ඉස්ලාම් දහම තුල කිසිම බල කිරීමක් නොමැත. ඇයිද යත් එය සාමය සහ සමගිය අගය කරන දහමක් නිසාය. එයට ඇතුල්වන අයට මෙලොවදී සහ මරණයෙන් පසු දෙවියන්ගේ කරුණාව සහ දයාව ලබා ගත හැකිය. එම දහමට කැමති නැති කෙනෙකුට ඔවුන්ගේ මනාපය පරිදි දහමක් ඇදහීමට ඉස්ලාම් දහමින් අවසර දී තිබේ. කෙසේ වෙතත් එම දහම ගැන දැනුවත් කිරීම නබිවරුන්ට පැවරුණු අනිවාර්ය වගකීමකි. නබිවරුන්ගෙන් පසු එම වගකීම පැවරෙන්නේ ඔවුන්ගේ අනුගාමිකයින්ට වේ. එසේ නොකළේ නම් මරණයෙන් පසු විනිශ්චය දිනයේදී දෙවියන් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන විට ඔවුන්ට කිසිවෙකු ඉස්ලාම් දහම ගැන පැවසුවේ නැතැයි කියනු ඇත.
ඉස්ලාම් දහම සිත හා බැඳී එකකි. කෙනෙක් මුස්ලිම්වරයෙකු වීමට නම් ඔහු දෙවියන්ව සිතෙන් විශ්වාස කළ යුතුය. එබැවින් සිතේ එකක් තබාගෙන බොරුවට දිවෙන් මුස්ලිම්වරයෙකු යැයි ප්‍රකාශ කළ නොහැකිය. එවැනි බොරු ප්‍රකාශයක් කළ පමණින් ඔහු මුස්ලිම්වරයෙකු වන්නේද නැත. දෙවියන් මුලින්ම බලන්නේ මිනිසෙකුගේ සිත මිස ඔහුගේ ක්‍රියාව නොවේ. අල් කුරානයේ මෙලෙස සඳහන් වේ.
“දහම තුල බල කිරීමක් නොමැත. ඇත්ත වශයෙන්ම වැරදි මාර්ගයෙන් නිවැරදි මාර්ගය වෙන් කොට පෙන්වාදී ඇත” (කුරානය 2:256).
ඉහත දක්වා ඇත්තේ ඉතා නිරවුල් නිවේදනයකි. මෙම නිවේදනය නිකුත් කළ පසු යම් කෙනෙක් ඉස්ලාම් දහම වැළඳ නොගන්නේ නම් මරණයෙන් පසු එහි වගකීම ඔහුම දැරිය යුතුය. එහෙත් කෙනෙකුට සත්‍යය පහදා දීමේදී ඔහු කළහ කාරී ලෙස හැසිරෙන්නේ නම් ඔහුට සිදු වන්නේ ඊට සරිලන ප්‍රතික්‍රියාවකි. මෙවැනි අවස්ථාවලදී නබිවරුන් ඊට සුදුසු ආකාරයට ක්‍රියා කොට ඇත. එසේ කිරීම බල කිරීමක් ලෙස අර්ථ දැක්විය නොහැකිය.
දෙවියන්ට අවශ්‍යතාවයක් තිබුනේ නම් සියළුම දෙනා ඉස්ලාම් දහම තුලට ඇතුල් කළ හැකිව තිබුනේය. එහෙත් එසේ කිරීම ඔහුගේ අරමුණ නොවිය. ඉස්ලාම් දහම වැළඳ ගැනීම හෝ එය වැළඳ නොගැනීම මිනිසාගේ කැමැත්ත අනුව සිදු කිරීමට දෙවියන් ඉඩ සලසා දී තිබේ. මේ බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පැහැදිලි වන්නේය.
“ඔබේ සමිඳුන් අපේක්ෂා කලේ නම් පොළොව මත සිටින සියළුම දෙනා එකා මෙන් විශ්වාස වන්තයින් බවට පත් කළ හැකිව තිබුනේය. එසේ තිබියදී ඔබ ඔවුන් ඉස්ලාම් දහම වැළඳ ගත යුතු යැයි බල කරන්නෙහිද?” (කුරානය 10:99).
මින් පැහැදිලි වන්නේ නබිතුමාට මොන තරම් උවමනාවක් තිබුනත් ඉස්ලාම් දහම සඳහා බල කිරීමක් කළ නොහැකි බවයි. අල් කුරානයේ තවත් තැනක නබිතුමා සමග වාද කරන අයට මෙලෙස පිළිතුරු දෙන මෙන් දන්වා ඇත.
“(මුහම්මද් තුමාණෙනි) ඔවුන් නුඹ සමග ආරවුල් කරන්නේ නම් මෙලෙස පවසනු: ‘මම අල්ලාහ්ට මාව (ඉස්ලාම් දහම තුල) යටත් කර ඇත්තෙමි, මාව පිළිපදින්නන් ද එසේම කර තිබේ’ එබැවින් පුස්තකය දෙනු ලැබුවන්ට ද අකුරු නොදත් අයටද මෙලෙස කියනු: ‘ඔබත් ඔබව (ඉස්ලාමය සඳහා) යටත් කර ගන්නෙහිද?’ ඔවුන් එසේ කලේ නම්, ඔවුන් යහ මග අත්කරගත් අය වෙති; එහෙත් ඔවුන් ඉන් ඉවත් වන්නේ නම්, ඔබගේ වගකීම ඔවුන්ට පණිවිඩය ලබා දීම පමණි” (කුරානය 3:20).
මෙම වගන්තියෙන් නබිතුමාගේ කාර්ය භාරය පැහැදිලි කොට ඇත. ඔහු කළ යුතුව තිබෙන්නේ ඉස්ලාම් දහම සඳහා ඇරයුම් කිරීම පමණි. එවිට අවශ්‍ය කෙනෙකුට ඉස්ලාම් දහම වැළඳ ගත හැකිය. එය අවශ්‍ය නැතැයි සිතන කෙනෙකුට ඔහු කැමති දහමක් ඇදහිය හැකිය.
නබිතුමාගේ වගකීම කුමක්දැයි පහත දැක්වෙන කුර්ආන් වැකියෙන්ද පැහැදිලි කොට ඇත.
“දුතයාගේ (මුහම්මද් සල් තුමාගේ) වගකීම (දහම් පණිවිඩය) ගෙන හැර දැක්වීම මිස වෙන කිසිවක් නොවේ”(කුරානය 5:99).
කරුණු මෙසේ තිබියදී ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත කලේ යැයි කීම කාට නම් පිළිගත හැකිද?
By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute.