ආගමක් අවශ්‍යවන්නේ තමන්ගේ මැවුම්කරු හඳුනාගෙන ඔහුගේ අභිමතයට ගරු කරමින් ජිවත් වීමටය. ඒ අනුව දෙවියන් පහළ කල සෑම ආගමකින්ම මිනිසා පිළිපැදිය යුතු දහම් මාර්ගය පෙන්වා දී ඇත. දෙවියන් පෙන්වා දෙන මාර්ගය වෙනස් කිරීම මිනිසාට කළ හැකි දෙයක් නොවේ. මිනිසා කළ යුත්තේ දෙවියන් පෙන්වා දී ඇති දහම අනුව තමන්ව වෙනස් කර ගැනීම ය.මිනිසා අනුගමනය කළ යුතු හොඳම ක්‍රමය කුමක්දැයි ඔහුගේ මැවුම්කරු හොඳින් දන්නා බැවින් දහම තුලින් එය පෙන්වා දී ඇත. දහමේ සිමාවන්වලින් පිටතට පැමිණීමෙන් සිදුවන්නේ සාතන්ගේ මාර්ගයට ඇතුලත් වීමකි. අද බොහෝ අයට අවශ්‍යව ඇත්තේ සාතන්ගේ මාර්ගය අනුගමනය කිරීමය. ඒ අනුව දහමේ ඉතා වැදගත් කරුණක් වන ලජ්ජා ශීලී බව ගිලිහි යමින් පවතී. කෙසේ වෙතත් මුස්ලිම්වරුන් අතර යම් තරමක් දුරට ලජ්ජාශීලි බව ආරක්ෂා වන්නේ ඔවුන් අඳින බුර්කාව නිසාය. යම් වැරැද්දක් වීමට පෙර ඉන් ආරක්ෂා වීම සඳහා වූ පෙර සුදානමක් වශයෙන් මුස්ලිම්වරුන්ගේ බුර්කාව පෙන්වා දිය හැකිය. එසේ තිබියදී ඇතැම් අය මුස්ලිම්වරුන්ගේ ඇඳුම දකින්නේ සංස්කෘතික ආක්‍රමණයක් හැටියට වීම කනගාටුදායක තත්වයකි.

සෑම දහමකම ඇති පොදු ලක්ෂණයක් වන්නේ වැරදි කිරීමෙන් වැලකී සිටීමය. මේ නිසා තමන් කුමන දහමක් අනුගමනය කලත් වෙනත් දහමක් පහත්කොට සැලකීම වරදකි. එසේ කිරීමෙන් සිදු වන්නේ ආගම් අතර වෛරය ඇති වීමයි. එබැවින් වෙනත් ආගමක ඉගැන්වීම් තේරුම් ගැනීමට නොහැකි විට කළ යුත්තේ එය අසා දැනගැනීම මිස ඒවා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නොවේ. නොදන්නා දෙයක් අසා දැනගැනීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ඔහු සාතන්ගේ සාමාජිකයෙක් බවයි.

අද රට පුරා අරක්කු තැබෑරුම් සහ ගණිකා මඩම් පිරි ගොස් තිබෙන්නේ දහම ගැන නිසි අවබෝදයක් නොමැතිකම නිසාය. පුජකතුමන්ලා ඇතුළු ආගමික නායකයින් මේවා වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබේ. ආගමික නායකයින් විසින් මේවා සිදු නොවන්නේ නම් ඔවුන්ගේ දැනුමෙන් ජනතාවට සෙතක් සිදු වන්නේ නැත. කෙසේ හෝ මුස්ලිම් සමාජයේ ඉහත සඳහන් කළ වැරදි දැකිය හැක්කේ ඉතා අඩුවෙන් ය.

සෑම දහමකින්ම මත්ද්‍රවය, සුරාව, සුදුව, කාමය වරදවා හැසිරීම තහනම් කොට ඇත. එබැවින් ඒවාට විරුද්ධව සියළුම ආගමික නායකයින් සහයෝගයෙන් කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයකි. මේවා අතරින් මත් කුඩු බරපතල ප්‍රශ්නයක් බවට පත් වී ඇත. එය මැඩලීමට නම් සෑම ආගමික නායකයෙක්ම අත්වැල් බැඳ ගත යුතුව තිබේ. එසේ තිබියදී කිසිම වැදගත්කමක් නොමැති දේවල් විශාල ප්‍රශ්න ලෙස ජනතාව ඉදිරියේ තබමින් වැදගත් ප්‍රශ්න යට ගැසීම ආගම දහමට කරන බලවත් හානියකි. මේ නිසා ආගම් අතර වෛරය නොවපුරා සියළුදෙනාම එකතුවී යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා කටයුතු කළ යුතුය.

By Fasy Ajward. B.Sc (Special) Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *