මිනිසා ආරම්භ වන්නේ ආදම් සහ ඒවා යන දෙදෙනාගෙන් බව කුරානයේ ද බයිබලයේ ද සඳහන් වේ. ඒ අනුව මිනිසුන් සියළුදෙනාම ඥාති සහෝදරයෝ වෙති. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් මිනිසුන් ගෝත්‍ර වශයෙන් ද ජාතින් වශයෙන් ද වෙන් වී ඇත. මිනිසාට විවිධ භාෂාවන් කතාකිරීමට හැකිවීම දෙවියන්ගේ විශේෂ දායාදයකි. එසේම දෙවියන් වෙනස් වර්ණයන්ගෙන් යුත් සමෙන් මිනිසා මවා ඇත. එසේ සිදු කොට ඇත්තේ එකිනෙකා වෙනස් කොට හඳුනා ගැනීමට මිස කුළල් කෑමට නොවේ.

කෙනෙක් කථාකරන භාෂාව අනුව හෝ සමේ වර්ණය නිසා හෝ උසස්වන්නේ හෝ පහත් වන්නේ නැත. මිනිසාගේ වටිනාමකම මැනිය හැක්කේ ඔහුගේ ගුණ දර්ම මතය. ඒ අනුව කෙනෙකුට කෙනෙක් උදව් කිරීම උසස් ගුණ දර්මයකි. ගුණදර්ම නැතිවන විට මිනිසා සහ තිරිසනා අතර වෙනසක් නැති වනු ඇත.

මිනිසාට උසස්ම ගුණ දර්ම පෙන්වා දෙන්නේ ආගම තුලිනි. එබැවින් තමන් අදහන ආගම නිවැරදිව තේරුම් ගැනීම එකිනෙකා අතර සහෝදරත්වය ගොඩ නැගීමට හේතුවක් වනු ඇත. ආගම මුල්කරගෙන බේද වීම ආගමික ඉගැන්වීම් වලට පටහැනි ක්‍රියාවක් වේ. ඇයිද යත් කිසිම ආගමික නායකයෙක් ආගම මුල්කරගෙන බේද වීමට උගන්වා නොමැති නිසාය. ඒ අනුව ඕනෑම කෙනෙකුට තමන් කැමති දහමක් කිසිම බාදාවකින් තොරව පිළිපැදිය හැකි විය යුතුය.

මිනිසුන් අතර බේද ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ තමන් අදහන දහම ගැන නිවැරදිව දැනගෙන නොසිටීම යි. මේ අනුව බොහෝ අය ආගම අනුව පාසල් වෙන් කොට ඇත. තවද ඇතැම් පාසැල් තුල ආගමික නිදහසට බදා සිදු කොට ඇත. ඇත්ත වශයෙන්ම ළමුන්ට කුඩා අවදියේදී සහෝදරත්වය ඉගැන්වීමට නම් ගුරුවරුන් ළමුන්ට තම තමන්ගේ ආගම ඇදහීමට නිදහස ලබා දිය යුතුය. උදාහරණයක් ලෙස මුස්ලිම් ළමුන් දෙවියන්ට හැර වෙනත් කිසිවෙකුට නමදින්නේ නැත. එය ගුරුවරුන් තේරුම් ගන්නේ නම් ඉතා ප්‍රයෝජනවත් ය. එසේම මුස්ලිම්වරුන්ට නියම වූ ඇඳුම් ක්‍රමයක් තිබෙන නිසා ඊට අවසර ලබා දීම ඉතා වැදගත් ය. මෙම කරුණු ගැන තේරුම් ගෙන ක්‍රියා කරන්නේ නම් සමාජයේ බොහෝ ප්‍රශ්න පහසුවෙන් සහ සුහදශීලිව විසඳා ගත හැකි වනු ඇත.

සමාජය තුල කෙනෙක් තවත් කෙනෙකුගේ දහම විවේචනය කිරීම හෝ තම අදහස් තවත් කෙනෙකුට බලෙන් පැටවීම ප්‍රශ්නවලට හේතුවක් වන්නේය. ඒ වෙනුවට විවිධ ආගම් අදහන අය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම ජාතින් අතර සහයෝගය ගොඩනැගීමට රුකුලක් වනු ඇත.

ලෝකය මිනිසා වෙනුවන් මවා ඇත. එබැවින් ඕනෑම කෙනෙකුට තමන් කැමති තැනක ජිවත් වීමේ අයිතිය තිබිය යුතුය. විශේෂයෙන්ම තමන් උපන් රටේ ජිවත් වීමට සම්පුර්ණ අයිතිය තිබිය යුතුය. එසේ තිබියදී ආගම නිසා හෝ සමේ වර්ණය නිසා හෝ කෙනෙකුට තමන් උපන් රට තුල වෙනස් කොට සලකන්නේ නම් එය හෙලා දැකිය යුතු කරුණකි. එසේ තිබියදී පටු අරමුණු උදෙසා දහම මුල් කරගෙන ජාතින් අතර බේද ඇති කිරීම අවාසනාවන්ත තත්වයකි. බොහෝ අවස්ථාවන්හිදී ව්‍යාපාරිකයින් විසින් මෙය සිදු කරනු ලබන්නේ තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසාය. මෙම උගුලට නොරැවටී සිටීමට සියළු දෙනාම වග බලා ගත යුතුය.

By Fasy Ajward.B.Sc(Phy.Sp)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *