ලෝක ජනග්‍රහණයෙන් තුනෙන් එකක් පමණ මුස්ලිම්වරුන්ය. එසේ තිබියදී වැඩියෙන්ම වැරදියට වටහාගෙන ඇති දහම ඉස්ලාම් යැයි කිව හැකිය. ඊට ප්‍රධාන හේතුව ජනමාද්‍ය හරහා ගෙන යන වැරදි ප්‍රචාරයන්ය. විශේෂයෙන්ම ජිහාද් සම්බන්දයෙන් අල් කුරානයේ ඇති ඇතැම් වාඛ්‍ය කාණ්ඩයන් සන්දර්බයෙන් බැහැරව ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහම ගැන වැරදි ප්‍රචාරයන් සිදු කරනු ලැබීම නිසා ඉස්ලාම් දහම ගැන ජනතව අතර වැරදි මතයක් ගොඩ නැගී තිබේ. ඉස්ලාම් දහමේ ප්‍රධාන මුලාශ්‍රයන් වන්නේ අල් කුරානය සහ නබිතුමා පෙන්වා දුන් මාර්ගය වේ. අල් කුරානයන් පණිවිඩය නබිතුමාගෙන් පසු ජිවත් වන මුළු මහත් මිනිස් වර්ගයාටම අයත් වූ එකකි. එහෙත් බොහෝ අයට මෙම කරුණ පවා දන්නේ නැත.

අල් කුරානය පෙන්වා දෙන ජිවන සැලැස්ම ශරියාව ලෙස නම් කොට ඇත. මුස්ලිම් නොවන බොහෝ අයට ශරියාව ගැන නිසි අවබෝදයක් ලැබී නොමැත. ෂරියාව යනු සම්පුර්ණ ජිවන සැලැස්මක් හඳුන්වා දීම සඳහා අල් කුරානයේ භාවිතා කරනු ලබන පාරිභාෂික වචනයකි. එමගින් මුස්ලිම්වරයෙකුගේ ජිවිත කාලය තුලදී අනුගමනය කළ  යුතු සෑම දෙයක්ම ආවරණය කොට ඇත. උදාහරණයක් වශයෙන් විවාහය, ළමයි හදා වඩා ගැනීම, ව්‍යාපාර කටයුතු, නැමදීම, උපවාසය, සකාත්, හජ් වන්දනය, සතුරු ආක්‍රමනයක දී ක්‍රියා කළ යුතු ආකාරය පෙන්වා දිය හැකිය.

යුද්ධයකදී පවා ලෝකයේ කිසිම ආගමකින් පෙන්වා දී නොමැති බොහෝ මානුෂික නීති ඉස්ලාම් දහමින් පෙන්වා දී ඇත. මෙම නීති ලෝකයේ බොහෝ රටවල් වල යුධ හමුදාවන් අතින්ද ක්‍රියාත්මක වන්නේ නැත. එසේ තිබියදී කොතැනක හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වූ වහාම එහි වරද පටවන්නේ ඉස්ලාම් දහමටය. ඇමරිකාවේ සිදු වූ 9/11 සිද්ධිය මුස්ලිම්වරුන් සිදු කළ බව මෙතෙක් ඔප්පු කොට නොමැත. එය ඇමරිකාවේ අභ්‍යන්තර ක්‍රියාවක් බවට බොහෝ විද්වතුන් මත ප්‍රකාශ කොට තිබේ. එසේ තිබියදීත් එහි වරද ඉස්ලාම් දහමට පටවා තිබේ.

ඉස්ලාම් දහම යුද්දයකදී ක්‍රියා කළ යුතු අන්දම ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. එහෙත් බොහෝ අය ඒවා ගැන දන්නේ නැත.  ඒවායින් සමහරක් පහත දැක්වේ.

  • ළමුන්, කාන්තාවන් හෝ වයසක රෝගීන් ඝාතනය නොකළ යුතුය (සුනන් අබු දාවුද්)
  • ද්‍රෝහිකම් කිරීම හෝ සතුරාගේ අංග ජේදනය කිරීම නොකළ යුතුය (අල්-මුඅත්තා)
  •  පලදරන ගස්කොලන් ගිනි තැබීම හෝ විනාශ කිරීම නොකළ යුතුය (අල්-මුඅත්තා)
  • බැටළුවන්, ගවයන් හෝ ඔටුවන් ආහාරය පිණිස මිස ඝාතනය නොකළ යුතුය (අල්-මුඅත්තා)
  • සටන් කිරීමේදී මුහුණට පහර දීමෙන් වැලකි සිටිය යුතුය (සහිහ් බුහාරි සහ සහිහ් මුස්ලිම්)
  • පුජකවරුන් සහ දේවස්ථානවල රැඳී සිටින සාමාන්‍ය ජනතාව ඝාතනය නොකළ යුතුය (මුස්නද් අහමද්)
  • ගම් සහ නගරයන් විනාශ නොකළ යුතුය, වගාවන් හෝ උද්‍යානයන් විනාශ නොකළ යුතුය, ගවයන් විනාශ නොකළ යුතුය (සහිහ් බුහාරි, සුනන් අබු දාවුද්)
  • සතුරා සමහ සටන් කිරීමට ආශා නොකරනු, ඔබව ආරක්ෂා කරන මෙන් දෙවියන්ගෙන් අයදිනු එහෙත් සටනට බලපෑම් ඇති වුවහොත් ඉවසීම පවත්වාගනු (සහිහ් මුස්ලිම්)

ඉස්ලාම් දහමින් යුද්ධයකදී අනුගමනය කිරීම සඳහා මෙවැනි මානුෂික නීති පනවා තිබියදී වෙළඳ සාප්පු සංකිර්නයකදී හෝ මිනිසුන් ගැවසෙන වෙනත් ස්ථානයකදී අහිංසක මිනිසුන් ඝාතනය කිරීමේ වරද ඉස්ලාම් දහමට පටවන්නේ කෙසේද?

ඉස්ලාම් දහම දේවස්ථානය තුලට සිමා වූ එකක් නොවේ. එය මිනිසාගේ ජීවිතය සමග ඉතා කිට්ටුවෙන් බද්ද වී ඇත. මෙම ලක්ෂණය ලෝකයේ ඇති වෙන කිසිම දහමක් තුල දැකිය නොහැකිය. එම නිසා මුස්ලිම්වරුන් කරන සුළු දෙයකට පවා විවේචන එල්ල වන්නේය. ඊට ප්‍රධාන හේතුව ඉස්ලාම් දහම ගැන නිවැරදි දැනුමක් බොහෝ අයට නොමැති වීමය. උදාහරණයක් ලෙස හලාල් ආහාර සහ කාන්තා ඇඳුම පෙන්වා දිය හැකිය.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *