ලොව මවා පාලනය කරන්නාවූ දෙවිඳුන්ගෙන් මිනිස් වර්ගයාට පහල වු අවසාන මාර්ගෝපදේශකත්වය අල්-කුරානය වේ. අල්-කුර්ආනය පහළ වීමට පෙර දාවුද් (David) නබිතුමාට සzබුර් ආගම් පුස්තකයද, මුසා (Moses) නබිතුමාට තව්රාත් ආගම් පුස්තකයද, ඊසා (Juses) නබිතුමාට ඉන්ජිල් ආගම් පුස්තකයද පහළ කළ බව අල්-කුරානයේ සඳහන් වේ. එම ආගම් පුස්තක පහළ වුයේ එක් ජන කොට්ටාසයකට හෝ යම් භූගෝලීය ප්‍රදේශයකට පමණක් බව කුරානයේ සඳහන් කොට ඇත. එහෙත් අල්-කුරානයේ ඇති විශේෂත්වය වන්නේ එය සමස්ථ මිනිස්වර්ගයා වෙනුවෙන්ම පහළ වී තිබීමත් ලෝකය අවසාන වන තුරු එය මිනිස් වර්ගයාට මග පෙන්වීමත් නිසාය. කුරාණයට පෙර පහළ වු සෑම ආගම් පුස්තකයකම මුහම්මද් නබිතුමාගේ පැමිණීම ගැන සඳහන් කොට තිබෙන බව කියැවෙන්නේ ය.
ඉස්ලාම් දහම වැළඳ ගැනීම සම්බන්දයෙන් කිසිවෙකුට බලකිරීමක් සිදු කොට නැත. එබැවින් මෙලොව සහ පරලොව ජිවිත ජය ගැනීම සඳහා දෙවියන්ගේ මග පෙන්වීම අවශ්‍ය අයට ඉන් ප්‍රයෝජන ලැබිය හැකිය. මේ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.
“පවසනු! සත්‍යය ඔබගේ සමිඳුන්ගෙන් (රබ්) ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය” (කුරානය 18:29).
තවද කුරානයේ මෙලෙසද සඳහන් වේ.
“(නබියේ) පවසනු! මිනිසුනි! නුඹලාගේ සමිඳුන්ගෙන් (රබ්) සත්‍යය නුඹලා හමුවට පැමිණ ඇත. (එමගින්) කවරෙක් යහමග ලබයිද ඔහු තමාටම යහපතක් කරගනියි. කවරෙක් මංමුලාවෙහි ගමන්කරයිද ඔහු තමාටම එරෙහිව නොමගෙහි යන්නෙකි. මා නුඹලාට භාරකාරයෙක් නොවෙමි” (කුරානය 10:108).
ඉහත කුර්ආන් වැකියෙන් මුස්ලිම්වරුන්ට පමණක් ආමන්ත්‍රණය කොට නැත. එහි ඇත්තේ පොදුවේ මිනින් වර්ගයා වෙනුවෙන්ම සිදු කළ ආමන්ත්‍රණය කි. ඉන් ප්‍රයෝජනයක් ගත් තැනැත්තන්ගේ හදවතත නිවැරදි මාර්ගයට යොමු කරවනු ඇත. ඒ බව පහත දැක්වෙන කුර්ආන් වැකියේ සඳහන් වේ.
“කවරෙක් අල්ලාහ්ව විශ්වාස කරත්ද, (අල්ලාහ්) ඔහුගේ හදවත නිවැරදි මගෙහි යවන්නේය” (කුරානය 64:11).
අල්-කුරානය ගවේෂණය කොට එහි ඇති සත්‍යතාව ඕනෑම කෙනෙකුට දැනගැනීමට ඉඩ සලසා ඇත. එහෙත් එසේ නොකර කුරානය ප්‍රතික්ෂේප කරන අයට අල්-කුරානය මගින් නිවැරදි මග පෙන්වන්නේ නැත. එම හේතුවෙන් නබිතුමා ජීවත්වූ කාලයේ සිටි අරාබි බස හොඳින් දැන උගත් බොහෝ අයට නිවැරදි මාර්ගය අත්කර ගැනීමට අවස්ථාව ලැබුනේ නැත. එහෙත් නිවැරදි මාර්ගය අත්කර ගැනීමට උවමනාව තිබුණු බොහෝ දිළිඳු උදවියට දෙවියන් සත්‍යය මාර්ගයට මග පෙන්වා ඇත.
“කවරහු අපගේ විෂයෙහි උත්සාහ කරත්ද නියතව අපි ඔවුන්ව අපගේ (ඍජු) මාර්ගයෙහි යවන්නෙමු. නියතව අල්ලාහ් යහකම් කරන්නන් සමග සිටියි” (කුරානය 29:69).
උඩඟුකම නිසා සත්‍යයට පිටු පාන්නේ නම් ඔවුන්ට දෙවියන් මග අහුරන්නේය. එවැනි අයට නිවැරදි මග පෙන්වීමට වෙන කිසිවෙකුට නොහැකිය. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් ඒ බව පැහැදිලි වේ.
“(විශ්වාස කලවුනි!) කුහකයින්ගේ විෂයෙහි නුඹලා කණ්ඩායම් දෙකක් වීමට නුඹලාට කුමක් සිදු වුයේද? ඔවුන් උපයාගත් (නපුරු දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව (ප්‍රතික්ෂේපය කරා) හැරෙව්වේය. අල්ලාහ් කවරෙකුව මංමුළාවෙහි හැර දැම්මේද ඔවුන්ව යහමගෙහි යැවීමට නුඹලා අදහස් කරහුද? අල්ලාහ් කවරෙකුව මං මුලාවෙහි හැර දමයිද ඔහුට කිසිඳු මගක් නුඹ නොදකින්නේහිය” (කුරානය4:88).
එසේ තිබියදී ඉස්ලාම් දහම තම තමන්ගේ ආගම් ඇදහීමට සම්පුර්ණ නිදහස ලබා දී ඇත.
“පවසන්න! ඕ: ප්‍රතික්ෂේප කරන්නනි! නුඹලා නැමදුම් කරන දෑට මම නැමදුම් නොකරන්නෙමි. එසේම මා නැමදුම් කරන්නාට නුඹලා නමදින්නෝ ද නොවෙති. (එසේම) නුඹලා නැමදුම් කරන දෑට මම නමදින්නා ද නොවෙමි. තවද, මා නැමදුම් කරන්නාව නුඹලා නමදින්නෝ ද නොවෙති. නුඹලාට නුඹලාගේ ධර්මය; මට මාගේ ධර්මය” (කුරානය 109:1-6).
ඉහත දැක්වෙන කුර්ආන් වැකි අනුව තම තමාගේ දහම සම්පුර්ණ නිසහස ඇතිව ඇදහිය හැකිය. එහෙත් ඒවා කලවම් කර ගැනීම වරදකි.
By Fasy Ajward B.Sc(Special)Hons,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.