කුරුස යුද්ධ සමයේදි, මුහම්මද් (සල්) තුමාට එරෙහිව විවිධාකාර අපවාදයන් සෙවීමෙහිලා ප‍්‍රතිවාදීහු අතිශයින් උනන්දු වූහ. නමුත් ආගම් ඉවසීමේ හා නිදහස් චින්තන සහිත නූතන යුගයේ උදාවත් සමග, මුහම්මද් (සල්) තුමාගේ ජීවන රටාව හා චරිතය විග‍්‍රහ කිරීමෙහිලා බටහිර ලේඛකයෝ නැඹුරු වූහ. ඇතැම් මුස්ලිම් නොවන වියතුන් විසින් මුහම්මද් (සල්) තුමා සම්බන්ධයෙන් දරන අදහස්, මතු සඳහන් කෙරේ. ඒ මගින්, එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයා හමුවේ තවත් තහවුරු කෙරේ.
එනමුත් මුහම්මද් (සල්) තුමා, සත්‍යය හා මනුෂ්‍යය ජාතිය වෙනුවෙන් පහළ කලා වූ අල්ලාහ්ගේ පරිසමාප්ත ශාස්තෘවරයා යන වැදගත්ම සත්‍යය වටහාගනු පිණිස බටහිර ජාතීන් තවත් පියවරක් ඉදිරියට යා යුතුය. එතුමාගේ අසහාය බව හා ශාස්තෘපදවිය අවධානයට ලක්විය යුතු කරුණකි. එහෙත් එය වටහා ගනු සඳහා බටහිර ජාතීන් අවංක හා විධිමත් වෑයමක් දරා නැත. එතුමාගේ ශ්‍රේෂ්ඨත්වය හා සාර්ථකත්වය උනුසුම් ලෙසින් පිළිගැනෙතත්, එතුමා අල්ලාහ්ගේ ශාස්තෘවරයා බව පැහැදිලි වශයෙන්ම, නො එසේ නම් විමසා නොබලා, පිටුදැකීම ඇත්තෙන්ම මවිත විය යුතු තරම් කරුණකි. ඔවුන්ගේ යටිහිත ගැන සොයා බැලිය යුත්තේත් ඔවුන් දරන අදහස් පුනරාවලෝකනය කළයුතු අවශ්‍යතාවයක් පැන නැගින්නේත් මෙහිදීය. මුහම්මද් (සල්) තුමාගේ ජීවිතය හා සම්බන්ධ ඇතැම් තොරතුරු පහත සඳහන් වේ. මේවා එතුමාගේ ශාස්තෘ පදවිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතීවූත්, තර්කානුකුලවූත්, ස්වාධීනවූත් නිගමනයකට එළෙඹිමෙහිලා උපකාරි වනු ඇත.
සතලිස් වන විය දක්වා, මුහම්මද් (සල්) තුමා පාලකයෙකු, දේශකයෙකු හෝ කථිකයෙකු වූයේ නැත. ස්වභාව ධර්මතාවය, ආගම් දහම්, නීතිය දේශපාලන හෝ සමාජ විද්‍යාව පිළිබඳ කිසිදු පිළිසඳරක යෙදී නැත. එතුමා කෙරෙහි ශ්‍රේෂ්ඨ ජීවන රටාවක්, සිත්කලූ පැවතුම්, උසස් ගුණදහම් හා ශික්ෂණයක් පැවැති බව නිසැකය. ඒ වුනත්, මතු දවස ඉමහත් පෙරළියක් සිදුකල හැකි තරම් ගැඹුරු වූ හෝ සුවිශේෂ වූ අසාමාන්‍ය ගතිලක්‍ෂණයක් එතුමා තුළ නොවීය, ඒ වූවත් නව නිවේදනයක් සහිතව හිරා ගුහාවෙන් පිටත් වූ කල, එතුමා ඉඳුරා වෙනස් වී සිටියහ. එබඳු පැවැත්මක් ඇති පුරුෂයෙකු, කඩිමුඩියේ මුසාවාදියෙකු වශයෙන් පෙරළි අල්ලාහ්ගේ ශාස්තෘවරයා වශයෙන් ආත්ම හැඳින්වීමක් කර ගනිමින්, ස්වකීය ජනතාව කුපිතයට පත්කරනු ඇත්ද? කවර හේතුවක් නිසා, එතුමා ඒසා දුක්කරදර ඉවසා දරා ගත්තේදැයි පැනයක් නැගේ. තත් ධර්මානුශාසනාවන් නතර කළේ නම්, රටේ කිරුළ පැළඳවීමටත්, සියළුම සම්පත් එතුමාගේ පාමුල ගොඩගැසීමටත් රට වැසියෝ ඉදිරිපත් වූහ. එකී ප‍්‍රබෝධවත් පඬුරු පරිත්‍යාග සියල්ල පිළිකුලෙන් ප‍්‍රතික්‍ෂෙප කල එතුමා, ඒක පුද්ගලයෙකු වශයෙන් නැගී සිට, තමා ගේ ම බඳු ජනයාගේ, විවිධාකාර අවමන් අපවාද ඉවසා දරා ගනිමින්, සමාජයෙන් කොන්කරනු ලබමින්, කායික වධ බන්ධනයටද මුහුණ දෙමින් ධර්මානුශාසනාවන් හි නිරත වූහ. අල්ලාහ්ගේම අනුබලයක් නොවේ නම්, මානව සංහතියේ එකම ගැලවුම් මග ඉස්ලාම් යන එතුමාගේ අචල අධිෂ්ඨානයද නොවේ නම්, එතුමා තම ජීවිත පරදුවෙන් ඉදිරිපත්වනු ඇත්ද? තවද, කි‍්‍රස්තියානින්ට හා යුදෙව්වන්ට විරෝධි වූ කිසියම් රටාවක් එතුමා විසින් ඉදිරිපත් කෙරුණේද? එසේ නම් ඉස්ලාමීය විශ්වාසය භක්තිය සම්පූර්ණවීමේ අවශ්‍යතාවයක් වශයෙන්, මුස්ලිම්වරුන් ඊසා නබි (Jesus) තුමා, මූසා නබි (Moses) තුමා ප‍්‍රමුඛ සියලූම ශාස්තෘවරුන් පිළිබඳ විශ්වාසය පිහිටුවා ගත යුතුයැයි ප‍්‍රකාශ කරනු ඇත්ද? කියවීමට හෝ ලිවීමට නොදත්තකු පුරා වසර හතළිහක් මුළුල්ලේ සන්සුන් දිවියක් ගත කළ අයෙකු ස්වකීය ධර්මානුශාසනාවන් ප‍්‍රාරම්භ කළ අවස්ථාවේ, මුළු මහත් අරාබිකරයම විශ්මිත වී, එතුමාගේ භාෂා කෞශල්‍යතාවයට වාගේ චතුර්යය කෙරේ වසඟවීම, එතුමාගේ ශාස්තෘ පදවිය සනාථ කරන්නාවූ පැහැදිලි සාක්‍ෂියක් නොවේද? මුළු මහත් අරාබි කරයේම විසු ප‍්‍රවීන කවියන් කථිකයන් හා දේශකයන්ට පවා ඒ හා සමාන කෘතියක් කළ නොහැකි විය. මේ හැර, එදවස කිසිදු වියතෙකු විසින් විග‍්‍රහ කළ නොහැකි තරමේ, ස්වභාව ධර්මය පිළිබඳ විද්‍යාත්මක තොරතුරු කුර්ආනයෙහි – ගෙනහැර දැක්වූයේ කෙසේද?
බලය හා ආධිපත්‍යය හිමි වීමෙන් පසුවත් එතුමා, දුෂ්කර චාම් ජීවන රටාවක් සලසා ගත්තේ මක්නිසාද? එතුමාගේ මරණාසන්න මොහොතේ කළ ප‍්‍රකාශය ගැන විමසා බලනු වටි. ”දූත වංශයට අයත් අපට උරුමකම් ලැබී නැත. අප ඉතිරි කර යන දේ දාන පරිත්‍යාග පිණිසි වේ.”
මේ අනූව, මේ භුතලය මත, මානව සමාරම්භයේ සිට, විවිධ දිග් භාගවල, කලින් කල පහළ වූ ශාස්තෘවරුන්ගේ දම්වැලේ, අත්‍යන්ත පුරුක, මුහම්මද් (සල්) තුමයා.
පරමාර්ථයේ ශ්‍රේෂ්ඨත්වය, මාර්ගයේ පහසුව හා විශ්මය ජනක ප‍්‍රතිඵල යන තෙ වැදැරුම් සාධකයන් මගින් පුරුෂෝත්තම භාවය මනිනු ලැබේ නම්, නූතන ඉතිහාසයේ, මුහම්මද් (සල්) තුමා යා සැසඳිය හැකි පුරුෂෝත්තමයෙක් වෙන නැත. අතිශයින් සුප‍්‍රසිද්ධ පුද්ගලයෝ, එක්කෝ අවි ආයුධ තැනීම, නීති ව්‍යවස්ථා සම්පාදනය නැත්නම් අධිරාජ්‍යයන් පමණක් ස්ථාපනය කලහ. ඔවුන් විසින් සොයාගනු ලැබු කිසිවක් වේ නම්, ඒ ඔවුන්ගේ දෙනෙතට වසන්ව පැවතී කිසියම් භෞතික බලවේගයක් වේ. මේ උදාර මනුෂ්‍යයා- මුහම්මද් (සල්) තුමා තැනුවේ, හමුදාවන්, ව්‍යවස්ථාවන්, අධිරාජ්‍යයන්, මනුෂ්‍ය සමාජ හා පරම්පරාවන් පමණක් නොවේ. එ දවස විසු ලෝකවාසින් ගෙන් තුනෙන් එක් කොටසක පමණ වූ කෝටි සංඛ්‍යාත මිනිසුන් තැනූහ. ඊට වඩා (පූජාසන) අල්තාර, දෙවිදේවතාවුන්, ආගම් දහම්, අදහස් උදහස් සංඛ්‍යාවක්ද විශ්වය හා ආත්මයන්ද සෙළවූහ. ජයේදීත් එතුමාගේ සන්සුන් ස්වභාවය, අධිරාජ්‍යයක් ගොඩනැගීමේ අභිලාෂයක් කොහෙත්ම නැති, එකම පරමාර්ථයක් සඳහා කැපවූ එතුමාගේ අධිෂ්ඨාන බලය, එතුමාගේ අඛණ්ඩ නැමදුම්- සලාත්- අල්ලාහ් සමග කළා වූ ගුප්තමය සංවාද, එතුමාගේ මරණය හා පශ්චාත් ජයග‍්‍රහණ යනාදි සියල්ලෙන් සනාථ වන්නේ ව්‍යාජත්වයක් නොව, ස්වකීය ප‍්‍රතිපත්තිය ස්ථාපනය කරවීමෙහිලා දැක්වූ ස්ථීර අධිෂ්ඨාන ශක්තියෙන් අත් වූ ජයග‍්‍රහණයයි. මේ ප‍්‍රතිපත්තිය කරුණු දෙකකින් සමන්විත වේ. එනම් (1) අල්ලාහ්ගේ ඒකීයත්වය හා (2) අල්ලාහ්ගේ අභෞතික භාවයයි. පළමුවැන්නෙන් අල්ලාහ් ගැන විග‍්‍රහ කෙරේ. මේ දෙවැන්න, එනම් ව්‍යාජ දෙවියන් තුරන් කිරීමේහිලා අසිපත් බලයත්, මුල්කරුණු ස්ථාපනය කිරීමෙහිලා වාග්බලයන් යොදා ගන්නා ලදි.
”දාර්ශනිකයකු, කථිකයෙකු, ආගම් ශාස්තෘවරයෙකු, ව්‍යවස්ථාදායකයෙකු, සෙබළෙකු, අදහස් ජයගන්නෙකු, රූපයක් රහිත දහමකින් ප‍්‍රතිපත්ති ස්ථාපනය කරන්නෙකු, මෙර මා අධිරාජ්‍යයන් විස්සක්ද, පරලෝ අධිරා්‍යයක්ද ස්ථාපනය කිරීමේ පුරෝගාමිකයෙකු, ඒ මුහම්මද් (සල්) තුමා වෙති. මනුෂ්‍ය විශිෂ්ටත්වය තීරණය කරන්නාවූ සියළුම සාධකයන් ගැන සලකන කල, මෙතුමාට වඩා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් සිටිත්දැයි ප‍්‍රශ්න කළ හැකිය.”
Lamartin – Histoire de la Turquie- Paris 1854- Vol. II – (පිටුව 276-77)
”අප විශ්මයට පත්කරන්නේ අති විශාල බැතිමතුන් සංඛ්‍යාවක් නොව, එතුමාගේ ධර්මයේ ස්ථාවරත්වයයි. ශත වර්ශ දොළහක් පුරා, ඉන්දියාව, අපි‍්‍රකාව හා තුර්කියේ බැතිමතුන් විසින් පරිචය කළ පසුව වූවද, මුලදී එය, (කුර්ආනය) මක්කාවේ හා මදීනාවේ කෙටුම්පත් වූ ප‍්‍රකෘති ආකාරයෙන්ම තවමත් පවතී. ආගම කෙරේ තම භක්තිය හෝ කැපවීම නොඅඩුව රැකගැන්මෙහිලා මුස්ලිම් අය එක්සත්ව උත්සුක වූහ. ”ඇත්තේ එකම දෙවියන් වහන්සේ බවත් මුහම්මද් (සල්) තුමා උන්වහන්සේගේ දූතයා බවත් මම විශ්වාස කරමි.” යනු ඉස්ලාම්හි සරල හා නොවෙනස් ඇදහිල්ලයි. ප‍්‍රඥාවට ගෝචර විය යුතු දිව්‍ය භාවයට, දෘශ්‍යමාන වූ කිසියම් රූපාකාරයක් දෙමින් දිව්‍යභාවය පහත්කර නැත. ශාස්තෘවරුන්ට දිය යුතු ගරුත්වය මානව පුද සත්කාර මගින් කඩකර නැත. එතුමාගේ ජීවිතාදර්ශයෙන් ම දැනුම හා ආගමේ සීමාව යටතේ අනුගාමිකයෝ සෑහීමකට පත්වූහ.
“Edward Gibbon and Simon Ocklay, History of the Saracen Empire- London 1870 (පිටුව 54)
”එතුමා තුල සීසර් සහ පෝප්වහන්සේ යන දෙදෙනාම අරක්ගෙන සිටීයහ. එතුමා පෝප් වූයේ පෝප් වහන්සේගේ බාහිර ඇඟවීම් වලින් තොරවය. සීසර් වූයේ හමුදා බල ඇණිවලින් තොරවය, ආත්මරක්‍ෂක සෙබළුන් රහිතවය. මහල් මාලිගා විරහිතය. ස්ථාරව ආදායමක් නැතිවමය. දිව්‍ය අනුග‍්‍රහයෙන් පාලනයෙහි යෙදුණේයැයි යම් කිසිවෙකු ගැන පවසතොත්, ඒ මුහම්මද්ය. අදාළ අවි ආයුධ නැති වූවත්, ඒවායේ උපකාරයක් නොලදත් සෑම බලයක්ම හිමිවී තිබුණු බැවිනි.” Bosworth Smith, Mohammad and Mohammadanism London 1874 (පිටුව : 92)
”අරාබියේ ශ්‍රේෂ්ඨ නබි තුමා ගේ ජීවිත කථාව හා ජීවන රටාව පිළිබඳව අධ්‍යයනය කරන්නෙකුට, එතුමා කෙරේ සම්මානනීය ගරුත්වයක් හටගනී. හේතුව එතුමා අතිශ්‍රේෂ්ඨ පුරුෂයකු මෙන්ම වැදගත් දූතයකු බව හැඟී යාමයි. ඔබට මා කවර අන්දමින් පැවසුවත්, කවර අවස්ථාවක් වූවත්, යළි යළිත් එතුමන්ගේ චරිතය කියවන කල්හි ඒ සෑම අවස්ථාවකම, ඒ මහා ආචාර්යවරයා කෙරේ මා තුළ නව සෙනෙහසක් ගරුසරු හා හැඟීමක් හටගනී. Annie Besant – The Life and Teachings of Muhammad – Madras 1932 (පිටුව: 4)
ස්වකීය දෘෂ්ඨිය වෙනුවෙන් වධ වේදනා දරාගැනීමට සුදානම් වීම, එතුමා කෙරේ විශ්වාසය පිහිටුවා තම නායකයා වශයෙන් තෝරාගත්තවුන් තුළ පිහිටි උසස්තම සදාචාරය සහ එතුමා ලද සකල ජයග‍්‍රහණයකම විශිෂ්ටත්වය යනාදි සියල්ලම, එතුමාගේ මූලික ශ්‍රේෂ්ඨත්වය විඳහා දක්වයි. මුහම්මද් තුමා ව්‍යාජ ශාස්තෘවරයෙකු ලෙස හැඳින්වීමේ දී ගැටළු විසඳනවා වෙනුවට තවත් ගැටළු, බහුල වශයෙන් මතුවේ, මේ හැර බටහිර ජාතීන්ගේ ඓතිහාසික පුරුෂයන් අතරින් සෙසු කිසිවෙකුට, මුහම්මද් තුමාට බඳු පහත් සැලකීමක් දක්වා නැත.
W. Montgomery Mohammed at Mecca,Oxford 1953 (පිටුව: 52)
”ඉස්ලාමය දියත් කළ ජනකාන්ත පුරුෂයකු වූ මුහම්මද් (සල්) තුමා කි‍්‍ර.ව. 570 දී අරාබියේ ප‍්‍රතිමා වන්දක ගෝත‍්‍රයක උපන්හ. අනාථයෙකු වශයෙන්, නිරන්තරයෙන්ම නැති බැරි දුගීන්, වැන්දඹුවන් හා අනාථයන් වහලූන් හා පීඩිතයන් කෙරේ විශේෂයෙන් අනුකම්පා කළහ. වයස අවුරුදු විස්සේදී සාර්ථක වෙලෙන්දෙක් වූහ. පසුව ධනවත් වැන්දඹු කාන්තාවකගේ ඔටු තවලම් මුළක් මෙහෙයවූහ. එතුමාගේ ප‍්‍රශංසනිය චර්යාව දුටු එතුමියගේ විවාහ යෝජනාව අනූව, තමන්ට වඩා වසර 15 කින් වැඩිමහලූ වූවත් එතුමා, එතුමිය හා විවාපත් වූහ. එතුමිය ජීවතුන් අතර සිටින තාක් කල් ඇපකැපවු ස්වාමිපුරුෂයෙකු වශයෙන් ක‍්‍රියා කළහ. අල්ලාහ්ගේ පණිවිඩය ජනතාව අතට පත්කිරීමට පෙර, ස්වකීය නොහැකියාව මෙනෙහි කොට, පෙර විසු සියලූම ප‍්‍රධාන පෙළේ ශාස්තෘවරුන් මෙන් එතුමාද ලැඡජා වූහ. එහෙත් සුරදූත තෙමේ (ජිබ්රීල් අලෙයි) කියවන්නැයි අණ කළේය. අප දත් පමණින් එතුමාට කියවීමට හෝ ලිවීමට නුපුළුවන, එහෙත් ඒ ආකර්ෂණීය වදන් ඒ අයුරින්ම කියවන්නට වූහ. ”ඇත්තේ එකම දෙවියෙක් අල්ලාහ් පමණි. මෙ මගින් මහ පොලොව මත විශාල ප‍්‍රදේශයක් තුල ඉමහත් පෙරළියක් සිදුවිය.
”සෑම කි‍්‍රයාවකදීම, මුහම්මද් (සල්) තුමා අවංක වශයෙන්ම ප‍්‍රායෝගික වූහ. එතුමාගේ දයාබර පුත්, ඉබ‍්‍රාහීම් මළගිය අවස්ථාවේ අහසේ සූර්්‍යය ග‍්‍රහණයක් ඇතිවිය. ”මෙ මගින් අල්ලාහ්ගේ ශෝකය ප‍්‍රකාශවෙතියි, ජනතාව තුළ රාවයක් පැතිර ගියේය. එකල මුහම්මද් (සල්) තුමා ”සූර්ය ග‍්‍රහණය ස්වභාව ධර්මයේ විපරිත සිද්ධියකි. එය මිනිසෙකුගේ මරණය හෝ උපත නිසා සිදුවුනේ යැයි සැලකීම මුළාවකි”යි ප‍්‍රකාශ කළහ.
”මුහම්මද් (සල්) තුමාගේම ඇවෑමෙන් එතුමාට දිව්‍ය ස්වභාවයක් ආදේශ කිරීමට කිසියම් වෑයමක් ගනු ලැබිණි. එහෙත් එතුමාගේ ඇවෑමෙන් පත්වූ පරිපාලක තුමා විසින් කෙරුණු ඓතිහාසික වැදගත් බවක් උසුලන්නාවූ ශ්‍රේෂ්ඨ දේශනයක් මගින් එකි වෑයම ව්‍යර්ථ කෙරුණි. ”ඔබ අතර මුහම්මද් (සල්) තුමාට වතාවත් කරන්නන් වෙත් නම් ඔහුට විනාශය අත්වේ. අල්ලාහ්ට වතාවත් කරන්නන් වෙත් නම් ඔහු සදහටම ජීවත් වෙති.
James A Michener – Islam: the Misunderstood Religion- Readers Digest (American Edition) May 1955, (පිටුව: 68-70)
”ලෝකයේ අධික බලපෑම් සහිත පුරුෂයන්ගේ නාම ලැයිස්තුව සැකසීමේ දී, මවිසින් එහි ප‍්‍රධානතම ස්ථානය මුහම්මද් තුමාන්ට දෙන කල, ඇතමුන් මවිත විය හැකිය. තව සමහරෙකු ප‍්‍රශ්න නගනු ඇත. එහෙත් ඉතිහාසයේ, ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන් ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වය උසුලන එකම පුරුෂයා එතුමාය.” Michal H, Hart, the 100: A Ranking of the Most influential Persons in History- New York-1978 (පිටුව: 37)
ඉස්ලාම් හැඳින්වීමක් යන කෘතිය ඇසුරෙන්.