සමාජ සත්වයෙකු වශයෙන් ජීවත්වන මිනිසා සමාජයේ සෙසු අයගේ යුතුකම් නිසි අයුරින් දැන හඳුන ඉටු කිරීම ඉස්ලාම් ඔහු මත පැවරූ වගකීමකි. එම වගකීම් ඔහු නිසි ආකාරයට ඉටු කරන විට අල්ලාහ් අභියස ඔහුට ඉමහත් වරප‍්‍රසාදයන් පවතින්නාසේම, එය පැහැර හරින විට අල්ලාහ්ගේ කෝපයට හා දඬුවමට ලක්වීමද නිසැකය.
අන් අය වෙනුවෙන් අපි ඉටු කළ යුතු යුතුකම් රාශීයක් ඇත, ඒ අතුරින් දෙදෙනෙකු අතර, පවුලක් අතර, දෙපිරිසක් අතර, අසමගිය ගොඩනැගෙන විට ඔවුන් අතර සමගිය ඇති කිරීම ද කිව හැක. ඉස්ලාම් මෙය දකින්නේ ඉමහත් උතුම් ක‍්‍රියාවක් වශයෙනි.
ශුද්ධවූ අල්කුර්ආනය මෙසේ සඳහන් කරයි:
“ඔවුන්ගේ රහස් කථාබහෙන් වැඩිහරියක් කිසිම ප‍්‍රයෝජනයක් නැති ඒවාය (එහෙත්) සදකාව (දානය) වෙනුවෙන් හෝ යහපත වෙනුවෙන් හෝ මිනිසුන් අතර සාමය ඇති කිරීම වෙනුවෙන් කරන නියෝගයන් හැර”. (ශු අල්කුර්ආනය 4: 114).
මිනිසා උදෑසන නැගීටීමේ සිට යළි නින්දට යනතෙක් විවිධ දේ කථා කරයි. නමුත් ඒ අතුරින් ඔහුට යහපත ගෙන දෙන කථා මොනවාද? යනු තෝරා බේරා කථා කිරීම ඔහු සතු වගකීමකි. දෙදෙනෙකු අතර සමගිය ඇති කිරීම සඳහා කෙනෙකු කථා කරන්නේ නම් එය අල්ලාහ් අභියසය ඉතා යහපත්වූ ක‍්‍රියාවකි.
“සමගිය ඇති කිරීම ඉතා උතුම්ය” (ශු අල්කුර්ආනය 4:128).
“අල්ලාහ්ට බියවන්න ඔබලා අතර (මතභේද දුරැකර) සමගියෙන් සිටින්න” (ශු අල්කුර්ආනය 8:1).
දෙදෙනෙකු අතර ආරවුලක් හටගන්නා විට එය දකිමින් රසවිඳීම කොහෙත්ම විශ්වාසවන්තයකුට සුදුසු ක‍්‍රියාවක් නොවේ. එසේ සිටීම විශ්වාසවන්තයකු සතු ගුණාංගයක් නොවේ. එය තමන්ට අයිති දෙයක් නොවෙයි යනුවෙන් අත සෝදා ගැනීමද විශ්වාසවන්තයකුට උචිත නොවේ. ඔහු තමන්ට හැකි අයුරින් විරසකවී සිටින ඒ දෙදෙනා අතර සමගිය ඇති කිරීම සඳහා කටයුතු කළ යුතුයි එයයි ඉස්ලාම් ඔහුට ලබා දෙන උසස් මග පෙන්වීම.
“සැබවින්ම විශ්වාසවන්තයෝ සහෝදරයන්ය. ඔබලාගේ සහෝදරයින් දෙදෙනෙකු අතර සමගිය ඇති කරන්න” (ශු අල්කුර්ආනය 49:10).
දෙදෙනෙකු අතර සමගිය ඇති කිරීම ඉස්ලාම් දකින්නේ
උසස් දානයක් වශයෙනි:
“මිනිසුන්ගේ (ශරීරයේ ඇති) සෑම පුරැකක් වෙනුවෙන් හිරැ උදාවන සෑම දවසේම දානයක් දිය යුතුය. මිනිසුන් දෙදෙනෙකු අතර ඔබ සාමය ඇති කිරීමද දානයකි. මිනිසෙකුට තම වාහනයෙන් උදව්වීම, ඔහුට වාහනයට නැගීමට උදව්කිරීම, හෝ ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගැනීමට උදව්වීම දානයකි. යහපත් වචන කථා කිරීමද දානයකි. මස්ජියද වෙත (යාමට ඔබ තබන) සැම පියවරක්ම දානයකි. පාරේ ඇති (ගල් මුල් වැනි) මහජනයාට අවහිරව පවතින දේ ඉවත් කිරීමද දානයකි” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ . (විස්තර කරන්නේ: අබූහුරෙයිරා (රලි), මූලාශ‍්‍රය: බුහාරි).
දානය යනු පුණ්‍යවූ සත් ක‍්‍රියාවකි. ඉහත නබි වදනෙහි සඳහන් යහපත් කි‍්‍රයාවන් සියල්ල තුළින් දානය හා සමාන ප‍්‍රසාදයන් කෙනෙකුට ලැබෙයි යන කරුණ මොනවට ගම්‍යමාන වෙයි.
සමගිය ඇති කිරීම සඳහා බොරු කථා කිරීමටද ඉස්ලාම් විශේෂ අවසරයක් ලබා දෙයි, මේ තුළින් ඔප්පුවන්නේ මෙය කොතරම් මහඟු කටයුත්තක්ද යන්නයි.
“ජනයා අතර සමගිය ඇති කිරීම වෙනුවෙන් කෙනෙකු යහපත පැවසීම, යහපත මතක් කිරීම (එය බොරැවක් වූවද) ඔහු බොරැකාරයෙකු නොවන්යේන” යනුවෙන් නබි (සල්) තුමන් ප‍්‍රකාශ කළහ. (විස්තර කරන්නේ: උම්මු කුල්සූම් බින්ත් උක්බා බින් අබීමුයීත් (රලි) තුමිය, (මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්).
තවත් වාර්තාවක මෙසේ සඳහන් වෙයි: “අවස්ථා තුනකදී හැර ජනයා බොරැ කථා කිරීමට දූතවරයානන් අවසර නොදුන්නේය. එය නම්: සටන් බිමේදී, ජනයා අතර සාමය ඇති කිරීම සඳහා, ස්වාමි පුරැෂයා හා බිරිඳ දෙදෙනා අතර කථාබහ වල.”
“දූතවරයාගේ දොරකඩ අසල දෙදෙනෙකු බහින් බස්වෙන හඬට සවන් දුන්හ. ඒ දෙදෙනාගෙන් කෙනෙකු තමාගේ ණය බරින් ටිකක් කපාහරින ලෙසද තමාට අනුකම්පා කරන ලෙසද ඉල්ලා සිටියේය, අන්කෙනා අල්ලාහ් මත දිවුරා මා එසේ නොකරමියි කීය. මෙය ශ‍්‍රවණයකළ නබි (සල්) තුමන් පිටතට පැමිණ යහපත් දෙයක් නොකරන බවට අල්ලාහ් මත දිවුරන්නේ කවුදැයි විමසූහ. එවිට මමයි අල්ලාහ්ගේ දූතවරයානනි. එසේ නම් ඔහු කැමති පරිදි ඔහුට ඇත. (පසුව ඔහුගේ ණයෙන් කොටසක් කපා දමා ඔහු සමග සාධාරණවද කටුයුතු කරමි යැයි ප‍්‍රකාශ කළේය).” (විස්තර කරන්නේ: ආයිෂා (රලි) තුමිය, මූලාශ‍්‍රයන්: බුහාරි,මුස්ලිම්).
මානව සංහතියටම ආදර්ශය වූ මුහම්මද් නබි (සල්) තුමන්ගේ ජීවිතය තුළ වරක් එතුමන් සමූහ සලාතයට සහභාගිවීම පවා ප‍්‍රමාද කළ සිදුවීමක් විය. එය නම් ගෝත‍්‍රයක් අතර හටගත් ආරවුලකි. එය ආරංචිවූ සැනින් සිය මිතුරන් කිහිප දෙනෙකු සමග එම ස්ථානයට පිවට ගියේය. සමූහ සලාතයට සහභාගිවීම ප‍්‍රමාද කිරීම තරම් දෙපිරිසක් අතර සමගිය ඇති කිරීම එතුමන් උතුම් කොට සැළකූහ.
බනු අම්ර් බින් අව්අව්ෆ්ගේ ගෝත‍්‍රය අතර ආරවුල් ඇති වූ පුවත අල්ලාහ්ගේ දූතයාණන්ට ආරංචි විය. සිය මිතුරන් කිහිප දෙනෙකු සමග වහාම පිටත්වූ එතුමාණන් එම ගෝත‍්‍රකයින් අතර සමගිය ඇති කිරීම සඳහා එහි ගියහ. අල්ලාහ්ගේ දූතයාණන්ට (සාම කථා බහ සඳහා වැඩි වේලාවක් ගත කරන්න සිදුවූ නිසා නියමිත වේලාවට මස්ජිදයට) පැමිණීමට නොහැකි විය. මේ අතර සලාතයට වේලාව පැමිණියේය. බිලාල් (රලි) තුමන්, අබූ බක්ක්ර් (රලි) තුමා වෙත පැමිණ අල්ලාහ්ගේ දූතයාණන් සමාදාන කටයුත්තක් සඳහා පිටව ගොස් සිටින බැවින් මෙහි නොපැමිණියහ. සලාතයට වේලාව පැමිණ ඇත. ඔබ තුමා ජනයාට සලාතය මෙහෙයවන්නෙහිදැයි ඇසීය. එවිට අබූබක්කර් (රලි) තුමන් ඔබ කැමති නම් මා (සලාතය) මෙහෙයවන්නම් යැයි කීය. බිලාල් (රලි) තුමන් ඉකාමත් (සලාතය ස්ථාපිත කිරීම සඳහා) පැවසීමත් සමග අබූ බක්කර් (රලි) තුමන් ඉදිරියට ගොස් තක්බීර් පැවසූහ. පසුපස ජනතාවද තක්බීර් පැවසූහ. මේ අතර අල්ලාහ්ගේ දූතයාණෝ පැමිණ සලාතයේ ඉදිරි පෙළේ සිටගත්හ. (එතුමා පැමිණි බව දැනුවත් කිරීම පිණිස) ජනතාව අප්පුඩි ගසන්නට වූහ. අබූ බක්කර් (රලි) තුමන් සලාතයේදී කිසිම පැත්තකට නොහැරෙන්නේය. නමුත් අප්පුඩි ගැසීමේ හඬ වැඩිවූ බැවින් හැරී බැලූහ. එවිට අල්ලාහ්ගේ දූතායාණන් මුල් පෙළේ සිටගෙන සිටිනු දුටුවේය. එතුමා සලාතය දිගටම ඉටුකරන ලෙස සංඥා කළහ. වහාම (අබූ බක්කර් (රලි) තුමන් තමාට මෙතරම් මහිමයක් හිමිවීම ගැන) අත්දෙක ඉහළට ඔසවා අල්ලාහ්ට ප‍්‍රශංසා කර කෙලින්ම ආපස්සට විත් පේලියේ සිට ගත්තේය. එයත් සමග නබි තුමාණෝ ඉදිරියට ගොස් ජනතාවට සලාතය මෙහෙයවූහ.
අල්ලාහ්ගේ දූතයාණන් සලාතය අවසන්වූ පසු ජනතාව අමතා ජනයිනි සලාතයේදී යම් අතපසුවීමක් සිදුවූවොත් ඔබලා අප්පුඩි ගසන්නේ ඇයි. අප්පුඩි ගැසීම ගැහැණුන්ට අයිති දෙයක් (සලාතයේ යම් අතපසුවීමක් වූ විට ගැහැණු අප්පුඩිගැසීමෙන් එය දැනුවත් කරති). කවරෙකුට හෝ සලාතයක දී යම් අතපසුවීමක් සිදුවූවොත් ඔහු දැනුවත් කිරීම සඳහා සුබ්හානල්ලාහ් (අල්ලාහ් ඉතා පරිශුද්ධයි) කියන්න. මන්ද සුබ්හානල්ලාහ් යන වචනය කණ වැටුන ඕනෑම ඉමාම් කෙනෙකු (ආපසු හැරී බලා) අවධානය යොමු කරනු ඇත.
පසුව අබූ බක්කර් (රලි) තුමන් අමතා අබූ බක්කර් සලාතය ඉටු කරන ලෙස මා සංඥා කළත් ඔබ එසේ ඉටු නොකළේ මන්දැයි විමසූහ. එවිට අබූ බක්කර් (රලි) තුමන් අල්ලාහ්ගේ දූතයාණන් ඉදිරියේ අබූ කුහා කුහාෆාගේ පුතා(වූ මා) කෙසේ න්ම සලාතය මෙහෙයවන්නේ දැ යි ප‍්‍රකාශ කළේය. (විස්තර කරන්නේ: අබුල් අබ්බාස් සහ්ල් බින් සඅද් අස්සාඉදි (රලි) තුමන්, මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්).
තත්ත්වය මෙසේ පවතිද්දී, සමාජය භේද බින්න කිරීම සඳහා සමහරුන් කටයුතු කිරීම ඉතා වේදනා සහගතය. සැබවින්ම මෙය නපුරු ෂෙයිතාන්ගේ ගුණාංගයකි. ශුද්ධවූ අල්කුර්ආනයෙහි මෙසේ සඳහන් වෙයි: “සැබිවන්ම (දුෂ්ට) ෂෙයිතාන් ඔබලා අතර විරසක බව හා සතුරුකම් ඇති කිරීමටයි ප‍්‍රිය කරන්නේ” (ශු අල්කුර්ආනය 5:91). කවුරුන් සතුව මේ නීච ගුණාංගයන් වෙයිද ඔහුද එම ගනයටම වැටීම නොඅනුමානය.
වරක් නබි (සල්) තුමන් මෙසේ පැවසූහ: “කවුරුන් කේළම් පතුරුවන්නේ ද ඔහු ස්වර්ගයට ප‍්‍රවිශ්ටවන්නේ නැත”. (විස්තර කරන්නේ: හුදෙයිෆා (රලි) තුමන් මූලාශ‍්‍රය: මුස්ලිම්).
සමාජය අතර, පවුල් අතර, ආරවුල් ඇති කිරීම සඳහා කේළම් කියන්නන් සමාජයේ අනන්තව සිටිති. ඔවුන් ඉහත නබි වදන වෙත යළියළි වරක් සිය අවදානය යොමු කර මෙම පහත් ගුණාංගයෙන් තමන්ව ආරක්‍ෂා කරගත යුතුය.
සමාජය අතර සමගිය උදාකරන යහපත් පුරුෂයින් වශයෙන් ජීවත්වී මිය යෑමට අල්ලාහ්ගෙන් පතමු.
www.yayuthumaga.com