පැනය: යම් දේහයක් ආදාහන කිරීමෙන් පසුව මලාඉකාවරුන් (දේවදූතවරුන්) පැමිණ එම දේහයට අයත් පුද්ගලයා වැරදිකරුවෙකු නම් නිරයට රැගෙන යන්නේද?
පිළිතුර: ඉස්ලාමීය විශ්වාසයට අනූව මරණින් මතු ජීවිතය යනු අදීයරයන් දෙකකි. එයින් මුල්ම අදියරය නම්, යම් දේහයක් ආදාහන කිරීමෙන් පසුව ඔහු අවසාන විනිශ්චය දිනය සදහා යළි නැගිට්ටුවන තෙක් මිනීවලෙහි ගත කරන ජීවිතයයි. දෙවැනි අදියරය යනු අවසාන විනිශ්ච දිනය සඳහා යළි නැගිට්ටුවීමත් සමග ආරම්භ වන මතු ලොව ජීවිතයයි.
යම් දේහයක් ආදාහන කිරීමෙන් පසුව, ඔහු අල්ලාහ්ට අවනතව යහපත් ජීවිතයක් ගත කළ පුද්ගලයෙකු නම්, එහි දේවදූතවරුන් අසන ප්‍රශ්නවලට ඔහු පිළිතුරු සපයයි. පසුව ඔහුගේ කබ්රය(මිනී වල) ඔහුට පෙනෙන තෙක්මානයට විශාල කරනු ලබන අතර ස්වර්ගයෙහි දොරටුවක් විවෘත කරනු ලබයි එයින් ඉතා මනරම්, රම්‍යයවූ සිනිදු සුළගක් හමයි, අළුත් මනාලයෙකු සේ ඔහුට නින්දෙන් පසුවන ලෙස නියෝග කරනු ලබයි.
අල්ලාහ්ට අවනත නොවී, ඔහුගේ අණට පිටුපා ජීවත්වූ පුද්ගලයකු නම් ඔහුගේ දේහය මිහිදන් කිරීමෙන් පසු, දෙවදූතවරුන් ඔහුගෙන් අසන කිසිදු ප්‍රශ්නයකට ඔහු පිළිතුරු නොසපයන අතර ඔහු අවසාන දිනය සදහා යළි නැගිට්ටුවනු ලබන තෙක් දැඩි දඩුවම් ඔහුට පමුණුවනු ලබයි. එම වේදනාවන් දරාගත නොහැකිව ඔහු කෑකෝගසන ශබ්දය ජින් හා මිනිස් වර්ගයා හැර සෙසු සියළු ජීවීන් අසන්නේය.
මා ඉහතින් සඳහන් කළ මෙම කරුණු පිළබද නබි වදන් පහත සඳහන් මූලාශ්‍රවල දැක ගත හැක:
බරා ඉබ්නු ආසිබ් (රලි) තුමන් විස්තර කරන පුවත, මූලාශ්‍ර: අහ්මද් 17803, අබූදාවුද් 4753.
අබූ සඊදුල් හුද්රියි (රලි) තුමන් විස්තර කරන පුවත, මූලාශ්‍රය: අහ්මද් 10577.
අබූ හුරෙයිරා (රලි) තුමන් විස්තර කරන පුවත, මූලාශ්‍රය: තිර්මිදි 1071.
“ඔවුන් (ෆිර්අවුන්ගේ ජනයා) හමුවට උදේ සහ සවස නිරයේ ගින්න ගෙනහැර පානු ලබන්නේය. තවද ෆිර්අවුන්ගේ ජනයා දැඩි වේදනාවට පත්කරනුයි. අවසන් හෝරාව සිදුවන දිනයේ (නියෝග ලැබෙයි)”. (ශුද්ධවූ අල්කුර්ආනය 40 : 46).
ප්‍රවීන ආගමික විද්වතෙකු වන “ඉමාම් ඉබ්නු කසීර්” රහිමහුල්ලාහ් මෙම ශුද්ධවූ අල්කුර්ආන් පාඨය මිනීවලෙහි දඩුවම සත්‍යය බව ඔප්පු කරන පැහැදිළි සාධකයකි යනුවෙන් සඳහන් කරයි.
“ඔබලා අතුරින් කෙනෙකු මිය ගිය විට ඔහුගේ (මතු ලොව) නවාතැන උදෙ හා සවස ඔහුට පෙන්වනු ලබයි. ඔහු ස්වර්ගයට අයත් පුද්ගලයකු නම් ස්වරගයද, ඔහු නිරයට අයත් පුද්ගලයකු නම් නිරයද පෙන්වනු ලබයි යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි) තුමන්, මූලාශ්‍රය: බුහාරි 3240).
නබි (සල්) තුමන් සෑම සලාතයකම අවසානයෙහි සලාම් කීමට පෙරාතුව මිනීවලෙහි වේදනාවෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතුවේය.
ඉහත සදහන් සාධක තුළින් ඔප්පු වන්නේ පාපිෂ්ට පුද්ගලයකුව මිහිදන් කිරීමෙන් අනතුරුව දේව දූතවරුන් ඔහුව නිරයට රැගෙන නොයන අතර ඔහු දඩුවම් විඳිමින් මිනීවලෙහි ජීවිතය ගතකරන බවයි. අවසාන විනිශ්චය දිනය සඳහා යළි නැගිට්ටුවනු ලබන තෙක් මේ ජීවිතය ඔහු ගතකරයි.
පිළිතුරු සපයන්නේ අස්හර් යූසුෆ්