ශුද්ධවූ අල්කුර්ආනය අනාවරණය වූ උතුම්වූ රමළාන් මාසයෙහි පසුවන අපි එම ශුද්ධවූ ග්‍රන්ථය පිළිබඳ මදක් දැනගනිමු.

ශුද්ධවූ අල්කුර්ආනය මුලින්ම පහළවූ මාසය රමළාන් මාසයයි.

එය මුලින්ම අනාවරණය වූ රාත්‍රිය රමළාන් මාසයෙහි ලයිලතු කද්ර් රාත්‍රියයි.

මක්කාවෙහි පිහිටා ඇති හිරා නම් ගුහාවෙහි නබි (සල්) තුම්න් සිටින විට මුලින්ම අල්කුර්ආනය පහළ විය. එය එතුමන්ගේ 40 වියෙහිදී සිදුවිය.

දේව දූත ජිබ්රීල් අලෙයිහි තුමන් රමළාන් මස සෑම රාත්‍රියකම මුහම්ම්ද් (සල්) තුමන් හමුවී අල්කුර්ආනය පාරායනය කරයි.

කවුරුන් අල්කුර්ආනය හදාරා එය අන් අයට උගන්වයිද ඔවුන් ජනයා අතුරින් ඉතා ශ්‍රේෂ්ඨයින්ය.

අල්කුර්ආනයෙහි එක් අකුරක් පාරායනය කරන විට කුසල් දහයක් හිමිවනු ඇත.

අල්කුර්ආනය පාරායනය කරන්නන් වෙනුවෙන් මතු දිනයෙහි එය අල්ලාහ් ඉදිරියෙහි රෙකමාදාරු කරයි.

අල්කුර්ආනය නිසි අයුරින් පාරායනය කරන්නා ශ්‍රේෂඨවු දේව දූතවරුන් සමග මතු දිනයෙි සිටී.

අල්කුර්ආනයට නිසි අයුරින් යුතුකම් ඉටුකළවුන්ට මතු දිනයෙහි එය පාරායනය කිරීමට අණකරනු ලබයි. එසේ පාරායනය කරන විට ඔවුන්ගේ පදවීන් උසස් කරනු ලබයි.

අල් ඉහ්ලාස් (112) පරිච්ඡේදය ශුද්ධවූ අල්කුර්ආනයෙහි තුනෙන් එකට සමානය. එය තුන් වරක් පාරායනය කළ විට මුළු කුර්ආනයම පාරායනය කළා හා සමානය. එම පරිච්ඡේදයෙහි ඇතුලත් අල්ලාහ්ගේ උතුම්වූ ගුණාංග කෙනෙකු මුළු සිතින් ප්‍රිය කිරීම ස්වර්ගයට හිමිකම් කීමට තරම් උසස් ක්‍රියාවකි.

ඇස්වහට බියවන විට අල්ෆලක්, අන්නාස් (113, 114) පරිච්ඡේද දෙක පාරායනය කරන්න. එම හානියෙන් ඔබට සමුපූර්ණ ආරක්ණාව හිමිවනු ඇත.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඉතා මහඟු පාඨය වන ආයතුල් කුර්සි (2: 255) සෑම අනිවාර්්‍යය සලාතයකින් පසු පාරායනය කරන්න. එය ඔබට ස්වර්ගය හිමිකර දෙනු ඇත.

ශුද්ධවූ අල්කුර්ආනයෙහි ඉතා මහඟු පාඨය වන ආයතුල් කුර්සි (2: 255) උදෑසන, සවස හා නින්දන යන විට පාරායනය කරන්න. එය ඔබව ෂෙයිතාන්ගෙන් ආරක්ෂා කරයි.

අල්බකරා පරිච්ඡේදය ඔබේ නිවසේ නිරතුරුව පාරායනය කරන්න. එය ෂෙයිතාන්ව ඔබේ නිවසින් පලවා හරි.

රාත්‍රිය බෝවූ විට අල්බකරා පරිච්ඡදෙයෙහි  (2: 285,286) පාඨ දෙක පාරායනය කරන්න එය ඔබේ  මුළු රාත්‍රියටම ප්‍රමාණවත් වනු ඇත.

අල්කහ්ෆ් (18) පරිච්ඡේදයෙහි මුල් වාක්‍යයන් 10 කට පාඩම් කරන්න. එය දජ්ජාල්ගේ බයානක අර්බුදයෙහන් ඔබව ආරක්ෂා කරයි.

අල්බකරා හා ආල ඉම්රාන් (2, 3) පරිච්ඡේද දෙක පාරායනය කරන්න. එය ඔබට මතු දිනයෙහි සෙවනැල්ල වනු ඇත. අල්ලාහ් ඉදිරියෙහි ඔබ වෙනුවෙන් එය රෙකමාදාරු කරනු ඇත.

අල්බකරා පරිච්ඡේදයත් සමග ඔබේ මනා සම්නබන්ධතාවය යනු ඔබේ ජීවිතයට ඉමහත් සෞභාග්‍යයකි. එය අත්හැරීම ඔබේ ජීවිතයට බලවත් පාඩුවකි.

සිකුරාදා දිනයෙහි අල්කහ්ෆ් (18) වැනි පරිච්ඡේදය පාරානය කරන්න.

ඔබ රෝගාතුරවූ විට අල්ෆාතිහි (1) පරිච්ඡේදය, අල්ඉහ්ලාස්, අල්ෆලක්, අන්නාස්, (112,113,114) පරිච්ඡේද පාරායනය කරන්න. අල්ලාහ්ගේ අවසරය අනූව එම රෝගය සුව වනු ඇත.

ඔබ රාත්‍රියෙහි නින්දන යන විට අල්ඉහ්ලාස්, අල්ෆලක්, අන්නාස්, (112,113,114) පරිච්ඡේද තුන පාරායනය කර ඔබේ දෙඅත්ලෙහි පිඹ මුළු සිරුර පුරාම පිරිමදින්න.

ශුද්ධවූ අල්කුර්ආනය පාරායනය කරමු, එය අධ්‍යයනය කරමු, එය කට පාඩම් කරමු, එය අපේ අනාගත පරපුරට උගන්වමු, ඒ අනූව ජීවත් වෙමු, එය කරා ජනයාව කැඳවමු.

සාධක සහිත පුවත් ඇසුරෙන් පමණක් සකස් කරන ලදි.

By: Abu Asma

www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *