නේ විදුලි පන්දමකින් ද නැතහොත් අති දුරස්ථ තාරකා මණ්ඩලයකින් ද යන වෙනසකින් තොරව එහි වේගය තත්පරයකට සැතපුම් 186,000 ක නියතයක් ලෙස පවතී.
ස්වභාවික පරිසරය ගණිතමය නියතයන් අනුව ක්‍රියාත්මක වීම විස්මය ජනක අභිරහසක් ව ඇති බව භෞතික විද්‍යාඥ ඉයුජීන් විග්නර් පවසයි (Eugene Wigner, “The Unreasonable Effectiveness of Mathematics in the Natural Sciences,” in Douglas Campbell and John Higgins, eds., Mathematics (Belmont, CA: Wadsworth, 1984), Vol. 3, 117.)
ස්වභාවික පරිසරය ගණිතමය නියාමයන් අනුව ක්‍රියා කිරීම මහත් විස්මය ජනක අභිරහසක් ව පවතින බව ක්වොන්ටම් විද්‍යුත් ගති විද්‍යාව පිළිබඳ නෝබෙල් ත්‍යාගලාභී විද්‍යාඥ රිචඩ් ෆෙයින්මන් පවසයි (Richard Feynman, The Meaning of It All: Thoughts of a Citizen-Scientist (New York: Basic Books, 1998), Page 43).
මෙම කිසිදු නියාමයක් කාලය හෝ ස්ථානය අනුව කිසිදු වෙනස්වීමකට භාජනය නොවී නියතයක් ලෙස පවතී. නුතන අධ්‍යයනයකට අනුව භෞතික විද්‍යාවේ ඉතා වැදගත් ගණිතමය සිද්ධාන්තයක් වූ ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ස්කන්ධ අනුපාතය මිහිතලය මත ලෙසින්ම ආලෝක වර්ෂ බිලියන හයකට එපිට පිහිටා ඇති ක්‍ෂීරපථයේ තාරකාවක ද එය නියතයක් ව පවතී (Dr. Emily Baldwin; “Earth’s Laws Still Apply in Distant Universe”; AstronomyNow.com; June, 2008).
පොදු එකම නියාමයන් අනුව මුළු මහත් විශ්වයම ක්‍රියාත්මක වීම තුළින් අප වැදගත් කරුණු කිහිපයක් දකින්නෙමු. විශ්වයේ නිර්මාතෘ එකීය බවත් මුළුමහත් විශ්ව නිර්මාණය පිටුපස අසමසම බුද්ධිමය සැලසුමක් ඇති බවත්ය. බහු නිර්මාතෘවරුන් සිටියේ නම් මෙලෙස ඒකීය නියාමයන් අනුව විශ්වය ක්‍රියාත්මක වීම සිදු නොවනු ඇත.
තුන්වන සාධකය – දේව පණිවිඩය – අල් කුර්ආනය
සත්‍යය වූ ඒකීය දෙවිඳුන් විශ්වාස කිරීමට ඇති තවත් බලගතු සාධකයක් නම් අවසන් දේව පණිවිඩය වූ අල් කුර්ආනයයි. මේ පිළිබඳ ව කරුණු දීර්ඝ වශයෙන් ඉදිරපත් කිරීමට ඇතත් කෙටියෙන් කරුණු කිහිපයක් ගෙනහැර දක්වන්නට කැමැත්තෙමු.
දේව නිර්මාණයට අනුව පළමු මිනිසා සහ ස්ත්‍රිය නිර්මාණය කළ ආකාරය එක් වරක් පමණක් සිදු වු ඓතිහාසික සිද්ධියකි. ඉන් පසුව මිනිසාගේ නිර්මාණය සිදු වුයේ හා සිදුවෙමින් පවතින්නේ ස්ත්‍රියකගේ හා පුරුෂයෙකුගේ ලිංගික සම්බන්ධතාව පදනම් කර ගෙනය. වර්තමානයෙහි අපට දක්නට ඇත්තේ මෙලෙසින් නිර්මාණය වෙමින් පවතින්නා වු මිනිස් පරපුරයි. විද්‍යාවට ගෝචර වන්නේ වත්මනෙහි සිදුවෙමින් පවතින්නා වු මෙම මිනිස් නිර්මාණයයි. මෙම මිනිස් නිර්මාණය පිළිබඳ ව ඇති නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් කොතෙක් දුරට විශ්වයේ පාලක පරම අධිපති විසින් පහළ කරන ලද තොරතුරු හා සැසඳේ ද යන්න සොයා බැලීමෙන් අපට පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව ඇති කරුණු පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරිමට හැකි පදනමක් ගොඩ නගා ගන්නට හැකි වේ යැයි සිතන්නෙමු.
දැනට ලොව ප්‍රධාන පෙළේ වෛද්‍ය විද්‍යාලයන්හි නාරිවේදය පශ්චාත් උපාධිය හදාරණ සිසුන් කලල විද්‍යාව හැදැරිම සඳහා උපයෝගි කර ගන්නේ කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කීත් මුවර් (Keith Moore) විසින් ලියන ලද “The Developing Human” නම් ග්‍රන්ථයයි. මහාචාර්ය කීත් මුවර්ගේ එක් ප්‍රකාශනයක් “This is the Truth” යන ග්‍රන්ථයෙන් ගෙන හැර දක්වන්නට කැමැත්තෙමු. එතුමාගේ මෙම ප්‍රකාශනයන් අඩංගු දේශනයට අන්තර් ජාලයේ youtube.com වෙබ් අඩවිය මගින් ද ඔබට සවන් දිමට හැකිය. එහි සංක්ෂිප්ත විස්තරයක් පහතින් දක්වා ඇත්තෙමු.
1981 දි සෞදි අරාබියේ දමාම් නගරයේ පවත්වන ලද හත් වන වෛද්‍ය සම්මන්ත්‍රණයේ දි මහාචාර්ය මුවර් මෙසේ පැවසිය. “මනුෂ්‍ය වර්ධනය සම්බන්ධයෙන් අල් කුර්ආනයේ අඩංගු කරුණු පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන්නට අවස්ථාවක් ලැබීම ගැන අතිශයින් සතුට ට පත් වෙමි. මෙම විස්තර මුහම්මද් තුමාට ලැබී ඇත්තේ දෙවිඳුන්ගෙන්ම බව මට ඉතාමත්ම හොඳින් පැහැදිලිය. මෙයට ප්‍රධාන හේතුව මෙම දැනුම මනුෂ්‍ය වර්ගයා තම පර්යේෂණ මගින් දැන ගන්නේ එතුමාට ශත වර්ෂ කිහිපයකට පසුවයි. මේ අනුව මුහම්මද් තුමා නිසැකවම හා නියත වශයෙන්ම දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ නියෝජිතයෙක් බව ඉතා මනා සේ ඔප්පු වන්නේය”.
මිනිසාගේ නිර්මාණය පිළිබඳ ව එනම් ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංශ්ලේෂණය වීමෙන් හටගන්නා වු (යුක්තානුවේ) කලලයේ වර්ධනය පිළිබඳ ව අල් කුර්ආනය අවුරුදු 1400 කට පෙර විද්‍යාඥයින් විසින් දශක කිහිපයකට පමණක් පෙර සොයා ගත්තා වූ කරුණු ඉතා සවිස්තරාත්මක ව හා පුර්ණ නිරවද්‍යතාවයකින් යුක්ත ව ඉදිරිපත් කිරීමට හැකි නම් පළමු මිනිසාගේ හා ස්ත්‍රියගේ නිර්මාණය පිළිබඳ ව අල් කුර්ආනයේ සඳහන් කර ඇති කරුණු සත්‍යය බව අපට පිළිගන්නට සිදු වෙනවා නොවේ ද?
“මනුෂ්‍යයිනි, සැබැවින්ම අපි ඔබ ව එක් පුරුෂයෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. එකිනෙකා හඳුනා ගැනිම පිණිස ඔබ ව ජාතින් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. (එබැවින් ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකුට වඩා උසස් යැයි උඩඟු විමට කිසිවක් නැත. එහෙත්) ඔබ ගෙන් කවුරුන් ඉතාමත් බිය බැතියන් ව සිටින්නේද ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියසෙහි ඉතාමත් ගෞරවනීය තැනැත්තෙකි. ඇත්තෙන්ම අල්ලාහ් සර්වඥානි හා සියල්ල දැනුවත්ව ද සිටින්නේය”. (අල්කුර්ආනය 49:13)
“අහස් ද (විශ්වයද) මිහිතලය ද නිර්මාණය කිරීම මනුෂ්‍යයන් නිර්මාණය කිරීමට වඩා මහත්ය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් (මෙතරම් දෙයක්වත්) නොදකිත්”. (අල්කුර්ආනය 40:57)
තවත් යථාර්ථවාදී සාධක බොහොමයක් ඇතත් ඉහත දක්වා ඇති කරුණු නිවැරදි දේව විශ්වාසයක් ඇති කර ගැනීමට ප්‍රමාණවත් වේ යැයි සිතන්නෙමු. ඉස්ලාමය යන්නෙන් අදහස් වන්නේ මෙම සත්‍යය වූ ඒකීය මහාකාරුණික දෙවිඳුන් විශ්වාස කොට මනුෂ්‍යය වර්ගයාගේ මෙලොව හා මතුලොව ජයග්‍රහණය සඳහා දී ඇති දේව පණිවිඩය හා එම පණිවිඩය දෙවිඳුන්ගෙන් ලැබී මනුෂ්‍යය වර්ගයාට ඉදිරිපත් කළ අවසන් ධර්මදුතයාණන් වූ මුහම්මද් තුමාණන් ගේ අලංකාර පුර්වාදර්ෂයන් අනුව ජීවිතය සකස් කර ගැනීමය.
By: Ibnu Masnsoor
www.yayuthumaga.com