ජීවත්වීම සඳහා විශාල අරගලයක් කල යුතුය. එය දෙවියන් දී ඇති විශ්ව නියමයකි. එහෙත් මිනිසා මුහුණ දෙන පරීක්ෂාවන් සතුන් මුහුණ දෙන පරීක්ෂාවන්ට වඩා වෙනස්ය. මිනිසා කරන සෑම දෙයක්ම දෙවියන් නිරීක්ෂණය කරන අතර ඒවාට කුසල් හෝ අකුසල් නියම කෙරෙන්නේය. මරනෙයන් පසු ස්වර්ගය හෝ නිරය තීරණය කරනු ලබන්නේ ඊට අනුකුලවය.පාසලේදී ඉහළ පන්තියකට යෑමට පෙර විභාගයකට මුහුණ දිය යුතුය. පන්තිය ඉහළ යන විට මුහුණ දිය යුතු විභාගත් දුෂ්කර වන්නේය. විශ්වවිද්‍යාල මට්ටමේදී එය ඉතා දුෂ්කරය. එහෙත් උපාධි සහතිකයට ලැබෙන වටිනාකම පාසල් විභාගවලට ලැබෙන වටිනාකමට වඩා අතිශයින්ම වැඩිය. ඒ බව දන්නා නිසා කොයිතරම් අමාරු වුවත් උපාධියක් ගැනීමට සියළු දෙනාම කැමතිය. මිනිස් ජීවිතයත් එසේමය. මිනිසා මුහුණ දෙන පරීක්ෂාවන් අමාරු වන තරමට ඒවාට ලැබෙන කුලිය ද වැඩිය. මිනිස් ජිවිතයේ වැඩියෙන්ම පරික්ෂාවන්ට මුනුන දී ඇත්තේ නබිවරුන්ය. එබැවින් දෙවියන්ට ඉතා සමීප වන්නේද ඔවුන්ය.

විභාග ශාලාවකදී සෑම ළමයෙකුටම එකම ප්‍රශ්න පත්‍රය ලැබුනත් මිනිස් ජීවිතයේදී දෙවියන් එක් එක් පුද්ගලයාව වෙන වෙනම පරික්ෂා කරන්නේය. විභාග ශාලාවේදී වැරදි පිළිතුරක් ලිව්වත් එය නිවැරදි නොකරන්නා සේම මෙලොව ජිවිතයේදී මිනිසා කොපමණ වැරදි කලත් දෙවියන් ඊට මැදිහත් වන්නේ නැත. මේ හේතුවෙන් වැරදි කරන බොහෝ අය සිතන්නේ ඔවුන් නිවැරදි මාර්ගයේ සිටින බවයි.

මිනිසාව පරික්ෂා කරන දේවල් ගැන අල් කුරානයේ පහත දැක්වෙන අන්දමට සඳහන් කොට ඇත.

“නියත වශයෙන්ම අපි යම් තරමක බියෙන්ද, කුසගින්නෙන්ද, සම්පත්, ජීවිත හා පලදාව ආදියෙහි ඇතිවන අලාභ තුලින්ද නුඹලාව පරික්ෂා කරන්නෙමු.  (එහෙත්) ඉවසිලිවන්තයින්ට නුඹ සුබාරංචි පවසන්න” (කුරානය 2:155).

ඉහත සඳහන් පරීක්ෂාවන්ට මුනුන දුන් සමහරු පවසන්නේ “දෙවියන්ට මේවා පෙන්නේ නැද්ද” නැතහොත් “දෙවියන් බලගතුනම් ඔහුට මේවා වලක්වන්න බැරිද” ආදී වශයෙනි. මෙවැනි ප්‍රකාශන තුලින් ඔවුන්ට සිදු වන්නේ දෙවියන්ගේ පරීක්ෂා වලින් අසමත් වීමටය. ඇත්ත වශයෙන්ම දෙවියන් බලගතුය. එහෙත් ජීවිතය පරීක්ෂාවක් වන නිසා මිනිසා ඒවාට මුහුණ දිය යුතුය. මේ බව පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් පැහැදිලි කොට ඇත.

