ඉන්දික තොටවත්ත විසින් මුහම්මද් ධර්ම දුතයාණන් ව (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය හා ශාන්ථිඅ අත්වේවා) ඉතා පහත් පෙළේ අයෙකු ලෙස හුවාදක්වන්නට උත්සාහයක යෙදුනු බව අපි දුටුවෙමු. එහෙයින් එතුමා පිළිබඳ ව  ලොව විසු කීර්තිමත් ජාත්‍යන්තර මුස්ලිම් නොවන විද්වතුන්ගේ මතයන් හා එතුමා පිළිබඳ කෙටි සටහනක් පහතින් ඉදිරිපත් කරන්නට අදහස් කළෙමු. මුහම්මද් තුමාණන් පිළිබඳව ලොව මුස්ලිම් නොවන විද්වතුන්, නායකයින්, ඉතිහාසඥයින්, රාජ්‍ය පාලකයින්, ප්‍රශංසාත්මක අදහස් පළකර ඇත. එයින් කිහිපයක් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

මෙම මිනිසත්කමේ ශ්‍රේෂ්ඨතමයා පිළිබඳව මුස්ලිම් නොවන විද්වතුන්ගේ අදහස් විමසා බලමු.

මහාචාර්ය මයිකල් එච්. හාට් නමැති විද්වතා ලොව ඉපදුනු  සියලු නායකයින් පිළිබඳව ඉතා ගැඹුරු පර්ශේනාත්මක අධ්‍යයනයක නියැළී 1978 දී “The 100 : A Ranking of the Most Influential Persons in History” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. එහි දී ඔහු විසින් අංක එකට තෝරා ගනු ලැබුවේ මුහම්මද් තුමාණන්වය. එයට හේතු පහත සඳහන් අයුරින් ඔහු ඉදිරිපත් කර ඇත්තේය.

“මා විසින් මුහම්මද් තුමාව ලොව ජීවත්වූ, ජන සමාජයේ යහපතට බලපෑම් කළ නායකයින්ගේ ලැයිස්තුවේ අංක එකට තෝරා ගැනීම ඇතැමුන්ගේ ආශ්චර්යට හා ප්‍රශ්න කිරීම් වලට ලක් විය හැක. නමුත් ආගමික මෙන්ම ලෞකික ක්‍ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨ වූ සාර්ථකත්වයක් ලබා ගත් තවත් නායකයෙක් මිනිස් ඉතිහාසයේ නොමැත.”

මහාචාර්ය කේ. එස්. රාමක්‍රිෂ්න රාඕ සිය “Muhammed, The Prophet of Islam” යන කෘතියේ මෙසේ පවසයි:

“මුහම්මද්ගේ චරිතය නම් පරිමාණයට ඇතුල් වී එය සම්පුර්ණයෙන් වටහා ගැනීම ඉතා දුෂ්කර බව පෙනේ. ඇත්තෙන්ම මට ග්‍රහණය කරන්නට ලැබුණේ ඉන් බිඳක් පමණි. එය කෙතරම් මනස්කාන්ත සිද්ධි මාලාවක එකතුවක්ද? වරෙක දෙවිඳුන්ගේ යටහත් දුතයෙක් එතුමා තුළින් පිළිබිඹු වෙයි. මොහොතින් එතුමා වීර සෙන්පතියෙකි. විටෙක ඔහු වෙළෙන්දෙකි. සැණින් එතුමා රාජතාන්ත්‍රිකයෙකි, කථිකයෙකි, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙකි. තවත් විටෙක එතුමා අනාථයින්ගේ රැකවලෙකි. වහලුන් නිදහස් කරන්නට වෙර  දරන්නෙකි. ස්ත්‍රීන්ගේ ගැලවුම්කරුවෙකි. විනිසුරුවෙකි. සැදැහැවත් පුද්ගලයෙකි. එපමණක් නොව මෙම චරිත සියල්ලේම එතුමා එක හා සමාන කතානායකයෙකි.”

දාර්ශනිකයෙකු වූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ඔහුගේ “The Genuine Islam” නම් 1936 දී ලියු පොතේ අදහස් දක්වමින්:

“එතුමා මිනිස් වර්ගයාගේ ගැලවුම්කරුවා යැයි අමතනු ලැබිය යුතුය. එතුමා වැනි පුද්ගලයෙකු මෙම ලෝකයේ අධිරාජයා බවට පත් වුවහොත් වර්තමාන ලොව මුහුණ පා සිටින සියලුම ගැටලු  වලින් එතුමා ලොව මුදවා, ලොවට අද අත්‍යවශ්‍ය වී ඇති සාමය හා සතුට ගෙනෙනු ඇත යැයි මා තරයේම විශ්වාස කරමි. ලොව මෙතෙක් පා තබා ඇති විශිෂ්ටතම පුද්ගලයා එතුමාය. එතුමා දහමක් දෙසුවේය. රාජ්‍යයන් ස්ථාපිත කළේය. ජාතියක් ගොඩ නැගුවේය. ගුණ යහපත් බවට නව මුහුණු වරක් ඉදිරිපත් කළේය. අලුත් දේශපාලනමය හා සමාජයීය ප්‍රතිසංස්කරණයන් ආරම්භ කළේය. ප්‍රබල හා ක්‍රියාශීලී සමාජයක් ගොඩ නැගුවේය. එම සමාජය මුහම්මද්ගේ දෙසුම් සියල්ල ක්‍රියාවට නංවමින් ඒ සියල්ල ප්‍රායෝගික බව ලොවට සනාථ කරමින් සිටින අතර, සදාකල් පවතින සේ මනුෂ්‍ය වර්ගයාගේ සිතුම් පැතුම්හි හා හැසිරීම් රටාවන් අතින් මහත් ඵලදායී පෙරළියක් ඇති කර ඇත්තේය. තිරිසන් කල්ක්‍රියා වලින්ද අඥාණයේ අඳුරෙන්ද එකිනෙකා කුළල් කා ගැනීමෙන් හා වහල් බවෙන් පෙළී ආර්ථික අහේනියේ හිණිපෙත්තේ සිටි අරාබීන්ව එයින් නිදහස් කර, සමෘධිමත් දියුණුවක් කරා උසස් කරමින් මානුෂික සානුකම්පාව හා ශ්‍රේෂ්ඨ ගුණ දම් වලින් හෙබි සමාජයක් පෙරදැරි කොට ගත් උතුම් දහමක ධජය යටතේ එතුමා ජනයාව එක්සත් කළේය. සිවුපාවුන්මෙන් ජීවත් වෙමින් සිටි මිනිස් රංචුවක් මේසා විශාල අනගිභවනීය තලයකට පත් කිරීම සඳහා එතුමන්ට ගත වුයේ දශක දෙකක කාලයක් පමණක් වීම මෙම විපර්යාසය වෙත නැණවත් ලෝකයාට ඇති වන විමතිය සිය දහස් වාරයකින් වැඩි කරනු නියතය.”

එතුමාගේ මෙම අද්විතීය ශ්‍රේෂ්ඨත්වයට හේතු විමසන ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකුවූ ලාමාර්ටිනි 1854  දී ලියු “History of Turkey”  නම් ග්‍රන්ථයේ (2 කාණ්ඩය 276 – 277 පිටුව) පහත සඳහන් අයුරින් කරුණු දක්වා ඇත.

“මිනිස් හැකියාවන් වල ශ්‍රේෂ්ඨ බව මැනිය හැකි මිනුම් දණ්ඩ ලෙස :

1. අරමුණේ විශාලත්වය

2. ඒ සඳහා ඇති පහසුකම් වල අල්ප බව හා

3. ලද ජයග්‍රහණයන් හි අති විශිෂ්ටත්වය

යනාදිය නම්, මුහම්මද් හා ඉතිහාසයේ සසඳන්නට පොහොසත් විය හැක්කේ කව්රුන්ටද? ලොව සුප්‍රකට මිනිසුන් තැනුවේ අවි ආයුධ, නීතීන් හා අධිරාජ්‍යයන් පමණි. මුහම්මද් සලිත කළේ හමුදාවන්, නීතීන්, අධිරාජ්‍යයන්, ජනයින් හා කුලපතියන් පමණක් නොවේ. එවකට ලොව තුනෙන් කොටසක් වූ මිලියන සංඛ්‍යාත ජනයින්ද, අල්තාරයන්ද, දෙවිවරුන්ද, ආගම්ද, අදහස්ද, විශ්වාසයන් හා ආත්මයන්ද මුහම්මද් විසින් සොලවා දමන ලදී. තවද ජයග්‍රහණයේදී එතුමා පෙන් වූ චාම් බව, එකම පිවිතුරු අධිෂ්ඨානයක් සඳහා මිස රාජ්‍යයන් අත්පත් කර ගැනීම මුල් කර නොගත් එතුමාගේ කැපවීම, එතුමාගේ නිමක් නැති වන්දනය, දෙවිඳුන් සමග එතුමා කළ ආධ්‍යාත්මික කථනයන්, මරණය හා මරණයෙන්ද එතුමා ලද ජය, මේ සියල්ල අපට දක්වන්නේ මුළාවක් නොව සකල මනුෂ්‍ය වර්ගයාටම යෝග්‍ය වූ නීති පද්ධතියක් ගොඩ නැගීමට එතුමාට සහාය වූ ශක්තියයි. එක් අතකින් දෙවිඳුන් කව්රුන්දැයි කියන අතර, කව්රුන් දෙවිඳුන් නොවන්නේද යන්නත් අපට එතුමා පවසයි. දාර්ශනිකයා, කථිකයා, දෙවිඳුන්ගේ නියෝජිතයා, නීති සම්පාදකයා, සටන්කාමියා, ප්‍රතිපත්තීන් ගොඩනැඟූ පුද්ගලයා, තර්කානුකුල සංකල්පයන් ස්ථාපිත කළ මිනිසා, පිළිම නැති දහමක් ඇති කළ නායකයා, රාජ්‍යයන් විස්සක් හා එක් ආධ්‍යාත්මික අධිරාජ්‍යයක් ගොඩ නැඟූ සෙන්පතියා, එතුමා නම් මුහම්මද් වේ. මිනිස් හැකියාවන් මැනිය හැකි සියලුම මිනුම් උපයෝගී කිරීමෙන් පසු මුහම්මද් ට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් තවත් විසුවේ දැයි අපට නොබියව ඇසිය හැක. මුහම්මද් ආගමික ගුරුවරයෙක් විය, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙක් විය, යහපත් මඟ පෙන්වන්නෙක් විය, දක්ෂ පාලකයෙකු විය. එතුමා කුළුපග මිතුරෙකු, අගනා සගයෙකුද, හොඳ පියෙකු, ආදරවන්ත සැමියෙකු යනාදී මෙම සියලු චරිත වල අති උත්තරීතර සම්මිශ්‍රණයක් විය. එතුමාගේ මෙම ගුණාංග වලින් එකක් හෝ මෙතරම් රමණීය ලෙස පිහිටි එකම පුද්ගලයෙකුවත් මුළු මිනිස් ඉතිහාසයේම නොමැති තරම්ය. මෙතරම් සුවිශාල ජයක් එතුමාට හිමි කර දුන්නේ එතුමා සතු ව තිබු අසීමිත පරාර්ථකාමී බවයි.”

මෙය ඉස්ලාමිකයෙකු නොවන ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකු වූ ලාමාර්ටිනි 1854 දී ලියු “History of Turkey”  නම් ග්‍රන්ථයේ  එතුමා පිළිබඳව සඳහන් කර තිබූ ආකාරයයි.

ශත වර්ෂ 14 කට පෙර වූ සිදුවීම් අප දැන ගන්නේ ඓතිහාසික ලේඛන මගිනි. ශ්‍රේෂ්ඨ චරිත වටා අතිශයෝක්තිය, සත්‍යයෙන් බැහැරවූ තොරතුරු ගොනු වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බව අප බොහෝ විට දැක ඇති කරුණකි. නමුත් මුහම්මද් ධර්ම දුතයානන්ගේ (නබිවරයාගේ) ජීවිතයේ සියලු තොරතුරු ඉතා නිවැරදිව හා නිසියාකාරව ලේඛන ගත ව තිබීම අද දින අප කරණ මෙම සාකච්ඡාව වඩාත් අර්ථ ගැන්වීමට හේතු සාධක වී ඇත.

මුහම්මද් නබිතුමාගේ චරිතාපදානය සකස් කළ කිතුනු කන්‍යා සොයුරියක්ව සිටි ප්‍රසිද්ධ ලේඛිකාවක් වූ කැරන්  ආම්ස්ට්‍රෝං මෙනවියගේ (Muhammed – A Prophet for our Time) “මුහම්මද් – අපගේ යුගය සඳහා වූ නබි වරයෙක්” යන ග්‍රන්ථයේ ප්‍රස්තාවනාවට සපයා ඇති තොරතුරු වලින් බිඳක් ඔබගේ අවධානයට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“මුහම්මද් නබි තුමාගේ ජීවිතය පිළිබඳව ලියු පළමු මුස්ලිම් ඉතිහාසඥයින් වන්නේ මුහම්මද් ඉබ්න් ඉෂාක් (ක්‍රි. ව. 767) මුහම්මද් ඉබ්න් උමර් අල් වකීදී (ක්‍රි. ව. 820) මුහම්මද් ඉබ්න් සාද් (ක්‍රි. ව. 845) සහ අබු ජරීර් අල් තබාරී (ක්‍රි. ව. 923) යන අයය. මෙම ඉතිහාසඥයින් තමන්ගේ මතකයන් හා හැඟීම් මත පමණක් විශ්වාසය නොතබා, සැබෑ ඵෙතිහාසික පුනර්නිර්මාණයක නියැලුණහ. ආරම්භක වකවානුව ට අයත් ලේඛන හා වාචික සාක්ෂි එහි මුලාශ්‍රයන් දක්වා විමසා, නිවැරදි ලෙස සොයා බලා කරුණු අන්තර්ගත කළහ. මුහම්මද් තුමා කෙරෙහි දෙවිඳුන්ගේ නබි වරයා වශයෙන් ඔවුන්ගේ සිත් තුළ අති විශාල ගෞරවයක් තිබුණද, ඔවුන්ගේ ලේඛන සහමුලින්ම විවේචනයෙන් තොර වුවක් නොවීය. ඔවුන්ගේ මෙම අවංක උත්සාහය නිසා ලොව අනිකුත් ප්‍රධාන ආගම් කර්තෘ වරුන් සම්බන්ධ ව ඇති තොරතුරු වලට වඩා නිවැරදි තොරතුරු මුහම්මද් තුමා සම්බන්ධයෙන් අපි දන්නෙමු. මෙම ආරම්භක මුලාශ්‍රයන් ඕනෑම අයෙකුට මුහම්මද් තුමා පිළිබඳව චරිතාපදානයක් ලිවීමේදී කිසිසේත්ම නොසලකා හැරිය නොහැක” (14 වන පිටුව)

කැරන්  ආම්ස්ට්‍රෝන්ග් මෙනවිය මෙයින් දන්වා සිටින්නේ නුතනයේ මුහම්මද් තුමා සම්බන්ධව ඇති තොරතුරු ආරම්භක කාලයේ සිටම නිවැරදිව ලේඛන ගත කොට සුරක්ෂිතව පවතින බවය. කිසිවෙකුගේ මනඃකල්පිතයන්ට මෙහි කිසිසේත්ම ඉඩක් නොමැති බව ඇය සාක්ෂි දරන්නීය. මෙවන් තත්ත්වයක් අනෙකුත් ආගමික නායකයින් සමබන්ධව නොමැති බවද ඇය අදහස් ඉදිරිපත් කරන්නීය.

එවකට පැවති සමාජ පසුබිම

මුහම්මද් තුමාණන් ඉපදුන යුගයේ එම සමාජයේ ස්වභාවය පිළිබඳව තොරතුරු අල්පයක් විමසා බැලීම වැදගත් යැයි සිතන්නෙමු. ගෝත්‍රික සමාජයක්වූ එහි ගෝත්‍ර අතරේ ඉතා සුළු සිදුවීම්, ජීවිත රාශියකගේ විනාශයට හේතු වන වර්ෂ ගණනාවකට ඇදීයන ගෝත්‍රික ගැටුම් බවට පත්වීම, ගැහැනු දරුවන් පණපිටින් වළලා දැමීම, දුප්පතුන්ව හා ගෝත්‍රයන්ට සම්බන්ධ නොවුවන්ව අසීමිත ලෙස දුෂ්කරතාවන්ට පත් කිරීම, සුරාව, ලිංගික අපචාරය, අසීමිත ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීම වැනි භයානක සමාජ දුරාචාරයන්ගෙන් පිරුණු එකක් විය.

මෙම තත්ත්වය ඉතා තියුණු ආකාරයකින් විස්තර කරන අයුරු ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Edward Gibbon)  විසින් වෙළුම් අටකින් ලියන ලද (Decline and Fall of the Roman Empire) එනම් “රෝම අධිරාජ්‍යයේ පිරිහීම හා විනාශය” යන අරුත ඇති ග්‍රන්ථයෙන් උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්තවු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජීවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින්ම මිනිස් වෙස් ගත් තිරිසන් පිරිසක් පමණකි.”

මෙවන් වූ මිනිස් සමාජයක් එලෙස අතහැර දැමීම දෙවිඳුන්ගේ සැලැස්ම නොවන බව ඉන් පසු ඇති වූ සිදුවීම් වලින් මනාව ඔප්පු වෙයි. අල් කුර්ආනය පහළ වීමට පෙර තිබු සමාජ යථාර්ථයයි ඉහතින් විස්තර කරනු ලැබුවේ. අල් කුර්ආනය පහළ වීමෙන් පසු එනම් මුහම්මද් තුමාව දෙවිඳුන්ගේ අවසාන පණිවිඩය මිනිස් වර්ගයා වෙත දැන්වීමේ ධර්ම දුතයා  ලෙස පත් කොට එමගින් සිදු වූ සමාජ විප්ලවය තවත් ඉතා ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් On Heroes, Hero-Worship, and The Heroic in History නමින් පොතක් පළ කරමින් අල් කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයාගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන්  උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“ඉතා පහත්, ම්ලේච්ඡ තත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාටම අන්ධකාරයේ සිට ආලෝකයට එන මඟ එළි පෙහෙළි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බවට මුහම්මද් විසින් මේ ජනයාව පත් කරවන ලදී. ලොව බිහිවු දා සිට කිසිවෙකුගේ අවධානයට ලක් නොවී කාන්තාරයේ තැන් තැන්වල තාවකාලිකව ජීවත් වෙමින් සිටි දුගී එඬේර ජන සමාජය, ඉතා කෙටි කාලයක් තුළ ලොව සැමගේ අවධානය දිනාගන්නට සමත් වූ අතර  ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නටද සුදුසුකම් උරුම කර ගත්තේය.”

වැදගත් ඉගැන්වීම් කිහිපයක්

ගැහැනු දරුවන් ව පණපිටින් වළලා දැමු, එමෙන්ම ස්ත්‍රියව ලිංගික භාණ්ඩයක් ලෙස සැලකු පුර්ව ඉස්ලාමීය අරාබි සමාජය, ඉස්ලාමීය ඉගැන්වීම් සමග නබි තුමාණන්ගේ නායකත්වයෙන් හා මඟ පෙන්වීමෙන් කාන්තාවට සමාජයේ ගෞරවනීය ස්ථානයක් ලබා දුන්නේය. ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව තමාගේ සියලු දරුවන්ට සමාන ලෙස ආදරය දක්වන ලෙස නබි තුමාණන් උපදෙස් දුන්නේය. ගැහැනු දරුවන් පණපිටින් වළලා දැමු සමාජය වෙත, තමාගේ ගැහැනු දරුවන් දෙදෙනෙකුව ආගමානුකුලව, සදාචාර සම්පන්නව හදා වඩා යහ අයුරින් විවාහ කර දුන්නේ නම් ස්වර්ගයේ භාග්‍යය ලැබීමට මෙය හේතු වන බව දේශනා කළේය. දේපළ අයිතිය හා දේපළ ආවේණිකව උරුම කර ගැනීමේ අයිතිය ස්ත්‍රීන්ට ලබා දුන්නේය. දැනුම ලබා ගැනීම එනම් අධ්‍යාපනය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම වගකීම බවට පත් කළේය. බිරියගේ ධනය ඇගේ අනුමැතියෙන් තොරව පවුලේ නඩත්තුව සඳහා වියදම් කිරීම තහනම් කළේය. පවුලේ වගකීම සහමුලින්ම පුරුෂයා වෙත පවරා ඇයට පරිපුර්ණ ආර්ථික නිදහස සහතික කළේය. ගැහැනු දරුවෙකුව ඇගේ කැමැත්ත හා අනුමැතියෙන් තොරව විවාහ කර දීම තහනම් කළේය. විවාහය මෙන්ම දික්කසාදය පිළිබඳවද ඇයට පුර්ණ අයිතිවාසිකම් ලබා දෙන ලදී. පුරුෂාධිපත්‍යය පැවති සමාජයේ, මාතෘත්වයට උපරිම ශ්‍රේෂ්ඨත්වය ලබා දුන්නේය. තමාට වඩාත් සමීප සම්බන්ධතාවක් පවත්වා ගැනීමට වඩාත්ම සුදුස්සා කව්රුන්දැ යි විමසු විට තෙවරක්ම පවසා සිටියේ එයට වඩාත්ම සුදුසු තමාගේ මව බවය. හතර වන වතාවට විමසු විටයි තමාගේ පියා බව පවසා සිටියේ. මෙයින් පියාගේ වැදගත්කම හෑල්ලුවට ලක් කිරීමක් සිදු කිරීම අපේක්ෂාව නොවන අතර මවගේ වැදගත්කම හා ගෞරවය ඉස්මතු කර පෙන්වීම බව අප අදහස් කර ගත යුතු වන්නේය. දෙවිඳුන්ගේ තෘප්තිය පියාගේ තෘප්තිය මත රැඳී ඇතැයි පැහැදිලිවම වරක් එතුමාණන් ප්‍රකාශ කර සිටියේය.

කුඩා දරුවන් සම්බන්ධව එතුමාණන් කටයුතු කළ ආකාරය අප සැමට ඉතා අලංකාර පුර්වාදර්ශයක්ව පවතී. දිනක් ගමනක් යමින් සිටි නබි තුමාණන්ට තම සුරතල් කුරුල්ලා මිය යෑම හේතුවෙන් දුකට පත් වී සිටි දරුවෙකු දකින්නට හැකි විය. එතුමාණන් තම ගමන නවතා මෙම දරුවාගේ දුක ඉවත් කොට ඔහු ව සතුටට පත් කිරීමට කාලය මිඩංගු කරමින් කටයුතු කළේය. වැඩිහිටියන්ට ගෞරව නොකරන්නාත් කුඩා දරුවන්ට ආදරය නොකරන්නාත් තමන්ගේ පිළිවෙතට සම්බන්ධ නොවූවන් බව එතුමාණන් ප්‍රකාශ කර සිටියේය. මෙයට පෙර සඳහන් කළාක් මෙන් තමන්ගේ සියලු දරුවන්ට කිසිම වෙනස්කමකින් තොරව සමසේ ආදරය කරන ලෙස දෙමව්පියන්ට උපදෙස් දුන්නේය.

වහල් වෙළඳාම, වහල් මෙහෙය ධනවත් හා ප්‍රභූ පැළැන්තිය බුක්ති විඳි සමාජ වරප්‍රසාදයක් ලෙස සැලකු යුගයක වහලුන් නිදහස් කිරීම සඳහා ඉස්ලාමය අනුගමනය කළ පිළිවෙත සැමගේ ප්‍රශංසාවට ලක් වුවකි. ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා ආගමික අධ්‍යයන අංශයේ සහායක මහාචාර්ය ජොනතන් බ්‍රොකොප් මහතා පවසන අන්දමට සමාජ ව්‍යුහයේ ව්‍යාකුලත්වයක් ඇති නොකොට සමහර පාපයන්ට ප්‍රතිකර්මයක් ලෙස මෙන්ම දානමය මුදල් වහලුන් නිදහස් කිරීමට යෙදවීම පිළිබඳව ඇති ඉස්ලාමීය ඉගැන්වීම සැබැවින්ම අද්විතීය එකක් බවය. වහල් කමින් නිදහස් වූ බිලාල් ඉබ්නු රබාහ් තුමාව ඉස්ලාමීය සමාජයේ ඉතාම උසස් අයෙකු ලෙස ගෞරව ලැබීමටද ආගමික මෙන්ම රාජ්‍ය පාලන කටයුතු වල උසස් වගකීම් දරන්නටද තෝරා ගන්නා ලදී. වරක් අබුමසුද් අල් බද්රි නැමැත්තෙක් තමාගේ වහලාට නිර්දය ලෙස පහර දෙනවා දුටු නබිතුමාණන් ‘මෙම වහලා කෙරෙහි ඔබ සතු බලය හා හැකියාවට වඩා දෙවිඳුන්ට ඔබ කෙරෙහි බලය හා හැකියාව ඇති බව’ පවසා සිටියේය. අබුමසුද් අල් බද්රි නබි තුමාණන්ගේ මෙම වදන් ඇසු විගසම දෙවිඳුන්ගේ තෘප්තිය උදෙසා මෙම වහලාව නිදහස් කරන බව පවසා සිටියේය.

නබි තුමාණන් මිනිස් අයිතිවාසිකම් මෙන්ම අනෙකුත් සතුන්ගේ හා පරිසරය සුරැකීමේ වගකීම පිළිබඳවද මනුෂ්‍ය වර්ගයාව දැනුවත් කළේය. සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස් වූ එකක් බව අප සැවොම හොඳින් දන්නා සත්‍යයකි. මිහිතලය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා නිර්මාණය කර ඇති බවද එහි පාලකයා හා භාරකාරයා ලෙස ද ඔහු ක්‍රියා කරන බවද මෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති සත්‍යයකි. මෙම සුවිශේෂී හැකියාව මිනිසාට නොලැබී තිබුනා නම් මිහිතලය මත සිදුවී හා සිදුවෙමින් පවතින අදහාගත නොහැකි වෙනස්වීම් දකින්නට අපට අවස්ථාව නොලැබී යන්නට ඉඩ තිබුණි. අල් කුර්ආනය මෙම අදහස ඉතා අලංකාර ලෙස පැහැදිලි කර තිබෙන අයුරු බලමු.

“ඔහුමය (අල්ලාහ්මය) ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට)  උරුමක්කාරයින් බවට පත් කෙරුවේ.” (අල් කුර්ආන් 35:39)

මෙයින් පැහැදිලි වන්නේ පරිසරය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කර ගැනීමට හැකියාව හා අයිතිය ඔහුට ලැබී තිබෙන බවය. නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත් හි දරා ගෙන පරිසර විනාශයකට තුඩු දෙන ආකාරයේ කිසිදු ක්‍රියාවකට ඉස්ලාමය අනුමැතිය දී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය.

“මිනිසුන්ගේ දෑත් වලින් උපයා ගත් (සිදු කළ) දෙයින් මිහිතලයේ හා සාගරයේ දුෂණය (කලහකම්) දෘශ්‍යමානවී ඇත. ඔවුන් ආපසු හැරී (යහ මඟට) එනු පිණිස (අල්ලාහ්) ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් කොටසක් භුක්ති විඳින්නට ඉඩ හරිනු ඇත” (අල් කුර්ආන් 30:4)

“අප මිහිතලය ව්‍යාප්ත කර, එහි නොසෙල්වන හා ස්ථාවර කඳු ස්ථාපිත කළෙමු. තවද (එහි) සියලු දැය නිසි ප්‍රමාණයන්ගෙන් හට ගැන්වුයෙමු” (අල් කුර්ආන් 15:19)

“ගසක් සිටු වීමෙන් හෝ බීජ වැපිරීමෙන් එහි ඵලය කුරුල්ලන්, සතුන් හෝ මිනිසුන් අනුභව කරන්නේ නම් එය ඔහුට දන් දීමේ යහ විපාක ගෙන දෙන්නක් වන්නේය (නබි වදන් – ග්‍රන්ථය බුහාරි)

“කිසිවෙකුට අයත් නැති ඉඩමක් යමෙක් වගා කරෙන්නේද, ඔහුට එම ඉඩමට අයිතිය කියා පෑමට උරුමකම් ඇත්තෙක් වන්නේය” (නබි වදන් – ග්‍රන්ථය බුහාරි)

එක තැන රැඳුනු ජලය මත හා මිනිසුන්ට සෙවණ ලබා දෙන ගස් යට මුත්‍රා කිරීමෙන් වළකින ලෙස එතුමාණන් උපදෙස් දුන්නේය.

වයෝවෘධයෙක් ගසක් සිටුවා එයින් ඵල බුක්ති විඳින්නට මේලොවේදී නොහැකි වුවද, එම ගසින් බුක්ති විඳින්නන් හේතුවෙන් ඔහුට මරණින් පසුත් කුසල් ලැබෙන බව එතුමාණන් ප්‍රකාශ කර සිටියේය.

මෙවන් ඉගැන්වීම් රාශියක් ඇති අතර මේ සියල්ලෙන් අපේක්ෂා කරන්නේ මිනිසා පරිසරය සුරැකීමේ වගකීම දරන්නා බවත්, එය නිසි ලෙස කළමනාකරණය කොට මතු පරපුරට සුරක්ෂිත කර දීමේ වගකීමද ඔහු වෙත පැවරී ඇති බවත්ය.

සත්ව ප්‍රජාව පිළිබඳවද නබි තුමාණන්ගේ හා අල් කුර්ආනයේ ඉගැන්වීම් විමසා බැලීම මෙම අවස්ථාවේදී වැදගත් යැයි සිතමි.

“සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.” (මිෂ්කාත් අල් මසාබිහ් – 3:1392)

සියලු සත්වයින් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ වැදගත්ම ඉගැන්වීමක් වන්නේය. මේ පිළිබඳව බුහාරි හා මුස්ලිම් හදීස් ග්‍රන්ථයන්හි සඳහන් මුහම්මද් නබි තුමාණන්ගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේව) ප්‍රකාශයක් විමසා බලමු.

 “මෙයට පෙර ජීවත් වූ නබි වරයෙක් ව කුහුඹියෙකු දෂ්ට කිරීමෙන් ඇති වූ කෝපය හේතුවෙන් සියලු කුහුඹි තුඹස් පුලුස්සා විනාශ කරන්නට එම නබි වරයා උපදෙස් දීම නිසා දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත් වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටිය මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”. (බුහාරි – 3072)

ඉහත කරුණු වලින් පැහැදිලි වන්නේ සත්වයින් ඇතුළු පරිසරයේ පාලනය හා ප්‍රයෝජනය මිනිසාට හිමි වී තිබුණද එය ඔහු විසින් යුක්තිය හා සාධාරණය මත පදනම් වූ දෙවිඳුන්ගේ ඉගැන්වීම් අනුව ඉටු කළ යුතු බවය. ඉස්ලාමයේ සත්ව කරුණාව පිළිබඳව ඇති ඉගැන්වීම් සියල්ල විස්තර කරන්නට මෙම ලිපියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳව තවත් කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරන්නෙමු.

සතුන් සම්බන්ධව හිංසනය, කෘරත්වය හා දැඩිභාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහර දීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නා වූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිට මත නිකරුනේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුලු කුඩු වලින් පැටවුන් අරගැනීම, මවගෙන් පැටවුන් ඈත් කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත. සතුන්ට කරන්නා වූ හිංසනයන් දුටු විට එතුමාණන් එම සතුන්ගේ අයිතිකරුවන් හමු වී “සතුන්ට යහ අයුරින් සලකන්න. උන්ට කරන්නා වූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව සහිහ් මුස්ලිම් හදීස් ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන් කොට ඇත. සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් විදීමද වෙඩි තැබීමද තහනම් කොට ඇත. සතුන්ට උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන්නා වූ කර ඇඹීම ද ඉස්ලාමය තහනම් කර ඇත.

සතුන්ට කරුණාව දැක්වීමේ යහ ආනිසංසද ඉස්ලාමීය ඉගැන්වීම් තුළ විශාල වශයෙන් අපට දක්නට හැකිය. එක් උදාහරණයක් දෙස අපගේ අවධානය යොමු කරමු.

“පිපාසයෙන් පීඩිතව මිය යන්නට ආසන්නව සිටි බල්ලෙකු සම්බන්ධව එක් පව්කාර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ළිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම බල්ලාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියලු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබා දුන් බව නබිතුමාණන් පවසා ඇත.” (බුහාරි හදීස් ග්‍රන්ථය 3208)

එලෙසම සතුන්ට කරන්නා වූ හිංසනයන්ට දුන්නා වූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළකී ජීවත් වීම සඳහා වූ අවවාදයක් ලෙසිනි.

“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසා තබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර සොයා ගන්නට ද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදු වූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය” (බුහාරි 4:54:535).

ඉහත අල් කුර්ආන් වැකි හා නබි වදන් අපට මතක් කර දෙන්නේ පරිසරය මිනිසාගේ භාරකාරත්වයේ පවතින්නක් වන හෙයින්, ඔහු එහි යහ පැවැත්මට වගකීම් දැරිය යුතු බවය. අවාසනාවට, මිනිසාගේ දෑත් විසින් සිදුකරන්නා වූ නොමනා ක්‍රියා මගින් මිහිතලයේ හා සාගරයේ නොසන්සුන්තාවන් ඇති වී තිබෙන බවද අපට මතක් කර දෙන්නේය. මිහිතලය උණුසුම්වීම හා දේශගුණික වෙනස්වීම් අද අප අත් විඳින්නේ මෙම වැරදි ක්‍රියාකාරකම් නිසා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එක් පරම්පරාවක් තුළ සිය ජීවිත කාලයේදීම එතුමාණන් සාර්ථක ලෙස එම විශ්වාසය ගොඩ නගමින් අරාබිකරයේ ජනතාවට යහපත් සංස්කෘතියකට මඟ පෙන්වූයේය. වඩාත් නිහතමානී ජීවිතයක් ගෙවූ එතුමාණන්, මා දෙවිඳුන්ගේ සේවකයෙකි, මා එක් ගුරුවරයෙක් පමණි යැයි පැවසුහ. ශ්‍රමණ, තාපස, බ්‍රහ්මචාරී හා අනගාරික ජීවිතයක් අනුගමනය කිරීමෙන් තම අනුගාමිකයින් ව වැළක්වීය. දේව සවිඤාණකත්වයෙන් යුත් යහකමින් පිරුණු ගිහි ජීවිතයකට ඔවුන්ව දිරිගැන්වීය. එතුමාණන්ගේ ඉගැන්වීම් වලින් බිඳක් විමසා බලමු. නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “තමා හරි වුවද එය වෙනුවෙන් කලහකම් කර ගැනීමෙන් වැළකී සිටින පුද්ගලයාට ස්වර්ගය අවට නිවසක් ලබා දෙන බවටද, විහිළුවකට හෝ බොරුවක් නොකියන පුද්ගලයාට ස්වර්ගය මැද නිවසක් ලබා දෙන බවටද, තම චරිතය යහපත්ව තබා ගන්නා පුද්ගලයාට ස්වර්ගයේ ඉහළම කොටසේ නිවසක් ලබා දෙන බවටද මම සහතික වන්නෙමි.” (සුනාන් අබු දාවුද්)

නබි මුහම්මද් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ සාමය අත්වේවා) තුමාණන් මෙසේ පැවසුහ: “(තමන්ට කරනු ලබන උපකාරයන් වෙනුවෙන්) මිනිසුන්ට ස්තුති කිරීමට පසුබට වන්නා අල්ලාහ්ටද ස්තුති වන්ත වීමට පසුබට වන්නෙකි” (අහමද් සහ අත්තිර්මිදී)

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “පහත සඳහන් ගුණාංග හතර ඔබට තිබේ නම් ඔබට ලොවෙහි කිසිවිටෙකත් අලාභයක් ඇති නොවන්නේය. ඔබගේ භාරකාරත්වයේ තබන ලද දෑ රැකගැනීම, කථාවෙහි සත්‍යවාදී වීම, අලංකාර වූ හා යහපත් හැසිරීම, ආහාර අනුභවයෙහි මධ්‍යස්ථභාවය එම ගුණාංගයි” (අහමද් සහ බයිහාකි)

නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “කරුණු පහක් හට ගන්නට පෙර කරුණු පහකින් ප්‍රයෝජන ලබා ගන්න. මහලු විය ඇති වන්නට පෙර තරුණ වියෙන් ප්‍රයෝජන ලබා ගන්න. රෝගී වීමට පෙර ශරීර සුවයෙන් ප්‍රයෝජන ලබා ගන්න. දිළිඳු බව ඇති වන්නට පෙර ඔබගේ ධනයෙන් ප්‍රයෝජන ලබා ගන්න. කාර්ය බහුල වන්නට පෙර විවේක කාලයෙන් ප්‍රයෝජන ලබා ගන්න. මරණයට පෙර ජීවිතයෙන් ප්‍රයෝජන ලබා ගන්න”.    නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පැවසුහ: “(මරණින් මතු) අවසාන විනිශ්චය දිනයෙහි අල්ලාහ් අසන ප්‍රශ්න පහකට පිළිතුරු දෙන තෙක් අල්ලාහ්ගේ කිසිම ගැත්තෙකුට (මනුෂ්‍ය වර්ගයාට) තමා සිටි තැනින් පය ඔසවන්නට හැකි වන්නේ නැත. ඔහුගේ ආයු කාලය, ඔහු එය කෙසේ ගත කළේද? ඔහුගේ දැනුම, එයින් කෙතරම් තම ජීවිතයේ ක්‍රියාකාරකම් බවට පත් කර ගත්තේද? ඔහුගේ ධනය, එය තමා කෙලෙස උපයා ගත්තේද? එය කෙලෙස වියදම් කළේද? ඔහුගේ ශරීර සුවය, එය කෙලෙස තමා ප්‍රයෝජනයට ගත්තේද? (යනාදිය එම ප්‍රශ්න 5 වේ) (මුස්ලිම්)

නබි මුහම්මද් (සල්ලල්ලාහු) තුමාණන් මෙසේ පැවසූහ. “යහපත් කීකරු දරුවෙකු ඔහුගේ දෙමව්පියන් දෙස කාරුණිකව බලන සෑම විටම පිළි ගනු ලැබූ හජ් වන්දනයකට ලැබෙන කුසලට සමාන කුසලක් අල්ලාහ් ඔහුට පිරිනමන්නේය”. (මුස්ලිම්)

නබි මුහම්මද් (මහා කාරුණික දෙවිඳුන්ගේ සාමය එතුමා කෙරෙහි අත්වේවා) තුමාණන් මෙසේ පැවසූහ. “ඉතාමත්ම අංගසම්පූර්ණ විශ්වාසිකයා කවුරුන්දයත් ඔහුගේ ගතිගුණ යහපත් වූ තැනැත්තාය. ඔබගෙන් විශිෂ්ඨතම පුද්ගලයා කවුරුන්ද යත් සිය බිරිය සමග කාරුණිකව හැසිරෙන්නාය.” (අත් තිර්මිදි)

නබි මුහම්මද් (මහා කාරුණික දෙවිඳුන්ගේ සාමය එතුමා කෙරෙහි අත්වේවා) තුමාණන් මෙසේ පැවසූහ. “තවත් කෙනෙකුට යහක්‍රියාවක් කිරීමට උනන්දූ කරවන්නාටද එම ක්‍රියාව කරන්නාට සමාන යහ විපාක ලැබෙනු ඇත”. (මුස්ලිම්)

නබි මුහම්මද් (මහා කාරුණික දෙවිඳුන්ගේ සාමය එතුමා කෙරෙහි අත්වේවා) තුමාණන්ගේ භාර්යාවක් වූ ආයිෂා තුමිය මෙසේ පැවසූවාය. “නබි තුමාණන්ගේ පාවහන් තමන්ම අලුත්වැඩියා කර ගන්නේය. එතුමන්ගේ ඇඳූම් තමන්ම මසා ගන්නේය. නිවසේ වැඩද අන් සැවොම කරන්නාක් මෙන් එතුමන්ද කරන්නේය.  එතුමන් හැසිරුණේ සාමාන්‍ය කෙනෙකු මෙනි. තමන්ගේ ඉරුණු ඇඳූම් එතුමන්ම මසා ගන්නා අතර එළුවන්ගෙන් කිරි දෙවීමද එතුමන්ම කරමින් නිවසේ සියලුම වැඩ වල එතුමන්ද නිරත වන්නේය.”  (අත්තිර්මිදි)

ආයිෂා තුමිය මෙසේ පැවසූවාය. “නබිතුමන්ගේ දියණිය ෆාතිමා තුමිය නිවසට පැමිණෙන විට නබි තුමන් හුන් අසුනින් නැඟිට සිට ඇය සිප පිළිගෙන ඇයට අසුනක් පිරිනමනු ඇත. නබිතුමන් මරණාසන්නව ඔත්පළ වී සිටි විට ෆාතිමා තුමිය පැමිණි විට නබිතුමන් ඇය පිළිගෙන සිප ගත්තේය”.  (අල් බුහාරි සහ මුස්ලිම්)

“මිනිසෙකු පැමිණ ‘අල්ලාහ්ගේ දුතයාණෙනි! මගේ දෙමව්පියන් මරණයට පත් ව මගෙන් වෙන් වී ගිය පසු ඔවුන් වෙනුවෙන් මට කළ හැකි කිසිවක් තිබේදැ’ යි නබි තුමාණන්ගෙන් ඇසුවේය. එයට පිළිතුරු දූන් නබි මුහම්මද් (මහා කාරුණික දෙවිඳුන්ගේ සාමය එතුමා කෙරෙහි අත්වේවා) තුමාණන් මෙසේ පැවසූහ, එසේය ඔබට කළ හැකි කරුණු හතරක් ඇත. ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම, ඔවුන්ට පාපක්‍ෂමාව ලබා දෙන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටීම. ජීවතුන් අතර සිටි විට ඔවුන් විසින් කරන ලද පොරොන්දූ ඉටු කිරීම. ඔවුන්ගේ මිතුරන් හට ගෞරවාදරය දැක්වීම. තමන්ගේ ඥාතීන් සමග සම්බන්ධතාවන් පවත්වා ගෙන යාම. ඔවුන් නොමැති නම් ඔබට ඥාතීන් යැයි කිසිවෙකු සිටිනු නොමැත.”    (අල් බුහාරි)

“අබ්දූල්ලාහ් ඉබ්නු හාරිත් මෙසේ දන්වා සිටියි. නබි මුහම්මද් (මහා කාරුණික දෙවිඳුන්ගේ සාමය එතුමා කෙරෙහි අත්වේවා) තුමාණන් තරම් නිතර සිනහ මුසු මුහුණින් සිටි තවත් කෙනෙකුව මා දැක නැත.” (අත්තිර්මිදී)

“නබි මුහම්මද් (මහා කාරුණික දෙවිඳුන්ගේ සාමය එතුමා කෙරෙහි අත්වේවා) තුමාණන් මෙසේ පැවසූහ. වියදම් කිරීමෙහි චාම් බවක් අනුගමනය කිරීම, දිවි පෙවතෙන් අඩකි.” (බයිහකී)

“නබි මුහම්මද් (මහා කාරුණික දෙවිඳුන්ගේ සාමය එතුමා කෙරෙහි අත්වේවා) තුමාණන් මෙසේ පැවසූහ. උඩඟුකමින් ණය බරින් සහ වංචාව යනාදියෙන් තොරව මරණයට පත් වන්නෙක් නිශ්චය වශයෙන්ම ස්වර්ගයට ඇතුල්වනු ඇත”.  (අද් දාරිමීල ඉබ්නු මාජා සහ අත් තිර්මිදි)

එතුමාගේ චරිතයේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව අල් කුර්ආනය මගින් දෙවිඳුන් පවසන කරුණුද ඔබවෙත ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“සැබවින්ම, (මුහම්මද් නබිවරය) ඔබ ශ්‍රේෂ්ඨ වූ යහ චර්යාවන්ගෙන් යුක්තව සිටින්නේය” (අල් කුර්ආන් 68:04)

අන්තර් ආගමික ක්‍රියාකාරකම්

මුස්ලිම් නොවන්නන් සමග නබිතුමාණන් ඔවුන්ගේ ආගමික, සමාජයීය හා ආර්ථික අයිතිවාසිකම් සුරැකෙන පරිදි නිරන්තරයෙන් කටයුතු කොට ඇත. නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණි කිතුනු ආගමික නියෝජිතයින්ට මදීනාවේ තමන්ගේ මස්ජිදයේ නවාතැන් පහසුකම් සලසා දී ඔවුන් ගේ සියලු අවශ්‍යතාවන් සපයා දී, ඔවුන් සමග දින කිහිපයක සාකච්ඡාවකට සහභාගි වුයේය. අවසානයේදී ඔවුන් සමග එළඹුණු සම්මුතියට අනුව ඔවුන්ගේ දහම පිළිබඳ නිදහස සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ආගමික ස්ථාන හා පුජකයින් හට කිසිම ආකාරයක හානියක් ඇති නොවන පරිදි කටයුතු කරන්නට ගිවිසුමකටද එළැඹුණේය. මදීනා නගරයට මක්කාහ්වේ සිට දෙශාන්තරණය කළ විගස එහි ජීවත් වූ මුස්ලිම් යුදෙව් කිතුනු හා බහු දේව වාදීන් ආදී සියල්ලන්ගේ ආගමික හා සමාජයීය අයිතිවාසිකම් සුරැකෙන පරිදි ඉතිහාසයේ ලේඛනගත පළමු ව්‍යවස්ථාව එනම් මදීනා ප්‍රඥාප්තිය සකස් කොට එය ක්‍රියාත්මක කළේය.

පරමාදර්ශී චරිතයෙන් බිඳක්

අසල්වැසියන් සම්බන්ධව එතුමාණන් ක්‍රියාකළ ආකාරය අප සැවොම ආදර්ශයට ගත යුතු පිළිවෙතක් ව පවතී. නබි තුමාණන්ගේ අසල් වැසියෙකු වූ යුදෙව් ජාතිකයෙක් එතුමාණන් සම්බන්ධව කාරුණිකව කටයුතු නොකළ අයෙකුව සිටියේය. නමුත් දිනක ඔහු අසනීපයෙන් සිටින බව දැන ගත් නබිතුමාණන් මෙම යුදෙව් ජාතිකයාගේ සුව දුක් විචාරන්ට ඔහුගේ නිවසට පැමිණීමෙන් පසු නබි තුමාණන් පිළිබඳව තිබු වැරදි ආකල්පය සහමුලින්ම වෙනස් කර ගත්තේය. දිනපතාම එතුමාණන්ගේ ගමන් මගෙහි රැක සිටිමින් එතුමාණන්ගේ හිස මතට කුණු විසි කිරීම පුරුද්දක් කර ගත් යුදෙව් කාන්තාවක් සිටියාය. මෙම ක්‍රියාව පිළිබඳව එතුමාණන් කිසිම කෝපවීමකින් තොරව, ඉවසීමෙන් යුක්තව දරා ගනිමින් කටයුතු කළේය. දිනක් එතුමාණන්ගේ හිස මතට නියමිත ස්ථානයේදී කුණු නොවැටුණු නිසා මෙයට හේතුව කුමක්ද කියා තම මිතුරන්ගෙන් විමසු විට එම යුදෙව් කාන්තාව රෝගී වී සිටින බව දැන ගත් විගස ඇයගේ සුව දුක් විමසන්නට නබි තුමාණන් වහාම පිටත් ව ගියේය. තම නිවසට පැමිණි අසාමාන්‍ය අමුත්තා දුටු විගස එම කාන්තාව කඳුළු සලමින්, මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසෙකුටද තමා හිරිහැර කළේ කියා පවසමින් දැඩි වේදනාවට පත් වුවාය.

තමන්ට සතුරුකම් කළ අය සමගද එතුමාණන් ඉතාමත්ම කාරුණික අයුරින් කටයුතු කළේය. දිනක් මෙයට පෙර දැක නොමැති වයෝවෘද්ධ කාන්තාවක් ඇයට ඔසවන්නට නොහැකි තරම් වූ බඩු පොට්ටනියක් සමග කෝපයෙන් අයෙකුට බැණ වදිමින් සිටිනා දුටු නබි තුමාණන් ඇය කෙරෙහි ඇති කරගත් කාරුණිකත්වය හේතුවෙන් ඇයගේ බඩු පොට්ටනිය ඇයට යෑමට ඇති තැනට ගෙන ගොස් දීමට ඉදිරිපත් වුවේය. මෙසේ යමින් සිටින විටයි නබි තුමාණන්ට අවබෝධ වුයේ ඇය බැණ වදිමින් සිටියේ වෙන කිසිවෙකුට නොව තමන්ට බව. ගමන අවසානයේදී නබි තුමාණන්ට ස්තුති කළ කාන්තාව පුතේ නුඹ කව්රුන්දැයි මට තවම කිව්වේ නැතැයි පැවසු විට එතුමාණන් මුහම්මද් බව පැවසු විගසම මෙම කාන්තාව දැඩි දුකකට පත් වී එක් එක් අයගේ කීම් අසා නොදැනුවත්කම තුළ මෙවන් උතුම් කෙනෙකුටද තමන් බැණ වදිමින් පැමිණියේ යැයි පවසමින් තම ගමන නවතා ආපසු එන්නට තීරණය කළාය. තමන් පැමිණ ඇත්තේ යහකම පරිපුර්ණත්වයට පත් කිරීමට බවද වරෙක එතුමාණන් පවසා සිටියේය.

මෙයයි අපහාසයට ලක් කෙරුණු ලැබු ශ්‍රේෂ්ඨතම මිනිසා පිළිබඳ ඉතාම කෙටි හැඳින්වීම වනුයේ. අප තම දහම පිළිපදිමින් අන් දහම් කෙරෙහි ගෞරවය දක්වන පිරිසක් බවට පත්වෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *