මුහම්මද් නබි (ﷺ) තුමා ක්‍රි.ව. 571දී අබ්දුල්ලා සහ අමිනා යන දෙදෙනාට දාව උපත ලබා ඇත. එතුමා උපදින විටම ඔහුගේ පියා ජිවතුන් අතර සිටියේ නැත. එතුමාගේ වයස 6 දී ඔහුගේ මවද කළුරිය කළාය. මවගේ අභාවයෙන් පසු එතුමා සිය පියාගේ පියා වන අබ්දුල් මුත්ත්ලිබ් ළඟ හැදී වැඩුනේය. ඔහුගෙන් පසු එතුමාගේ පියාගේ සහෝදරයෙක් වන අබු තාලිබ් ළඟ හැදී වැඩුනේය. නබිතුමා කුඩා කාලයේදී අරාබියාවේ සිරිත අනුව ග්‍රාමීය කාන්තාවක් වන හලිමා නමැති කාන්තාව ළඟ කිරි බි පෝෂණය වී ඇත. මුහම්මද් නබිතුමා ඉබ්රාහිම් නබිතුමාගේ පුත් ඉස්මායිල්ගේ පරම්පරාවෙන් ද ජේසු තුමා ඉබ්රාහිම් තුමාගේ පුත් ඉස්හාක්ගේ පරම්පරාවෙන්ද පැවත එන්නේය. ඒ අනුව ජේසු තුමා සහ මුහම්මද් නබිතුමා යන දෙදෙනා ඥාති සහෝදරයින් වෙති.
මුහම්මද් නබි (ﷺ) තුමා ඉස්ලාම් දහම් පණිවිඩය ප්‍රචාරය කිරීම සඳහා අල්ලාහ් විසින් පත්කරනු ලැබූ අවසාන වක්තෘවරයාය. එතුමාට පෙරත් බොහෝ වක්තෘවරුන් මෙලොවට පැමිණ ඇත. මුහම්මද් නබිතුමාගේ විශේෂත්වය වන්නේ ඔහුගෙන් පසු නබිවරුන්ගේ පැමිණීම අවසානයකට පැමිණීමය. මින් සනිටුහන් වන වැදගත් කරුණක් වන්නේ ලෝකයේ අවසානයට එය පෙර නිමිත්තක් වීමයි. අල් කුරානය පහළ කෙරුනේ මුහම්මද් නබිතුමා හරහාය. එමගින් ඉස්ලාම් දහම් පණිවිඩය පුර්ණත්වයට පැමිණියේය.
මුහම්මද් නබි (ﷺ) තුමා ඉතා කෙටි කාලයකදී මිනිස් සිත් තුල විශාල අධ්‍යාත්මික පෙරලියක් සිදු කළේය. එතුමාගේ ශ්‍රේෂ්ටත්වය මුස්ලිම් විද්වතුන්ගේ ප්‍රකාශන වලට වඩා මුස්ලිම් නොවන විද්වතුන්ගේ ප්‍රකාශන වලින් දැක ගැනීම වඩාත් ප්‍රයෝජනවත් ය. මයිකල් එච් හාට් “100 most influential people in the world” යන කෘතියේ මුලටම මුහම්මද් නබි තුමාගේ නම සඳහන් කොට ඇත. ඒ අනුව ජේසු තුමාගේ සහ අනෙක් විද්‍යාඥයින්ගේ නම්වලට වඩා ඉදිරියෙන් මුහම්මද් නබි තුමාගේ නම සඳහන් වන්නේය. මේ හැරුණු විට මුහම්මද් නබි තුමාට ලැබී ඇත්තේ දේව පණිවිඩයක් බව මුස්ලිම් නොවන බොහෝ විද්‍යාඥයින්ගේ ප්‍රකාශන වලින් සඳහන් වන්නේය. මහාචාර්ය කීත් මුවර් ප්‍රකාශ කරන්නේ මුහම්මද් තුමා අල්ලාහ්ගේ දුතයෙකු විය යුතු බවයි. තවද මහාචාර්ය මොරිස් බුකෛල් ඔහුගේ “The Qur’an, the Bible and Modern Science” යන කෘතියේ සඳහන් කරන්නේ මුහම්මද් තුමා ජීවත්වූ කාලය ගැන සලකා බැලීමේදී කිසිසේත්ම ඔහුට පහළ වූ කුරානයේ ඇති කරුණු ඔහුගේ වදන් විය නොහැකි බවයි.
නබි (ﷺ) තුමා කුඩා කාලයේදී අකුරු ඉගෙන ගෙන නැත. එබැවින් ඔහුට කියවීමට හෝ ලිවීමට හැකියාව තිබුනේ නැත. තවද එතුමා කුඩා කාලයේදීම අසල් වැසින්ට උදව් කොට ඇත. එම නිසා එතුමා ගම්වැසියන්ගේ හිතාදරයට පත් විය. තවද මුහම්මද් නබිතුමා කිසිම දවසක බොරුවක් කියා නොමැත. එම හේතුවෙන් ඔහුට අල් අමින් නොහොත් විශ්වාසවන්තයා’ යන නම පටබැඳි තිබුනේය.
නබි (ﷺ) තුමා කුඩා කාලයේදී එළුවන් හදා බලාගෙන ඇත. තරුණ අවදියේදී ඔහුගේ මහප්පා සමහ සිරියාවට වෙළඳාමේ ගොස් තිබේ. එවැනි එක් ගමනකදී කිතුනු පුජකවරයෙක් ඔහු දෙස බලා පවසා ඇත්තේ ඔහු ඉදිරි අනාගතයේදී පැමිණීමට නියමිත නබිවරයෙක් බවයි.
මුහම්මද් නබි (ﷺ) තුමාගේ 25 වන වියේදී ඔහුට වඩා වයසින් වැඩි දෙවරක් වැන්දඹු භාවයට පත්ව සිටි කදිජා තුමිය සමග විවාහ ගිවිසගෙන ඇත. නබිතුමාට මෙම විවාහයෙන් පිරිමි දරුවෙක් සහ ගැහැණු දරුවන් සිව් දෙනෙක් ලැබී ඇත. පිරිමි දරුවා කුඩා කාලයේදීම කළුරිය කොට ඇත. ෆාතිමා හැර අන් සියලුම ගැහැණු දරුවන් නබිතුමා ජිවතුන් අතර සිටියදීම මිය ගොස් තිබේ. නබිතුමාගේ 53 වන වියේදී කදිජා තුමියද මිය ගියාය. එතුමිය ජිවතුන් අතර සිටින තාක් කල් නබිතුමා දෙවන විවාහයක් සිදු කලේ නැත. කදිජා තුමියගේ අභාවයෙන් පසු නොයෙකුත් හේතුන් මත නබිතුමා තවත් විවාහයන් දහයක් සිදු කොට ඇත. ඔවුන් අතරින් අයිෂා තුමිය හැර සෙසු සියළු දෙනාම වැන්දඹු කාන්තාවන් වුහ.
නබිතුමාගේ මැදි වියේදී හුදකලා ජීවතය වැඩියෙන් අගය කොට ඇත. ඊට ප්‍රධාන හේතුව එකල පැවති සමාජයේ පිරිහිමය. මේ හේතුවෙන් නබිතුමා මක්කාවේ පිහිටි හිරා නම් ගුහාවට ගොස් කාලය ගත කොට තිබේ. එසේ දිවි ගෙවමින් සිටින සමයේදී එක් දිනක් ජිබ්රිල් නම් දේව දුතයා පැමිණ කුරානයේ එක් පරිච්ජෙයක් ගෙනැවිත් දී ඇත. අනතුරුව ක්‍රමක් ක්‍රමයෙන් නොයෙකුත් අවස්ථාවලදී සම්පුර්න කුරානයම පහළ විය. මේ සඳහා වසර 23 ක් ගත වී ඇත.
නබිතුමාගේ පැමිණීමෙන් පසු මිනිස් ශිෂ්ඨාචාරයේ විශාල පෙරලියක් සිදු කළේය. එතුමා වහල් වෙළඳාම අහෝසි කිරීමට පියවර ගත්තේය. දේපල උරුමයක් නොතිබුණු කාන්තාවට දේපල උරුමය ලබා දුන්නේය. දෑවැද්ද වෙනුවට ‘මහර්’ දීමනාව නියම කළේය. පිරිමින් සඳහා විවාහයට සීමාවක් පැනෙව්වේය. කාන්තාවට ගරුත්වයෙන් ඇඳිය හැකි වස්ත්‍රයක් නියම කළේය. අද වන විට බිලියන දෙකකට ආසන්න පිරිසක් ඉස්ලාම් දහම පිළිපදිති. තවද ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්වී ඇත.
By Fasy Ajward.B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.