“ඔවුන්ගෙන් ලස්සන ක්‍රියාව ඇත්තා කව්රුන්දැයි පරික්ෂා කිරීම පිණිස පොළොව මත ඇති දේ අලංකාරවත්ව මවා ඇත්තෙමු” (කුරානය 18:7).

දෙවියන්ගේ පරික්සාවන් නොයෙකුත් ආකාරයට පැමිණිය හැකිය. ඒ අනුව කෙනෙකුට ධනය ලැබීමත් පරික්ෂාවකි. බලය ලැබීමත් පරික්ෂාවකි. උගත්කමත් පරික්ෂාවකි. නිරෝගිකමත් පරික්ෂාවකි. රෝගීවිමත් පරික්ෂාවකි. එහෙත් ඒවාට මුහුණ දෙන ආකාරය අනුව ජිවිතයේ ජය හෝ පරාජය තීරණය වනු ඇත.

මිනිසාට මරණය සහ ජීවිතය මැවීමට හේතුව අල් කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.

“නුඹලා අතරින් ලස්සන ක්‍රියාවන් කරන්නේ කව්රුන්දැයි පරික්ෂා කිරීම පිණිස ඔහු මරණය සහ ජිවය මැව්වේය” (කුරානය 67:2).

ඇතැම් විට වැරදි කරන අයට බොහෝ සැප සම්පත් ලැබෙන්නේය. ඇත්ත වශයෙන්ම ඒවා ඔවුන්ට මෙලොවදී ලැබෙන විශාල පරීක්ෂාවන් වේ. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් ඒ බව දැක ගත හැකිය.

“ඔවුනට උපදෙස් කරනු ලැබූ දේ ගැන ඔවුහු අමතක කළ විට, අපි සියලු දේවල් වල දොරටු ඔවුන්ට විවෘත කළෙමු. තමන්ට ලබා දුන් දෑ මගින් ඔවුන් ප්‍රීතිමත්ව සිටින විට ක්‍ෂණිකව අපි ඔවුන්ව අල්වා ගතිමු. එවිට ඔවුහු (සියලු හොඳ දෙයින්ම) අපේක්ෂා සුන් කරගත්හ” (කුරානය 6:44).

තවත් කුර්ආන් වැකියක මෙලෙස සඳහන් වේ.

“මිනිසුන් (ප්‍රතික්‍ෂේප කිරීමේ විෂයෙහි) එකම සමුහයා ලෙස නොවන්නේ නම්, අර්රහ්මාන්ව (අල්ලාහ්ව) ප්‍රතික්‍ෂේප කරන්නන්ගේ නිවෙස්වල වහලවල් සහ පඩිපෙළවල් රිදියෙන්ද, ඔවුන්ගේ නිවෙස්හි දොරටු සහ  ඔවුන් හාන්සි වී සිටින සිංහාසනයන් රිදී වලින්ද කර දෙන්නෙමු. තවද, රන්වලින් අලංකාරවත් ආභරණ ද කර දෙන්නෙමු එහෙත් මේවා සියල්ල මෙලොව සතුට මිස වෙන කිසිවක් නොවේ. ඔබගේ සමිඳුන් වෙතම භය බක්තිය ඇත්තවුන්ට එලොව සැපත සුදානම් කොට ඇත” (කුරානය 43;33-35).

මිනිසා විසින් කරනු ලබන වැරදි සීමාව ඉක්මවා යන විට දෙවියන්ගේ දඬුවම් මෙලොවදීම ලැබිය හැකිය. ඒ අනුව භූමිකම්පා, සුනාමි තත්වයන්, වෙලාවට වරුසාව නොලැබී යාම, සුළි සුළං ආදී ව්‍යසනයන් ඇති විය හැකිය. එවැනි අවස්ථාවලදී මිනිසා කල යුත්තේ තමන්ගේ වැරදි හදාගෙන දෙවියන් වෙත ලං වීමය. ඒ වෙනුවට දෙවියන්ට දොස් පවරන්නේ නම් සිදු වන්නේ තව තවත් අකරතැබි වලට මුහුණ පෑමටය.

By Fasy Ajward. B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *