ලෝක දෘෂ්ටිය
ඔබට පෙර විසු අනේක සංඛ්‍යාත ජනයාගේ සිත් හි මෙන් ඔබගේ සිතෙහි ද මෙවන් ප්‍රශ්න මතු වූ වාර බොහෝ විය හැක. මා කවරෙක් ද? මා කොහි සිට පැමිණියේ ද? මිහිතලය ඇතුළු මුළු මහත් විශ්වයම බිහිවූයේ කෙලෙස ද? මිහිතලය මත මා කරමින් සිටින්නේ කුමක් ද? මගේ සිතැඟි පරිදි මට කටයුතු කළ හැකි ද? මිහිතලයෙන් සමුගත් පසු මා යන්නේ කොතැනකට ද? මෙම ප්‍රශ්න සියල්ල මිනිසාගේ ජීවිතය හා එහි අරමුණු පිළිබඳ ව යි. මෙම ප්‍රශ්න සියල්ල විශ්වය හා එහි මිනිසාගේ භූමිකාව පිළිබඳවයි.
ඉහත ප්‍රශ්නවලට ඔබ දෙන පිළිතුරු අනුව ඔබගේ ලෝක දෘෂ්ටිය හෙළිදරවු වෙයි. ලෝක දෘෂ්ටිය යනු මිනිසා ලෝකය දකින හා විග්රහ කරන අයුරු මෙන්ම එහි ඔහුගේ භූමිකාව හෙළිදරවු කිරීමයි. ඔබගේ ලෝක දෘෂ්ටිය ඔබගේ සිතුම් රටාවට පමණක් නොව, ඔබගේ ක්‍රියාකලාපයට ද බලපෑම් කරයි. ඔබගේ ලෝක දෘෂ්ටිය ඔබගේ ජීවිතයේ අගයන් තීන්දු කිරීමට ද බලපායි.
මානවයාගේ දීර්ඝ ඉතිහාසය තුළ විශ්වය පිළිබඳ විවිධ විග්රහයන් ඉදිරිපත් කොට ඇත. විශ්වය සදාතනික ද? එයට ආරම්භයක් තිබේ ද? ආරම්භයක් තිබේ නම් එයට හේතු වූ සාධක මොනවා ද? එහි මිනිසාගේ භූමිකාව කුමක් ද? ඇතැමුන් විශ්වය නපුරු, දුෂ්ට හා අභද්‍ර බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුත් ගුප්ත හා අභිරහස් ස්ථානයක් ලෙස දකිති. එවන් ලෝක දෘෂ්ටියක් ඇත්තවුන්ගේ ජීවිත මිත්‍යා, අන්ධ හා අවිචාරවත් විශ්වාසයන්ගෙන් හා බියෙන් යුක්තවුවක් බවට පත්වෙයි.
තවත් පිරිසක් ලෝකය, ප්‍රභාසම්පන්න, ප්‍රීතිසහගත, අලංකාර හා ඉසුරුමත් තැනක් ලෙස දකිති. මෙම ලෝකය බිහිවූයේ කෙසේ ද? එයට කුමක් සිදුවන්නට යන්නේ ද? මිහිතලය මත ජීවිතයේ අපේක්ෂිත අරමුණු කුමක් ද? මෙවන් ප්‍රශ්න පිළිබඳ තැකීමක් ඔහුගේ චින්තනයේ නොමැත. ජීවිතයේ උපරිම වින්දනය බුක්ති විඳීම ඔවුන්ගේ සන්තුෂ්ටිය බවට පත් ව ඇත. කාලා බීලා ජොලිකරලා කාලය ගත කිරීම ඔවුන්ගේ ජීවිතය බවට පත් ව ඇත. ජීවිතය හා මරණය පිළිබඳ ඔවුන්ට මතක් දුන් විට ‘අප ජීවත් වී මිය යනවා. එය කාලයාගේ තීන්දුවක් පමණි’. එයින් ඔබ්බට කිසිවක් නොමැත. මෙවන් ලෝක දෘෂ්ටියක් ද අප සමාජයේ සීඝ්රයෙන් ප්‍රචලිත වෙමින් පවතී.
තවත් පිරිසක් ලෝකය, යහකම හා අයහකම, ආලෝකය හා අන්ධකාරය, ධනාත්මක හා සෘණාත්මකත්වය අතර යුද පිටියක් ලෙස දකිති. උදාහරණයකට චීනව ප්‍රජාව අතර ‘යින්’ හා ‘යැන්ග්’ යනුවෙන් සංකල්පයක් ඇත. ‘යැන්ග්’ යන්නෙන් ආලෝකය, උණුසුම සහ යහකම අර්ථවත් වෙයි. ‘යින්’ යනු අන්ධකාරය, සීතල, තෙතමනය හා අයහපත යන අරුත් ගෙනහැර දක්වයි. පුරාණත ඉරානී ය ‘සොරොස්ට්රියන්’ දහමේ ඉගැන්වීම් අනුව යහකමේ ශක්තිය වූ ‘අහුරා මස්ඩා’ ලොවේ පාලනය උදෙසා අයහකමේ බලය වූ ‘අන්ග්රා මයින්යු’ සමග නිරතුරු ව සටනක යෙදී සිටියි.
තවත් පිරිසක් ඔවුන්ගේ ලෝක දෘෂ්ටිය දහමක් පදනම් කරගෙන සකසා ගනිති. දහම් අතරේ ද විවිධ ආකාරයේ වෙනස්කම් දක්නට ඇත. ඇතැම් දහම් විශ්වයට හා ජීවීන්ට ආරම්භයක් නොමැති බවත් එය මනුෂ්‍ය චින්තනයේ සීමාවන්ගෙන් ඔබ්බට වූ කරුණක් බවත් දන්වා සිටිති. මෙම ඉගැන්වීම් අනුව මිනිසා ඇතුළු අනෙකුත් ජීවීන්, භෞතික දෑ හා තමන් පයගසා ජීවත්වන මිහිතලය ඇතුළු විශ්වය පිළිබඳ නිවැරදි හා විද්‍යාත්මක විග්‍රහයක් හා පිළිතුරක් දීම පැහැර හැරීමක් දක්නට ඇත. භෞතික ලෝකය පිළිබඳ නිවැරදි විග්‍රහයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති ඉගන්වීම් තුළ මිනිසාගේ මිහිපිට ජීවිතයේ අරමුණ, මරණින් මතු ජීවිතය හා අනෙකුත් පාරභෞතික කරුණු පිළිබඳ නිවැරදි කරුණු ඉදිරිපත් කළ හැක්කේ කෙසේ ද යන්න ප්‍රශ්නාර්ථයක් බව අපට පිළිගැනීමට සිදුවෙයි.
ලෝක ජනගහනයෙන් අති මහත් පිරිසක් පිළිගන්නා හා අනුගමනය කරන දහම් අනුව විශ්වය නිර්මාණය කරන ලද්දක් බවත් විශ්වයෙන් පරිබාහිර වූ නිර්මාතෘ කෙනකු හෙවත් විශ්ව අධිපතියෙකු සිටිනා බවත් විශ්වාස කරති. මෙම විශ්ව අධිපති පිළිබඳ විශ්වාසය ද දහමින් දහමට යම් වෙනස්කම් වලින් යුක්ත බව දැකිය හැක. ඇතැම් දහම් මෙම විශ්ව අධිපති ඒකීය බවත් මෙම විශ්ව අධිපති හට පරිපුර්ණ බලය හා ශක්තිය ඇති බවත් එම බලය හා ශක්තිය පිළිබඳ අන් කිසිවෙකුට කිසිදු ආකාරයක කොටසක් හෝ හවුලක් නොමැති බවත් විශ්වාස කරති. තවත් පිරිසක් මෙම විශ්ව අධිපතියාණන් හට සමානයන් හා හවුල් කරුවන් තබමින් තමන්ගේ ලෝක දෘෂ්ටිය සකස් කරගෙන කටයුතු කරති.
වත්මන් සමාජයේ දකින්නට ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ මිනිස් ප්‍රජාවේ බහුතරයක් දහම් අනුගමනයෙන් දුරස්ථවන ප්රවනතාවකි. නිර්මාතෘ දෙවිකෙනෙකු පිළිබඳ මතය මිනිස් චින්තනයේ නිර්මාණයක් පමණක් බව ඇතැමුන් සිතති. මිනිසාට වඩාත් සුදුසු කුමක් ද යන්න පිළිබඳ තීන්දු තීරණ ගැනීමේ හැකියාව හා අයිතිය ඔහු සතු බවය. ඔවුන් තමන් ව අදේවවාදීන් (Atheist), යැයි හඳුන්වා ගනිති. මෙවන් විවිධ වූ ලෝක දෘෂ්ටීන් සහිතව ජීවත්වන මිනිස් ප්‍රජාව වෙත ඔවුන්ගේ චින්තනය අවධි කිරීම අරමුණු කොට ගෙන මෙම ග්‍රන්ථය ඔබගේ දෝතට පත්කිරීමට අදහස් කළෙමු. පුර්ව නිගමනයන්ගෙන් තොරව, විචාරය හා බුද්ධිය පදනම් කරගෙන විවෘත වූ මනසකින් මෙම සාකච්ඡාවට එක්වන ලෙස කාරුණිකව ආරාධනා කරන්නෙමු.
දේව විශ්වාසය මිත්‍යා දෘෂ්ටියක් ද? සම්මා දෘෂ්ටියක් ද?
දේව විශ්වාසය පිළිබඳ ව මිනිසාට දිය හැකි පිළිතුරු ගැන විමසා බලමු. පහත සදහන් පිළිතුරු තුනට අමතර ව මතයක් ඉදිරිපත් කිරීමට ඉඩකඩ ඇති දැයි ඔබ ම නිගනමය කළ යුතු වෙයි.
- දෙවිඳුන් ඇත. (Theism)
- දෙවිඳුන් නොමැත. (Atheism)
- දෙවිඳුන් ඇති ද නොමැති ද යන්න ගැන දැනුමකුදු නොමැත. (Agnosticism)
මෙම පිළිතුරු පිළිබඳ ව යථාර්ථවාදී ව විමසා බලමු. පළමු ව දෙවිඳුන් ඇත යන පිළිතුර නිශ්චිත දැනුමකින් හෝ පැහැදිලි විශ්වාසයකින් හෝ දෙනු ලැබූ එකක් ලෙස සැලකිය හැක. විශාල ගොඩනැගිල්ලක් තුළ යමක් සොයන අයෙකුට ගොඩනැගිල්ලට ඇතුළු වන තැනම එය හමු විය හැක. මෙහිදී ඔහුට එම ගොඩනැගිල්ල පිළිබඳ ව පරිපූර්ණ දැනුමක් අවශ්‍ය වන තත්වයක් පැන නොනගී. නමුත් එම සොයන දෑ මෙම ගොඩනැගිල්ල තුළ නැතැයි පවසන්නාට නිශ්චිත වශයෙන්ම එහි අස්සක් මුල්ලක් නෑර සෑම කොටසක් පිළිබඳ ව ම පැහැදිලි දැනුමක් තිබිය යුතු වෙයි. එවන් දැනුමක් නොමැති ව එම සොයන දෑ ගොඩනැගිල්ල තුළ නැතැයි පවසන්නට කිසිවෙකුට අයිතියක් හෝ හැකියාවක් ඇතැයි පිළිගන්නට ඔබ එකඟ වනු ඇතැයි අපි නොසිතන්නෙමු. විශ්වය පිළිබඳ ව පරිපූර්ණ දැනුමක් නූතන විද්‍යාව තවම ලබා ගෙන නොමැත. මෙවන් තත්ත්වයක් තුළ දෙවිඳුන් විශ්වය තුළ හෝ ඉන් බාහිර ව හෝ නැතැයි පවසන්නට කාට නම් හැකි වන්නේ ද? මෙම නොදැනුවත්කම තම දෘෂ්ටිය බවට පත් කර ගත් විට එය මිත්‍යා දෘෂ්ටියක් ද නැත්නම් සම්‍යක් දෘෂ්ටියක් ද යන්න කරුණාකර ඔබම ඔබගේ බුද්ධිමය විචාරය තුළින් නිගමනයකට පැමිණෙන්නේ නම් එය වඩාත් උචිත යැයි සිතන්නෙමු.
(මතු සම්බන්ධයි)…………..
By Ibnu Mansoor
www.yayuthumaga.com