ඉස්ලාම් යනු සර්වබලධාරී අල්ලාහ්ගෙන් පහළ වූ දහමකි. මුස්ලිම්වරයෙකු යනු අල්ලාහ්ගේ කැමැත්ත අනුව ජිවත්වන තැනැත්තා ය. මිනිසාට මෙම දහම් මාර්ගය පෙන්වා දීම සඳහා නබි වරුන් සිය ලක්ෂයකට වඩා මෙලොවට යවා තිබේ. අවසාන වරට පැමිණි නබිවරයා මුහම්මද් නබි තුමාය. එතුමා පැමිණෙන විට අරාබියාවේ පැවතියේ අවිචාරවත් යුගයකි. එහෙත් වසර 23ක් තරම් කෙටි කාලයක දී එම ජනතව ලෝකයේ උසස්ම ගති පැවතුම් ඇති ජාතියක් බවට එතුමාගේ උත්සාහයෙන් පත් කළේය. කෙසේ වෙතත් නබිතුමාගේ අභාවයෙන් පසු මුස්ලිම්වරුන් දහමින් අනිවාර්ය කොට ඇති කරුණු ඉටුකිරීමෙහිලා උදාසීන බවක් පෙන්නුම් කරන්නේය. එය මිනිසාගේ වරදක් මිස දහමේ වරදක් නොවේ.
මිනිසා දහමින් ඈත් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ලෞකික අසාවන් ය. නබිතුමා මේ ගැන කලින්ම අනාවැකි පහළ කොට ඇත. මුස්ලිම්වරුගේ අතට වස්තුව ලැබීම ගැන දෙවන කලීෆා වන උමර් රලි තුමාද කනස්සල්ල පල කොට තිබේ. කෙසේ වෙතත් විය යුතු දේ සිදු වෙමින් පවතී. මේ නිසා දහම නිවැරදිව තේරුම් ගත් මුස්ලිම්වරුන් කල යුත්තේ තම අරමුණ සිතේ තබාගෙන දහම අනුව ජිවත් වීමට උත්සාහ කිරීමයි. එවිට ඉස්ලාම් දහමින් පිට සිට බලන්නෙකුට ඉස්ලාම් යනු කුමක්දැයි තේරුම් ගැනීමට හැකිවනු ඇත. එසේ නොවී මුස්ලිම්වුන් අනෙක් අය මෙන්ම වස්තුව පසු පස හඹා යාමට උත්සාහ කලේ නම් ඔවුන්ටත් මුස්ලිම්වරුන්ටත් අතර වෙනසක් නැති වනු ඇත.
නබිවරුන් නැති මෙම කාලයේදී මුස්ලිම්වරුන්ට පැවරෙන ප්‍රධාන කාර්යයක් වන්නේ ඉස්ලාම් දහම ගැන නොදන්නා අයට ඉස්ලාම් දහම කියා දීමය. එය කල හැක්කේ තමන්ට ඉස්ලාම් දහම ගැන දැනුම තිබුනොත් පමණි. එහෙත් කනගාටුවට කරුණ නම් බොහෝ මුස්ලිම්වරුන් අවම තරමින් කුරානයේ පරිවර්තනයක් හෝ කියවා නොතිබීමයි. තවද නබිතුමා ගැන උදම් අනන බොහෝ අය එතුමාගේ මග පෙන්වීම වෙනුවට වෙනත් සංස්කෘතීන් පිළිපැදීමය. මේ නිසා ඔවුන් නාම මාත්‍රික මුස්ලිම්වරුන් බවට පත් වෙමින් ඇත. නබිතුමාගේ හදිසයකට අනුව ලෝකය අවසාන වන විට මුස්ලිම්වරුන් විශාල වශයෙන් ජිවත් වනු ඇත. එහෙත් ඔවුන් මුහුදේ ඇති පෙන තරම් වත් වටිනාකමක් නැති ජාතියක් බවට පත්වනු ඇත. ඊට ප්‍රධාන හේතුව ඔවුන් දහමින් ඈත් වීමයි.
මුස්ලිම්වරුන් මරණයෙන් පසු ජීවිතය ගැන තදින්ම විශ්වාසය කරන ජාතියකි. මේ නිසා ඔවුන් කල යුත්තේ ඒ සඳහා සුදාම වීම මිස හැර දමා යන ලෞකික ජීවිතය වෙනුවෙන් වස්තුව රැස්කිරීම නොවේ. කෙසේ වෙතත් මරණයෙන් පසු ජීවිතය ගැන විශ්වාස අඩු අය ලෞකික දේවල් වලට ඇලුම් කරන්නේය. ඔවුන්ගේ එම ක්‍රියාවන් නිසා දහමට විශාල හානියක් ගෙන දෙන්නේය. කෙනෙක් තමන්ව දහම වෙනුවෙන් වෙනස් කර ගන්නා තුරු අල්ලාහ්ද ඔහුට දහම දෙන්නේ නැත. එම නිසා මරණයෙන් පසුව ඇති ජීවිතය ජය ගැනීමට අපේක්ෂා කරන අය තමන්ව වෙනස් කර ගැනීමට සුදානම් විය යුතුය.
නබිතුමා මරණයට පත් වන විට ඉතිරි කර ගියේ අල් කුරානය සහ නබි වදන් මිස ලෞකික වස්තුව නොවේ. කව්රුන් එය තදින් අල්ලා ගන්නේද ඔහු ජිවිතය ජය ගනු ඇත. කව්රුන් එය අත්හරිද ඔහු ජිවිතයේ පරාජය වනු ඇත.
ඉස්ලාමිය ඉගැන්වීම අනුව මරණයෙන් පසු සොහොනේ විශාල කාලයක් රැඳී සිටිය යුතුය. එහි සාර්ථකත්වය රඳා පවතිනේ කෙනෙක් කල පින් දහම් අනුවයි. ඒ අනුව ඊට සුදානම් වූ කෙනෙක් බුමිදානය කල පසු සොහොනේදී අසනු ලබන ප්‍රශ්න වලට සාර්ථකව පිළිතුරු දෙනු ඇත. අනෙක් අයට එය ඉතා කටුක එකක් වනු ඇත. කෙනෙක් මෙම මුල් අදියරයයේදී අසාර්ථක වුවහොත් ඉන් පසුව ඇති සෑම අදියරයක්ම අසාර්ථක වනු ඇතයි නබිතුමා පවසා ඇත. මේ නිසා සෑම මිනිසෙකුම තම මරණයෙන් පසු ජීවිතය ජය ගැනීමට නම් ලෞකික ජිවිතයට වඩා වැඩි වටිනාකමක් මතු ජීවිතයට ලබා දිය යුතුය.
Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.Japura.