අහංකාරකම කෙනෙකුගේ විනාශයට මුලය. එහෙත් බොහෝ අය ඒ බව දැනගන්නේ නැත. අහංකාර තැනැත්තා අන් අයව තමන්ට වඩා පතත් කොට සලකන්නේය. ආදම් තුමාව පස් වලින් මැවූ පසු සාතන් මුලින්ම අහංකාරකම පෙන්නුම් කලේ ඔහුව ගින්නෙන් මවා ඇති නිසාය. සාතන්ව ගින්නෙන් මවා ඇති බැවින් ඔහු අදහස් කලේ පස්වලින් මවා ඇති ආදම් තුමාට වඩා ඔහු උසස් බවයි. කෙසේ වෙතත් සාතන්ගේ උඩඟුකම නිසා ඔහු දෙවියන්ගේ ශාපයට ලක් විය. අල්-කුරානයේ සඳහන් ලුක්මාන් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) සිය පුතුන්ට මෙලෙස අවවාද කළ බව සඳහන් වේ.
“නුඹගේ මුහුණ (අහංකාරකමින්) මිනිසුන්ගෙන් හරවා නොගන්න. තවද පොළොවෙහි උඩඟුකමින් නොඇවිදින්න! නියතව අල්ලාහ් උඩඟුකම නිසා අහංකාරකම පෙන්වන්නාව ප්‍රිය කරන්නේ නැත”(කුරානය 31:18).
නබි වදනකට අනුව උඩඟුකම අනු ප්‍රමාණයක් හෝ ඇති තැනැත්තා ස්වර්ගයට යන්නේ නැත (සහිහ් මුස්ලිම් වෙළුම 1#164). එසේ තිබියදී ඇතැම් අය නොදැනුවත්ව හෝ අනෙක් අයව පතක් කොට සලකන්නේය. තමන් වෙනුවෙන් අත්නෙක් අය සිට ගැනීම බලාපොරොත්තු වන්නේය. එහෙත් දෙවියන්ගේ ඉතා කරුණාවට පාත්‍ර වූ නබිතුමා පැමිණෙන විට ඔහු වෙනුවෙන් සහාබාවරු සිට ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත.
බොහෝ රජවරුන් උඩඟු කමින් ඉහලම තැනට පත්ව සිට ඇත. ඒ හේතුවෙන් ඔවුන් ජනතාව ලවා වැඳුම් පිඳුම් පවා ලබා ගෙන තිබේ. ජනතාව ද හිස බිම තබා ඔවුන්ගේ යටහත් භාවය රජවරුන් වෙනුවෙන් පෙන්නුම් කොට තිබේ. මෙය ඉස්ලාම් දහම අනුව විශාල වරදකි. නැමදුම් ලැබීමට එකම සුදුස්සා දෙවියන් පමණි. මේ අනුව දෙමව්පියන්ට හෝ ගුරුවරුන්ට හිස නමා ආචාර කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. එහෙත් දෙමව්පියන් සහ වැඩිහිටියන් වෙනුවෙන් ගරු කළ යුතු බව ඉස්ලාම් දහම උගන්වන්නේය.
බොහෝ අය දෙවියන්ට නැමදීම ප්‍රතික්ෂේප කරන්නේද ඔවුන්ගේ උඩඟු කම නිසාය. ඔවුන්ට කරුණු කාරණා ඇතුව සත්‍යය පෙන්වා දුන් පසුත් එය පිළිගැනීමට පිටු පාන්නේ තම මමත්වය නිසාය. කුරානයේ මෙවැනි අය ගැන විස්තර සඳහන් කොට ඇත. ඊජිප්තුව පාලනය කළ පාරාවෝ ද ඉන් කෙනෙකි. පාරාවෝ රජකම නිසා තමන්ව දෙවියන් යැයි පවසාගෙන තිබේ. ජනතාව ද ඔහුට නැමදුම් කොට ඇත.
එසේ තිබියදී පාරාවෝ රජුට සත්‍යය තේරුම් කර දීම සඳහා මුසා සහ හාරුන් යන නබිවරුන් දෙදෙනා පත්කර යවා ඇත. එහෙත් මමත්වයෙන් පෙළුණු පාරවෝ එම නබිවරුන්ගේ ඇරයුම ප්‍රතික්ෂේප කොට ඇත. තවද එම නබිවරුන් විසින් පෙන්වන ලද ප්‍රාතිහාරයන් අභියෝගයට ලක්කොට ඇත. ඉන් නොනැවතුණු ඔහු මුසා සහ හාරුන් යන දෙදෙනා පවසන දෙවියන්ව බැලීමට අට්ටාලයක් සාදන ලෙස හාමාන් නමැති ඔහුගේ ඇමතිතුමාට නියෝග කොට තිබේ. පහත දක්වෙක කුර්ආන් වැකියෙන් එය දැකිය හැකිය.
“ඕ: නායකයිනි! මා හැරුණු විට නුඹලාට වෙනත් දෙවියෙකුව මම නොදනිමි. ඕ: හාමාන්! මුසාගේ දෙවියන්ව බැලීම පිණිස මා වෙනුවෙන් කිරිමැටි මත ගින්නක් මොලවා (ගඩොල් සාදා) (උස්) කුළුණක් සාදනු! නියතව මම ඔහුව බොරුකාරයින්ගෙන් කෙනෙකු ලෙසම සිතමි’යි පාරාවෝ කීය” (කුරානය 28:38).
කෙසේ වෙතත් මුසා නබි තුමා සහ ඔහුගේ පිරිස ලුහු බැඳ ගිය පාරාවෝ රජු අවසානයේදී විනාශයට පත් විය. ඔහුගේ දේහය මිනිසුන්ට උපදෙස් ලැබීම පිණිස දෙවියන් ආරක්ෂා කොට තබා ඇත.
By M. Fasy Ajward.By Fasy Ajward. B.Sc(Sp.Phy) Hons.J. Pura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.