මිනිස් ජිවිතයට ඉහලම වටිනාකමක් දී තිබෙන දහම ඉස්ලාම් ය. අල්-කුරානයට අනුව හේතුවක් නොමැතිව කරන එක් මිනිස් ඝාතනයක් සලකන්නේ මිනිස් සංහතියම ඝාතනය කිරීමක් හැටියටය. එසේ තිබියදී බොහොමයක් ජනමාධ්‍යවලින් පෙන්වීමට උත්සාහ කරන්නේ ඉස්ලාම් දහම ත්‍රස්තවාදී දහමක් ලෙසය. ඒ අනුව ඉස්ලාම් දහමට කිසිම සම්බන්දයක් නොමැති ත්‍රස්තවාදී ක්‍රියාවක් පවා ජන මාද්‍යයෙන් පෙන්වා දෙන්නේ එය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙසය. එහෙත් “ඉස්ලාමීය ත්‍රස්තවාදීන්” යැයි පිරිසක් ඉස්ලාම් දහමින් පෙන්වා දී නැත. 
ඕනෑම ජන සමාජයක වැරදි කරන අය සිටිති. ඔවුන් කුමන ආගමක් නියෝජනය කලත් ඔවුන් කරන වැරදිවලට ඔවුන් අයත්වන ආගම වගකිව යුතු නැත. විශේෂයෙන්ම ඉස්ලාම් දහමින් මිනිස් ඝාතන සඳහා ඉතා දැඩි දඬුවම් නියම කොට තිබීමෙන්ම ඉස්ලාම් දහමින් ත්‍රස්තවාදයට උදව් නොකරන බව පැහැදිලිය. ඉස්ලාම් දහම සැම විටම ක්‍රියා කරන්නේ සාමය ස්ථාපනය කිරීමටය. ඉස්ලාම් දහමින් යුද්ධයට අවසර දී තිබෙන්නේද ස්ථිර සාමය ඇති කිරීම සඳහාය. එහෙත් පළමු සහ දෙවන ලෝක යුද්දයන් සිදු කලේ එවැනි අරමුණකින් නොවේ. ඉස්ලාම් දහමින් එවැනි යුද්ධ වලට කිසිම අවසරයක් දී නොමැත.

නබිතුමා ජිවතුන් අතර සිටින කාලයේදී හෝ ඔහුගෙන් පසුව පත්වූ කලීෆා වරුන්ගේ කාලයේදී හෝ මුස්ලිම් වරුන්ට ස්ථිර යුධ හමුදාවක් තිබුනේ නැත. එය ඉස්ලාමීය අවශ්‍යතාවක් ද නොවේ. එහෙත් අද යුධ අවි නිෂ්පාදනය කිරීම අතින්ද ලෝකයේ විශාල යුධ හමුදා පවත්වා ගැනීමෙන්ද මුල් තැන ගන්නේ මුස්ලිම් නොවන රටවල්ය. සෑම රටක්ම බලන්නේ ඔවුන්ගේ යුධ ශක්තිය තර කිරීමටය. මේ නිසා ලෝක සාමයට විශාල තර්ජනයක් වී ඇත.

මැදපෙරදිග රටවල්වල සිදු වී තිබෙන බොහෝ ප්‍රශ්න වලට හේතුවද දෙවන ලෝක යුද්ධයේදී නිර්මාණය කළ ඉස්රයලය බව අමුතුවෙන් කිව යුතු නැත. එසේම ඉන්දියාව සහ පකිස්තානය බෙදා වෙන් කිරීමේදී නිර්මාණය කළ කාශ්මීරය නිසා එදා සිට අද දක්වා බොහෝ ජිවිත හානි සිදු වී ඇති අතර එම ප්‍රධාන රටවල් අතර යුද්ධ පවා සිදු වී තිබේ. මේ නිසා තම අයිතිවාසිකම් දිනා ගැනීමට කල්ලි කණ්ඩායම් බිහි වී ඇත. එය ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා සිදු කලත් ඒවා ඉස්ලාම් දහම අනුව කළ යුත්තේ පිළිගත් රජයක් විසිනි. එසේ නොවීම නිසා ඉස්ලාම් දහමට දොස් පැවරීමෙන් පලක් නොමැත. එසේ තිබියදී කොතැනක හෝ සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාවක් ජන මාධ්‍ය මගින් පළකරන්නේ “මුස්ලිම් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස විශ්වාස කෙරේ” යනුවෙනි. මෙවැනි දේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉස්ලාම් දහම ගැන වැරදි චිත්‍රයක් මවා පෑමටය.

ඇමරිකාවේ ද්විත්ව කුළුන ආක්‍රමණය කිරීම යම් කණ්ඩායමකගේ සැලසුම්ගත ක්‍රියාවක් බව දැන් හෙළිවෙමින් පවතී. එහෙත් එය කිසිම පරීක්ෂණයක් සිදු නොකොට මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් ලෙස ජන මාධ්‍ය මගින් නිවේදනය කළේය. එය ඇමරිකාවේ අභ්‍යන්තර ක්‍රියාවක් බව දැන් ප්‍රකාශයෙට පත් වෙමින් තිබේ.

ලෝකයේ ඇති ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයන් හරහා ඉස්ලාම් දහමට විරුද්ධව කුමන ප්‍රචාරයන් සිදු කළත් ඉස්ලාම් දහම ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්තවන දහම බවට පත්වී ඇත. ඇමරිකාවේ සිදුවූ සැප්තැම්බර් 11 ප්‍රහාරය මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවක් යැයි පෙන්වා දීමෙන් සිදු වුයේ ඔවුන් බලාපොරොත්තු වූ දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි.  එම ප්‍රචාරයෙන් පසු බොහෝ අය අල්-කුරානය හැදෑරීමට පටන් ගත්හ. එහි ප්‍රතිපලයක් ලෙස අමරිකානුවන්  විශාල වශයෙන් ඉස්ලාම් දහම වැළඳ ගත්හ. ඇමරිකාවේ සිටින මුස්ලිම්වරුන්ගෙන් 20% පමණ අලුතින් ඉස්ලාම් දහම වැළඳ ගත් අය බව වාර්තා වන්නේය.

අද ලෝකයාටම හිසරදයක් වී තිබෙන ISIS සංවිදානය පවා ඉස්ලාම් දහමට හානි කිරීම සඳහා ඇමරිකාව සහ ඉස්රායලය විසින් අටවාගත් සංවිදානයකි. ඔවුන් ඉස්ලාම් දහමේ නාමයෙන් සිදු කරනු ලබන්නේ අල්-කුරානයට සහ නබි වදන්වලට ඉඳුරාම වෙනස් දේවල්ය. එම සංවිදානයේ ප්‍රධාන අරමුණ ඉස්ලාම් දහම අපකීර්තියට පත් කිරීම සහ මුස්ලිම්වරුන්ගේ රටවල්වල තිබෙන තෙල් සම්පත් උදුරාගැනිමය. ඒවා ඔවුන්ට පහසුවෙන් ඉටුකළ හැක්කේ මුස්ලිම් රටවල් අස්ථාවර කිරීමෙන් බව ඔවුන් හොඳින්ම දනිති.

ඉස්ලාම් දහම ගැන නිවැරදි තීරණයකට පැමිණිය හැක්කේ අල්-කුරානය සහ නබිවදන් නිවැරදිව හැදෑරීමෙන් මිස මුස්ලිම්වරුන්ගේ ක්‍රියාව බැලීමෙන් නොවේ. ඇයිද යත් ඉස්ලාම් දහම හෝ වෙන කිසිම ආගමක අනුගාමිකයෙක් ඔහු නියෝජනය කරන දහම 100% පිලි නොපදින නිසාය. එය කළ හැකි දෙයක්ද නොවේ.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *