නබිතුමා පෙන්වා දී ඇති පරිදි කෑම අනුභව කිරීමට පෙර දෑත හොඳින් සෝදා ගත යුතුය. එසේම නැමදීමට පෙර වුළු කිරීමේදී එනම් මුහුණ සේදීමේදී නාසයට ජලය ඇතුල් කොට පිටතට පිඹීමෙන් නාසය හොඳින් පිරිසිදු කල යුතුය. එපමණක් නොව නැමදීම සඳහා වුළු කරන අවස්ථාවේදී (මුහුණ සේදීමේදී) මිෂ්වාක් කිරීම නොහොත් දත් පිරිසිදු කිරීමද නබිතුමාගේ ඉතා වැදගත් මඟ පෙන්වීමක් වන්නේය. අවම වශයෙන් මුස්ලිම්වරුන් දිනපතා පස් වතාවක් මෙම ක්‍රියාවන්හි නිරත වන්නෝය. එය සෑම මුස්ලිම්වරයෙකුටම අල්-කුරානයේ පහත දැක්වෙන වැකියෙන් අනිවාර්ය කොට ඇත.

“විශ්වාස කලවුනි! නුඹලා සලාතය සඳහා සුදානම් වුයේ නම් නුඹලාගේ මුහුනද, වැලමිට දක්වා නුඹලාගේ අත්ද සෝදා ගන්න. තවද නුඹලාගේ හිස්ද (ජලය ස්පර්ශ කොට) පිරිමදින්න. වළලුකර තෙක් නුඹලාගේ පාදයන්ද (සෝදා ගන්න) තවද නුඹලාට ස්නානය කිරීම අනිවාර්ය වුයේ නම් (ස්නානය කර) පිරිසිදු කරගන්න. නුඹලා රෝගීන් හෝ ගමනක යෙදී සිටින්නේ නම් හෝ නුඹලාගෙන් කෙනෙක් මුත්‍රා/මලපහ කර පැමිණියේ නම් හෝ නුඹලා (සංසර්ගය මගින්) බිරියන්ව ස්පර්ශ කර සිටින අවස්ථාවලද ජලය සොයා ගැනීමට නොහැකි වුයේ නම් ද පිරිසිදු දුවිලිවලින් නුඹලාගේ මුහුණුද, නුඹලාගේ අත්ද පිරිමදින්න. නුඹලාව දුෂ්කරතාවයන්ට පත් කිරීම අල්ලාහ්ගේ අවශ්‍යතාව නොවේ. නමුත් නුඹලාව පිරිසිදු කිරීම සඳහා තම දායාදය පුර්ණ කරදීම මගින් නුඹලා (ඔහුට) ස්තුති කිරීම ප්‍රිය කරයි” (කුරානය 5:6).

මේ හැරුණු විට මුස්ලිම් පිරිමි ළමුන්ගේ ශිෂ්නයෙහි පෙර සම ඉවත් කිරීම සඳහා නබිතුමා නියෝග කොට ඇත. එසේ කිරීමෙන් එහි රැඳෙන මුත්‍රා සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හැකියාව ලැබෙන්නේය. තවද පෙර සම තුල රැඳෙන කුණු සහ විෂබීජ ඉතා පහසුවෙන් ඉවත් කොට එම අවයවය පිරිසිදු කිරීමට පහසු වන්නේය. ඇතැම් කුඩා දරුවන්ට වැළඳෙන මුත්‍රා ආසාදනයන් නිසා එය මුස්ලිම් නොවන දරුවන් සඳහාද වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේය.

ඉහත සඳහන් පරිදි නැමදීමට පෙර වුළු කිරීමට අමතරව කාන්තාවන්ගේ මාස් සුද්ධිය අවසාන වීමෙන් පසුද සංසර්ගයේ යෙදීමෙන් පසුද දාතු පිට වුවහොත් ඉන් පසුද ස්නානය කිරීම අනිවාර්ය වේ. මින් අදහස් කරනු ලබන්නේ ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමට උදව් කිරීමයි. තවද සිකුරාදා දිනයන්හිදී ද ඊද් උත්සවයන් දෙකෙහිදීද ස්නානය කිරීම නබිතුමාගේ සුන්නාවක් හෙවත් මග පෙන්වීමක් වේ. මේවාට අමතරව නියපොතු කැපීම කල යුතුය. විශේෂයෙන්ම එය සිකුරාදා දිනවල සිදු කිරීම සුදුසු වේ. මේ අනුව මුස්ලිම්වරයෙකු සෑම විටම පිරිසිදුව සිටින්නේය.

ඉස්ලාම් දහමින් මුත්‍රා සලකන්නේ අපිරිසිදු දෙයක් ලෙසය. මේ නිසා මුත්‍රා තම ඇඳුමෙහි තැවරීමෙන් වලක්වා ගත යුතුය. මේ හේතුව නිසාම හිටගෙන තද පොළවක් මතට මුත්‍රා කිරීම මුස්ලිම්වරුන්ට තහනම් වේ. තවද මුත්‍රා කිරීමෙන් පසු ජලය යොදා තම ශරීර අවයවයන් පිරිසිදු කර ගැනීම අනිවාර්ය වේ. ජලය නොමැති විට ටිෂු භාවිතයෙන් පිරිසිදු කල හැකිය. නැතහොත් ඒ දෙකින්ම පිරිසිදු කල හැකිය. ඉස්ලාම් දහමින් මේවා නියෝග කොට ඇත්තේ මිනිසාගේ යහපත වෙනුවෙන් ය.

මුස්ලිම්වරුන්ට ශාරීරික පිරිසිදු කමට අමතරව අහාරය සඳහා අවසර ලබා දී තිබෙන්නේ දහමින් අනුමත දේවල් පමණි. ඒ අනුව උරන්, බල්ලන්, සර්පයින්, මියන් වැනි සතුන්ද ගිජු ලිහිණියන්, මොනරුන්, වව්ලන් වැනි පක්ෂින්ද තහනම් වේ. අහාරය සඳහා අනුමත සතුන් පවා ඝාතනය කිරීමේදී එම සතුන්ගේ රුධිරය පිටතට ගලා යන පරිදි එය සිදු කල යුතුය. ඇයිද යත් රුධිරය විසබීජ සඳහා ඉතා හොඳ මාධ්‍යයක් වන නිසාය.

By Fasy Ajward, B.Sc(sp.phy)Hons, Japura.

Ex: Research officer at former Scientific and Industrial Research Institute.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *