ඉස්ලාම් ධර්මයේ මුලික හරය හා මානව විමුක්තිය
මිනිසාගේ මෙලොව හා මතුලොව විමුක්තිය උදෙසා ඉස්ලාම් දහම ඉදිරිපත් කරන්නාවූ පිළිවෙත වෙත අවධානය යොමු කරමු. පහත උපුටා දැක්වීම් වෙත අපගේ අවධානය යොමු කළ විට ඉස්ලාමයේ මුලික හරය අවබෝධ කරගැනීමට හැකිවනු ඇත.
මුහම්මද් ධර්ම දුතයානන් වරෙක පවසා සිටි පරිදි “සැබැවින්ම මාව (ධර්ම දුතයෙකු ලෙස) එවා ඇත්තේ සාරධර්ම පරිපුර්ණත්වයට ගෙන ඒම පිණිස මිස නැත” (අල් මුවත්තා නබි වදන් ග්‍රන්ථය ). තවත් වරෙක එතුමාණන් පවසා සිටියේ “දහම පිළිබඳව වඩාත් ශ්‍රේෂ්ඨ බැතිමතා වන්නේ තම චර්යාවන් පිළිබඳ වඩාත් ශ්‍රේෂ්ඨ වූ පුද්ගලයාය” (අබුදාවූද් නබි වදන් ග්‍රන්ථය 2199).
මේ අනුව මුහම්මද් තුමාණන්ගේ ධර්මදුත මෙහෙවරේ ප්‍රධාන අරමුණ සාරධර්ම සපිරි සමාජයක් ඇති කිරීම වන අතර දෙවිඳුන් අභියස යමෙකුට ශ්‍රේෂ්ඨ බැතිමතෙකු වීමට නම් ඔහුගේ චර්යාවන් ශ්‍රේෂ්ඨත්වයක තිබිය යුතු වෙයි. නමුත් මිනිස් ගතිපැවතුම් වෙත අවධානය යොමු කිරීමේ දී යහ හා අයහ මෙන්ම තම ආශාව පදනම් කරගෙන විවිධ ආකාරයේ වැරදි ක්‍රියාවන්ට යොමු වීමක් දකින්නට ඇත.
“තවද අපි ඔහුට (යහ හා අයහ පැහැදිළි) මාවත් දෙකක් පෙන්වා දුනිමු”. (අල් කුර්ආන් 90:10)
“අනතුරුව ඔහු (එම ආත්මය වෙත) එහි දුෂ්ටකම සහ එහි සැදැහැවත්කම කාවැද්දුවේය”. (අල් කුර්ආන් 91:8)
“සැබැවින්ම ඔහු (මිනිසා) සම්පත් කෙරෙහි ඉතා දැඩි වූ ආශාවකින් (තෘෂ්ණාවකින්) යුක්ත වූ වෙකි.” (අල් කුර්ආනය 100:8)
මෙලෙස සැකසී ඇති මිනිස් ස්වභාවය යහකම තුළ රඳවා ගැනීම සඳහා විවිධ ආකාරයේ ආයතන ක්‍රියාත්මක වෙමින් පවතී. පොලිසිය, අධිකරණය, බන්ධනාගාර, රේගුව ආදිය මෙම ආයතනයන්ගෙන් කිහිපයකි. මෙම ආයතන සාර්ථක අයුරින් කටයුතු කොට ඇත්නම් වර්තමානයේ යහකමින් පිරිපුන් සමාජයක් සැකසී තිබිය යුතුය. නමුත් සැබැවින්ම අප දකිමින් සිටින්නේ සදාචාර සෝදාපාළුවකට ලක්වූ තත්ත්වයක් නොවේ ද? පාලකයෙකු තමන් ව නිරීක්ෂණය කරමින් සිටිනා අවස්ථාවේ සියලු කටයුතු නිසි පරිදි සිදුවනු භෞතික ලෝකයේ ඉතා පැහැදිලි අයුරින් දකින්නෙමු. නමුත් 24 පැයම සියලු කටයුතු නිරීක්ෂණය කරමින් කටයුතු කළ හැකි භෞතික පාලකයෙකු කිසිසේත්ම සිටිය නොහැක.
එහෙයින් මිනිසාට 24 පැයම ඔහුගේ කටයුතු සම්මා අයුරින් සකස් කර ගැනීම පිණිස නව පන්නයේ පාලකයෙකුගේ අවශ්‍යතාවක් මතුවී තිබෙනවා නොවේ ද? එම පාලකයා මිනිසාගේ භෞතික ක්‍රියාකාරකම් පමණක් නොව ඔහුගේ චෛතසිකයේ නලියන සියලු සිතුම් පැතුම් නිරීක්ෂණය කළහැකි ආකාරයේ බලගතු පාලකයෙකු විය යුතුය.
භෞතික බලගතු පාලකයෙකුගෙන් සිදුවන්නේ ඔහුට උරුම තෝරා ගැනීමේ නිදහස හා අනෙකුත් සුවිශේෂී ලක්ෂණ අර්ථ විරහිත වී ගොස් ඔහු යාන්ත්‍රික තත්ත්වයකට පත් වීම පමණි. භෞතික පාලකයෙකුට මිනිසාගේ ක්‍රියාවන්ගේ උල්පත වූ මනස පාලනය කළ නොහැක. මිනිසාගේ පාලකයා කෙලෙස විය යුතු ද යත් ඔහු පාර භෞතික විය යුතුය, සර්වඥ විය යුතුය, සර්ව බලධාරී විය යුතුය, විශ්වයේම පරමාධිපති විය යුතුය, පරම කරුණාභරිත විය යුතුය, සර්ව ශ්‍රාවක හා සර්ව දෘෂ්ටික විය යුතය, මිනිසාට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන්නා විය යුතුය, මරණින් මතු ලෝකයේ මිනිසාට විපාක දීමේ පුර්ණ බලය ඇත්තා විය යුතුය. මෙවන් ගුණාංග නොමැති පාලකයෙකු පිළිබඳ විශ්වාසයෙන් මිනිසාට ලැබිය හැකි කිසිදු යහපතක් තිබිය නොහැක. මෙවන් පාලකයෙකු කෙරෙහි විශ්වාසය තබා තම ජීවිතය සාරධර්ම පිරි යහ චර්යාවන්ගෙන් යුක්තවුවක් බවට පත්කර ගැනීම ඉස්ලාම් ධර්මයේ මුලික හරය ලෙස දැක්විය හැක. මෙම පාලකයා ඉස්ලාමීය පිළිවෙතෙහි හඳුන්වන්නේ ‘අල්ලාහ්’ යනුවෙනි.
යුක්තිය සාධාරණත්වය හා ඉස්ලාම් ධර්මය
ඉස්ලාමීය ඉගැන්වීම් පදනම් වී ඇත්තේ නීතිය, යුක්තිය හා සාධාරණය සැමට සමසේ ඉටු වන සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීම අරමුණු කොට ගෙනය. නීතියේ ආධිපත්‍යය සැමට සමාන ලෙස ක්‍රියාත්මක වන පරිදි කටයුතු නොකොට යුක්තිය හා සාධාරණත්වයෙන් යුක්ත වූ සමාජයක් ස්ථාපිත කළ නොහැක. වර්ෂ 1400 කට පෙර අල් කුර්ආනය නීතිය යුක්තිය හා සාධාරණය පිළිබඳව මනුෂ්‍යය වර්ගයාට ඉදිරිපත් කළ ඉගැන්වීම් කුමක්දැ’යි විමසා බලමු.
“(විශ්වාසවන්තයිනි,) ඔබ නීතිගරුක වන ලෙස ද හොඳ ක‍්‍රියාවන් කරන ලෙස ද ඥාතීන්ට උපකාර කරන ලෙස ද අල්ලාහ් සැබැවින්ම ඔබට නියම කරන්නේය. අවමානයට ලක් වන ක‍්‍රියාවන්, පාපයන්, අපරාධයන් ආදී දැය (ඔබ කෙරෙහි) ඔහු තහනම් කරන්නේය. (මේ දැය) ඔබ මතක තබා ගත යුතු යැයි ඔහු (අල්ලාහ්) ඔබට යහ අවවාද දෙන්නේය.” (අල් කුර්ආන් 16:90)
“(විශ්වාසවන්තයිනි,) නීතිය අකුරටම පිළිපැදීමෙ හි අල්ලාහ් වෙනුවෙන් ඔබ සාක්ෂි දරවු. මිනිසුන්ගෙන් එක් කොටසක් කෙරෙහි (ඔබ තුළ ඇති) ද්වේෂය (ඔවුන්ට) අපරාධයක් කිරීමට ඔබ ව පොලඹවා නොගනිවු. (කොපමණ ක්‍රෝධයන් තිබුණ ද) ඔබ නීතියම ක‍්‍රියාත්මක කරවු. එය බිය බැතිමත්භාවයට ඉතා සමීප වන්නේය. (කුමන අවස්ථාවක දී වුවද) ඔබ අල්ලාහ්ටම බිය වවු. සැබැවින්ම අල්ලාහ් ඔබ කරන දෑ හොඳින් දන්නේය.” (අල් කුර්ආන් 5:8)
“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීමට හෝ මිහිතලය මත කලහකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක්ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එලෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුර්ආනය 5:32)
“යහපත හා අයහපත සම නොවන්නේය. (එබැවින්) යහපත් දැයින් අයහපත් දෑ වළක්වවූ. එවිට නුඹ හා කවරෙකු අතර සතුරුකම් තිබුණේද සැබැවින්ම ඔහු සමීපතම මිතුරෙකු මෙන් වන්නේය.” (අල් කුර්ආනය 41:33)
“නුඹලා අතර අසාධාරණ අන්දමින් නුඹලා එකිනෙකාගේ වස්තුව අනුභව නොකරවු. තවද නුඹලා දැනුවත්වම ජනයාගේ වස්තුවෙන් කොටසක් පාප කාරී අයුරින් අනුභව කිරීම පිණිස බලධාරීන් වෙතට ඒවා (අල්ලස් වශයෙන්) නොයවවු” (අල් කුර්ආන් 2 : 188)
මුහම්මද් ධර්ම දුතයාණන් ගේ ප්‍රකාශන කිහිපයකට ද අවධානය යොමු කරමු.
“සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.” (මිෂ්කාත් අල් මසාබිහ් – 3:1392)
“යහ ක්‍රියාවන් අවංකව, නිසි ලෙස හා මධ්‍යස්ථභාවයකින් යුක්ත ව ඉටු කරන්න. ඔබගේ අපේක්ෂිත ඉලක්කය (ස්වර්ගය) කරා ළඟා වීම පිණිස සෑම ක්‍රියාවක් පිළිබඳ ව ම (අන්තවාදී නොවී) මධ්‍යස්තවාදීව මැදුම් පිළිවෙතක් නිරතුරුවම අනුගමනය කරන්න” (සහීහ් බුහාරී 8:470)
පරිසරය සුරැකීම හා ඉස්ලාම් ධර්මය
සත්ව වර්ගයා තම පැවැත්ම සඳහා පමණක් මිහිතලය හා එහි පරිසරය සීමිත අයුරින් ප්‍රයෝජනයට ගන්නා අතර මිනිසාගේ තත්ත්වය මෙයට හාත්පසින්ම වෙනස් වූ එකක් බව අප සැවොම හොඳින් දන්නා සත්‍යයකි.
“ඔහුමය (අල්ලාහ්මය) ඔබව මිහිතලය මත (පරපුරෙන් පරපුරට) උරුමක්කාරයින් බවට පත් කෙරුවේ.” (අල් කුර්ආන් 35:39)
මෙයින් පැහැදිලි වන්නේ පරිසරය හා එහි අඩංගු සියලු දෑ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කර ගැනීමට හැකියාව හා අයිතිය ඔහුට ලැබී තිබෙන බවය. නමුත් මෙම අයිතිය හා නිදහස පිළිබඳව වැරදි මතයක් සිත් හි දරා ගෙන පරිසර විනාශයකට තුඩු දෙන ආකාරයේ කිසිදු ක්‍රියාවකට ඉස්ලාමය අනුමැතිය දී නොමැති බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේය.
“මිනිසුන්ගේ දෑත් වලින් උපයා ගත් (සිදු කළ) දෙයින් මිහිතලයේ හා සාගරයේ දුෂණය (කලහකම්) දෘශ්‍යමානවී ඇත. ඔවුන් ආපසු හැරී (යහ මඟට) එනු පිණිස (අල්ලාහ්) ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් කොටසක් භුක්ති විඳින්නට ඉඩ හරිනු ඇත” (අල් කුර්ආන් 30:4)
“ගසක් සිටු වීමෙන් හෝ බීජ වැපිරීමෙන් එහි ඵලය කුරුල්ලන්, සතුන් හෝ මිනිසුන් අනුභව කරන්නේ නම් එය ඔහුට දන් දීමේ යහ විපාක ගෙන දෙන්නක් වන්නේය” (නබි වදන් – ග්‍රන්ථය බුහාරි)
“කිසිවෙකුට අයත් නැති ඉඩමක් යමෙක් වගා කරෙන්නේද, ඔහුට එම ඉඩමට අයිතිය කියා පෑමට උරුමකම් ඇත්තෙකු වන්නේය” (නබි වදන් – ග්‍රන්ථය බුහාරි)
එක තැන රැඳුනු ජලය මත හා මිනිසුන්ට සෙවණ ලබා දෙන ගස් යට මුත්‍රා කිරීමෙන් වළකින ලෙස මුහම්මද් තුමාණන් උපදෙස් දුන්නේය. වයෝවෘධයෙකු ගසක් සිටුවා එයින් ඵල බුක්ති විඳින්නට මේලොවේදී නොහැකි වුවද, එම ගසින් බුක්ති විඳින්නන් හේතුවෙන් ඔහුට මරණින් පසුත් කුසල් ලැබෙන බව එතුමාණන් ප්‍රකාශ කර සිටියේය. මෙවන් ඉගැන්වීම් රාශියක් ඇති අතර මේ සියල්ලෙන් අපේක්ෂා කරන්නේ මිනිසා පරිසරය සුරැකීමේ වගකීම දරන්නා බවත්, එය නිසි ලෙස කළමනාකරණය කොට මතු පරපුරට සුරක්ෂිත කර දීමේ වගකීමද ඔහු වෙත පැවරී ඇති බවත්ය.
සතුන් සම්බන්ධව හිංසනය, කෲරත්වය හා දැඩිභාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත. අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහර දීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත්කරමින් කරන්නා වූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිට මත නිකරුනේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි තරම් බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුලු කුඩු වලින් පැටවුන් අරගැනීම, මවගෙන් පැටවුන් ඈත් කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල උන්ව තැබීම, කිරි දෙමින් ඉන්නා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත.
ආගමික සුහදතාව හා ඉස්ලාම් ධර්මය
වර්තමානයේදී මෙන් මුහම්මද් තුමාණන් ජීවත් වූයේ ද බහු ආගමික හා බහු වාර්ගික සමාජයක ය. මෙවන් පරිසරයක් තුළ අන්තර් ආගමික සුහදත්වය රැකෙන පරිදි කටයුතු කිරීම සැමගේ වගකීම වෙයි. අන්තර් ආගමික සුහදතාව බිඳ වැටෙන එක් වැදගත් අවස්ථාවක් ලෙස එක් ආගමික කොටසක් අන් ආගමික කොටස් සමග කටයුතු කරණ පිළිවෙත මත රඳා පවතී. තම දහම පිළිබඳ ව අන් අයට බලපෑම් කිරීම, අන් දහම් අපහාසයට ලක් කිරීම හා අන් දහම් අනුගමනය කරන්නන්ගේ අයිතීන් උල්ලංඝනය කිරීම සමාජ සුහදත්වය බිඳ දමන ප්‍රධාන සාධක බවට පත් ව ඇත. මෙම සාධක පිළිබඳ ව ඉස්ලාමීය ඉගැන්වීම් කුමක්දැ’යි විමසා බලමු.
“දහම සම්බන්ධව බලකිරීමක් නොමැත. (2:256)
මෙම අල් කුර්ආන් වැකිය දහම සම්බන්ධව බලපෑම් කිරීම ඉස්ලාම් විරෝධී පිළිවෙතක් බව ඉතා පැහැදිළි ලෙසම දන්වා සිටී. දහම් ප්‍රචාරය අනුමත කරන ඉස්ලාමය ඒ පිළිබඳ ව ද යහ ආචාර විධි උගන්වා ඇත.
“ප්‍රඥාවෙන් යුතුව ද යහපත් උපදෙස් මඟින් ද නුඹගේ පරමාධිපතිගේ මාර්ගය වෙත ඇරයුම් කරවූ. තවද (ගෞරවාන්චිත හා) අලංකාර ආකාරයෙන් ඔවුන් සමග තර්ක කරවූ.” (අල් කුර්ආන් 16:125)
අන් දහම් අපහාසයට ලක් කිරීම සහමුලින්ම ඉස්ලාමීය පිළිවෙතට පටහැනි ක්‍රියාවක් බව පහත සඳහන් අල් කුර්ආන් වැකිය දන්වා සිටී.
“(විශ්වාසවන්තයිනි), අල්ලාහ් හැර කුමන දැයක් ඔවුන් අයදින්නේද එයට නුඹලා අපහාස නොකරවූ.” (අල් කුර්ආන් 6:108)
මුහම්මද් තුමාණන් මදීනා නගරයට දෙශාන්තරණය කිරීමත් සමග බිහිවූ ඉස්ලාමීය ජනරජයත් සමග සාකච්ඡා පැවැත්වීමට අවට ගෝත්‍රික ජනයා හා ආගමික නායකයින් පැමිණියහ. නජ්රාන් ප්‍රදේශයෙන් පැමිණි කිතුනු පුජකවරුන් පිරිසක් සමග මුහම්මද් තුමාණන් දින කිහිපයක් සාකච්ඡා කොට කිතුනුවරුන්ගේ වස්තුව, දහම, දේවස්ථාන හා පුජකවරුන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සුරැකීමටත් දෙපාර්ශවය විසින් එකඟතාවකට පැමිණ ගිවිසුමක් අත්සන් කළ බව ඉතිහාසය අපට දන්වා සිටී. මදීනා නගරයෙන් පැමිණි කිතුනු පුජකවරුන්ට නවාතැන් පහසුකම් ලබා දී තිබුනේ ලෝවැසි මුස්ලිම් ප්‍රජාවගේ දෙවැනි උත්තරීතර මස්ජිදය ලෙස සැළකෙන ‘මස්ජිදුල් නබවි’ හිය. එම පුජකවරුන්ට එහි තම ආගමික වතාවත් කරගැනීමටත් අවසරය ලබා දී තිබුණි.
ජාතිවාදය පිටු දැකීම හා ඉස්ලාම් ධර්මය
වසර දහතුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන්ගේ දැඩි තාඩන පීඩනයන්ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරුව මුහම්මද් තුමාණන්ට හා මුස්ලිම් වරුන්ට මදීනා නගරයට දෙශාන්තරණය කිරීමට දෙවිඳුන්ගේ අනුමැතිය ලැබිණ. මදීනා නගරය කි.මී. 450 ක් පමණ දුරකින් පිහිටි අතර පරම්පරා ගණනාවක් ගෝත්‍ර අතර පැවති ගැටුම් හේතුවෙන් විසිරී හා භේද වී ගිය ජන කොටස් ජීවත් වූ ප්‍රදේශයකි. මුහම්මද් තුමාණන් ඔවුනතර සමගියට මඟ පාදා දුන් අතර ඒ තුළින් සමාජ සහෝදරත්වය ගොඩ නැඟුවේය. මිනිස් ඉතිහාසයේ ලේඛන ගත පළමු රාජ්‍ය ව්‍යවස්ථාව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව වූ ලේඛනය, එනම් “මදීනා ප්‍රඥාප්තිය” සකස් කොට එමගින් එම නගරයේ ජීවත් වූ යුදෙව්, කිතුනු, ඉස්ලාමීය, හා අනෙකුත් ජනකොටස් වල ආගමික, සංස්කෘතික, ආර්ථික, දේශපාලන, හා සමාජ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට වගකීම් භාර ගත්තේය. එම ජනයා එතුමාගේ සෘජු මැදිහත්වීම හා නායකත්වය යටතේ එම වටිනා නීති රීති ක්‍රියාවට නැංවුහ.
“කිසිවෙක් තමන් ප්‍රිය කරන දෙය තම සොයුරාටද ප්‍රිය කරන තුරු ඔහු සැබෑ විශ්වාස වන්තයෙකු නොවේ” යැයි එතුමාණන් පැවසුහ. මුළුමහත් මනුෂ්‍ය ප්‍රජාවම එක් පවුලක සාමාජිකයින් බව අල් කුර්ආනය පැහැදිලිවම ප්‍රකාශ කර සිටී.
“මනුෂ්‍යයිනි, ඇත්තෙන්ම අපි ඔබව එක් පිරිමියෙක් හා එක් ස්ත්‍රියකගෙන් නිර්මාණය කළෙමු. කෙනෙකු අනිකා හඳුනාගනු පිණිස ඔබ ජාතීන් හා ගෝත්‍රිකයින් වශයෙන් කළෙමු. ඔබගෙන් කවුරුන් ඉතාමත් බිය භක්තිකයින් ව සිටින්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ් අබියස ඉතා ගෞරවනීය තැනැත්තෙකි. සැබැවින්ම අල්ලාහ් හොඳින් දන්නා අතර හොඳින් දැනුවත්ව ද සිටින්නේය.” (අල් කුර්ආන් 49:13)
“සියලු මනුෂ්‍යයින් ආදම් හා හව්වා ගෙනි. බිය භක්තිමත් භාවය හා යහකම හැරෙන්නට අරාබි වරයෙකුට අරාබි නොවන කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම අරාබි නොවන කෙනෙකුට අරාබි වරයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට වඩා ශ්‍රේෂ්ඨත්වයක් නොමැත. එලෙසම කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා කිසිදු ශ්‍රේෂ්ඨත්වයක් නොමැත.” (බුහාරී හදීස් ග්‍රන්ථය හදීස් අංක 1623, 1626 හා 6361)
තවත් වරෙක මුහම්මද් තුමාණන් තම මිතුරන් සමග සිටින අවස්ථාවක මෘතදෙහයක් රැගෙන යනු දුටු වහාම නැගිට සිට එම මෘත දේහයට ගෞරව කළේය. එවිට එක් මිතුරෙකු එය යුදෙව්වෙකුගේ මෘතදෙහයක් බව දන්වා සිටි විට ‘එයත් මනුෂ්‍ය ආත්මයක්’ යැයි පවසා මනුෂ්‍යත්වය පදනම් කරගත් සමාජ අගයන් ස්ථාපිත කිරීමට එතුමාණන් කටයුතු කළේය.
මරණය හා මානව විමුක්තිය
සෑම දහමක්ම මරණින් මතු ජිවිතයක් ගැන විශ්වාස කරයි. මරණින් මතු ජිවිතය සත්‍යය බව පිළිගැනීමට අවශ්‍ය වන සහේතුක සාධක කිහිපයක් ඇත්තේය. අප මෙම ලිපිය ආරම්භයේදි සාකච්ඡා කළ පරිදි සදාචාරය මිනිසාට පමණක් උරුම වු සුවිශේෂි වු ලක්ෂණයකි. සදාචාරාත්මක ජීවිතයක් ගත කිරීම සදහා මිනිසා විසින් විවිධ ආකාරයේ දුරාචාරාත්මක ක්‍රියාවන්ගෙන් ඉවත් විය යුතු වෙයි. නමුත් මෙම දුරාචාරයන් තුළ ක්ෂණික හා තාවකාලික වින්දනයක් හා තෘප්තියක් ඇති බව අපි දනිමු. මිනිසා වින්දනයට හා තෘප්තියට ආසා කරයි. මෙම ආශාවන් විසින් මතු කරන්නාවු දිරිගැන්විම් වලට වහල් නොවි සාරධර්ම රකිමින් කටයුතු කිරිම සදහා විශේෂිත වු ප්‍රයන්තයක මිනිසාට නියැලෙන්නට සිදුවේ. අනිවාර්යෙන්ම මෙම අධිෂ්ඨාන ශිලි ප්‍රයන්තය සදහා යහ විපාක ප්‍රධානය කිරිමක් මිනිසාට සිදුවිය යුතුය. එසේ නිරන්තර යහ විපාක ප්‍රධානය කිරිමක් කෙරෙහි විශ්වාසය තැබිමෙන් මිනිසාගේ යහ ක්‍රියාවන් සදහා වු නැඹුරුව වඩා ශක්තිමත් වනු ඇත. මෙම යහ විපාක ප්‍රධානය කිරිම මිනිසාගේ මිහිතලය මත වු ජිවිතයේදි සිදුවන්නක් නොවේ.
එලෙසින්ම දුරාචාරයෙහි නියැලෙමින් තම හැගිම්වලට වහල් වි කටයුතු කරන්නාට ද විපාක අත්කර දිමක් සිදුවිය යුතුය. මෙයද මිහිතලය මත වු මිනිසාගේ ජිවිතයේදි නිසි පරිදි සිදුවන්නක් නොවේ. සමහර දුරාචාර කටයුතු වැළැක්විම සදහා මිනිසා විසින් නිති සකස් කර තිබුණද මේවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව අපි ඉතා හොදින් දන්නෙමු. එහෙයින් මිනිසාගේ සදාචාරාත්මක ජිවිතයට දිරිදෙන ඔහුට ඒ සදහා මානසිකව හා කායිකව උනන්දු කරවන හා පොළඹවන ආකාරයේ නිශ්චිත ව තම යහ ජිවිතය සදහා යහ විපාක ලබාදෙන තැනක් අනිවාර්යෙන්ම තිබිය යුතුය. මෙය නිසිලෙස මිහිතලය මත වු ජිවිතයේදි සිදුනොවන නිසා මරණින් මතු ජිවිතයේදි පරම සාධාරණිය විනිශ්චයකින් පසු මිනිසාට යහ විපාක ප්‍රධානය කිරිමක් පිළිබඳ ව ඔහු විශ්වාස කරයි. මෙම විශ්වාසය නොමැති නම් මිනිසාගේ මිහිතලය මත වු සදාචාරාත්මක ජිවන සංකල්පය සහමුලින්ම බිදි යන්නට ඉඩ තිබේ. එලෙසින්ම දුරාචාරයෙහි යෙදෙන්නන්ටද ඔවුන්ව එයින් වළක්වාලන ආකාරයේ විපාක දිමක් සිදු නොවුවහොත් දුරාචාරය රජයන මිනිස් සමාජයක් බවට අප පත් වනු නියතය. අද ලොව සිදුවෙමින් පවතින්නේ මිනිසා මරණින් මතු විපාක අත් විදින්නට සිදුවන තත්ත්වය අමතක කොට තාවකාලික ආස්වාදය හා තෘප්තිය පසුපස දිව යමින් මුළු මහත් මිනිස් සමාජයම තිරිසන් පිරිසක් බවට පත් කරන්නට කටයුතු කරමින් සිටිමයි.
අනිත් අතින් අපරාධය හා දඬුවම පිළිබඳ ව නිතිරිති මිහිතලය මත ඇත. එක් අයෙකු මරා දැමුවෙකුටත් මිනිසුන් හැට ලක්ෂයනට වඩා මරා දැමු හිට්ලර්ටත් උපරිමයෙන් දිය හැකි වන්නේ එක හා සමාන මරණ දඬුවමක් පමණි. තමන් කළ වරදේ ප්‍රමාණය අනුව මෙම දඬුවමේ සාධාරණිත්වයක් නොමැති බව ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. එහෙයින් තම වරදේ ප්‍රමාණය අනුව දඬුවම ලබාදෙන තැනක් තිබිය යුතු බවට පිළිගැනිමට මිනිසාට අපහසුතාවයක් තිබිය නොහැක. එයද සිදුවිය හැක්කේ මරණින් මතු ජිවිතයේ පමණක් බව අපට පිළිගන්නට සිදුවේ. මෙම දඬුවම් දිම සදහා සියළුම දහම් අපායක් පිළිබඳ සංකල්පය ඉදිරිපත් කොට ඇත. මෙයද පාරභෞතික සංකල්පයකි.
පළමුව මරණින් පසු ජිවිතයත් සහතික වශයෙන් ම ඇති බවත් එහිදි මිහිතලය මත කල් ක්‍රියාවන්ට විපාක විඳින්නට සිදුවන්නේ ඔබටමය යන අදහස අල්කුර්ආනය අවුරුදු 1400කට පෙර ඉදිරිපත් කර ඇති ආකාරය විමසා බලමු.
“(මිය ගොස් දිරාපත් වි පස් බවට පත් වුණු පසු) ඔහුගේ ඇට සැකිල්ල අපි එක්රැස් (කොට ඔහුව පුනර්නිර්මාණය) නොකරන්නෙමු යැයි මිනිසා සිතන්නෙහිද? නොඑසේය, ඔහුගේ ඇඟිලි තුඩ පවා (පෙරතිබු ආකාරයෙන්ම) තැබිමට තරම් අපි බලසම්පන්න වන්නෙමු”. (අල්කුර්ආන් 75:2-4)
මිනිසාගේ සිත් තුළ නලියන නිරන්තර සැකයක්, එනම් තමා මියගොස් දිරාපත් වි පස් බවට පත්වුවායින් පසුව කෙසේ නම් ඔහුව නැවතත් පුනර්නිර්මාණය කරන්නේද යන ප්‍රශ්නය මතු කරමින් මිනිසාට ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයේ විද්‍යාත්මක සාක්ෂියක් සහිතව අල්කුර්ආනය පිළිතුරු සපයයි. මිනිසාගේ ඇඟිලි තුඩ එකිනෙකාට වෙනස් බව එනම් එක් අයෙකුගේ ඇඟිලි තුඩ තවත් අයෙකුගේ ඇඟිළි තුඩට සමාන නොවන බව පළමුවරට සොයා ගනු ලැබුවේ 1880දි බ්‍රිතාන්‍ය ජාතික ප්‍රැන්සිස් ගෝල්ඩ් විසිනි. අපට උපතින්ම ලැබෙන හැඳුනුම් පත ඇඟිලි තුඩයි. එය තමාම බව සනාථකරන වෙනස් කළ නොහැකි ප්‍රබලම සාක්ෂියයි.මෙම ප්‍රාතිහාර්ය ජනක සත්‍යය සමග දෙවිඳුන් මරණින් මතු ජිවිතය පිළිබඳ ව අපට දන්වන්නේ නම් එම ජිවිතය ප්‍රතික්ෂේප කරන්නට අපට හැකියාවක් තිබේද? අනිත් අතින් පුනර්නිර්මාණය කරනු ලබන්නේ මියගිය මිනිසාම බව සහතික කරන පණිවිඩයක් මෙම අල් කුර්ආන් වැකිය තුළ ගැබ්වි ඇත. එසේ නම් මිහිතලය මතවු තමාගේ ජිවිතය සම්බන්ධව කෙතරම් දුරට ප්‍රවේශම් විය යුතුද යන්න ගැන අවවාදාත්මක පණිවිඩයක් මෙම අල් කුර්ආන් වැකියෙහි අඩංගු වි තිබේද යන්න ගැන අප අනිවාර්යෙන්ම සිතා බැලිය යුතු නොවන්නේද?
සිත දියුණු කර ගැනීම හා ඉස්ලාම් ධර්මය
මිනිස් ක්‍රියාකාරකම් හි මුල් බීජය බිහිවන්නේ මිනිස් චෛතසිකයෙහිය. මිනිසා සිතෙහි ඇතිවන හැඟීම් හා සිතුවිලි අනුව තම ක්‍රියාකාරකම් සකස් කර ගැනීමට කටයුතු කරයි. එහෙයින් මිනිස් සිත නිරතුරුවම ඉතා පාරිශුද්ධ අයුරින් පවත්වාගෙන යෑම පිළිබඳ ව ඉස්ලාමය විශේෂ අවධානයක් යොමු කරයි.
“සැබැවින්ම ඔහු (මිනිසා) සම්පත් කෙරෙහි ඉතා දැඩි වූ ආශාවකින් (තෘෂ්ණාවකින්) යුක්ත වූ වෙකි.” (අල් කුර්ආනය 100:8)
“අනතුරුව ඔහු (එම ආත්මය වෙත) එහි දුෂ්ටකම සහ එහි සැදැහැවත්කම කාවැද්දුවේය”. (අල් කුර්ආන් 91:8)
“….මිනිසාගේ ආත්මය නියත වශයෙන් ම පාපයට දැඩි ලෙස පොළොඹවන්නක් වෙයි….” (අල් කුර්ආන් 12:53)
ඉහත අල් කුර්ආන් වැකි මගින් මිනිසාගේ ස්වභාවය පැහැදිලි වෙයි. එහෙයින් ම ඔහුගේ සිත නිරතුරුව පිරිසිදු කර ගැනීම හා අකුසලයට ඇති නැඹුරුවෙන් ආරක්ෂා කර ගත යුතුව ඇත.
“කවුරුන් තමන් ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු ජයග්‍රහණය කළේය. කවුරුන් එය අපිරිසිදු කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)
“කවුරුන් දෙවිඳුන් අබියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආශාවන්ගෙන් ඈත් වී තමන් ව වළක්වා ගන්නේ ද ඔහු ළඟාකර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.” (අල් කුර්ආන් 79: 40-41).
මිනිසාට සිත එක අරමුණක තබා ගෙන අකුසලයට නැඹුරු වූ චිත්ත ආවේග පාලනය කර ගෙන තැන්පත් ව කටයුතු කරන්නට ප්‍රායෝගික මෙන්ම මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම එක ලෙස පිළිපැදිය හැකි ප්‍රායෝගික වැඩ පිළිවෙළක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. එය ඔහු ව ගිහි ජීවිතයෙන් හා සමාජයෙන් ඈත් කරවන වැඩ පිළිවෙළක් නොවිය යුතුය. මෙම වැඩ පිළිවෙළේ පළමු හා වැදගත්ම අංගය වන්නේ මෙයට ඉහත විග්‍රහ කළ පරිදි තම සිතට පාලකයෙකු පත් කර ගෙන එම පාලකයා කෙරෙහි විශ්වාසය තබා ගෙන කටයුතු කිරීමය. මෙවන් විශ්වාසයක් වුවද මිනිස් සිතේ ඇති ස්වභාවය අනුව වරින් වර දුර්වල විය හැක.
දෛනික ව මෙන්ම නිශ්චිත කාල වකවානුවන්හි තම චෛතසිකය පිරිසිදු ව සම්මා මගක තබා ගැනීමට ඇති ප්‍රායෝගික ඉස්ලාමීය වැඩ පිළිවෙළ පිළිබඳ ව විමසා බලමු.
1. දෛනික ව කළයුතු පස් වේල සලාතය
“සැබැවින්ම සලාතය, ලැජ්ජා සහගත හා පාපතර ක්‍රියාවන්ගෙන් ඔබ ව ආරක්ෂා කරන්නේය” (29:45)
2. වාර්ෂික ව මසක් පුරාවට රක්ෂා කළ යුතු උපවාස ශීලය
“විශ්වාස කළවුනි, නුඹලා බියබැතිමත් වීම පිණිස (දේව සවිඥානකත්වය ඇතිකර ගනු පිණිස) නුඹලාට පෙර වූවනට අනිවාර්ය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහිද උපවාසය අනිවාර්ය කරනු ලැබ ඇත.” (අල් කුර්ආන් 2:183)
3. වාර්ෂික ව ගෙවිය යුතු දානමය කටයුත්තකි ‘සකාතය’
“(නබිවරය) ඔවුන්ගේ වස්තුවෙන් දානමය කොටසක් (සදකාව) ගනිවු. එමගින් නුඹ ඔවුන් ව පිවිතුරු කරව. තව ද එය වර්ධනයක් ඇති කරයි” (අල් කුර්ආන් 9:103)
4. ජීවිත කාලයටම වරක් අනිවාර්ය හජ් නැමදුම
මිනිස් ඉතිහාසයේ දෙවිඳුන්ගේ අණට කීකරු වීමේ හා පරිත්‍යාගයේ උදාරතම උදාහරණය ලොවට පෙන්වා දුන් ඉබ්‍රාහිම් නබි තුමාගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය හා සාමය අත්වේවා) ජීවිතයේ සිදු වූ වැදගත් සිදුවීම් සිහිපත් කරමින් හා ඒවා සංකේතාත්මක ව ඉටුකරමින් කරන්නා වූ ඉතා වැදගත් නැමදුමකි. මිනිසාට මුළු ජීවිතයම නැමදුමක් බවට පත් කර ගන්නට ලබා ගත හැකි උච්චතම පුහුණුව ලෙස මෙය නම් කළ හැක.
මේ අනුව ඉස්ලාමය චෛතසික දියුණුව, පිරිසිදුකම හා වර්ධනය කෙරෙහි දක්වන්නේ ඉමහත් වැදගත් කමක් බව පැහැදිලි වනු ඇත.
දුප්පත්කම පිටුදැකීම (ආර්ථික න්‍යාය) හා ඉස්ලාම් ධර්මය
ඉස්ලාමය පරිපුර්ණ ජීවන සැලැස්මක් වන හෙයින් මිනිස් ජීවිතයේ සෑම පැතිකඩයක් සඳහා ම මඟ පෙන්වීමක් එහි අන්තර්ගතව ඇත. ඉස්ලාමීය ආර්ථික පිළිවෙත සැකසී ඇත්තේ සමාජ සාධාරණය හා යුක්තිය පදනම් කර ගෙනය. පුද්ගල දේපල අයිතිය මෙහි සහතික කොට ඇතත් සම්පත් පිළිබඳ ඒකාධිකාරයක් ඇති කර ගැනීම ඉස්ලාමීය ආර්ථික පිළිවෙතට අනුකූල නොවන්නකි. ඉස්ලාමීය ආර්ථිකයේ මුලික ලක්ෂණ පහතින් දක්වා ඇත්තෙමු.
පොලිය මත පදනම් වූ ක්‍රියාවලියන් තහනම් වන්නේය. පොලිය යනු සාම්ප්‍රදායික මුල්‍ය කළමනාකරණයේදී ඉතාමත් කේන්ද්‍රීය සාධකයකි. ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණයේදී භාවිතා වන්නේ යුක්තිය හා සාධාරණය මත පදනම් වූ පිළිවෙතකි. එහිදී පොළී සංකල්පය වෙනුවට යොදා ගැනෙන්නේ ලාභය බෙදා ගැනීමේ සංකල්පයයි. උදාහරණයක් ලෙස ත්‍රීරෝද රියක් කුලී පදනම මත භාවිතා කරන්නට ගන්නා රියැදුරා හා රිය හිමියා දිනය අවසානයේදී වියදම් පියැවීමෙන් පසුව ලාභය බෙදා ගනිති. එවැනි අවස්ථාවකදී ඔවුන්ගේ එකඟතාවය මත පිළිගත් අනුපාතයකින් ගනුදෙනු සිදු කළ හැක.
නමුත් දෙවැන්නෙක් තවත් ත්‍රීරෝද රියක් දවසට නිශ්චිත කුලියක් ගෙවීමට ගන්නා රියැදුරකු යැයි සිතමු. පළමු රියදුරා ත්‍රීරෝද රිය ලබාගෙන ඇත්තේ දවසේ ආදායම දෙදෙනා එකඟ වූ ප්‍රතිශතයක් මත බෙදා ගැනීමටය. මෙය ඉස්ලාමීය මුල්‍ය කළමනාකරණය මත සකස් වුවකි. නමුත් දෙවැන්නා ත්‍රීරෝද රිය ලබාගෙන ඇත්තේ දෛනික ව නිශ්චිත කුලියක් දීමේ පදනම මතය. මෙය පොලිය පදනම් වූ මුල්‍ය කළමනාකරණය මත පදනම් වුවකි. ආදායමක් නොමැති දිනයකදී පළමු රියැදුරා ආයෝජකයා වෙත කිසිදු ගෙවීමක් ලබා නොදෙද්දී දෛනික නිශ්චිත කුලී පදනමකින් රිය ලබා ගත් තැනැත්තා විසින් මෙම තත්ත්වය තුළ අනිවාර්යයෙන් රිය හිමියාට දවසේ ගෙවීමට එකඟ වූ කුලිය ගෙවීමට සිදු වේ. ඉස්ලාමීය පිළිවෙත තුළ රිය හිමියා හා රියදුරා යන දෙදෙනාම ආර්ථික අවදානම බෙදා ගනිති. දෙවැන්නා ත්‍රීරෝද රථය ලබාගෙන ඇත්තේ දවසේ ඉපයීමක් තිබුනත් නොතිබුනත් පොරොන්දු වූ දෛනික කුලිය ගෙවීමේ පදනම මතය. මෙහි දී ඉපයීම අඩු දිනක අවධානම සහමුලින්ම දරන්නට සිදුවන්නේ දුප්පත් රියදුරාටය.
මෙය පොලිය මත පදනම් වූ බැංකු හා අනෙකුත් මුල්‍ය කළමනාකරණ පිළිවෙත අනුව සකස් වී ඇත. ඉස්ලාම් බැංකුකරණයේදී මුදල යනු හුවමාරු මාධ්‍යයක් ලෙස පමණක් ලෙස සැලකේ. එසේම මුදල් ලාභය බෙදාගැනීමේ අපේක්ෂාවෙන් මිස පොලී අපේක්ෂාවෙන් ආයෝජනය නොකෙරේ. මෙම බැංකු ක්‍රමය මුස්ලිම් ජනයාට පමණක් සීමා කළ එකක් නොවේ. එහිදී මුස්ලිම් හෝ මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට තම මුල්‍ය කටයුතු පවත්වාගෙන යා හැක.
පුරවැසියන් තම මුදල සාම්ප්‍රදායික බැංකුවක තැන්පත් කරන විට ඔවුන්ට 10% පමණ වාර්ෂික පොලියක් ගෙවන්නට බැංකුව එකඟ වේ යැයි උපකල්පනය කරමු. මෙසේ ලබා ගන්නා තැන්පතු නිමි ඇඳුම් නිෂ්පාදනය කරන කර්මාන්ත කරුවෙකුට බැංකුව 15% ක වාර්ෂික පොලියකට ණයක් වශයෙන් ලබා දෙයි. මෙම කර්මාන්තකරු තම නිමි භාණ්ඩයන් හි විකුණුම් මිල තීන්දු කිරීමේ දී පහත සඳහන් සාධක සැළකිල්ලට ගනී.
නිෂ්පාදන පිරිවැය + ලාභය + බැංකු පොලිය = නිමි භාණ්ඩයේ මිල
මෙම භාණ්ඩයේ පාරිභෝගිකයින් වන්නේ මුදල් තැන්පතුකරුවන් වූ මහජනයාය. ඔවුන් මෙම මුදල ඉස්ලාමීය පිළිවෙත අනුව ලාභය හෝ පාඩුව බෙදා ගැනීමේ පදනම මත ආයෝජනය කළේ නම් නිමි භාණ්ඩයේ මිල තීන්දු වන්නේ පහත සඳහන් සාධකයන් මතය.
නිෂ්පාදන පිරිවැය + ලාභය = නිමි භාණ්ඩයේ මිල
ඉස්ලාමීය ක්‍රමයට අනුව කර්මාන්තකරු ඉස්ලාමීය මුල්‍ය ආයතනයෙන් තම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනයක් ලබා ගන්නා අතර ඔහුගේ ව්‍යාපාරයේ ලාභය පිළිගත් ප්‍රතිශතයක් අනුව මුල්‍ය ආයතනය සමග බෙදා ගැනීමට එකඟ වෙයි. කර්මාන්තකරු නිශ්චිත ප්‍රතිශතයක පොලියක් ගෙවීමේ කොන්දේසිය මෙකී ආයෝජනය තුළ නොමැත.
සමාජයේ දුගීබව නැති කිරීමට ද ඉස්ලාමීය ආර්ථික පිළිවෙත ඉමහත් අයුරින් දායකත්වයක් ලබාදෙයි. ඉස්ලාමීය නැමදුම් පිළිවෙතේ මුලික කුළුණක් වන්නේ ‘සකාත්’ නම් වූ වාර්ෂිකව ලෙස තම වස්තුවෙන් නිශ්චිත ප්‍රතිශතයක් දුගී, නයබරිතවුවන්, මුලික වියදම් පියවා ගැනීමට තම ආදායම් ප්‍රමාණවත් නොවන්නන් ආදී කණ්ඩායම් අටක් වෙත ලබා දිය යුතු දානමය දීමනාවයි. මුදල්, රන්, රිදී හා වෙළඳ භාණ්ඩ ආදිය එක් වර්ෂයක් පුරාවට තමා වෙත තිබු ප්‍රමාණය අනුව එහි වටිනාකමින් 2.5% ක් මෙම දානමය කටයුත්ත සඳහා දිය යුතු වෙයි. පිරිවැයක් දරා වාරිමාර්ග පහසුකම් ලබා ගන්නන් තම අස්වැන්නෙන් 5% ක් ද වැසි වතුරින් ගොවිතැන් කරන්නන් තම අස්වැන්නෙන් 10% ක් ද මෙලෙස ගෙවිය යුතු වෙයි. මෙය තම වත්කමේ පවිත්‍රතාව හා වර්ධනය සඳහා වූ ක්‍රියාවක් ලෙස සැලකෙන අතර තෘෂ්ණාව පාලනය කොට අන් අය කෙරෙහි කරුණාවෙන් යුක්ත ව කටයුතු කිරීමට මග පෙන්වීමක් වන අතර දුගී බව තුරන් කිරීම සඳහා වූ ද වැඩ පිළිවෙළකි. තව ද ඊර්ෂ්‍යාව තුනී කොට දුප්පත් පොහොසත් පිරිස අතර බැඳියාවක් මෙමගින් ඇති කොට සම්පත් සාධාරණ ලෙස බෙදී යාමට මඟ ඇති පිළිවෙතක් ලෙස දැක්වේ.
රාජ්‍යය පාලනය ගැන ඉස්ලාම් ධර්මය
රාජ්‍යය හා දහම වෙන්කොට කටයුතු කිරීම වර්තමානයේ බොහෝ රටවල් හි දක්නට ඇති පිළිවෙතකි. මිහිතලය මත මනිස් ජීවිතයේ සෑම පැතිකඩක් පිළිබඳ ව ම මඟ පෙන්වීම් ලබා දී ඇති ඉස්ලාමය රාජ්‍යය පාලනය පිළිබඳ ව ද ඉගැන්වීම් ලබා දී ඇත. එමනිසා ඉස්ලාමීය රාජ්‍යය පාලන සංකල්පයන් ගොඩ නැඟී ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් අනුවය. පාලකයින් පත් කිරීම, ආර්ථික, සාමාජයීය, සමාජ සම්බන්ධතාවන්, ජාතික හා ජාත්‍යන්තර ගිවිසුම් ගත වීමේ පිළිවෙත, සෞඛ්‍යය, ඉස්ලාම් නොවන්නන් පිළිබඳ කටයුතු මෙවන් විවිධ ආකාරයේ ඉගැන්වීම් මෙහි අන්තර්ගතය. ඉස්ලාමීය රාජ්‍යය පාලන ඉගන්වීම් පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරපත් කිරීමට මෙහි අවකාශ ප්‍රමාණවත් නොවන හෙයින් ඉතා සංක්ෂිප්ත වශයෙන් එහි මුලික ලක්ෂණ පහතින් දක්වා ඇත්තෙමු.
1. රාජ්‍යය් පාලනයේ පරමාධිපත්‍යය දෙවිඳුන් සතුය.
දෙවිඳුන් විසින් ලබා දී ඇති නීති රීති එලෙසම ක්‍රියාත්මක කළ යුතුව ඇත. යම් සුවිශේෂී අවස්ථාවක් පිළිබඳ මඟ පෙන්වීමක් අල් කුර්ආනයේ හෝ මුහම්මද් තුමාණන්ගේ ක්‍රියා, ප්‍රකාශන හා අනුමත කළ දෑ අඩංගු සුන්නා නමින් හැඳින්වෙන එතුමාගේ පිළිවෙතෙහි අන්තර්ගත නොවී ඇත්නම් ඉස්ලාමයේ මෙම ප්‍රධාන මුලාශ්‍ර දෙක පිළිබඳ ගැඹුරු දැනුම ඇත්තන් විසින් එහි මුලික ඉගැන්වීම් හා පටහැනි නොවන ආකාරයට සමාලෝචනමය නිගමනයකට එළඹීමේ අවස්ථාව සලසා දී ඇත.
2. මිනිසා මිහිතලය මත දෙවිඳුන්ගේ නියෝජිතයා ය
දෙවිඳුන්ගේ අභිමතය මිහිතලය මත ක්‍රියාත්මක කරවන නියෝජිතයා ලෙස මිනිසා කටයුතු කිරීම මිනිසාගෙන් අපේක්ෂිත වගකීමයි. දෙවිඳුන්ට අවනත වීමට හෝ එරෙහිවීමට මිනිසාට නිදහස ලබා දී ඇත. මිනිස්කමේ යහකම ආරක්ෂා කර ගැනීම උදෙසා දෙවිඳුන්ට අවනතව කටයුතු කිරීම වැදගත් වෙයි. මෙම වගකීම මිනිසාට ලබා දී ඇති භාරකාරත්වයක් ලෙස සැලකේ.
3. සාකච්ඡා මඟින් කටයුතු කිරීම
රාජ්‍යය කටයුතු සාකච්ඡා මගින් ගන්නා තීන්දු මත ක්‍රියාත්මක කිරීම.
“…ඔවුන්ගේ කටයුතු ඔවුන් අතර (අන්‍යෝන්‍ය) සාකච්ඡා සහිතව පවත්වාගෙන යන්නා වූ ද අපි ඔවුන්ට සපයා ඇති දැයින් වියහියදම් කරන්නා වූ ද අය වේ”. (අල් කුර්ආන් 42:38)
4. රාජ්‍යය පාලන කටයුතු පිළිබඳ වගකීම
පාලකයින් ලෙස තෝරා පත් කර ගත් පිරිස පළමුව දෙවිඳුන්ට හා ඔවුන්ගේ පාලනය යටතේ ඉන්නා ජනයා වෙත වගකීම් දැරිය යුතු වෙයි. ඕනෑම රටවැසියෙකුට පාලකයා ව ප්‍රශ්න කිරීමට අයිතිය ඇත.
5. අධිකරණයේ ස්වාධීනත්වය
අධිකරණය ඉදිරියේ පාලක, පාලිත යන කිසිදු වෙනස්කමකින් තොරව නීතිය නිසි අයුරින් පසිඳලිය යුතු වෙයි.
“අමානතයන් (විශ්වාසයෙන් පැවරූ භාරධාරයන්) එහි අයිති උදවියට පවරන මෙන් ද නුඹලා ජනයා අතර විනිශ්චය කරන විට සාධාරණ අයුරින් තීන්දු දෙන මෙන් ද සැබැවින් ම අල්ලාහ් නුඹලාට අණ කරයි….(අල් කුර්ආන් 4:58)
6. නීතිය ඉදිරියේ සමානාත්මතාව
සියළු රටවැසියන් ම නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම් බුක්ති විඳින්නන් බවට ඉස්ස්ලාමීය රාජ්‍යය පාලනය සලකයි. වාර්ගිකත්වය, දහම, භාෂාව, වර්ණය, ප්‍රදේශය, ස්ත්‍රී පුරුෂ භාවය, පරම්පරාව, වැනි කරුණු පදනම් කර ගනිමින් කිසිදු වෙනස්කමක් නීතිය ඉදිරියේ තිබිය නොහැක.
සුරාකෑම පිටු දකිමු
ලොව ප්‍රධාන වශයෙන් ධනේශ්වර හා සමාජවාදී යනුවෙන් ආර්ථික හා දේශපාලන ක්‍රම දෙකක් දකින්නට ඇත. නිෂ්පාදන, බෙදාහැරීම හා හුවමාරුව පුද්ගල අයිතිය වෙත ලබා දෙමින් ආර්ථික කටයුතු සිදු කිරීම ධනේශ්වර පිළිවෙතයි. මෙමගින් ධනය ඇත්තා වඩාත් ධනවත් වන හා ධනය නොමැත්තා දිළිඳුකමේ පහළටම තල්ලු කිරීමක් සිදු වේ. මෙයට පටහැනි අයුරින් මෙම ආර්ථික ක්‍රියාවලියන් රාජ්‍යය හෝ පොදු අයිතියට පවත්වාගෙන යෑම සමාජවාදී පිළිවෙතයි. මෙය ආර්ථික න්‍යායක් ලෙස මතුපිටින් යහ එකක් ලෙස පෙනුන ද මෙහි අඩුපාඩු රාශියක් දකින්නට ඇත. ඉස්ලාමීය ආර්ථික පිළිවෙත මෙම ක්‍රම දෙකේම සංකලනයක් ලෙස දැකිය හැක. පුද්ගල අයිතියට අවසරය ලබා දී තිබුණ ද මෙමගින් අන් අයව සුරාකෑමට මඟ අහුරා ඇත.
වැඩකරන්නාගේ දහදිය වියලෙන්නට පෙර ඔහුගේ වේතනය ලබා දෙන ලෙස මුහම්මද් තුමාණන් උපදෙස් ලබා දී ඇත. සාධාරණ වේතනයක් දීම වගකීමක් ලෙස දක්වා ඇත. තම අසල්වැසියා කුස ගින්නේ සිටිය දී තම කුස පිරෙන්නට අනුභව නොකොට ආහාරය ඔවුන් සමග බෙදා ගෙන අනුභව කරන ලෙස දක්වා ඇත. දුගීකම තුරන් කිරීමේ හා ධනය සාධාරණ අයුරින් බෙදී යාමේ පිළිවෙතක් හැටියට වාර්ෂිකව ‘සකාත්’ ලෙස තම වස්තුවෙන් නිශ්චිත ප්‍රතිශතයක් බෙදා දීම අනිවාර්ය ආගමික කටයුත්තක් ලෙස කළ යුතු ව ඇත.
ඉස්ලාම් ධර්මය – ජුදා දහම – කිතුනු දහම අතර ඇති සම්බන්ධය
ඉස්ලාමිකයින්ගේ විශ්වාසයේ කුළුණු අතර මෙයට පෙර දෙවිඳුන් ලබා දුන් දහම් හා ධර්මදුතයින් විශ්වාස කිරීම ප්‍රධාන තැනක් ගනී. මෝසෙස් තුමාට තෞරාතය නම් වූ දහම ද ජේසු තුමාට ඉන්ජීල් නම් වූ දහම ද ලැබ දුන් බව අල් කුර්ආනය සාක්ෂි දරයි. මෙම ශ්‍රේෂ්ඨ ධර්මදුතයින් දෙවිඳුන්ගේ අනුමැතියෙන් කළ ප්‍රාතිහාර්යයන් පිළිබඳ ව ද එහි සඳහන් වී ඇත.
“ඊස්රායිල්ගේ දරුවන ට (යුදෙව්වන්ට) දූතයෙකු ලෙස (ඊසා ව පත් කළේය). ‘නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් රැගෙන සැබැවින් ම මම නුඹලා වෙත පැමිණියෙමි. තව ද සැබැවින් ම මැටියෙන් පක්ෂියෙකුගේ හැඩයෙන් (වූ දැයක්) මම නුඹලාට නිර්මාණය කරමි. පසුව මම එයට පිඹින්නෙමි. එවිට එය අල්ලාහ්ගේ අනුමැතියෙන් (ජීවමාන) පක්ෂියෙකු වනු ඇත. තව ද අල්ලාහ්ගේ අනුමැතියෙන් මම (උපතින්) අන්ධ හා ලාදුරු රෝගීන් සුව කරමි. තව ද මළවුන ට ප්‍රාණය දෙමි. තව ද නුඹලා අනුභව කරන දෑ ද නුඹලාගේ නිවෙස් හි නුඹලා රැස්කරන දෑ ද මම නුඹලා ට දැනුම් දෙමි. නුඹලා විශ්වාසවන්තයින් ව සිටින්නේ නම් සැබැවින් ම නුඹලා ට මෙහි සාධකයක් ඇත’.” (අල් කුර්ආන් 3:49)
“ඊශ්රායිල් දරුවනි (යුදෙව්වනි), සැබැවින් ම මම මට පෙර ඇති ‘තව්රාතය’ සැබෑ කරන්නා ලෙස ද මට පසු ව පැමිණෙන ‘අහ්මද්’ (මුහම්මද්) යන නමින් යුත් දුතයෙකු පිළිබඳ ව සුබාරංචි පවසන්නා ලෙස ද නුඹලා වෙත එවනු ලැබූ අල්ලාහ් ගේ ධර්ම දුතයා (රසුල් වරයා) වෙමි යි මර්යම්ගේ පුත් ඊසා පැවසු අවස්ථාව ගැන (නබිවරය නුඹ සිතා බලන්න)”. (අල් කුර්ආන් 61:7)
“අපි අල්ලාහ් ව විශ්වාස කළෙමු. තව ද අප වෙත පහළ කළ දෑ ද ඉබ්‍රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා අස්බාත් (හෙවත් ඔවුන් ගේ පරපුර) වෙත පහළ කළ දෑ ද මූසා හා ඊසා වෙත පිරිනමනු ලැබූ දෑ ද තම පරමාධිපතිගෙන් නබි වරුන් (ධර්මදුතයින්) ට පිරිනමනු ලැබූ දෑ ද විශ්වාස කළෙමු. ඔවුන් අතුරින් කිසිවෙකු ව අපි වෙන් නොකළෙමු. තව ද අපි ඔහු ට අවනත වූවෝ වෙමු.“ යැයි නුඹලා පවසනු”. (අල් කුර්ආන් 2:136)
“දහම් ලද්දවුන් වන ඔවුන් අතුරින් අපරාධ කළවුන් හැර සෙසු අය සමඟ යහපත ඇති දැයින් මිස තර්ක නොකරවූ. ‘අප වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද අපි විශ්වාස කරන්නෙමු. තවද අපගේ දෙවිඳුන් ද නුඹලාගේ දෙවිදුන් ද එකය. තවද අපි ඔහුට (අවනත වන්නන් වන) මුස්ලිම්වරුන් වන්නෙමු’ යැයි නුඹලා පවසවූ”. (අල් කුර්ආන් 29:46)
By: එම්.අහ්මද් දහ්ලාන්
www.yayuthumaga.com