අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්
අල්ලාහ් විසින් මෙළොව මැවූ දා පටන් මිනිසාට අවශ්‍ය අංග සම්පූර්ණ ජීවන රටාවක් ඉස්ලාම් දහම තුළින් ලබා දී ඇත. එහි මඟ පෙන්වීම සඳහා දේව දුතයන් පහළ කර ඇත. ඉන් අවසාන දේවදුත මුහම්මද් (සල්) තුමාගේ ක්‍රියා, අනුමත හා දැනුම්දුන් සියල්ල එක සිතින් සියළු මුස්ලිම්වරු විසින් පිළිපැදිය යුතුයි. ඉන් දෙමාපියන් විසින් තම දරුවන්ට කළයුතු යුතුකම් මනා ලෙස පෙන්වා දේ.
කාන්තාවක් හා පිරිමියෙකු විවාහ වී ඉන්පසු ඔවුන්ගේ එකම බලාපොරොත්තුව තම පුංචි කැදැල්ලට තමන්ගේම දරුවන් බිහිකර හදාවඩා ගැනීමයි. පසු ඔවුන්ගේ බලාපොරොත්තුව මල්පල ගන්වා තම කැදැල්ලට දරුවෙක් පැමිණීමේ සලකුණු ලත් වහාම ඔවුන් දෙදෙනාම ඉතාමත් ආශාවෙන් හා ප්‍රීතියෙන් උනන්දුවෙන් තම දරුවා දවසින් දවස මව්කුස තුල වැඩෙනා ආකාරය ඉතා ආශාවෙන් බලාහිද අවසානයේ ඔවුන්ගේ පැතුම ඉටුවී තම දරුවා ඔවුන් ලඟට පැමිණේ.
එතැන් පටන් දෙමාපියන් දෙදෙනා විශාල උනන්දුවෙන් හා කැපවීමෙන් තම දරුවා වෙනුවෙන් නොයෙක් දුක් කරදර විද ඔහුගේ හෝ ඇයගේ අවශ්‍යතා පිරිමැසීමට පුළුවන් ප්‍රමාණයෙන් වෙහෙස දරයි. විශේෂයෙන්ම මවක් වෙහෙස නොබලා රෑ දහවල් තම දරුවන් ආදරයෙන් හා රැකවරණයෙන් ඔවුන්ගේ සියළු කටයුතු කරන්නේය. පියා විසින් මවට හා දරුවාට අවශ්‍ය පෝෂණය සඳහා මුදල් ලබා දෙයි. අල්ලාහ් අල් කුර්ආන්හි මෙසේ පවසයි.
“කිරි දීම සම්පුර්ණ කිරීමට අදහස් කළ මව්වරුන් විසින් ඔවුන්ගේ ළදරුවනට සම්පුර්ණ දෑ (2) අවුරුද්දක් කිරි දිය යුතුය. ඔවුනට (මවුවරුනට) නිසියාකාරව ආහාර හා වස්ත්‍ර ලබා දීමද දරුවාගේ පියාගේ වගකීම වේ. කිසිම ජීවයක් එහි ශක්තියට වඩා දුෂ්කරතාවයට පත්කරණු නොලැබේ. මව තම දරුවා වෙනුවෙන් හෝ පියා තම දරුවා වෙනුවෙන් හෝ දුෂ්කරතාවයට පත් කරණු නොලබන්නේය.” (2:233).
දෙමාපියන් විසින් තම දරුවන්ගේ ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හා ආරක්ෂාව,ආගමික දැණුම,අධ්‍යාපනය හා සිරිත් විරිත් ඇතුළුව නොයෙක් දේ වෙනුවෙන් කැපවීමෙන්, ඔවුන් කුඩා කල පටන් ඔවුන් වැඩිවියට පත් වීම දක්වා ලබා දිය යුතුය. ඉස්ලාම්හි දරුවන්ට යහපත් අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව නබි මුහම්මද් (සල්) තුමාගේ විවධ ප්‍රකාශ තුළින් මොනවට තහවුරු වෙයි.
එසේම දෙමාපියන් තම දරුවන්ට එක හා සමානව සැළකිය යුතුය. ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ අවශ්‍යතා අනුව, ඔවුන්ගේ අවශ්‍යතා පිරිමැසිය යුතුය. උදාහරණයක් ලෙස පවුලක වැඩිමහල් දරුවා ඉගෙනීමට දක්ෂදයකු වී ඔහුට හෝ ඇයට ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු වේ. එසේම පවුලේ තවත් දරුවන් ඉගෙනීමට දක්ෂ නම් ඔවුන්ටද පළමු දරුවා සේ උදව් උපකාර කල යුතු වේ. දෙමාපියන් විසින් එසේ නොකළේ නම් අල්ලාහ්ගේ දඩුවම් ලැබෙනු ඇත. වරෙක නබි මුහම්මද් (සල්) තුමා මෙසේ ප්‍රකාශ කළහ.
“ඔවුන් (දරුවන්) ඔබට උපකාර කිරීමෙහි සමානව සිටීම ඔබට සතුට ගෙන නොදෙන්නේද? (අහමද් ග්‍රන්ථය).
තවද ඔවුන්ට තෑගි බෝග දීමේදී ඔවුන්ගේ අවශ්‍යතා අනුව ලබා දිය යුතුය. එසේ නොකළ හොත් දරුවන් අතර පවා හිත් අමනාපකම් ඇති වී එකිනෙකාට වෛර කිරීමට පෙළඹෙන අවස්ථා අද සමාජයේ කොතෙකුත් දැකගත හැකිවේ. එපමණක්ද නොව පසු කළකදී දරුවන් විසින් දෙමාපියන් නොසලකා වෛර කිරීමට පටන් ගනී. මේ නිසා දෙමාපියන් විසින් ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් දරුවන්ගේ අවශ්‍යතා පිරිමැසිය යුතු වේ. මේ පිළිබඳ අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසයි.
“ඔබලා නීතිය ඉටු කරන්න. එය බියබැති කමට ඉතාමත් සමීපයි.” (5;8).
වරෙක නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසා ඇත. “මගේ පියා මාව නබි (සල්) තුමාණන් ඉදිරියට කැදවාගෙන ගොස් මා ළඟ සිටි වහලා මේ පුතාට තෑගි දුන්නේමියි කීහ. වහාම නබි (සල්) තුමාණෝ මේ ආකාරයෙන් ඔබේ අනෙක් දරුවන් හැම දෙනාටම තෑගි දුන්නදැයි විමසුහ. නැතැයි, මගේ පියා පිළිතුරු දුන්හ. ඔබේ තෑග්ග ආපසු ගන්න.” (මුස්ලිම් ග්‍රන්ථය)
එපමණක්ද නොව වැඩිවියට පත් නොවූ කුඩා අවදියේ දරුවන් මියගිය දෙමාපියන්ද නොයෙක් අවස්ථාවල අපට දැකගත හැක. ඔවුන් එම දරුවන් කෙරෙහි කළ ආදරය, රැකවරණය වෙනුවෙන් අල්ලාහ් වෙත ඔවුන්ගේ ඉරණම විසදේ යයි විශ්වාසයෙන් එය දරා සිටින්නේ නම් එම දරුවන් විසින් තම දෙමාපියන් නිරයෙන් ආරක්ෂා කිරීමට තිරයක් වන්නෝය.
“වැඩිවියට පත් නොවූ දරුවන් තිදෙනෙකු අහිමි වූ (මිය ගිය) ඕනෑම මුස්ලිම්වරයකු ඔහු තම දරුවන්ට පෙන්වූ සෙනෙහස වෙනුවෙන් අල්ලාහ් ඔහුව ස්වර්ගයට ඇතුල් කිරීම මිස තවත් දෙයක් නැතැයි නබි (සල්) තුමා පවසා ඇත.” (මුස්ලිම් හා බුහාරි ග්‍රන්ථ).
තවත් නබි වදනක් මෙසේය. “තම ගැහැණු දරුවන් දෙදෙනකු හොඳ සිල්වත් ගුණවත් දරුවන් ලෙස තරුණ විය දක්වා හදාවඩා ගත් අයෙක් විනිශ්චය දිනයේදී පැමිණෙයි. ඔහුද මාද මෙසේ එකට සිටින්නේමුයි, තම ඇඟිලි එකට ලං කර පෙන්වුහ.” (මුස්ලිම් ග්‍රන්ථය).
මෙවැනි හදිස් හා කුර්ආන් වැකි මගින් දරුවන් රැකබලා ගැනීමෙන් ලැබෙන්නාවූ ප්‍රයෝජන ඉස්ලාම්හි අපට පෙන්වා දී ඇත.
තවද දෙමාපියන් විසින් තම දරුවන් වෙනුවන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළයුතු වේ. තවද දරුවන් නිසි වයසට පැමිණි පසු ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන් විවාහ කර දිය යුතු වේ. එපමණක්ද නොව තම දේපළ බෙදා දීමේදී ගැහැණු දරුවකුට දෙන කොටස මෙන් දෙගුණයක් පිරිමි දරුවකුට දියයුතු වේ. මන්ද යත්, පිරිමි පාර්ශවය ගෙදරක ගෘහ මුලිකයා විමයි. අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ පවසා ඇත.
“නුඹලාගේ දරුවන්ගෙන් පිරිමියෙකුට ස්ත්රීයන් දෙදෙනකුගේ කොටස් වැනියයි අණ කරන්නේය.” (4:11).
මෙසේ ඉස්ලාම්හි දෙමාපියන් විසින් තම දරුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් මනා ලෙස පෙන්වා ඇත. නබි මුහම්මද් (සල්) තුමා මෙසේ පවසා ඇත.
“මිනිසකුගේ කටයුතු ඔහුගේ මරණයත් සමග අවසන් වෙයි. එහෙත් ඔහුගේ මරණින් පසුව පවා ඔහු වෙත තිලිණ හා ආශීර්වාද ලඟා කරනා කාර්යයන් තුනක් ඇත. පළමු වැන්න නම්, ඔහු සදකා ජාරියාව (අනන්ත පුණ්‍ය කර්මයක්) ඉටු කළ යුතුය. දෙවැන්න නම්, ජනයාට අකණ්ඩව යහපත සැලසෙන දැනුම් සම්බාරයක් උරුමකර තබා යා යුතුය. තෙවැන්න නම්, ඔහු වෙත අකණ්ඩව අල්ලාහ්ගේ දයාව ලබාදෙන දැහැමි දරුවන් සිටිමයි.” (මුස්ලිම් ග්‍රන්ථය).
මෙවැනි නොයෙකුත් සාරධර්ම ඉස්ලාම්හි කොතෙකුත් පවසා ඇතිද? සියල්ල අංග සම්පුර්ණව මිනිසාට දායාද කළ අල්ලාහ්ට සියළු ප්‍රශංසා හිමි වේවා!!!