අල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවේ. එය දෙවියන් පහළ කල පාරිශුද්ධ වූ දේව පණිවිඩයක් වේ. එහි විසිවන සියවේදී සොයාගනු ලැබූ බොහෝ විද්‍යාත්මක කරුණු මෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් කරුණු ඇතුලත් වේ. එසේ තිබියදීත් එහි සැකයට තුඩු දෙන කිසිම කරුණක් නොමැති බව අවධාරණය කොට ඇත.අල්-කුරානයේ කිසිම වැරැද්දක් මේ දක්වා සොයාගෙන නොමැත. තවද එය පහළ වූ භාෂාවෙන්ම අදටත් දැකිය හැකි වීම සහ එහි භාෂාව අදටත් ජීවමාන භාෂාවක් ලෙස පැවතීම කුරානයේ ඇති විශේෂත්වයකි. අල්-කුරානයේ තවත් විශේෂත්වයක් වන්නේ එය දෙවියන්ගෙන් පහළ වූ වහාම ලේඛන ගත කොට ආරක්ෂා කොට කිරීමයි. අල්-කුරානය දෙවියන් විසින් පහළ කල බව විශ්වාස නොකරන්නේ නම් එවැනි ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් නිර්මාණය කරන ලෙස අභියෝග කොට ඇත. එහෙත් මේ වන තුරු කිසිවෙකු විසින් එබඳු ග්‍රන්ථයක් නිර්මාණය කිරීමට සමත් වී නොමැත.

අල්-කුරානය සාමාන්‍ය ප්‍රමාණයේ පිටු 600ක් පමණ වූ ග්‍රන්ථයකි. එහෙත් එහි් අකුරක් හෝ නොවරදවා සම්පුර්ණයෙන් කට පාඩම් කිරීමට හැකි වීම විශේෂත්වයකි. ඒ අනුව ලෝකය පුරා මිලියනයකට වඩා කුරානය සම්පුර්ණයෙන්ම කටපාඩම් කල හාෆිස්වරු දැකිය හැකිය. ඒ අතර ළමුන්ද සිටීම විශේෂත්වයකි.

අල්-කුර්ආනය පහළ වීමට පෙර දාවුද් (David) නබිතුමාට සzබුර් ආගම් පුස්තකයද, මුසා (Moses) නබිතුමාට තව්රාත් ආගම් පුස්තකයද, ඊසා (Juses) නබිතුමාට ඉන්ජිල් ආගම් පුස්තකයද පහළ කොට ඇත.  ඊට අමතරව ඇතැම් නබිවරුන් හරහා අනපනත් ද ලබා දී ඇත. කෙසේ වෙතත් ඉස්ලාම් දහම සම්පුර්ණ කරනු ලැබුවේ අල්-කුරානය පහල වීමෙන් පසුවය.

අල්-කුරානය මුළු මිනිස් වර්ගයා වෙනුවෙන් වූ ග්‍රන්ථයකි. එහෙත් එය මග පෙන්වන්නේ භක්තිමත් වුවන්ට පමණි. ඒ අනුව සත්‍යය සොයා යන්නාට ඉන් ප්‍රයෝජන ගත හැකිය. ඒ හැර ඉස්ලාම් දහම වැළඳ ගැනීම සඳහා කිසිවෙකුට බලකිරීමක් කරන්නේ නැත. එසේ කිරීමට හැකියාවක්ද නැත. ඇයිද යත් විශ්වාසය සිත හා බැඳී එකක් වන නිසාය. කෙනෙකුගේ සිත තවත් කෙනෙකු විසින් බලයෙන් වෙනස් කල හැකි දෙයක් නොවේ. මෙය පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පැහැදිලි වේ.

“පවසනු! සත්‍යය ඔබගේ සමිඳුන්ගෙන් (රබ්) ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය” (කුරානය 18:29).

මිනිසාට ලැබී ඇති මනසින් සත්‍යය වටහා ගත හැකිය. එසේ තිබියදීත් කෙනෙකුට නිවැරදි මග අවශ්‍ය නොවේ නම් ඔහු මංමුලාවෙහිම සිටිනු ඇත.

“(නබියේ) පවසනු! මිනිසුනි! නුඹලාගේ සමිඳුන්ගෙන් (රබ්) සත්‍යය නුඹලා හමුවට පැමිණ ඇත. (එමගින්) කවරෙක් යහමග ලබයිද ඔහු තමාටම යහපතක් කරගනියි. කවරෙක් මංමුලාවෙහි ගමන්කරයිද ඔහු තමාටම එරෙහිව නොමගෙහි යන්නෙකි. මා නුඹලාට භාරකාරයෙක් නොවෙමි” (කුරානය 10:108).

එසේ තිබියදී සත්‍යය සොයා යන්නාගේ හදවත නිවැරදි මග කරා යොමු කරනු ඇත.

“කවරෙක් අල්ලාහ්ව විශ්වාස කරත්ද, (අල්ලාහ්) ඔහුගේ හදවත නිවැරදි මගෙහි යවන්නේය” (කුරානය 64:11).

තවද කුරානයේ මෙසේ ද සඳහන් කොට ඇත.

“කවරහු අපගේ විෂයෙහි උත්සාහ කරත්ද නියතව අපි ඔවුන්ව අපගේ (ඍජු) මාර්ගයෙහි යවන්නෙමු. නියතව අල්ලාහ් යහකම් කරන්නන් සමග සිටියි” (කුරානය 29:69).

ඇතැම් අය කුරානයේ පවසන සත්‍යය දුටු පසුත් එය පිළිගැනීමට ඉදිරිපත් වන්නේ නැත. ඊට ප්‍රධාන හේතුව සමාජයට ඇති බිය සහ තමන්ගේ ආර්ථිකයට සිදු විය හැකි අලාභය ගැන ඇති බියයි. ප්‍රධාන වශයෙන්ම රැකියාවට සහ ලෞකික දේවල් අහිමි කර ගැනීමට ඇති නොකැමැත්ත වේ.

තවත් සමහරු කුහක කම නිසා සත්‍යය පිළිගැනීමට කැමති වන්නේ නැත. ඔවුන් පරම්පරාවෙන් ලැබෙන දහම ගැන සොයා බැලීමක් නොකරම අනුගමනය කිරීමට කැමැත්තක් දක්වති. එහෙත් අද ඇති බොහෝ දහම් ඒවා පහළ වූ භාෂාවෙන් පවා නොමැත. එසේම ඒවායේ බොහෝ මිනිස් අදහස් ද ඇතුලත් වී ඇත. මේ හේතුව නිසාම නබිතුමා සිටින කාලයේදී පවා බොහෝ අය ඔහුට එරෙහිව නැගී සිට ඇත.  පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් එය දැකිය හැකිය.

“(විශ්වාස කලවුනි!) කුහකයින්ගේ විෂයෙහි නුඹලා කණ්ඩායම් දෙකක් වීමට නුඹලාට කුමක් සිදු වුයේද? ඔවුන් උපයාගත් (නපුරු දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව (ප්‍රතික්ෂේපය  කරා) හැරෙව්වේය. අල්ලාහ් කවරෙකුව මංමුළාවෙහි හැර දැම්මේද ඔවුන්ව යහමගෙහි යැවීමට නුඹලා අදහස් කරහුද? අල්ලාහ් කවරෙකුව මං මුලාවෙහි හැර දමයිද ඔහුට කිසිඳු මගක් නුඹ නොදකින්නේහිය” (කුරානය4:88). 

ඉස්ලාම් දහමින් ආගමික නිදහස උපරිමයෙන් ලබා දී ඇති බව පහත දැක්වෙන කුර්ආන් වැකිවලින් සනාත වේ.

“පවසන්න! ඕ: ප්‍රතික්ෂේප කරන්නනි! නුඹලා නැමදුම් කරන දෑට මම නැමදුම් නොකරන්නෙමි. එසේම මා නැමදුම් කරන්නාට නුඹලා නමදින්නෝ ද නොවෙති. (එසේම) නුඹලා නැමදුම් කරන දෑට මම නමදින්නා ද නොවෙමි. තවද, මා නැමදුම් කරන්නාව නුඹලා නමදින්නෝ ද නොවෙති. නුඹලාට නුඹලාගේ ධර්මය; මට මාගේ ධර්මය” (කුරානය 109:1-6).

By Fasy Ajward B.Sc(Special)Hons,

Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *