ජිහාද් සහ ත්‍රස්තවාදය සහමුලින්ම එකිනෙකට වෙනස් සංකල්පයන් දෙකකි. ජිහාද් යනු ඉස්ලාම් දහමින් අනුමත කරන ලද මහා පුණ්‍ය ක්‍රියාවක් වන අතර ත්‍රස්තවාදය ගැන අල්කුරානයේ කිසිවක් පවසා නොමැත. එහෙත් ත්‍රස්තවාදීන් සිදු කරන ක්‍රියා කුරානයෙන් තරයේ ප්‍රතික්ෂේප කොට ඇත.

ජිහාද් යන වචනයට පුළුල් අර්ථයක් ඇති අතර එය ජිවිතයේ අත්‍යාවශ්‍ය අංගයකි. ඒ අතරම ත්‍රස්තවාදයට දහම තුල කිසිම ඉඩක් නොමැති අතර ඉන් මිනිස් ජිවිතවලට විශාල හානියක් ගෙන දෙන්නේය. අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව එක් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම මුළු මහත් මිනිස් වර්ගයාවම ඝාතනය කලාට සමානය. එසේ තිබියදී බස් නැවතුම් පොලකදී හෝ සාප්පු සංකිර්නයකදී බෝම්බයක් පුපුරවා හැරීමට ඉස්ලාම් දහමින් කිසිසේත්ම අනුමත කරන්නේ නැත.

එක් අවස්ථාවකදී ජිහාද් ගැන අයිෂා තුමිය නබිතුමාගෙන් මෙසේ විමසා ඇත: ‘නබිතුමාණෙනි! අපටත් ඔබ සමග යුද්ධ කිරීම සඳහා සහබාගි විය හැකිද?’ එවිට නබිතුමා පවසා ඇත්තේ කාන්තාවන්ගේ හොඳම ජිහාදය අල්ලාහ් විසින් පිළිගනු ලැබූ හජ් වන්දනය ඉටු කිරීම බවයි. ඒ බව දැනගැනීමට ලැබීමෙන් පසු ආයිෂා තුමිය පවසා ඇත්තේ: ‘මින් පසු හජ් වන්දනය අත් නොහැරීමට මා අධිෂ්ඨාන කරගතිමි’යි යනුවෙනි (සහිහ් අල් බුහාරි 3.84). මවට උදව් උපකාර කිරීමත් ජිහාද් වේ. අබ්දුල්ලා ඉබ්නු උමර් රලි තුමා පවසන වග නම්: එක් සහාබිවරයෙක් නබිතුමාගෙන් ‘මා ජිහාද් හි සහබාගි වෙන්නදැ’යි විමසා තිබේ. එවිට නබිතුමා, ‘ඔබගේ දෙමව්පියන් ජිවතුන් අතර සිටිනවා දැ’යි විමසා ඇත. ඔහු, ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් විට ඔවුන්ගේ යහපත වෙනුවෙන් ජිහාද් කරන්නැයි නබිතුමා පවසා තිබේ (සහිහ් බුහාරි 8.3). මින් පැහැදිලි වන්නේ දෙමව්පියන්ට උදව් උපකාර කිරීමත් ජිහාද් යන වගයි.

ඉස්ලාමයේ මුල් කාලයේදී කඩුවෙන් කරන සටන්වලට අවසර තිබුනේ නැත. එහෙත් සතුරන්ගෙන් නබිතුමාට සහ ඔහුගේ අනුගාමිකයින්ට එල්ල වූ පීඩනයේ සීමාව ඉක්මවා ගිය කල නබිත්වයෙන් පසු වසර 13 කට පසු යුද්ධ කිරීම සඳහා අවසර ලැබුනේය. මෙම අවසරයට පෙර නබිතුමාගේ අනුගාමිකයින් සතුරන්ගේ අතින් අනේක විද කෲර හිංසාවන්ට ගොදුරු වී ඇත. එක් අවස්තවකදී සතුරන් විසින් නබිතුමාව ඝාතනය කිරීමට සැලසුම් කොට තිබේ. එහෙත් දෙවියන්ගේ කරුණාවෙන් එය වැලකී ඇත. සතුරන්ගේ වද හිංසා නිසා එක් වතාවක් සහාබවරු අබිසිනියාවට හිජ්රත් ගියෝය. තවත් අවස්ථාවකදී නබි තුමා ඇතුළු සහබාවරුන් ආරක්ෂාව පිණිස මදිනාව බලා හිජ්රත් ගියෝය. මෙවන් පසුබිමක් තුල යුද්ධ කිරීම සඳහා අනුමැතිය ලැබී ඇත.

කලහයන් හේතුවෙන් අසාධාරණයට ලක්වු (විශ්වාසවන්තයින්) හට (සතුරන්ට එරෙහිව යුද්ධ කිරීම සඳහා) අනුමැතිය පිරිනමන ලද්දේය; ඇයිද යත් ඔවුන් අසාධාරණයට ලක් වුවෝ වෙති; තවද නියත වශයෙන්ම, ඔවුන් හට ජයග්‍රහණය ලබා දීම සඳහා අල්ලාහ්ට හැකියාව ඇත්තේය. “අපගේ සමිඳුන් අල්ලාහ් යැයි පැවසීම හේතුවෙන්” කිසිඳු සාදාරන හේතුවක් නොමැතිව ඔවුන්ව සිය නිවෙස් වලින් පිටමන් කරනු ලැබුහ” (කුරානය 22:39,40).

ඉහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පැහැදිලිවම පෙනී යන්නේ යුද්ධ කිරීමට අවසර පිරිනමා ඇත්තේ අසාධාරණයට එරෙහිව බවයි. කෙසේ වෙතත් ඉස්ලාමිය යුද්දයකදී පහත දැක්වෙන කරුණු අනුගමනය කල යුතුය.

  • විශ්වාසය කඩ නොකළ යුතුය
  • යුද්ධයේදී ඝාතනය වූ අයගේ මල සිරුරුවලට හානි නොකළ යුතුය
  • ළමුන්, කාන්තාවන් සහ වයසක උදවිය ඝාතනය නොකළ යුතුය
  • ගස්කෝලන් විනාශ නොකළ යුතු අතර විශේෂයෙන්ම ඵල දරන ගස්වලට හානි නොකළ යුතුය
  • අහාරයට මිසක් සතුරන්ගේ පට්ටි විනාශ නොකළ යුතුය
  • ආශ්‍රමික පිරිස් වලට හිරිහැර නොකළ යුතු අතර ඔවුන්ගේ දහම් ඇදහීමට ඉඩ ලබා දිය යුතුය

තවද සතුරා යුද්දය ආරම්භ කරන තුරු සටන් ආරම්භ කිරීමට කුරානයෙන් ඉඩ සලසා දී නැත. එහෙත් ත්‍රස්තවාදීන් ඉහත සඳහන් කිසිම නීතියක් අනුගමනය කරන්නේ නැත. විශේෂයෙන්ම isis  ත්‍රස්තවාදීන් හෝ වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායම් කරන ක්‍රියා ඉස්ලාම් දහමේ ඉගැන්වීම වලට ඉඳුරාම පටහැනි ය. මෙවැනි හේතුන් නිසා ත්‍රස්තවාදීන් කරන දේවල් සහ ජිහාදය අතර කිසිම සම්බන්දයක් දැකිය නොහැකිය.

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *