අල්-කුරානයේ කුහකත්වය ඉතා දැඩි ලෙස හෙලා දැක ඇත. එසේ තිබියදීත් ඇතැම් අයගෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව එය සිදුවන්නේය. ඇතැම් විට දැහැමි පුද්ගලයින් පවා ඊට ගොදුරක් විය හැකිය. ඒ අනුව ප්‍රසිද්ධිය වෙනුවෙන් ඇතැමුන් රඟ දැක්වීම සිදු කරන්නේය. එසේ කරන්නේ මිනිසුන් රැවටීමට බව ඔවුන් හොඳාකාරවම දනිති. මෙවැනි දේ දහම තුල සිදු කිරීම විශාල වරදකි. ඇයිද යත් දෙවියන් කුලිය දෙන්නේ පිරිසිදු චේතනාවෙන් ඔහු වෙනුවෙන් ඉටු කරනු ලබන පින් දහම් වලට පමණක් වන නිසාය.ඉස්ලාම් දහමේ ආරම්භ කාලයේදී ඇතැම් අය ඉස්ලාම් දහම වැළඳ ගත්තේ මිනිසුන් රැවටීමට ය. උදාහරණයක් වශයෙන් අබ්දුල්ලා ඉබ්නු උබෙයි සහ ඔහුගේ සහචරයන් පෙන්වා දිය හැකිය. ඇත්ත වශයෙන්ම ඔවුන් විශ්වාසවන්තයින් නොවුහ. ඒ අනුව ඔවුන් දෙවියන් වෙනුවෙන් යැයි සලාතය ඉටු කලේද රඟ පෑමක් ලෙසය. මේ නිසා කුහකයින් (මුනාෆික් වරුන්) ගැන අල්-කුරානයේ මෙසේ සඳහන් කොට ඇත.

“සත්‍යවශයෙන්ම මුනාෆික්වරු නිරයේ පහලම කොටසට ඇතුලත් වන්නෝය; ඔවුන්ට උදව් කිරීම සඳහා කිසිවෙකු සොයාගැනීමට හැකි වන්නේ නැත” (කුරානය 4:145).

මුනාෆික් හෙවත් කුහකයින් සෑම කාලයකදීම දැකිය හැකිය. නබිතුමා පැවසූ හදිසයක් අනුව ඔවුන්ගේ ප්‍රධාන ලක්ෂණයන්වන්නේ බොරු කීම, මිනිසුන්ව මුලාවට පත් කිරීම, පොරොන්දු කඩ කිරීම වේ. මේ නිසා යම් කෙනෙකු ළඟ මෙම ලක්ෂණ ඇත්නම් ඔවුන් ඒවා නිවැරදි කර ගැනීමට උත්සාහ කළ යුතුය. නැතහොත් ඔවුන්ට අත්වීමට නියමිත ඉරණම ඉතා භයානකය.

කුහකයින්ට මතු ජීවිතය ගැන තැකීමක් නොමැත. එබැවින් ඔවුන් මිනිසුන්ට අයහපත් දේම අණ කරන්නේය. මිනිසුන්ට උදව් උපකාර කිරීම ඔවුන්ගෙන් සිදු වන්නේ නැත. ඔවුන් අල්ලාහ්ට නැමදීම පවා ඉටු කරන්නේ ඉතාමත් අලස කමින්ය. බොහෝ විට සලාතය ඊට නියමිත වෙලාව අවසන් වන මොහොතේදී ඉටුකරනු ලබන බව නබි තුමා පවසා ඇත. අල්-කුරානයේ කුහකයින් ගැන මෙසේ පවසා ඇත.

“කුහකයින් වන පිරිමින් සහ ගැහැනුන්, එකිනෙකාට සම වෙති; ඔවුන් අයහපත් දේ අනකරමින් යහපත් දේ කිරීමෙන් වළක්වති. ඔවුන් අනුන්ට උදව් කිරීමෙන් වැලකී තම අත් මොලවා ගනිති. තවද ඔවුන් අල්ලාහ්ව අමතක කළහ. එබැවින් ඔහුද ඔවුන්ව අමතක කළේය. නියත වශයෙන්ම කුහකයින් පව්කාරයෝ වෙති”(කුරානය 9:67).

මතු ජීවිතය ජය ගැනීමට බලාපොරොත්තු වන සියලු දෙනා තමන් දෙන වචනය නිසි පරිදි ඉටු කිරීමට වග බලාගත යුතුය. විශේෂයෙන්ම ණය ගනුදෙනුවලදී මෙය හරියාකාරව ඉටු විය යුතුය. ඒ අනුව ණයක් ගැනීමේදී එය නැවත පියවීමට චේතනාව තිබිය යුතුය. එසේ නොකර ණය ගන්නා අවස්ථාවේදීම එය නැවත ගෙවීමට අදහසක් නොමැති නම් ඔහු මුනාෆික් කෙනෙක් වනු අත. එසේම තමන් දෙන පොරොන්දු ඉටු කිරීමට වග බලාගත යුතුය. එසේ නොක‍ර තමන්ගේ උවමනාවන් පමණක් ඉටු කර ගැනීම සඳහා බොරු පොරොන්දු දීම නිරා වැසියන්ගේ ලක්ෂණයක් වනු ඇත.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.pura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *