“අහෝ මිනිසුනි! ඔබගේ සමිඳුන්ට නමදිනු, ඔහු ඔබව සහ ඔබට පෙර සිටියවුන්ව මැව්වේය, එබැවින් ඔබලා සියළු අනර්තයන්ගෙන් වලකිනු” (කුරානය 2:21).
එපමණක් නොව ඉස්ලාම් දහම් පණිවිඩය රැගෙන පැමිණි මුහම්මද් නබිතුමාද එක් සමුහයකට පමණක් අයත් නොවන බව පහතින් දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් කොට ඇත.
“අපි ඔබව (මුහම්මද් නබිතුමාව) මිනිස්වර්ගයාට කරුණාව දැක්වීමට මිස යැව්වේ නැත” (කුරානය 17:107).
මේ අනුව අල් කුර්ආන් පණිවිඩය සහ මුහම්මද් නබිතුමා එක් ජන කොට්ටාසයකට පමණක් සිමා නොවන බව පැහැදිලි වන්නේය. කෙසේ වෙතත් අල් කුර්ආන් උපදේශයට වඩාත් සුදුසුකම් ලබන්නේ යහපත් ගතිගුණ ඇති පුද්ගලයින් ය. පහත දැක්වෙන කුර්ආන් වගන්තියෙන් මෙය පැහැදිලි කර ගත හැකිය.
“(අල් කුරානය) ධාර්මික පුද්ගලයින්ට මාර්ගෝපදේශකත්වයක් සහ දයාවක් වේ”
කෙසේ වෙතත් ඉස්ලාම් දහම වැළඳ ගැනීම සඳහා බලකිරීමක් කර නොමැත. අවශ්‍ය කෙනෙකුට එය පිළිගැනීමට නිදහස දී තිබේ. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් එය පැහැදිලි කොට ඇත.
“(ඉස්ලාම්) ආගම පිළිගන්නැයි බල කිරීමක් නැත. නිවැරදි මාර්ගය වැරදි මාර්ගයෙන් වෙන් කොට පෙන්වා ඇත” (කුරානය 2:256).
කෙසේ වෙතත් නිවැරදි දහම සොයා යන්නාට ඉන් ප්‍රයෝජන ලැබිය හැකිය. එම හේතුවෙන් තම මතු ජීවිතය ජය ගැනීමට අදහස් කරන සියළු දෙනාම නිදහස් මනසකින් කුරානය ගවේෂණය කොට බැලීම ප්‍රයෝජනවත් විය හැකිය.
කෙසේ වෙතත් සත්‍යය දැක දැකත් එය ප්‍රතික්ෂේප කරන්නාට කුරානය මග පෙන්වන්නේ නැත. මේ සඳහා නබිතුමාගේ පව්ලේ උදවියගෙන්ම උදාහරණ ගත හැකිය. අබුතාලිබ් නබිතුමාගේ පියාගේ සහෝදරයෙකි. නබිතුමා කුඩා කාලයේදී හැදී වැඩුනේ ඔහු ළඟය. තවද එතුමා සිය දෑසින් නබිතුමා සිදු කල බොහෝ ප්‍රාතිහාරයන් දැක ඇත. එසේ තිබියදීත් ඔහු ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නැත. මින් පෙනී යන්නේ නබිතුමාට සිතෙන සිතෙන අයට දහම ලබා දිය නොහැකි බවයි. මේ බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පැහැදිලි වේ.
“සැබැවින්ම, (ඕ මුහම්මද්) ඔබ කැමති කවරෙකුට හෝ ඔබ මග පෙන්වන්නේ නැත. එහෙත් අල්ලාහ් තමන් කැමති අයට මග පෙන්වන්නේය. නියත වශයෙන්ම යහ මගෙහි යන්නන් ගැන ඔහු වඩාත් හොඳින් දන්නේය” (කුරානය 28:56).
සත්‍යය දැනගැනීමට අවශ්‍ය නැතැයි පුර්ව නිගමනයක සිටින්නේ නම් ඔහුට කිසිසේත්ම කුරානයෙන් මග පෙන්වනු ලබන්නේ නැත. ඒ අතරම සත්‍යය දැනගැනීමේ උවමනාවෙන් කුරානය ගවේෂණයන කරන්නේ නම් ඔහුට කුරානය මග පෙන්වනු ඇත.
බොහෝ දෙනෙක් අල්-කුරානය විවේචනය කරන්නේ එය නිවැරදිව හැදෑරීමකින් පසුව නොවේ. ඉන් සිදුවන්නේ ඔවුන්ට නිවැරදි මාර්ගය දැනගැනීමට ඇති මග ඇහිරී යාම ය.
යමෙකුගේ දෙමාපියන් මුස්ලිම් වූ පමණින් හෝ මුස්ලිම් නමක් තැබූ පමණින් ස්වර්ගය ලැබෙන්නේ නැත. ඒ සඳහා දහම ගැන දැනගෙන ජිවත් වීම අත්‍යාවශ්‍ය වේ.
ඉබ්‍රාහිම් නබිතුමා දෙවියන්ට ඉතා සමීප වූ නබිවරයෙක් වූවත් එතුමාගේ පියා ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නැත. තවද ලුත් නබිතුමාගේ භාර්යාව සහ දරුවා ඉස්ලාම් දහම වැළඳ ගත්තේද නැත. නුහ් නබිතුමාගේ පුතෙක් ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නැත. එසේම මුහම්මද් නබිතුමාගේ බොහෝ ඥාතින් ඉස්ලාම් දහම වැළඳ ගත්තේ ද නැත. මින් පැහැදිලි වන්නේ ඉස්ලාම් දහම තුල බල කිරීමක් නොමැති බවයි. එසේ තිබියදී නිග්‍රෝ ජාතික බිලාල් රලි තුමා ඉස්ලාම් දහම වැළඳ ගත්තේය. ඔහු මුස්ලිම්වරුන්ගේ පළමු මුඅස්සින් හෙවත් සලාතය සඳහා කැඳවීම කරන තැනැත්තා බවට පත්විය.
ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් තම මැවුම්කරු ගැන දැනගැනීමට අවස්ථාව උදාවන්නේය. ස්වර්ගය ලැබෙන්නේ විශ්වය සහ එහි ඇති සියළු දේවල් මවා පාලනය කරන්නාවූ දෙවියන්ගේ ඒකීයත්වය පිළිගන්නා අයට පමණි. එබැවින් එම දෙවියන් ගැන නිවැරදිව දැනගැනීමට ඇති කුරානය ගවේෂණය කොට සත්‍යය තේරුම් ගැනීම මිනිසාට පැවරෙන ඉතා වැදගත් කාර්යයකි.