මිනිස් ජිවිතයේ නිවැරදි අරමුණ කිව හැක්කේ එහි නිර්මාතෘවරයාට පමණි. එහෙත් ඔබ යම් කෙනෙකුගෙන් “ඔබ ජිවත් වන්නේ කුමකටදැයි” ප්‍රශ්න කලේ නම් බොහෝ විට ඔහු පැවසිය හැක්කේ ලෞකික අරමුණක් ගැනය. එහෙත් ඇත්තෙන්ම ජිවිතයේ නිවැරදි අරමුණ ලෞකික සැපත නම් ඒවා අත්කර ගැනීමෙන් පසු කෙනෙක් සැනසිල්ලට පත් විය යුතුය. කෙසේ වෙතත් බොහෝ අවස්ථාවන්හිදී මිනිසා සිතන පතන දේවල් අත්කර ගත් පසු සෑහීමකට පත් වන්නේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැමුන් ඔවුන්ගේ ඉලක්කය ලඟා කර ගත් පසු සිය දිවි නසාගන්නේය. යමෙක් බලාපොරොත්තු වු ඉලක්කය අත්කර ගත් පසු එසේ වන්නේ ඇයි?  වස්තුව ලැබීමෙන් ම පමණක් මිනිසා සෑහීමට පත් වන්නේද? මේ සම්බන්දයෙන් ඉස්ලාම් දහම දෙන පිළිතුර කුමක්දැයි විමසා බලමු.අල්-කුරානය මිනිසාගේ මවුම්කරුගෙන් පහළ වු අවසාන දේව ග්‍රන්ථය වේ. එහි සඳහන් වන අන්දමට මිනිසාගේ මනස සැනසුම් ලබන්නේ අල්ලාහ්ව සිහිපත් කිරීමෙනි. පහත දැක්වෙන කුර්ආන් වැකියේ එය සඳහන් කොට ඇත.

“අල්ලාහ්ව සිහිකිරීම තුලින් විශ්වාස කළවුන්ගේ සිත් සැනසුම ලබයි. දැනගන්න! අල්ලාහ්ව සිහි කිරීම තුළින් සිත් සැනසුම ලබයි” (කුරානය 13:28).

ඉහත සඳහන් කුර්ආන් වැකිය අනුව දෙවියන්ව මෙනෙහි කිරීමෙන් සැනසුම ලැබිය හැකිය. එය වඩාත් සාර්ථක වන්නේ දෙවියන්ගේ මැවීම් ගැන හොඳින් මෙනෙහි කිරීමෙනි. ඇයිද යත් මෙලොව ඇති සෑම දෙයක්ම දෙවියන්ගේ ඉතා ඥානාන්විත මැවීම් නිසාය.

“අපි අහසද, පොළොවද, ඒවා අතර ඇති දෑද සෙල්ලමක් ලෙස මැව්වේ නැත” (කුරානය 21:16).

තවද කුරානයේ තවත් තැනක මෙලෙස සඳහන් වේ.

“අපි අහස්, පොළොව සහ ඒ දෙක අතර ඇති දෑ විනෝදය පිණිස නොමැව්වෙමු. අපි එම දෙකම සත්‍යයක් වෙනුවෙන්ම මිස නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් වැඩිදෙනෙක් එය නොදනිති” (කුරානය 44:38-39).

කුරානයට අනුව විශ්වයේ ඇති සෑම දෙයක්ම මවා ඇත්තේ යම් අරමුණක් උදෙසාය. ඒ අනුව මිනිසාව ද මවා ඇත්තේ යම් නිශ්චිත අරමුණක් ඉටු කිරීම පිණිසය. එම අරමුණ පැහැදිලි කර දීම සඳහා කාලෙන් කාලෙට නබිවරුන්ව පත්කොට යවා තිබේ. මෙලෙස පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබිතුමාය. කෙසේ වෙතත් බොහෝ අය ඔහුගේ ඇරයුම කෙරෙහි අවධානය යොමු නොකර ජිවත් වෙති. මේ අනුව ඔවුන්ට ඉස්ලාම් දහම පවසන ජිවිතයේ නිවැරදි අරමුණ කරා යාමට ලැබෙන්නේ නැත.

අල්-කුරානයට අනුව මිනිසා ඔහුට ලැබී ඇති ජිවිත කාලය ගත කළ පසු ආපසු දෙවියන් වෙත හැරී යා යුතුව ඇත.

“අපි නුඹලාව අර්ථයක් නොමැතිව මැව්වෙමුයි ද, නියත වශයෙන්ම නුඹලා අප හමුවට නැවත හරවනු නොලබන්නේහුය යැයි ද සිතාගෙන සිටියෙහු ද?” (කුරානය 23:114).

මිනිසාගේ මෙලොව ජිවිතයේ අරමුණ පහත දැක්වෙන පරිදි පෙන්වා දී ඇත.

“නුඹලා අතරින් ලස්සන ක්‍රියාව ඇත්තා කවරෙකු දැයි සෝදිසි කිරීම පිණිස ඔහුම මරණය සහ ජිවය මැව්වේය” (කුරානය 67:2).

කුරානයේ තවත් තැනක මෙසේ සඳහන් කොට ඇත.

“මා, ජින්වරුන්ව සහ මිනිසුන්ව මාව නැමදීමට මිස මැව්වේ නැත” (කුරානය 51:56).

ඉස්ලාමිය විද්වතුන් පවසන අන්දමට ඉහත කුර්ආන් වැකියෙන් අදහස් කරන්නේ දෙවිඳුන්ව නිවැරදිව තේරුම් ගෙන ඔහුට නැමදීමයි. දෙවියන්ට නැමදීම නිසා වාසිය අත්වන්නේ මිනිසාටම ය. ඇයිද යත් දෙවියන්ට කිසිවෙකුගේ උදව් උපකාර අවශ්‍ය නොවන අතර මිනිසාට දෙවියන්ගේ උදව් අවශ්‍ය නිසාය. එය උදාහරණයකින් කිවහොත් දුගී මිනිසෙක් ධනවතෙකුගේ ගුණ වර්ණනා කිරීමෙන් එම ධනවතාට කිසිම ලාබයක් අත් වන්නේ නැත. ඉන් වාසිය අත්වන්නේ ධනවතාව වර්ණනා කළ තැනැත්තාටය. එලෙසම විශ්වයේ අධිපති දෙවියන්ට නැමදීමෙන් වාසිය අත්වන්නේ මිනිසාටම ය.

මිනිසා සහ ජින්වරුන් දෙවියන්ගේ විශේෂ වු මැවීම් දෙකකි. ඔවුන්ව මවා ඇත්තේ ස්වයං තීරණ ගැනීමට හැකිවන පරිදි ය. ඒ අනුව ඔවුන්ට දෙවියන්ගේ අණට කීකරු වීමෙන් ඊට සරිලන කුලියද අකීකරු වීමෙන් ඊට සුදුසු විපාකද ලබා ගත හැකිය. බුද්ධිමතුන් මින් වඩා සුදුසු දෙය තෝරා ගෙන තම ජිවිතයේ නිවැරදි අරමුණ කරා යනු ඇත. විනිශ්චය දිනයේදී කිසිවෙකුට අසාධාරණයක් කරනු ලබන්නේ නැත. එම දිනය ගැන පහටත දැක්වේ.

“කවරෙක් යහකම් කළේද එය ඔහු වෙනුවෙන්මය! කවරෙක් අයහකම් කරයිද එය ඔහුට එරෙහිවය! නුඹගේ ‘රබ්’ ගැත්තන්ට අසාධාරණ කරන්නෙකු නොවේ” (කුරානය 41:46).

තවද කුරානයේ මෙලෙසද සඳහන් වේ.

“කිසිදු සැකයක් නැති දවසක ඔවුන්ව අප එක්රැස් කර, සෑම ආත්මයකටම එය උපයාගත් දෙයට (නියමිත විපාකය) පූර්ණව දෙනු ලබන කළ (මොවුන්ගේ තත්වය) කෙසේ වන්නේද? ඔවුහු අසාධාරණය කරනු නොලබන්නෝය” (කුරානය 3:25).

විනිශ්චය දිනයේදී කෙනෙකුට කෙනෙක් උදව් කළ නොහැකිය. එම දිනයේදී ජය ගත හැක්කේ මොලොවාදී දෙවියන්ගේ අණට කීකරු වු අයට පමණි. මේ නිසා අහංකාර කමින් දෙවියන්ගේ අණ නොතකා ජිවත් වු අය එම දිනයේදී දුකට පත්වනු ඇත. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.

“එසේය. නියතව මාගේ වැකි නුඹ හමුවට පැමිණියේය. නුඹ ඒවා බොරු කර, අහංකාරකම් පෙන්වුයෙහිය. තවද ප්‍රතික්‍ෂේප කරන්නෝ අතරද සිටියෙහිය (යි පවසනු ලබන්නේය)”.

මරණය අත්වීමට පෙර ජීවිතය ගැන නැවත සිතා බැලීම මිනිසාට ප්‍රයෝජනවත් වනු නො අනුමානය. එම නිසා අවසාන දේව ග්‍රන්ථය වන කුරානය හදාරන මෙන් සැමටම මින් ආරාධනා කරමි.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *