අල්-කුරානය හේතු රැසක් නිසාම සුවිශේෂී ග්‍රන්ථයකි. එසේ තිබියදී ඇතැම් අය සිතන්නේ එය මුහම්මද් (එතුමා කෙරෙහි ශාන්තිය අත්වේවා) නබිතුමා විසින් රචිත කෘතියක් ලෙසය. තවත් සමහරු සලකන්නේ එය බයිබලයෙන් පිටපතක් කළ එකක් ලෙසය. මිනිසුන් කුමන මතයක් දරුවත් එය දෙවියන්ගෙන් පැමිණි හෙළිදරව්වක් බවට කරුණු කරනා බොහෝ ඇත. අල්-කුරානය ඕනෑකමින් හදාරන්නෙකුට එහි ඇති විෂය කරුණු සහ එහි වාග්චතුරත්වය අනුව එය මිනිස් නිර්මාණයක් නොවන අද්විතීය ග්‍රන්ථයක් බව වැටහී යනු ඇත.  අල්-කුරානය පහළ වුයේ අරාබි බස කෙරෙහි විචක්ෂණ දැනුමක් ඇති සමාජයකටය. එහෙත් එම යුගයේ ජීවත්වූ කිසිවෙකුට හෝ ඉන් පසු පැමිණි කිසිවෙකු මේ දක්වාම කුරානයට සරිලන ග්‍රන්ථයක් නිර්මාණය කොට නොමැත. ඉන් පැහැදිලි වන්නේ එය මිනිසාගේ හැකියාවෙන් ඔබ්බට ගිය එකක් බවයි.

මිනිසා අල්-කුරානය විශ්වාස නොකරන්නේ නම් එවැනි ග්‍රන්ථයක් නිර්මාණයකර පෙන්වන ලෙස අභියෝගය කොට ඇත. එසේ කළ නොහැකි නම් එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් ගෙනෙන ලෙස වෙනත් කුර්ආන් වැකියකින් අභියෝග කොට ඇත.

“අපගේ ගැත්තා (වන මුහම්මද්) කෙරෙහි අප පහල කල දැය (වන අල්-කුරානය කෙරෙහි) නුඹලා සැකයෙහි සිටින්නේ නම් එවැනි පරිච්චේදයක් ගෙන එන්න. නුඹලා සත්‍යවන්තයින් නම් (මේ වෙනුවෙන්) අල්ලාහ් හැර නුඹලාගේ උදවුකරුවන්ව කැඳවාගන්න” (කුරානය 2:23).

මෙම අභියෝගය අද වන තුරුත් කිසිවෙකු විසින් ජන ගෙන නොමැත. අල්-කුරානය මිනිසාගේ  නිර්මාණයක් නම් ඉහත දැක්වෙන අකාරයේ අභියෝගයක් කිසිම ආකාරයකින් නොකරනු ඇත. ඇයිද යත් යම් විදියකින් එය ජය ගත්තේ නම් කුරානය බොරුවක් වන නිසාය.

ඉහත සඳහන් කරුණුවලට අමතරව හත්වන සියවසේදී පහළ වූ අල්-කුරානයේ එදා දැන නොසිටි එහෙත් විසිවන සියවසේදී සොයාගනු ලැබූ බොහෝ විද්‍යාත්මක වටිනාකමකින් යුතු දේවල් පිළිබඳව සඳහන් වන්නේය. මින් පැහැදිලිවන්නේ ඒවා දෙවියන් විසින් දැනුම් දී තිබිය යුතු බවයි. එසේ නොවන්නට ඒවා දැනගැනීමට වෙන කිසිම ක්‍රමයක් එදා තිබුනේ නැත. තවද අල්-කුරානයේ අභ්‍යාවකාශ විද්‍යාව, කළල විද්‍යාව, භුගර්බ විද්‍යාව, සාගර විද්‍යාව සම්බන්ද කරුණු අන්තර්ගත වී තිබේ. මේවා හැදෑරීමෙන් පසු ඇතැම් විද්‍යාඥයින් ඉස්ලාම් දහම වැළඳගෙන තිබේ. තවත් සමහර විද්‍යාඥයින් ඒවා හැදෑරීමෙන් පසු අල්-කුරානය මිනිස් නිර්මාණයක් විය නොහැකි බව නිගමනය කොට ඇත.

ඉහත සඳහන් කරුණුවලට අමතරව අල්-කුරානයේ අතිශයින්ම නිවැරදි අනාවැකි සිදු කරනු ලැබ ඇත. ඉන් සමහරක් නබිතුමා ජිවතුන් අතර සිටියදීම සනාථ වී තිබේ. එම අනාවැකිවලින් එකක් හෝ වැරදුනේ නම් සම්පුර්ණ කුරණයම සැකයට බඳුන්වනු ඇත.

අල්-කුආනයේ සඳහන් පුරෝකථනයන්ගෙන් දෙකක් පමණක් පහත දැක්වේ.

  • නබිතුමාගේ පරම සතුරෙකු වූ අබුලහබ් ඉස්ලාම් දහම පිලි නොගන්නා බව අල්-කුරානයේ ප්‍රකාශ කොට ඇත. එම ප්‍රකාශනයෙන් පසු බොහෝ කාලයක් අබුලහබ් ජිවත්ව සිට තිබේ. එහෙත් ඔහු ඉස්ලාම් දහම වැළඳගෙන නැත. යම් හෙයකින් ඔහු ඉස්ලාම් දහම වැළඳගෙන තිබුනේ නම් මුළු කුරානයම සැකයට භාජනය වනු ඇත.
  • ක්‍රි.ව. 614 දී රෝම අධිරාජ්‍යයා පසියානුවන්ගේ අතින් අන්ත පරාජයට පත්වී ඇත. එම අවස්ථාවේදී ඔවුන් නැවතත් ඉතා කෙටි කාලයක් ඇතුලතදී පර්සියානුවන්ව පරාජය කොට ජය ගන්නා බව කුරානයෙන් අනාවැකියක් පහල කොට තිබේ. මෙවැනි අනාවැකි පල කිරීම ඉතා භයානක වන්නේ ඒවායින් එකක් හෝ වැරදුනහොත් මුළු කුරානයම සැකයට තුඩු දෙන නිසාය. එහෙත් සර්වඥානි අල්ලාහ් විසින් මෙම අනාවැකි ඉතා නිවැරදිව සිදු කොට ඇත. මෙම කරුණ පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.

“සමීපයෙහි පිහිටි භුමිය මගින් රෝම අධිරාජ්‍යය ජය ගනු ලැබිය. ඔවුහු තමන්ගේ පරාජයෙන් පසුව අවුරුදු කීපයක් තුල (පර්සියන්වරුන්ව) ජය ගන්නෝය. මෙයට පෙරද පසුද බලය අල්ලාහ්ටම අයත්වේ. එම දිනයෙහි අල්ලාහ්ගේ උදව්ව මගින් විශ්වාස වන්තයෝ ප්‍රීතියට පත් වන්නෝය. ඔහු, තමා සිතන්නන්ට උදව් කරන්නේය. ඔහු සියල්ලම අභිබවූ කෙනාය, අසම දයාවන්තයාය. (මෙය) අල්ලාහ්ගේ ප්‍රතිඥාව වේ. අල්ලාහ් තම ප්‍රතිඥාවට වෙනස්කම් නොකරන්නේය. නමුත්, මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් නොදනිති. ඔවුහු මෙලෝ ජීවිතයෙහි බාහිර දේ ගැනම දනිති. නමුත්, ඔවුහු එලොව ගැන උදාසීන වුවන් ලෙසම සිටිති”(කුරානය 30:2-7).

අල්-කුරණයෙන් සිදුකොට ඇති කිසිම අභියෝගයක් මෙතෙක් වැරදී නොමැත. ඒ අනුව අපට නිගමන කළ හැක්කේ ඉන් පවසා ඇති අනෙක් අනාවැකි ද ඒ ආකාරයටම සිදුවනු ඇති බවයි. එනම් මරණයෙන් පසු සිදුවීමට ඇති සියල්ල ඒ ආකාරයටම සිදු වනු ඇති බවයි. මේ නිසා බුද්ධිමත් අය කළ යුත්තේ අල්-කුරානය නිවැරදිව හදාරා තම ජීවිතය ජය ගැනීමට ක්‍රියා කිරීමය.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *