ලෝකයේ මිලියනයකට වඩා පොත් ලියැවී ඇත. ඒවා සෑම එකකටම කතෘ වරයෙක්ද ඇත. එහෙත් අල් කුරානයට මිනිසුන් අතරින් කතෘ වරයෙක් නොමැති වීම එහි ඇති විශේෂත්වයකි. තවද කුරානය පහළ වීමෙන් පසු සියවස් 14 කට වඩා ගතවී ඇතත් එය කිසිම වෙනසකට භාජනය නොවී එහි මුල් අකාරයටම අදටත් පැවතීම සුවිශේෂී කරුණකි. තවද අල් කුරානයේ විද්‍යාව ඇතුළු තවත් බොහෝ විෂයන් ඇතුලත්ව ඇතත් ඒවා කිසිම එකක් ගතවූ සියවස් 14 තුල අභියෝගයට ලක්වී නොමැත. එසේම කුරානයේ ඇති භාෂා ශෛලිය මෙතෙක් කිසිවෙකුට අනුකරණය කිරීමට හැකිවී නොමැත. එබැවින් පිටු 600 ක් පමණ වන අල් කුරානය අකුරක් නෑර සම්පුර්ණයෙන්ම කටපාඩමින් කියැවීමට හැකිවී තිබේ. තවද කුරානයට සවන් දෙන ඕනෑම කෙනෙකුගේ සිත ඒ දෙසට අකර්ශයන වීම එහි ඇති තවත් විශේෂත්වයකි.

අල්  කුරානය මිනිස් නිර්මාණයක් නොවන බවට  සාක්ෂින් වන්නේ එමගින් ඉදිරිපත් කොට ඇති අභියෝගයන්ය. එය අල්ලාහ්ගෙන් පහළ වූ පණිවිඩයක් බව පිලි නොගන්නේ නම්  එවැනි වෙනත් ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන වෙනත් පරිජ්ජේදයක් හෝ එහි ඇති වැකි වලට සමාන වැකි දහයක් හෝ ගෙන එන ලෙස අභියෝග කොට ඇත. එහෙත් මේ දක්වා කිසිවෙකු විසින් එම අභියෝගය ජය ගෙන නොමැත. ඉන් එක් අභියෝගයක් පමණක් පහත දැක්වේ.

“අපගේ ගැත්තා (වන මුහම්මද්) කෙරෙහි අප පහල කල දැය (වන අල්-කුරානය කෙරෙහි) නුඹලා සැකයෙහි සිටින්නේ නම් එවැනි පරිච්චේදයක් ගෙන එන්න. නුඹලා සත්‍යවන්තයින් නම් (මේ වෙනුවෙන්) අල්ලාහ් හැර නුඹලාගේ උදවුකරුවන්ව කැඳවාගන්න” (කුරානය 2:23).

කිසිවෙකුට අල් කුරානය වැනි ග්‍රන්ථයක් නිෂ්පාදනය කිරීමට නොහැකි වීමෙන් පැහැදිලි වන්නේ එය අල්ලාහ්ගෙන් පහළ වූ පණිවිඩයක් බවයි. එපමණක් නොව අල්-කුරානයේ ඇති විද්‍යාත්මක සහ ප්‍රාග් ඓතිසාසික කරුණු දෙස සලකා බැලීමේදී එය දෙවියන් පහළ කල පණිවිඩයක් විය යුතු බව තවත් හොඳින් තහවුරු වන්නේය. ඇයිද යත් 7 වන සියවසේදී පහළ වූ අල් කුරානයේ සඳහන්වන බොහෝ විද්‍යාත්මක කරුණු සොයාගනු ලැබුවේ 20 වන සියවස තරම් ඈත කාලයකදී ය. තවද අල් කුරානයෙන් හෙළිදරව් කරන ලද අනාවැකි ඒ ආකාරයන්ම සනාථ වී තිබීමෙන් පෙනී යන්නේ එය මිනිසාගේ ශක්තියෙන් ඔබ්බට ගිය එකක් බවයි. මේ සඳහා එක් උදාහරණයක් නම් නබිතුමාගේ පරම සතුරෙකු වූ අබුලහබ් ඉස්ලාම් දහම පිලි නොගන්නා බව අල්-කුරානයේ සඳහන් කොට තිබීමය. එම සඳහන් කිරීමෙන් පසු අබුලහබ් වසර දහයකට වඩා ජිවතුන් අතර සිටියත් ඔහුට ඉස්ලාම් දහම වැළඳ ගැනීමට හැකි වුයේ නැත. තවත් උදාහරණයක් නම් ක්‍රි.ව. 614 දී රෝම අධිරාජ්‍යයා පසියානුවන්ගේ අතින් අන්ත පරාජයට පත්වූ අවස්ථාවේදී ඔවුන් නැවතත් ඉතා කෙටි කාලයකදී පර්සියානුවන්ව පරාජය කරන බව අල්-කුරානයේ අනාවැකියක් ලෙස සඳහන් කොට තිබීමය. මෙම අනාවැකිය නබිතුමා ජිවතුන් අතර සිටියදීම යතාර්ථයක් බවට පත් වී ඇත. එම කුර්ආන් වැකිය පහත දැක්වේ.

“සමීපයෙහි පිහිටි භුමිය මගින් රෝම අධිරාජ්‍යය ජය ගනු ලැබිය. ඔවුහු තමන්ගේ පරාජයෙන් පසුව අවුරුදු කීපයක් තුල (පර්සියන්වරුන්ව) ජය ගන්නෝය. මෙයට පෙරද පසුද බලය අල්ලාහ්ටම අයත්වේ. එම දිනයෙහි අල්ලාහ්ගේ උදව්ව මගින් විශ්වාස වන්තයෝ ප්‍රීතියට පත් වන්නෝය. ඔහු, තමා සිතන්නන්ට උදව් කරන්නේය. ඔහු සියල්ලම අභිබවූ කෙනාය, අසම දයාවන්තයාය. (මෙය) අල්ලාහ්ගේ ප්‍රතිඥාව වේ. අල්ලාහ් තම ප්‍රතිඥාවට වෙනස්කම් නොකරන්නේය. නමුත්, මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් නොදනිති. ඔවුහු මෙලෝ ජීවිතයෙහි බාහිර දේ ගැනම දනිති. නමුත්, ඔවුහු එලොව ගැන උදාසීන වුවන් ලෙසම සිටිති”(කුරානය 30:2-7).

තවත් උදාහරනයක් නම් ක්‍රි.පු. 23ට පෙර පැවති ‘ඉරම්’ නගරය ගැන කුරානයේ සඳහන් කොට තිබීමය. එම නගරය ගැන මෑතක් වන තුරු කිසිවෙකු විසින් දැනගෙන සිටියේ නැත. එහෙත් මෑත කාලයේ සිදුකළ කැනීම් වලින් ඉරම් නගරය ගැන විස්තර සොයාගෙන ඇත. එම පුවත ඇමරිකාවේ පලවන නිලලත් සඟරාවක් වන “The American National Geographic Society” හි පලකොට ඇත.

ඉහත සඳහන් කරුණු වලට අමතරව තව බොහෝ විද්‍යාත්මක කරුණු කුරානයේ දැකිය හැකිය. උදාහරණයක් වශෙයෙන් විශ්වයේ ප්‍රසාරණය ගැන අල් කුරානයේ සඳහන් වේ. එහෙත් විද්‍යාඥයින් එම නිගමනයට පැමිණියේ 20 වන සිය වසේදීය. තවද අහස සහ පොලව එකම ප්‍රභවයක් ලෙස තිබී වෙන් වූ බව කුරානයේ සඳහන් වේ. එහෙත් විද්‍යාඥයින් එම නිගමනයට පැමිණියේ 20 වන සිය වසේදීය. තවද මිනිස් කළලය වර්ධනය වන එක් එක් අවස්ථාවන් ගැන කුරානයේ ඉතා නිවැරදිව සඳහන් කොට තිබේ. එහෙත් එවැනි අවස්තාවන් ගැන නවීන විද්‍යාවෙන් සොයාගනු ලැබුවේ මිට සියවස් කිහිපයකට පමණ පෙරය. එම සඳහන ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේ නාරිවේදය පිලිබන මහාචාර්ය වරයෙකු වන කිත් එල් මුවර් මවිතය පල කරන අතර ඔහු පවසන්නේ එම වදන් නබිතුමාට පහළ වී තිබිය යුත්තේ අල්ලාහ්ගෙන් බවයි. මේ හැර තවත් බොහෝ විද්‍යා ක්ෂේස්ත්‍ර වලට අයත් කරුණු කුරානයේ සඳහන් වීමෙන් පෙනී යන්නේ එය අල්ලාහ්ගෙන් පහළ වූ පණිවිඩයක් බවයි.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *