ඉස්ලාම් දහම අනුව ‘හලාල්’ යන්නෙන් අදහස් කරනුයේ අල්ලාහ් විසින් මිනිසාට අනුමත කළ දේවල් ය. එසේම ‘හරාම්’ යනුවෙන් අදහස් කරනුයේ අල්ලාහ් විසින් මිනිසාට තහනම් කළ දේවල්ය. මේවා තරයේ අනුගමනය කිරීම මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන වගකීමකි. ඇයිද යත් ඒවා ඉස්ලාම් දහමේ මුලික අවශ්‍යතාවයන් වන නිසාය. මුස්ලිම්වරයෙකුගේ ක්‍රියාවන් සහ පරිබෝජනය කරන දේවල් හරාම් වේ නම් ඔහු කොතරම් පින් දහම් කලත් නිරයට පාත්‍ර වන්නේය.
ඉහත පෙන්වා දුන් පරිදි හලාල් සහ හරාම් තෝරා බේරා කටයුතු කිරීම මුස්ලිම්වරුන්ට පැවරෙන ප්‍රධාන වගකීමකි. එබැවින් සෑම මුස්ලිම්වරයෙකුගේම අවධානය ඒවා කෙරෙහි යොමු විය යුතුය. ඇයිද යත් වෙනත් ආගම්වලට වඩා ඉස්ලාම් දහම මෙම කරුණු කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කර ඇති බැවිනි.
ඉස්ලාම් නොවන වෙනත් ආගම්වලත් සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම, සුරාව, සුදුව වැනි දේවල් තහනම් කොට ඇතත් ඉස්ලාම් දහම ඊට ඔබ්බට යමින් පොලිය කෙරෙහි සහ මාංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට තිබේ. එබැවින් ඒවා කෙරෙහි මුස්ලිම් භක්තිකයින්ගේ අවධානය වැඩියෙන් යොමු කිරීමට අවශ්‍යවේ.
කෙසේ වෙතත් ගෝලීයකරණයත් සමග වෙළඳ පොලේ ඉස්ලාමිය අවශ්‍යතාවන් ඇති දේවල් තෝරා බේරා හඳුනාගැනීම සඳහා සුදුසු ක්‍රමයක් අවශ්‍ය වන්නේය. එවැනි ක්‍රමයක් නොමැති විට සිදු වන්නේ මුස්ලිම්වරුන්ට බොහෝ මාංශ වර්ග සහ සකස්කළ අහාර මිලට ගැනීමෙන් වැලකී සිටීමටය. මේ සම්බන්දයෙන් ඇති කුර්ආන් වැකිය පහත සඳහන් කොට ඇත.
“මනුෂ්‍යයනි! භුමියෙහි ඇති දෑ (අනුභව කිරීමට ඔබට) අනුමැතිය දී ඇති පරිශ්ද්ධ වූ දැය අනුභව කරනු. (මෙයට වෙනස්කම් කරන ලෙසට පොළඹවන) ෂෙයිතාන්ගේ අඩිපාර අනුගමනය නොකරනු. ඇත්තෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකි” (කුරානය 2:168)
ඉස්ලාම් දහමේ පාරිශුද්ධ දේවල් යනුවෙන් අදහස් කරනු ලබන්නේ කුමක්දැයි කුරානයේ මෙන්ම නබිතුමා විසින් පෙන්වා දී ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ට මාංශ බක්ෂක සතුන් ආහාරයට ගැනීම හරාම් හෙවත් තහනම්ය, තවද බල්ලන් බළලුන්, මියන්, මාංශ භක්ෂක පක්ෂීන් තහනම් ගණයට අයත් වන්නේය. ඌරා මාංශ භක්ෂක සත්වයෙක් නොවුනත් උගෙන් මිනිසාට වැළඳිය හැකි ලෙඩ රෝග නිසා එහි මාංශ අනුභව කිරීම තහනම් කොට ඇත. මුහුදේ ඇති ජීවින් සම්බන්දයෙන් විශේෂ තහනමක් පනවා නොමැති බැවින් ඒවා හලාල් වේ.
ඉහත කරුණුවලට අමතරව රුධිරය ආහාරයක් වශයෙන් ගැනීම තහනම් ය. එසේම ස්වභාවිකව මරණයට පත්වූ සත්වයින් සහ පහරකෑමට ලක් වී මරණයට පත්වූ සත්වයින්ද උස තැනකින් ඇදවැටීමෙන් මරණයට පත්වූ සතුන්ද වෙනත් සතෙකුගේ ගොදුරට පත්ව මරණයට පත්වූ සතුන්ගේ මාංශද අනුභව කිරීම හරාම් ය.
අහාරය සඳහා අනුමත කළ සත්වයින් පවා ඒවා ඝාතනය කරන අවස්ථවේදී ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇති ක්‍රමයන් අනුගමනය කොට තිබිය යුතුය. කෙසේ වෙතත් යුදෙවන් සහ කිතුනුවන් විසින් ඝාතනය කළ (මුස්ලිම්වරුන්ට අනුමත සත්වයින්ගේ) මාංශ හලාල් හෙවත් කැපය. තවද අල්ලාහ් හැර වෙනත් දේවල් සඳහා කැප කළ සතුන් මුස්ලිම්වරුන්ට හරාම් හෙවත් අකැපය.
ඉහත පෙන්වා දුන් හේතුන් මත මුස්ලිම්වරයෙකුට හලාල් භාණ්ඩයක් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ලාංජනයක අවශ්‍යතාව පැනනගින්නේ පොදු වෙළඳ පොලක ඇති භාණ්ඩ මිලදී ගැනීමේදීය. එවැනි අවස්ථාවක් හැර මුස්ලිම්වරයෙකු තමන් දන්නා වෙනත් මුස්ලිම්වරයෙකු විසින් ඝාතනය කල කුකුල් මස් හෝ ඉස්ලාම් දහමින් ආහාරයට අනුමත වෙනත් භාණ්ඩයක් ගැනීමේදී හලාල් සහතික අවශ්‍ය වන්නේ නැත.
ඉහත දැක්වූ කරුණු ආගමික අවශ්‍යතවයන් බැවින් කිසිවෙකු ඊට විරුද්ධ නොවිය යුතුය. ඇයිද යත් ආගමක් ඇදහීම මිනිස් අයිතියක් වන බැවිනි.
By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *