ඉස්ලාමයේ ආරම්භයේ සිටම නබිතුමා ඇතුළු ඔහුගේ අනුගාමිකයින් නොයෙකුත් කටුක අත්දැකීම් වලට මුහුණ පා තිබේ. ඒ අනුව පරීක්ෂාවන්ට මුහුණ දීම මුස්ලිම්වරුන්ට අළුත් අත්දැකීමක් වන්නේ නැත. මුස්ලිම්වරුන් වශයෙන් යම් පරීක්ෂාවන්ට මුහුණ දුන් විට කල යුත්තේ තමන්ගේ වැරදි ඇතොත් ඒවා නිවැරදි කර ගනිමින් අල්ලාහ්ට වඩාත් ලං වීමට උත්සාහ කිරීම ය. විශේෂයෙන්ම නවීන සමාජයේ බොහෝ අය සලාතය නිසි පරිදි ඉටු කරන්නේ නැත. එබැවින් ඔවුන් කල යුත්තේ මින් ඉදිරියට තමන්ට අනිවාර්ය කොට ඇති සලාතය නිසි ලෙස ඉටු කිරීම තුලින් ආදර්ශමත් මුස්ලිම් වරයෙකු වීමය. එපමණක් නොව බොහෝ ව්‍යාපාරිකයින් ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති පොලිය හා සම්බන්ද වී තිබේ. ඔවුන් කළ යුත්තේ එම වැරදි වලින් ඉවත්වී තමන් කළ වැරදි වලට පසුතැවිලි වී තමන් කල වැරදි වලින් මිදීමය. තවද මෙම වැරදි කෙනෙක්ව අල්ලාහ්ගෙන් ඈත් කර තැබීමට හේතුවන ප්‍රධාන කරුණු බව වටහා ගත යුතුය. 

මුස්ලිම්වරුන් අල්ලාහ්ට සමානයන් තැබීමෙන් වැලකි සිටීම අත්‍යාවශ්‍ය වේ. එහෙත් බොහෝ අයට මේ පිලිබඳව නිවැරදි අබබෝදයක් නොමැති වීමෙන් එම වැරැද්දේ නියැලෙති. මේ නිසා ඔවුන් කළ යුත්තේ ඉස්ලාම් දහම නිවැරදිව අධ්‍යයනය කොට නිවැරදි ලෙස ඉස්ලාම් දහම පිළිපැදීමයි. එසේ නොකළේ නම් යම් විපතකදී ඔවුන්ට අල්ලාහ්ගෙන් උදව් නොලැබී යා හැකිය. තවද නබිතුමා පෙන්වා දුන් දහම තුලට තමන්ගේ හිතු මතයට කිසිම අළුත් ඇදහිල්ලක් ඇතුලත් නොකළ යුතුය. ඇයිද යත් නබිතුමා එවැනි දේවල් ගැන අනතුරු හැඟවා ඇති බැවිනි. මේ සම්බන්දයෙන් නබි තුමා පවසා ඇත්තේ දහමට අළුතින් එකතු කරන සියලුම දේවල් නොමග ගිය දේවල් බවත් නොමග ගිය සෑම දෙයක්ම නිරයට යන බවත් ය. මේ නිසා තමන් කරන සියළුම දේවල් ඉස්ලාම් දහමට අනුකුල විය යුතුය. එනම් ඒවා අල් කුරානයෙන් සහ නබිවදන් වලින් තහවුරු කොට තිබිය යුතුය. එසේ නොවන සියළුම දේවල් නොමග ගිය දේවල් ලෙස සැලකේ. එසේ තිබියදී මුස්ලිම් වරුන් කළ යුත්තේ නබිතුමාව අනුගමනය කිරීම ය.
මුස්ලිම්වරුන් පිල්බේදී සිටීම අල් කුරානයට පටහැනි ක්‍රියාවකි. මේ නිසා කුමන හේතුවක් නිසවාත් එම වරද නොකළ යුතු ය. එසේ කරන අය අල්ලාහ්ගේ බැල්මෙන් ගිලීගි යන බව නබිතුමා පවසා ඇත. මෙය ඉතා හොඳින් තේරුම් ගත යුතු කරුණකි. අද බහුලව සිදු වන ක්‍රියාවක් වන්නේ තමන්ගේ මතය හෝ තමන් පිළිපදින නිකායට අයත් නොවන අයව කිසිම සාධාරණ හේතුවක් නොමැතිව  පවා  දීමයි. මෙය අල්ලාහ් ඉදිරියේ  ඉතා බැරෑරුම් වරදකි. තම අහිංසක සහෝදරයෙකු පාවාදීමෙන් ලබන වාසිය කුමක්ද? ඔහු කල වරදට මරණයෙන් පසුව ඇති විනිශ්චය දිනයේදී අල්ලාහ් ඉදිරියේ වගකිව යුතු බව අමතක නොකළ යුතුය.

අල් කුරානයට අනුව කිසිම ජීවියෙකුගේ අවශ්‍යතාවයන් මැවීමෙන් තොරව එම ජීවියා මවා නොමැත. තවද අල්ලාහ් කෙරෙහි බිය බැතිකම ඇති අයට ඔවුන් නොසිතන අයුරින් සිය දෛනික අවශ්‍යතාවයන් ලබා දෙන බව කුරානයේ සඳහන් වේ. මේ නිසා කිසිවෙකු තම දෛනික අවශ්‍යතා සම්බන්දයෙන් බිය විය යුතු නැත. බිය වනවා නම් විය විය යුත්තේ අල්ලාහ්ගේ නියෝග කඩ කිරීම පිළිබඳව පමණි.

ලෞකික ජීවිතය ඇත්තේ මරණයෙන් පසු ජීවිතය විශ්වාස නොකරන උදවිය සඳහාය. එබැවින් කිසිම මුස්ලිම්වරයෙකු ලෞකික දේවල් අත්කර ගැනීම සඳහා තරඟ වැදිය යුතු නැත. ලෞකික දේවල් අවම තරිමින් තිබෙන තැනැත්තා වැඩිම මානසික සුවයෙන් තම අරමුණ කරා යොමු වනු ඇත. එම නිසා තම මතු ජීවිතයට ප්‍රමුඛ ස්ථානයක් දෙමින් සෑම දෙයක්ම කල යුතුය. එසේ කරන විට අපි කිසිවෙකුගේ එදිරිවාදිකම් වලට ගොදුරක් නොවනු ඇත.

ඉස්ලාම් දහම අනුව මෙලොව ජීවිතය මරණයෙන් පසු ජිවිතයට සුදානම් වීමට දී ඇති අවස්ථාවකි. මේ නිසා අල් කුරානය නියෝග කොට ඇති පරිදි සෑම මුස්ලිම්වරයෙකුම පුර්ණ ලෙස ඉස්ලාම් දහම තුලට ඇතුලත් විය යුතුය. එසේ නොකර යම් කිසිවෙකු වස්තුව පොදි ගැසීමට සුදානම් වන්නේ නම් එය මුග්ධ ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය. දහම තුල පනවා ඇති සීමාවන් කෙරෙහි අවධානය යොමු කරමින් ජිවත් වන තැනැත්තා මෙලොවදී සැනසීම ලබන අතර මතු ජීවිතයේදී අල්ලාහ්ගේ කරුණාවට පාත්‍ර වනු ඇත.

By Fasy Ajward.B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *