අප බුක්ති විඳිමින් ඉන්නේ මෙලොව ජීවිතයයි. ඔබට පෙර විසු අනේක සංඛ්‍යාත ජනයාගේ සිත් හි මෙන් ඔබගේ සිතෙහි ද මෙවන් ප්‍රශ්න මතු වූ වාර බොහෝ විය හැක. මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? මිහිතලය ඇතුළු මුළු මහත් විශ්වයම බිහිවූයේ කෙලෙස ද? මිහිතලය මත මා කරමින් සිටින්නේ කුමක් ද? මගේ සිතැඟි පරිදි මට කටයුතු කළ හැකි ද? මිහිතලයෙන් සමුගත් පසු මා යන්නේ කොතැනකට ද? මෙම ප්‍රශ්න සියල්ල මිනිසාගේ ජීවිතය හා එහි අරමුණු පිළිබඳ ව යි. මෙම ප්‍රශ්න සියල්ල විශ්වය හා එහි මිනිසාගේ භූමිකාව පිළිබඳ ව යි. 

ඉහත ප්‍රශ්නවලට ඔබ දෙන පිළිතුරු අනුව ඔබගේ ලෝක දෘෂ්ටිය හෙළිදරවු වෙයි. ලෝක දෘෂ්ටිය යනු මිනිසා ලෝකය දකින හා විග්‍රහ කරන අයුරු මෙන්ම එහි ඔහුගේ භූමිකාව හෙළිදරවු කිරීමයි. ඔබගේ ලෝක දෘෂ්ටිය ඔබගේ සිතුම් රටාවට පමණක් නොව, ඔබගේ ක්‍රියාකලාපයට ද බලපෑම් කරයි. ඔබගේ ලෝක දෘෂ්ටිය ඔබගේ ජීවිතයේ අගයන් තීන්දු කිරීමට ද බලපායි. එහෙයින් මෙලොව ජීවිතය පිළිබඳ ව ඉස්ලාමයේ ප්‍රධාන මුලාශ්‍රය වූ අල් කුර්ආනය දක්වන අදහස් කෙරෙහි අවධානය යොමු කරමු. එය පදනම් කර ගනිමින් ඔබගේ චින්තනය යොමු කිරීම ඔබට පැවරෙන වගකීමකි. ප්‍රමාණයට වඩා මෙලොව ජීවිතය ඇළුම් කරමින් ඒ වෙත පමණක් අවධානය යොමු කරමින් කටයුතු නොකොට ඉතාම අල්ප වූ මෙලොව ජීවිතය මහා කාරුණික අල්ලාහ්ගේ නියමයන්ට අනුකුලව හා මනුෂ්‍යය වර්ගයා වෙනුවෙන් පත්කරන ලද අවසාන ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන්ගේ අලංකාර පිළිවෙත අනුව ගත කරමින් සදාතනික මතු ජීවිතය ජය ගැනීම වෙත සැවොම යොමු වෙමු.

“දැනගන්න. මෙලොව ජීවිතය යනු හුදු කෙළිදෙලකි. තවද පුහු අලංකාරයකි. තවද නුඹලා එකිනෙකා අතර හුවා දක්වා ගැනීමකි. තවද ධනය සහ දරුවන් ගැන නුඹලා ගැන නුඹලා එකිනෙකා අතර පුරසාරම් දෙඩීමකි. (එය) වර්ෂාවක් බඳුය. එයින් වූ භෝග ප්‍රතික්ෂේපකයින් ව සතුටට පත් කළේය. පසුව එය වියලී කහවන් වනු නුඹ දකින්නේය. පසුව එය සුනු විසුනු වන්නේය. මතුලොවෙහි දැඩි දඬුවම් හෝ අල්ලාහ්ගේ සමාව හා තෘප්තිය වේ. මෙලොව ජීවිතය මායාකාරී භුක්ති විඳීමක් මිස නැත” (අල් කුර්ආන් 57:20)

“(වැඩි වැඩියෙන් ලෞකික සැප සම්පත් අධිකව රැස් කරගත යුතුය යන) දැඩි ආශාව නුඹලා මිනීවලට යන තෙක් නුඹලාව වෙනතකට යොමු කරයි” (අල් කුර්ආන් 102:1-2)

“ජනයිනි, සැබවින් ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සත්‍යයකි. සැබැවින්ම මෙලොව ජීවිතය නුඹලාව නොරැවටිය යුතුයි. සැබැවින්ම රවටන්නා (ෂෙයිතාන්) අල්ලාහ් පිළිබඳව නුඹලාව නොරැවටිය යුතුයි”. (අල් කුර්ආන් 35:5)

“එකල්හි ෂෙයිතාන් ඔවුන් දෙදෙනාව එයින් ලිස්සා (නොමඟ) යෑමට සලස්වා ඔවුන් දෙදෙනා එහි සිටි (යහ) තත්ත්වයෙන් පිටමං (කරන්නට කටයුතු) කළේය; ‘නුඹලා (ස්වර්ගයෙන් මිහිතලයට) බසිවු; නුඹලාට මිහිතලයෙහි වාසස්ථානයක් හා වින්දනයක් (යම්) කලකට ඇතැ’යි අපි ප්‍රකාශ කළෙමු” (අල් කුර්ආන් 2:36)

“ස්ත්‍රීන්ගෙන් ද පිරිමි දරුවන්ගෙන් ද රනින් හා රිදීයෙන් වූ ගොඩවල්වලින් ද සලකුණු සහිත අශ්වයින්ගෙන් ද (එළු ඔටු ගව) පශු සතුන්ගෙන් ද වගා භූමියෙන් ද සිත් ආශා කරන දෑ මිනිසුනට අලංකාර කරන ලදී. (එහෙත්) ඒවා මෙලොව ජීවිතයේ සුළු ආශ්වාදය(ක් පමණ)කි. නමුත් හොඳ වාසස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය” (අල් කුර්ආන් 3:14)

“සෑම ආත්මයක් ම මරණය විඳියි. නියත වශයෙන් ම නුඹලාට නුඹලාගේ ඵලවිපාක පුර්ණව දෙනු ලබන්නේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දීය. යමෙක් අපාගින්නෙන් වළක්වනු ලැබ ස්වර්ගයට ඇතුලත් කරවනු ලැබේ නම්, ඔහු සත්‍යය වශයෙන් ම ජය ලැබුවේය. මෙලොව ජීවිතය මායාකාර ආශ්වාදයක් මිස නැත” (අල් කුර්ආන් 3:185)

“නමුත් ඔහු ඔවුන් බේරාගත් විට, ඔවුහු සත්‍යයට එරෙහිව මහපොලොවෙහි සීමාව ඉක්මවා ක්‍රියා කරති. අහෝ මිනිසුනි, නුඹලාගේ අපරාධය (අහිත කර වන්නේ) නුඹලාටමය. මෙලොව ජීවිතය ස්වල්ප සැපයකි. අනතුරුව නුඹලාගේ ආපසු පැමිණීම අප වෙතය. එවිට නුඹලා කරමින් සිටි දෑ ගැන අපි නුඹලාට දන්වන්නෙමු” (අල් කුර්ආන් 10:23)

“(ඔවුනට) මෙලොව තාවකාලික සැපතකි. පසුව ඔවුන්ගේ ආපසු පැමිණීම අප වෙතය. ඔවුහු ප්‍රතික්ෂේප කරමින් සිටි හෙයින් අපි ඔවුනට දැඩි වේදනාව රසවිඳින්නට සලස්වන්නෙමු” (අල් කුර්ආන් 10:70)

“නුඹලාට පිරිනමන ලද සෑම දෙයක් ම මෙලොව ජීවිතයේ සුඛෝපභෝගය සහ අලංකාරය (පිණිස) වේ. නමුත් අල්ලාහ් සතුව පවතින දෑ වඩාත් හොඳය. තවද සදාකාලිකය. නුඹලා වටහා නොගන්නේ ද?” (අල් කුර්ආන් 28:60)

“ජනයාට විපතක් සිදු වූ විට ඔවුහු තම පරමාධිපති (අල්ලාහ්) වෙත නැඹුරු වුවන් ලෙස ඔහුව කැඳවති. ඉන් පසුව ඔහු ඔවුනට තම දයාලුවෙහි ආශ්වාදය ලැබීමට සැලැස්වූ විට ඔවුන්ගෙන් පිරිසක් තම පරමාධිපතිට සමානයන් තබති” (අල් කුර්ආන් 30:33)

“මාගේ ජනයිනි! මෙලොව ජීවිතය හුදු (තාවකාලික) සතුටක් පමණි. නියත වශයෙන් ම සදාකාලික නිවහන මතු ලොවය” (අල් කුර්ආන් 40:39)

“නුඹලාට දෙනු ලැබූ කවර දෙයක් වුව ද එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. විශ්වාස කරමින් තම පරමාධිපති (වූ අල්ලාහ්) වෙත බලාපොරොත්තු තබන අයට අල්ලාහ් අභියස ඇති දෑ ඉතා හොඳය. සදාකාලිකය” (අල් කුර්ආන් 42:36)

“නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් ඉතා හොඳ දැයි නුඹලා පිරික්සනු පිණිස මරණයත් ජීවයත් නිර්මාණය කළේ ඔහුය.” (අල් කුර්ආන් 67:2)

මෙලොව ජීවිතය පිළිබඳ ව ඇති අල් කුර්ආන් වැකි කිහිපයක් ඉහතින් උපුටා දැක්වුයෙමු. මෙලොව ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීමට හා මරණින් මතු ලොව ජයගැනීමට බුද්ධිමත් අයුරින් කටයුතු කරමු.

By; Ahmad Dahalan
www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *