අල් කුරානයේ දරුවන් විසින් දෙමව්පියන්ට කළ යුතු යුතුකම් මෙන්ම දෙමව්පියන් විසින් දරුවන්ට කළ යුතු දේවල් මොනවාදැයි ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. එහෙත් නවීන සමාජය තුල මේවා කොතරම් දුරට සිදුවනවා දැයි සොයා බැලිය යුතුව තිබේ. කෙසේ වෙතත් දෙමව්පියන්ගෙන් ළමුන්ට නිසි මග පෙන්වීම නොලැබුණේ නම් එහි ආනිසංස දරුවන් වැඩිහිටියන් බවට පත්වු පසු දෙමව්පියන්ට අත්විඳීමට සිදුවීම අප දැක ඇත. එවිට දුක්විම අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීම වැනි ක්‍රියාවකි.ආගමික අධ්‍යාපනය කොතරම් වැදගත් වුවත් නවීන සමාජය තුල ලෞකික අධ්‍යාපනයට මුල් තැන ලබා දී ඇත. එහෙත් ලෞකික අධ්‍යාපනයට සමගාමිව ආගමික අධ්‍යාපනයටද නිසි තැන ලබා දෙන්නේ නම් එය දෙමව්පියන්ට විශාල ආයෝජනයක් වනු නොඅනුමානය. දෙමව්පියන්ගේ මරණයෙන් පසුවද එය ඔවුන්ට ප්‍රයෝජනවත් වනු නියතය. ඒ අනුව දරුවන් කරන පින්දහම් වලට සරිලන කුලියක් දෙමව්පියන්ට ද ලැබෙනු ඇත. අනෙක් අතට දරුවන්ට නිසි දහම් මාර්ගය පෙන්වා නුදුන්නේ නම් දරුවන් කරන වැරදි  වලට දෙමව්පියන් ද වරද කරුවන් වන්නෝය.

“විශ්වාස කලවුනි! නුඹලාවද නුඹලාගේ පවුලේ උදවියද නිරයෙන් බේරා ගනු” (කුරානය 66:6)

කුරානයේ බොහෝ තැන්වල නිරය ගැන අනතුරු හඟවා තිබේ. එසේ තිබියදීත් ඇතැම් අය ඉන් බේරීමට කටයුතු නොකර දෙවියන්ගේ කරුණාව ගැන පමණක් විශ්වාස කිරීම අවාසනාවන්ත තත්වයකි. නිරයෙන් බේරීමට මුලික අවශ්‍යතාවයක් වන්නේ දහම අනුව ජිවත් වීමය. දහම් දැනුම ලබා ගැනීම සෑම මුස්ලිම්වරයෙකුටම නබිතුමා අනිවාර්ය කොට තිබේ.

නවීන සමාජයේ ජිවත් වන බොහෝ අය අල් කුරනයට හෝ නබිතුමා පෙන්වූ මාර්ගයට වඩා අළුතින් දහමට එකතුකළ දේවල් සඳහා මුල් තැන ලබා දී ඇත. එහෙත් නබිතුමා පවසා ඇත්තේ දහමට අළුතින් ඇතුලත් කළ දේවල් සියල්ලම නිරයට මාර්ගය බවයි.

වර්තමනා සමාජයේ දෙවියන් අදහන අය පවා දැනුවත්ව හෝ නොදැනුවත්ව ෂිර්ක් ක්‍රියා වල නිරත වෙති.  මේ සම්බන්දයෙන් ලුක්මාන් තුමා සිය පුතුට දුන් උපදේශය කුරානයේ පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.

“මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට නැමදීමේදී කිසිවක් එකතු කිරීම උග්‍ර පාපයක් වන්නේය” (කුරානය 31:13).

එසේ තිබියදී අද ජිවත්වන බොහෝ අය දෙවියන්ගෙන් උදව් පැතීම වෙනුවට මළවුන්ගෙන් උදව් පැතීමට පුරුදු වී සිටිති. බොහෝ අයට මේ සම්බන්දයෙන් කරුණු කියා දුන් පසුද ඒවා වැරැද්දක් බව තේරුම් නොගෙන සිටීම කනගාටුවට කරුණකි.

සෑම මුස්ලිම්වරයෙකුටම දිනකට පස් වතාවක් සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. එබැවින් ඒ සම්බන්ද සියළුම නීති රීති සියලුම දෙනා දැනගෙන සිටිය යුතුය. ඇතැම් උදවිය නිවසේදී සලාතය ඉටුකලත් ගමනකදී එය අතපසු කරති. එය විශාල වරදක් බව ඔවුන් තේරුම් ගත යුතුය. මෙම කරුණ ගැන දෙමව්පියන්ගේ අවදානය යොමු විය යුතුව තිබේ. එහෙත් අවාසනාවකට මෙන් බොහෝ අය මගුල් ගෙයකදී හෝ මලගේයකදී හෝ ගමනක් ගිය විට සලාතය ඉටු කරන්නේ නැත. එහෙත් සලාතය ඉටු නොකර සිටීම මහා පාපයකි. මෙවැනි අවස්ථාවලදී දෙමව්පියන්ගේ අදාර්ශය ඉතා වැදගත් වන්නේය.

ඉස්ලාම් දහමේ ලජ්ජාශීලි බව ඉතා වැදගත් අංගයකි. එය විශ්වාසයේ කොටසක් ලෙසද නබිතුමා පවසා ඇත. එබැවින් කුඩා කාලයේ සිටම එය දරුවන්ට පෙන්වා දිය යුතුය. විශේෂයෙන්ම ගැහැණු ළමයින් ට එය වැදගත් වේ. ඒ අනුව ඔවුන් අඳින ඇඳුම ගැනත් ඔවුන් ආශ්‍රය කරන අය ගැනත් සැලකිලිමත් විය යුතුය. කිසිම අවස්ථාවකදී නිසි රැකවරණයක් නොමැතිව තනිවම ත්‍රිවිල්වල ගමන් කිරීමෙන් කාන්තා පක්ෂය වැලකී සිටීමට කටයුතු කළ යුතුය. මෙය දෙමව්පියන්ගේ අවදානයට යොමු විය යුතු වැදගත් කරුණකි.

වැඩිවියට පත්වීමට පෙර සිටම ගැහැණු ළමයින්ගේ ඇඳුම ගැන සැලකිලිමත් වීම වැදගත්ය. ඇයිද යත් බොහෝ කාන්තා හිංසනයන්ට හේතුව කාන්තාවන්ගේ ශරීරය නිසි පරිදි ආවරණ නොකර සිටීම බව පැවසේ. මේ සම්බන්දයෙන් කුරානයේද අවවාද කොට ඇත. මෙය සෑම දෙමව්පියෙකුගේම අවදානයට යොමු විය යුතු  ඉතා වැදගත් කරුණකි.

ලෞකික අධ්‍යාපනය වෙනුවෙන් ගනු ලබන උනන්දුව මෙන්ම ආගමික අධ්‍යාපනය සඳහාද දෙමව්පියන් උනන්දු වීම අත්‍යවශ්‍ය වේ. එබැවින් ඉස්ලාම් දහම ගැන ලියවුනු පොත පත ළමුන්ට ලබා දීමට ක්‍රියා කළ යුතුය. තවද ඉස්ලාමිය දේශනා වලට සවන්දීම සඳහා ළමුන්ව උනන්දු කරවීම දෙමව්පියන්ගේ විශාල වගකීමකි. මේ සෑම එකකටම වඩා වැදගත් වන්නේ දෙමව්පියන් ළමුන්ට ආදර්ශවත් අන්දමින් ජිවත් වීමය.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons. Japura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *