අල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවීමට බලපාන හේතු රාශියක් කුරානය තුලින්ම සොයා ගත හැකිය. එම කරුණුවලට අමතරව තිබෙන කදිම සාක්ෂියක් වන්නේ කියවීමට හෝ ලිවීමට නොදත් මුහම්මද් නබිතුමා මගින් කුරානය ලොවට එළිදැක්වීමයි. අධ්‍යාපනයක් නොලද එතුමා කිසිම ව්‍යාකරණ වැරැද්දක් හෝ විෂය වැරැද්දක් නොමැතිව කුරානය වැනි සුවිශේෂී ග්‍රන්ථයක් නිර්මාණය කරන්නේ කෙසේද? තවද හත්වන සියවසේදී දැන නොසිටි බොහෝ දේවල් ඊට ඇතුලත් කරන්නේ කාගෙන් ලැබුණු දැනුමක් උපයෝගී කරගෙන ද?කුරානය ගැන ගවේෂණය කරන ඕනෑම කෙනෙකුට පෙනෙන වැදගත් කරුණක් වන්නේ එහි ඇති භාෂා විලාශය සහ මුහම්මද් නබිතුමා කතාකරන භාෂා විලාශයන් එකිනෙකට හාත්පසින්ම වෙනස් බවයි. එසේ නම් ඉතා විශිෂ්ඨ අරාබි බසින් එතෙක් මෙතෙක් කිසිවෙකුට නිර්මාණය කිරීමට නොහැකිවූ අල්-කුරානය වැනි අසම සම ග්‍රන්ථයක් නබිතුමා විසින් සම්පාදනය කරන්නේ කෙසේද? තවද කුරානය නබිතුමාග් නිර්මාණයක් නම් එහි ඔහුගේ නමට වඩා වෙනත් නබිවරුන්ගේ නම් වැඩියෙන් ඇතුලත් කර තිබෙන්නේ ඇයි? එසේම කුරානයේ නිර්මාතෘ ඔහු නම් එහි ඔහුට එරෙහිව දැඩි අවවාද දැකිය හැක්කේ කවර හේතුවක් නිසාද? මෙම කරුණු ගැන අප සිතා බැලිය යුතුය.

ඉහත සඳහන් කළ කරුණු හැරුණු විට කුරානය මිනිස් නිර්මාණයක් නොවීමට හේතු කුරානය තුලින්ම දැකිය හැකිය. අල්-කුරානයේ සඳහන් විද්‍යාත්මක සහ පුරෝකතනයන් බොහොමයක්ම සොයා ගෙන තිබෙන්නේ කුරානය පහළ වී සියවස් ගණනාවක් ගෙවී ගිය පසුවය. ඒවා සියල්ලම 100%ක්ම නිවැරදි බවට තහවුරු කර ඇත.  ඉන් පෙනී යන්නේ ඒවා දෙවියන් විසින් නබිතුමාට දැනුම් දී තිබිය යුතු බවයි. ඒවායින් සමහරක් කරුණු පහත සඳහන් කොට ඇත.

මිනිස් කලලයේ විකසනය අල්-කුරානයෙහි ඉතා නිවැරදිව විස්තර කොට ඇත. එහෙත් කුරානය පහළ වන සමයේදී කළලය පිලිබඳ මිනිසාට තිබී ඇත්තේ ඉතාමත් අල්ප දැනුමක් පමණි. එසේ තිබියදී කළලයේ විකසනය පියවරෙන් පියවර ඉතා නිවැරදිව කුරානයේ සඳහන් කොට තිබීම විද්‍යාඥයින්ගේ මවිතයට හේතුවක් වී ඇත. මේ සම්භන්දයෙන් කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ ව්‍යුහ විද්‍යාව පිලිබඳ මහාචාර්ය කිත් එල් මුවර් (Keith L Moore) වර්ෂ 1981දී සව්දි අරාබියාවේ දමාම් නගරයෙහි පැවති සත්වන විද්‍යා සම්මන්ත්‍රණයේදී මෙලෙස ප්‍රකාශ කොට තිබේ.

“මනුෂ්‍යයාගේ වර්ධනය පිළිබඳව අල්-කුරානයේ ඇති වදන් පිළිබදව විස්තර කිරීමට ලැබීම ගැන මා අතිශයෙන්ම සතුටට පත් වෙමි. එම වදන් අධ්‍යයනය කිරීමේදී මට පැහැදිලි වන එක් කරුණක් නම් ඒවා මුහම්මද් තුමාට දෙවියන්ගෙන් ලැබී තිබිය යුතු බවයි, මා එසේ පවසන්නේ එහි සඳහන්ව තිබෙන කරුණු දැනට ශතවර්ෂ කීපයක් යන තුරුම මිනිසා දැනගෙන නොතිබුණු නිසාය. මෙම කාරණා නිසා මට තහවුරු කළ හැකි වැදගත් කරුණක් වන්නේ මුහම්මද් තුමා දෙවියන්ගේ පණිවිඩකරුවෙක් විය යුතු බවයි.”

මේවා හැරුණු විට විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව ඉතා වැදගත් පුවතක් කුරානයේ සඳහන් කොට ඇත. එහෙත් විශ්වය ප්‍රසාරණය වන බව සොයාගනු ලැබුවේ විසිවන සියවසේදී ඇමරිකානු විද්‍යාඥ එඩ්වින් හබල් විසිනි. තවද අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්දයෙන් ඉතා වැදගත් සොයාගැනීමක්  වන විශ්වය සහ එහි ඇති දේවල් එකම ප්‍රභවයකින් හටගන්නා බව කුරානයේ සඳහන් කොට ඇත. එහෙත් එම කරුණ නවීන විද්‍යාවෙන් සොයා ගනු  ලැබ ඇත්තේ ඉතා නවීන උපකරණ යොදාගනිමින් විසිවන සියවසේදීය. එසේ නම් හත්වන සිය වසේදී ඒ බව නබිතුමා දැනගත්තේ කෙසේද?

ඉහත සඳහන් කරුණු හැරුණු විට අල්-කුරානයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ‘ඉරම්’ නගරයේ ඉතිහාසය ඉතා නිවැරදිව සඳහන් කොට තිබෙනු දැකිය හැකිය. එහෙත් ක්‍රි.පු. 23ට අයත් එම  ‘ඉරම්’ නගරය ගැන කරුණු හෙළි කරගෙන ඇත්තේ වර්ෂ 1978 දී ය. එම විස්තරය “The American National Geographic Society” යන සඟරාවේ පල කොට ඇත. කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව තහවුරු කිරීමට මෙය ද එක් කදිම උදාහරණයකි.

නබිතුමා ඉපදීමට වසර දහස් ගණනාවකට පෙර ඊජිප්තුවේ රජ පවුලට අයත්වු පාරාවෝගේ මෘත දේහය ගැන අල්-කුරානයේ සඳහන් කොට ඇත. එහෙත් ඔහු ගැන විස්තර හෙළිදරව් කරගනු ලැබුවේ නබිතුමාගෙන් පසු සියවස් ගණනාවකට පසුවය.

නෝවාගේ (Noah’s ark) නෞකාව ද අල්-කුරානයේ සඳහන් වන වැදගත් කරුණකි. එම නෞකාව තිබෙන ස්ථානය ගැනද ඉතා නිවැරදිව අල්-කුරානයේ සඳහන් කොට ඇත. එහෙත් ඒවා සොයාගනු ලැබුවේ කුරානය පහළ වී වසර ගණනාවක් ගිය පසුවය.

අල්-කුරානය දේව ග්‍රන්තක් බවට තවත් කදිම සාක්ෂියක් වන්නනේ එහි අභ්‍යාවකාශ තරණය ගැන පුර්ව දැනුම් දීමක් කොට තිබීමය. එහෙත් කුරානය පහල වන යුගයේදී මිනිසා ගමන් කලේ සතුන්ගේ පිටේ බව මතක තබා ගත යුතුය.

තවද අල්-කුරානයේ පිටසක්වල ජීවින් ගැන සඳහන් කොට ඇත. එහෙත් විද්‍යාඥයින් විසින් තවමත් මෙය සොයාගෙන නැත.

මෑතක් වන තුරුම සුර්යා ගමන් කරන බව සොයාගෙන තිබුනේ නැත. එහෙත් සුර්‍යා ගමන් කරන බව අල්-කුරානයේ පැහැදිලිව සඳහන් කොට ඇත.

“තමන්ගේ සිමාවතුල ගමන්කරන සුර්‍යා එයට නියම කර ඇති කාලය දක්වා ගමන් කරනු ඇත…..” (අල්-කුර්ආනය 36:38)

එසේම සුර්‍යා සහ චන්ද්‍රයා ඒවාට හිමි පථයන්වල ගමන් කරන බව ද කුරානයේ සඳහන් කොට තිබේ.

“ඔහුම රාත්‍රියද, දවාලද (ඇතිකළේය). සුර්‍යා ද චන්ද්‍රයා ද උත්පාදනය කළේය. මේවා අහසෙහි (තමන්ගේ සීමාවන් තුල) පිහිනා යන්නේය” (Q 21:33).

විද්‍යාඥයින් සොයාගෙන ඇති අන්දමට පෘථිවියට යකඩ ලෝහය ලැබී ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිට ඇති සුපර් නොවා තරුවක පිපිරීමෙනි. ඇයිද යත් බර ලෝහ නිෂ්පාදනය කිරීමට තරම් උෂ්ණත්වයක් අපගේ සෞරග්‍රහ මණ්ඩලය සතු නොවීම නිසාය. මෙම කරුණ කුරානයේ සඳහන් වන්නේ එය නබිතුමාගේ නිර්මාණයක් නොවන නිසාය.

සූරාව (59:25) හි යකඩ ලෝහය ‘අපි මැව්වෙමු’ යැයි සඳහන් නොකොට ‘පහළ කෙළෙමු’ යැයි සඳහන් කොට ඇත. මෙතරම් නිවැරදි ප්‍රකාශනයක් කළ හැක්කේ අල්-කුරානය මිනිස් නිර්මාණයක් නොවන නිසාය.

හත්වන සිය වසේදී කාලයේ විස්ත්රණය ගැන කිසිම දැනුමක් මිනිසා ඇතුව තිබුනේ නැත. එවැනි සංකල්පයක් මුලින්ම ඉදිරිපත් කරනු ලැබුවේ ඇල්බට් අයින්ස්ටයින් විසිනි. එහෙත් මෙම සංකල්පය අල්-කුරානයේ පහත දැක්වෙන අන්දමට අපට දැකිය හැකිය.

“අහසේ සිට භුමිය දක්වා ඇති සෑම කාරනාවක්ම ඔහුම පිළිවෙලකට කරන්නේය. (සෑම දැයකම අවසානය ද) ඔබ අදහස් කරන (ඔබගේ) ගණනයට අනුව වසර දහසකට සමවන එක් දිනකදී ඔහු වෙතම යන්නේය”

මින් අදහස් වන්නේ දේව පණිවිඩයක් මෙලොවට පැමිණ නැවත එය ආපසු යෑම සඳහා එක් දිනක් ගත වුවත් පෘථිවියට සාපේක්ෂව ඒ සඳහා වසර දහසකක් ගත වන බවයි. මෙය සාපේක්ෂතා වාදයේ දැක්වෙන “කාල විස්තාරණයට” සමානය.

මෙහි සඳහන් කළ කරුණු අනුව කුරානය බඳු ග්‍රන්ථයක් නිර්මාණය කිරීම මිනිසාගේ ශක්තියෙන් ඔබ්බට ගිය කරුණක් බව නිගමනය කළ හැකිය. මේ අනුව අල්-කුරානය දෙවියන් විසින් පහළ කළ පණිවිඩයක්ම විය යුතුය.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *