ඉස්ලාම් යන නමේ අර්ථයම සාමයයි. මෙම සාමය මිනිසාට පමණක් නොව සතා සිව්පාවන්ටත් අයත් වේ. මේ නිසා සතුන් පිට අධික බර පැටවීමෙන් උන්ට හිංසා කිරීම නබිතුමා තහනම් කොට ඇත. එක් දිනක් නබිතුමාගේ අනුගාමිකයින් නබිතුමා සමග ගමනක් ගොස් ඇත. එම ගමන අතරවාරයේදී නබිතුමා වෙනත් කටයුත්තක යෙදී සිට ආපසු පැමිණෙන විට ඔහුට දක්නට ලැබී ඇත්තේ සහාබාවරු කිරිල්ලියක් උගේ පැටව් දෙදෙනා සමග සිටිනු දැක උගේ පැටව් දෙදෙනා මව් කිරිල්ලිගෙන් උදුරාගෙන සිටීමයි. එම අවස්ථාවේදී මව් කිරිල්ලී උගේ පැටවුන් නැතිවුණු ශෝකයෙන් අහසේ පියාසර කරමින් සිට ඇත. මෙම සිද්ධිය දුටු නබිතුමා ‘මෙම කිරිල්ලිට වේදනාව ගෙන දෙන එම කාර්‍යය කලේ කව්දැ’යි විමසා වහාම එම කුරුළු පැටවා නිදහස් කරන ලෙස නියෝග කොට තිබේ (සහිහ් මුස්ලිම්). 

තවත් අවස්ථාවකදී නබිතුමා ඔහුගේ අනුගාමිකයින් අමාතා, “යම්කිසිවෙකු සෙල්ලමට හෝ ගේ කුරුල්ලෙකු මරා දැමුවේ නම්, එම ගේ කුරුල්ලා විනිශ්චය දිනයේදී, ‘දෙවියනි! මොහු නිකරුනේ මාව මරා දැමුවා! ඔහු කිසිම වැදගත් කමකට මාව මැරුවේ නෑ’ යනුවෙන් පවසනු ඇතැයි කිවේය (සුනන් අන් නිසායි).

තවත් අවස්ථාවකදී නබිතුමා බනු ඉස්රායිල්වරුන්ගේ කාලයේ ජීවත්වූ කාන්තාවකගේ කථා පුවතක් ඔහුගේ අනුගාමිකයින් සමග මෙලෙස පවසා ඇත. එම සිද්ධියට සම්බන්ද කාන්තාව ඉතා හොඳින් වැඳුම් පිදුම් කර කර තිබේ. කෙසේ වෙතත් ඇය විසින් එක්තරා බළලෙකුට නිදැල්ලේ යන සතුන් අල්ලාගෙන ආහාරයට ගැනීමට ඉඩ නොදී සිරකොට තැබූ හේතුවෙන් එම බළලා කුසගින්නෙන් මිය ගොස් ඇත. ඇය විසින් කළ මෙම වරද හේතුවෙන් ඇය කොතරම් පින් දහම් කලත් නිරයට යන බව නබිතුමා පවසා තිබේ.

ආහාරය පිණිස මරණ සතුන්ට පවා දැඩි වේදනාව නොදී තියුණු ආයුදයකින් එය සිදු කරන ලෙස නබිතුමා උපදෙස් දී තිබේ. තවද එක් සතෙකුට පෙනෙන පරිදි තවත් සතෙක් ඝාතනය නොකරන ලෙස පවසා ඇත.

ඉහත සඳහන් කරුණු වලින් පෙනී යන්නේ ඉස්ලාම් දහම ප්‍රායෝගික දහමක් බවත් එහි සතා සිව්පාවන්ට පවා කරුණාව දක්වා ඇති බවත් ය.

ඉස්ලාම් දහමේ මාංශ ආහාර සඳහා අවසර දී තිබීම ගැන ඇතැමුන් විවේචනය කරන්නේ ස්වභාව දහම ගැන නිසි අවබෝදයක් නොමැතිවය. දෙවියන් ලෝකයේ ආහාර දාමය මවා ඇත්තේ එක් සතෙක් තවත් සතෙකුට ගොදුරක් වන පරිදිය. එය කිසිවෙකුට වෙනස් කළ නොහැකිය. ඒ අනුව මාංශ බක්ෂක සතුනු නොකා මිය ගියත් තණකොළ කන්නේ නැත. මිනිසාද සර්ව භක්ෂක සතෙකි. එබැවින් කිසිවෙකුට මිනිසාට ලැබී ඇති වරප්‍රසාධ අහිමි කළ නොහැකිය. සත්ව ඝාතනය වරදක් යැයි කියන කෙනෙකුට ලෙඩක් වැළඳුනු විට බෙහෙත් ගැනීමටද නොහැකි වනු ඇත. ඇයිද යත් එවිට සිය දහස් ගණනින් ක්ෂුද්‍ර ජීවින් විනාශ වන නිසාය.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *